Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකාව වෙනස් කළ ප්‍රේම වෘත්තාන්තය : මිල්රඩ් සහ රිචඩ්

නාඳුනන අයෙකුගෙන් ලද පණිවිඩයක් මත 1958 ජූලි 11 වැනි දින පෙරවරු 2 ට පමණ වර්ජිනියා ප්‍රාන්තයේ රිචඩ් ලවිං නම් තරුණ ගොඩනැගිලි ඉදිකිරීම්කරුවාගේ නිවසට කඩා වැදුණු ආර්. ගානෙට් බෘෘක්ස් නම් ෂෙරිෆ්වරයාට දැකගැනීමට ලැබුණේ රිචඩ් ලවිං සමග සාමකාමී ව නිදා සිටින කළු ජාතික තරුණියක්. අයර්ලන්ත-ඉංග්‍රීසි සම්භවයක් සහිත සුදු ජාතික රිචඩ් ලවිං, අප්‍රිකානු-ඇමෙරිකානු සහ ස්වදේශීය ඇමෙරිකානු මිශ්‍ර පෙළපතකින් පැවත එන කළු ජාතික මිල්රඩ් ජේටර් සමග වොෂිංටන්, ඩී. සී. අගනුවර දී විවාහ වී තිබුණේ එයට දින කිහිපයකට පෙර යි. එවකට වර්ජිනියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ අන්තර්වාර්ගික සම්බන්ධතා සහ විවාහ තහනම් කිරීම සඳහා පනවන ලද වාර්ගික සදාචාර පනත (Racial Integrity Act) කඩකිරීම සඳහා වැරදිකරුවන් වූ ලවිං යුවළ, ෂෙරිෆ් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ව ඔවුන්ගේ විරෝධය නොතකා බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

(© Bettmann / Getty Images) මිල්රඩ් සහ රිචඩ් ලවිං

සම්පූර්ණ දිනයක් පොලිස් අත්අඩංගුවේ පසු වූ රිචඩ් ව ඩොලර් 1,000ක ඇප බැඳුම්කරයක් මත මුදාගැනීමට ඔහුගේ සහෝදරිය සමත් වුව ද, කළු ජාතික තරුණියක් වූ බැවින් මිල්රඩ්ට ඇප ලබා ගැනීමට හැකි වුණේ නැහැ. එයින් පසු ව එළැඹුණු දින තුනක කාලය, ප්‍රමාණයෙන් තනි පුද්ගලයෙකුට පමණක් සෑහෙන කුඩා සිර කුටියක් තුළ ගත කළ මිල්රඩ් ව අවසානයේ දී ඇගේ පියාගේ භාරයට මුදාහැර තිබෙනවා. වර්ජිනියා ප්‍රාන්ත නීතිය කඩ කළ රිචඩ් සහ මිල්රඩ් ලවිං යුවළට එරෙහිව පවරන ලද නඩු විභාගයේ දී ඔවුන් විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව විනිසුරු ලියොන් එම්. බැසිල් විසින් ඔවුන්ට වසර 25ක කාලයක් වර්ජිනියා ප්‍රාන්තයෙන් පිටුවහල් කිරීම හෝ බන්ධනාගාර ගත වීම යන දඬුවම් ද්විත්වයෙන් අභිමත තෝරා ගැනීමක් සිදුකිරීමට අවස්ථාව සලසා දී ඇති අතර එයින් පසු ව ගෙවී ගිය වසර 9ක කාලය ඔවුන් ගත කර ඇත්තේ පිටුවහලුන් ලෙස යි.

ආදරයක් බවට පත් වූ මිතුදම

© Grey Villet

වර්ජිනියා ප්‍රාන්තයේ සෙන්ට්‍රල් පොයින්ට් හි වාසය කළ ලවිං යුවළ ප්‍රථම වරට මුණ ගැසෙන විට මිල්රඩ් 11 වැනි වියේ ද රිචඩ් 17 වැනි වියේ ද පසු වී තිබෙනවා. අනෙක් නගරවලට සාපේක්ෂ ව මිශ්‍ර ප්‍රජාවක් වාසය කළ පෙදෙසක විසූ සෙන්ට්‍රල් පොයින්ට් හි වැසියන්, නිරන්තරයෙන් ම සංගීත සංදර්ශන සහ සැණකෙළි වැනි විනෝද උත්සව සංවිධානය කර ඇති අතර මිල්රඩ් සහ රිචඩ් හැදී වැඩී ඇත්තේ වර්ණ භේදයකින් තොර ව සෑම දෙනෙක් ම පාහේ සාමකාමී ව වාසය කළ පසුබිමක් තුළ යි. දිගු කලක් මිතුරන් ලෙස ඇසුරු කළ ඔවුන්ගේ මිතුදම ක්‍රමයෙන් ප්‍රේමයක් බවට පෙරළී ඇති අතර මිල්රඩ්ට වයස අවුරුදු 18ක් ව තිබිය දී ඔවුන් විවාහ වීමට තීරණය කර ඇත්තේ ඇය ගැබ් ගැනීම හේතුවෙන්.

ඒ අනුව වර්ජිනියා ප්‍රාන්තය තුළ අන්තර්වාර්ගික විවාහ තහනම් වූ බැවින් අන්තර්වාර්ගික විවාහ නීත්‍යානුකූල වූ වොෂිංටන්, ඩී. සී. අගනුවර දී 1958 ජූලි 02 වැනි දින විවාහ වන ඔවුන් යළිත් වර්ජිනියා ප්‍රාන්තය බලා පැමිණ කෙටි කලකින් ම පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. නමුත් නීතිය ඉදිරියේ වරදකරුවන් වන ලවිං යුවළට නැවතත් වොෂිංටන්, ඩී. සී. බලා යාමට සිදුවන්නේ බන්ධනාගාරය මඟහැරීම සඳහා යි. ඥාති හිතමිතුරන් නොමැති ව දරුවන් තිදෙනෙකු සමග අගනුවර තනි වන ලවිං යුවළ, අධිකරණය විසින් දෙන ලද තීන්දුව නොසලකා යළිත් වර්ජිනියා ප්‍රාන්තය කරා පැමිණීමට තීරණය කරන්නේ ඔවුන්ගේ දරුවෙකු රිය අනතුරකට භාජනය වීම හේතුවෙන්.

(© The Free Lance-Star / AP Photo) ලවිං යුවළ සහ දරුවන් තිදෙනා

ලවිං එදිරි ව වර්ජිනියා ප්‍රාන්තය

නැවත වර්ජිනියා ප්‍රාන්තය බලා පැමිණිය ද වාර්ගික සදාචාර පනත තව දුරටත් ක්‍රියාත්මක වූ බැවින් ලවිං යුවළට එක්ව වාසය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක වූ අසාධාරණ නීති රීතීන්ට එරෙහි ව සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර හිස එසවීම අරඹා ඇත්තේ ද මේ කාලයේ දී යි. ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දැක් වූ මිල්රඩ් ලවිං, 1964 දී ඇය සහ රිචඩ් මුහුණ දී ඇති ගැටලුව සඳහා උදව් ඉල්ලමින් එවකට නීතිපති තනතුර දැරූ රොබට් එෆ්. කෙනඩිට ලිපියක් යවන අතර ඔහුගේ මඟ පෙන්වීම යටතේ ඇය, ඇමෙරිකානු සිවිල් නිදහස් සංගමය සමග එක් ව විනිසුරු ලියොන් එම්. බැසිල් විසින් ලබා දුන් නඩු තීන්දුව ඉවත දමන ලෙස බල කරමින් වර්ජිනියා හි නැගෙනහිර දිසා අධිකරණයට එරෙහි නඩුවක් පවරනවා. නමුත් “දෙවියන් වහන්සේ විවිධ වර්ණැති පුද්ගලයන් එකිනෙකාගෙන් වෙන් කර වෙනස් මහද්වීපයන් හි පදිංචි කර ඇත්තේ ඔවුන් අතර ලිංගික සම්බන්ධතා සහ විවාහයන් ඇති වී මිශ්‍ර ජාතිකයන් ඇති වීම නතර කිරීමේ අරමුණෙන්”යැ යි පවසමින් විනිසුරුතුමා, ලවිං යුවළට වාසි සහගත ලෙස තීන්දුවක් ලබා දීම ප්‍රතික්ෂේප කරන ලද බව සඳහන්. මෙම තීන්දුව අභියාචනය සඳහා වර්ජිනියා හි අභියාචනාධිකරණය සඳහා යොමු කරන ලද අතර අභියාචනාධිකරණය පිළිගෙන ඇත්තේ ද මුල් තීන්දුව යි.

© Getty Images

වර්ජිනියා හි අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවෙන් අතෘප්තියට පත් ලවිං යුවළ, ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කරන අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, වර්ජිනියා ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වන වාර්ගික සදාචාර පනත, ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ඒකමතික ව තීරණය කරනවා. ඒ අනුව 1967 ජූනි 12 වැනි දින ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය, ලවිං යුවළට පක්ෂව අවසන් තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කරන්නේ “සෑම පුද්ගලයෙකුට ම වර්ග භේදයකින් තොර ව තමන් කැමති පුද්ගලයෙකු සමග විවාහ වීමට හෝ විවාහ නොවී සිටීමට අයිතිවාසිකමක් ඇති බව” යි.

කවරයේ පින්තූරය: © Talkies Community Cinema

ලවිං යුවළගේ ප්‍රේම වෘත්තාන්තය පාදක කර ගනිමින් 2016 දී එළි දක්වන ලද ‘Loving’ චිත්‍රපටයේ ප්‍රවර්ධන පෝස්ටරයක්  

Related Articles