Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පිලිපීන දූපත් අතරින් විශාලත්වයෙන් දෙවන තැන හිමි කරගන්නා මින්ඩනාවෝ දූපත්

පිලිපීනයේ දූපත් 7000ක පමණ ප්‍රමාණයක් දැකිය හැකි වේ. නමුත් මේ අතරින් මිනිසුන් ජීවත් වන්නේ දූපත් 2000ක් වැනි කුඩා ප්‍රමාණයක පමණි. ජනාවාස සකසා ඇති සෑම දූපතක්ම රටේ ප්‍රධාන දූපත් කාණ්ඩ තුනෙන් එකකට අයත් වේ. එම දූපත් කාණ්ඩ තුන වන්නේ Luzon, Visayas හා Mindanao ය. මෙම කලාප වලට අයත් දූපත් වල එකිනෙකට වෙනස් භාෂා රාශියක් භාවිතා වේ. මේවායේ ජීවත් වන මිනිසුන් අනුගමනය කරන සිරිත් විරිත් හා චාරිත්‍ර එකිනෙකින් වෙනස් වේ. මෙවන් විවිධත්වයකින් යුතු ජන කොට්ඨාස රාශියක් ජීවත් වන මින්ඩනාවෝ දූපත් පිළිබඳ තොරතුරු ඔබට ගෙන ඒමටයි  මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වෙන්නෙ.

පිහිටීම හා භෞතික ලක්ෂණ

dxnews.com

මින්ඩනාවෝ දූපත් වල වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 94 631ක් පමණ වේ. මෙය පිලිපීනයේ ඇති දෙවන විශාලතම දූපත ලෙස හැඳින්වේ. මෙහි උතුරේ සිට දකුණට කිලෝමීටර් 471 හා නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර් 521 ක දිග ප්‍රමාණයක් පවතී.  ගිනිකඳු වල ක්‍රියාකාරිත්වය මෙහිදී නිරන්තරයෙන් දැකිය හැක. මීටර් 2954 ක උසකින් යුතු Apo කන්ද මෙම දූපතේ දකුණු කොටසේ ඇති ක්‍රියාකාරී ගිනි කන්දකි. පිලිපීන දූපත් වල පවතින උසම කඳු මුදුන වන්නේද මෙයයි. මින්ඩනාවෝ දූපත් වලට ඇත්තේ පටු වෙරළ තීරයකි.

ඉතිහාසය

mariaronabeltran.com

මින්ඩනාවෝ දූපත් වල ජනාවාස බිහිවීම ආරම්භ වී ඇත්තේ නව ගල් යුගයේ බව සැලකේ. හමු වී ඇති පැරණි ගල් ආම්පන්න වලින් ඒ බව තහවුරු වේ. මෙම දූපත් වලට ඉස්ලාම් ජාතිකයින් පැමිණීමට පෙර මෙහි සිටි ජනයා subanon හා චීන රාජ්‍යයන් සමඟ වෙළඳාම් කටයුතු කළ බවටද සාධක හමු වී ඇත. ක්‍රිස්තු වර්ෂ 900 සිට මින්ඩනාවෝ දූපත් වල ජීවත් වූ ජනයා නිරන්තරයෙන්ම හින්දු හා බෞද්ධ ආගම් සඳහා නිරාවරණය වී ඇති අතර ඔවුන් ඉන්දුනීසියාවේ හා Borneo වල පැවති සංස්කෘතීන් වල බලපෑමට ලක් විය. හින්දු බෞද්ධ සංස්කෘතීන් වල බලපෑම වැඩියෙන්ම එල්ල වූයේ වෙරළබඩ ප්‍රදේශ වල පිහිටා තිබූ  ජනාවාස වලටයි.

14 වන සියවස මැද භාගයේ දී Malaya හා Borneo වල සිටි මුස්ලිම් ජනතාව මින්ඩනාවෝ දූපත් වලට සංක්‍රමණය වන ලදි. 16 වැනි සියවසේදී පමණ යුරෝපීය ජාතියක් වන ස්පාඤ්ඤ ජාතිකයින් මෙම ප්‍රදේශයට සංක්‍රමණය විය. මේ හේතුවෙන් මුස්ලිම් හා ස්පාඤ්ඤ ජාතිකයින් අතර යුද්ධ මාලාවක් ඇති විය. මෙම යුද්ධයන් වසර 300ක පමණ කාලයක් පැවතුණි. දෙවන ලෝක යුද්ධ සමයේදී පිලිපීන දූපත් රාශියකට හානි සිදු වුවත් මින්ඩනාවෝ දූපත් සඳහා එතරම් හානියක් සිදු වූයේ නැත. 1960 ගණන් වලදී මෙම දූපත් වල ජනගහන වර්ධනයක් සිදු වූ අතර සැලකිය යුතු මට්ටමේ ආර්ථික සංවර්ධනයක්ද සිදු විය.

kapwatravel.com

කෙසේ හෝ ස්පාඤ්ඤ ජාතිකයින් මෙම දූපත්වල සිටි මුස්ලිම් ජනයා පන්නා දැමීමට පටන් ගැනීම නිසා ඔවුන් දෙපිරිස අතර ඇති වූ ගැටුම් හේතුවෙන් දහස් ගණන් ජනයා මියගිය අතර දේපල විශාල ප්‍රමාණයක් විනාශ විය. ස්පාඤ්ඤ හා ඇමරිකාව අතර ඇති වූ යුද්ධයෙන් පසු ඇමරිකානුවන් මින්ඩනාවෝ දූපත් වල සිටි මුස්ලිම් ජනයා වෙනුවෙන් සටන් කිරීම ආරම්භ කරන ලදි. පසුව ඇමරිකානුවන් විසින්ද මෙහි ජනාවාස පිහිටුවන ලදි. වර්තමානය වන විට මෙම දූපත් වල මුස්ලිම් ජාතිකයින්, ස්පාඤ්ඤ ජාතිකයින්, හා පිලිපීන රාජ්‍ය මගින් පදිංචි කළ ජනයා දැකිය හැක.

විශේෂතාවන්

lovemindanao.com

පිලිපීන අගාධය හෙවත් මින්ඩනාවෝ අගාධය මින්ඩනාවෝ දූපත් වලට සැතපුම් කීපයක් එහායින් පිහිටා තිබේ. මෙම අගාධයේ ගැඹුර මීටර් 10 800ක් පමණ වන අතර ලෝකයේ ඇති ගැඹුරුම අගාධ කීපය අතරින් එකක් ලෙස මෙය හැඳින්වේ. මීට අමතරව පිලිපීනයේ උසම දිය ඇල්ල වන limunsudan පිහිටා ඇත්තේද මින්ඩනාවෝ දූපත් වලයි. මින්ඩනාවෝ දූපත් මුහුදු හතරකින් වට වී ඇත. ඒවා, පිහිටා ඇති

  • උතුරු – මින්ඩනාවෝ මුහුද
  • නැගෙනහිර – පිලිපීන මුහුද
  • දකුණ – Celebes මුහුද
  • බටහිර – Sulu මුහුද ලෙස දැක්විය හැක.

මින්ඩනාවෝ දූපත් වල ඇති Lanao නැමති විල සැකසී ඇත්තේ ලාවා වේල්ලකිනි. මෙම විලේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 347ක් පමණ වේ. මෙහි විශාල කුරුළු පාරාදීසයක් දැකිය හැක. මෙම කුරුළු පරාදීස තුළ පිලිපීන රාජාලියා සුලභව දැකිය හැකි පක්ෂියෙකි.

භාෂා හා ආගම්

insights.looloo.com

මින්ඩනාවෝ දූපත් වල භාවිතා වන ප්‍රධාන භාෂාව වන්නේ cebuano ය. නමුත් ස්පාඤ්ඤ භාෂාව පදනම් වූ creole භාෂාව, Zamboanga නගරයේ නිල භාෂාව වන chavacano වැනි භාෂා ගණනාවක් භාවිතා කිරීම දැකිය හැක. මෙහි ජනගහනයෙන් 60%ක් පමණ ක්‍රිස්තියානි ආගමිකයන් වන අතර 32%ක් පමණ ඉස්ලාම් ආගමිකයන් දැකිය හැක. 2010 වසරේදී මින්ඩනාවෝ දූපත් ප්‍රධාන පරිපාලන කොට්ඨාස 6 කට බෙදා වෙන් කළ අතර ඒ වන විට සිටි ජනගහනය 21 968 174ක් විය. ඉංග්‍රීසි හා Tagalog වැනි භාෂාවන් ව්‍යාපාර හා අධ්‍යාපන කටයුතු වලදී වැඩි වශයෙන් භාවිතා වේ. දකුණු හා උතුරු Cotabato ප්‍රදේශ වල සුලභව භාවිතා වන භාෂාව වන්නේ hiligaynon ය.

සංස්කෘතිය

පිලිපීන දූපත් අතරින් වැඩිම සංස්කෘතික විවිධත්වයක් දැකිය හැකි වන්නේ මින්ඩනාවෝ දූපත් වලයි. මෙහි විවිධ ජන කණ්ඩායම් හා භාෂා ගණනාවක් භාවිතා කරන ජන කොට්ඨාස දැකිය හැක. මෙහි සැලකිය යුතු මට්ටමක බෞද්ධ හා තායි පන්සල් ප්‍රමාණයක් දැකිය හැක. මොවුන්ගේ ආහාර රටාවන් හා ඇඳුම් විලාසිතාවන් තමා අයත් වන ජන කොට්ඨාසයත් සමඟ වෙනස් වේ.

කවරයේ පින්තුරය – insights.looloo.com

Related Articles