Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීන තරුණ තරුණියන් මිලියනයක් නගරයෙන් ගමට

චීනයේ කොමියුන්ස්ට් පක්ෂය සිය පැරණි ක්‍රියාමාර්ගයක් නැවතත් පණ ගැන්වීමට පසුගිය දා තීරණය කර තිබෙනවා. නගරයේ වාසය කරන කොමියුනිස්ට් පක්ෂ තරුණ ස්වේච්ජා සාමාජික සාමාජිකාවන් මිලියනයක් චීනයේ අති දුෂ්කර ගම්මාන කරා යැවීමට පියවර ගැනීම එම ක්‍රියාමාර්ගය ලෙස හැඳින්විය හැකියි.

චීනයේ ජනාධිපතිවරයා ලෙසත් එරටේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙසත් දැනට කටයුතු කරන ෂින් ජින්පින් මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ මෙය කොමියුනිස්ට් චීනයේ නිර්මාතෘ මාඕ සේතු ගේ සංකල්පයක් බව යි. එම මාඕවාදී ප්‍රතිපත්තිය නැවත ක්‍රියාත්මක කිරීමෙන් ග්‍රාමීය ළමා හා තරුණ පරපුර දැනුමෙන් සන්නද්ධ කළ හැකි බව යි චීන කොමියුනිස්ට් පක්ෂයේ අදහස වන්නේ. ඒ තුළින් මීට වසර 50කට පමණ පෙර බලාපොරොත්තු වූ සංස්කෘතික විප්ලවය නැවතත් පණ ගැන්වීමට චීන රජය අදහස් කරනවා.

කොමියුනිස්ට් තරුණ ලීගයේ වැඩක්

කොමියුනිස්ට් තරුණ ලීගයේ සාමාජික සාමාජිකාවන් (Business Insider)

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ උපදෙස් මත එහි තරුණ කවය ලෙස හඳුන්වන කොමියුනිස්ට් තරුණ ලීගය (Communist Youth League (CYL)) මෙම ව්‍යාපෘතියේ මුල් අදියර ලෙස එහි සාමාජික තරුණ තරුණියන් මිලියනයක් චීනයේ දුෂ්කර ගම් පළාත් වෙතට යාමට සැලසුම් කර තිබෙනවා. 2022 වන විට මිලියන 10ක තරුණ ප්‍රජාවක් මෙම ව්‍යාපෘතිය යටතේ යැවෙනු ඇත. දුෂ්කර පළාත්වල වෙසෙන ශිෂ්‍ය ප්‍රමාණයකගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම, ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම, ග්‍රාමීය ප්‍රදේශවල විද්‍යාව හා තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම හා එම ප්‍රදේශවල දුප්පත්කම තුරන් කර ආර්ථික සශ්‍රිකත්වය වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ වෙනවා.

මෙහිදී චීන කොමියුනිස්ට් තරුණ ලීගයේ ලේඛනයක් උපුටා දක්වමින් චීනයේ නිල පුවත්පතක් ප්‍රකාශ කරන්නේ විශාල තාක්ෂණික නගරවල වාසය කරන චීන ජාතික තරුණ තරුණියන්ට දුෂ්කර ගම්බද ප්‍රදේශ අධ්‍යාපනික අතින් තාක්ෂණික අතින් ඉහළට ගෙන ඒමට මෙම ව්‍යාපෘතිය ඔස්සේ ආරාධනා කරන බව යි.

තවද චීන රජය මේ සඳහා සිය පක්ෂයේ තරුණ සාමාජික සාමාජිකාවන්ට අරාධනා කර තිබෙනවා. “නගරයේ මෙන්ම ගමේ ද නව නිපැයීම් මෙන්ම තාක්ෂණික පිබිදීමක් හා නැගී සිටීමක් අවශ්‍ය වෙනවා.  ඒ සඳහා තරුණ ජවය අපට අවශ්‍ය යි”යි පක්ෂය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වෙනවා.

නැවත පිබිදුනු ජවය

චීන කොමියුනිස්ට් පක්ෂ පළමු නායකයා – මාඕ (ThoughtCo)

කොමියුනිස්ට් පක්ෂයේ මෙම ක්‍රියාමාර්ගය ගැන  කොමියුනිස්ට් පක්ෂ පැරණි ක්‍රියාකාරිකයන් සිය සතුට පලකර තිබෙනවා. මහජන චීනයේ නිර්මාතෘ මාඕ සේතුංගේ නායකත්වයෙන් 1966 – 1976 කාල සීමාවේ දී සිදුකළ සංස්කෘතික විප්ලවය යටතේ රට අභ්‍යන්තරයට ගිය තරුණ ප්‍රජාවට අයත් සාමාජිකයන් මෙම තීරණය පිළිබඳව පක්ෂයේ වර්තමාන දේශපාලන කමිටුව වෙත සිය ප්‍රසාදය පිරිනමා තිබෙනවා.

අතීතයේ දී තමන් කළ කාර්යය වර්තමාන තරුණ ප්‍රජාව නව ආකාරයකින් කරගෙන යාම සඳහා සූදානම් වීම පැරණි සාමාජිකයන්ගේ සතුට වැඩි කිරීමට හේතු වී තිබෙනවා. ඔවුන් චීනයේ ක්‍රියාත්මක සමාජ ජාල හරහා සිය සතුට පල කර තිබෙනවා.

චීන මහජන විමුක්ති හමුදාවේ තරුණ සාමාජිකයන් (Los Angeles Times)

වර්තමාන චීන ජනාධිපති ද මාඕ සමයේ එම තරුණ කණ්ඩායමට අයත්ව සිටි අතර, ඔහු චීනයේ උතුරු ප්‍රදේශයේ දුෂ්කර ගමක මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වසර 7ක් එක දිගට වැඩ කර තිබෙනවා. ඒ වයස අවුරුදු 16 සිට යි. මාඕගේ මෙම ප්‍රතිපත්තිය නැවත ක්‍රියාත්මක කිරීමට ෂින් ජින්පින්ගේ ඒ නොස්ටැල්ජියානු මතකය ද ඉවහල් වන්නට ඇති බව ඇතැම් දේශපාලන විචාරකයන් සඳහන් කර තිබෙනවා.

ලෝකය වෙළඳ බලවතා බවට පත්වීමට

චීනයේ වර්තමාන ජනාධිපති ෂින් ජින්පින් (Fortune)

මේ වන විට ලෝකයේ ප්‍රබලතම වෙළඳ බලවතා වීමේ සීතල යුද්ධයක නිරතව සිටින රටවල් දෙක වන්නේ ඇමෙරිකාව හා චීනය යි. මෙම පැරණි ව්‍යාපෘතිය නව ආකාරයකින් නැවත ආරම්භ කළහොත් ග්‍රාමීය ආර්ථිකය ද නාගරික ආර්ථිකය මෙන් එක සේ දියුණු වනු ඇති බවට චීනය විශ්වාස කරනවා. එය ලෝක වෙළඳ බලවතා කරා යන ගමනේ දී පසු කළ යුතු විශේෂ සන්ධිස්ථානයක් ලෙස ද සඳහන් කළ හැකියි.

චීන ජනාධිපති සිය කොමියුනිස්ට් පක්ෂයේ බලය මේ වන විට සම්පූර්ණයෙන් තහවුරු කරගෙන ස්ථාවර වී ඇති අතර ඔහුට අවශ්‍ය වන්නේ ජාත්‍යන්තරය ඉදිරියේ තම බල පරාක්‍රමය විදහා දැක්වීමට බව ඇතැම් විචාරකයන්ගේ මතය යි. ඒ අනුව ඔහු විසින් කොමියුනිස්ට් පක්ෂය හරහා සිදුකරන සියලු මෙහෙයුම් ලෝකය ඉදිරියේ චීනයේ බලවත්කම නගා සිටුවීම උදෙසා කරනු ලබන ව්‍යාපෘති ලෙස ද එම විචාරකයන් හඳුන්වා දෙනවා.

කවරයේ පින්තූරය - IBTimes UK

මූලාශ්‍රයයන් -

hindustantimes.com

japantimes.co.jp

reddit.com

Related Articles