Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

FRIENDS හි තිබුණු පරස්පර සිදුවීම් 5ක්

ප්‍රහසනයක් වශයෙන් පරම්පරා ගණනාවක සිත්ගත් කතා මාලාවක් ලෙස FRIENDS නූතන කතාවලටත් වඩා ඉහළින් ඔසවා තැබිය හැකි එකක්. කෙතරම් වාරයක් බැලුවත් ඒ හැම වාරයක දී ම අපව සිනහවෙන් මුසපත් කරන්නට එයට තිබෙන්නේ පුදුම හැකියාවක්.

එහි තිබුණු කුඩා නමුත්, නොසලකා හැරිය නොහැකි පරස්පරතාවයන් කිහිපයක් වෙත ඔබේ මතකය රැගෙන යන්නට යි මේ ලැහැස්තිය.

අවවාදය යි! 

ඔබ දැනටමත් සම්පූර්ණයෙන් සීරීස් එක බලා අවසන් කර නැත්නම්, Spoil විය හැකි බැවින් මෙය පසුව කියවීම සඳහා bookmark කර තබාගන්න.

රොස් සහ රේචල් වේගාස් හි දී මුහුණේ ඇඳගත් දෑ අතුරුදන් වීම

කෑමට පෙර සහ පසු (Copyright- Warner Bros.)

නිව්යෝර්ක් සිට ලාස් වේගාස් වෙත පියාසර කරන අතරතුර, රොස් සහ රේචල් අතර අනෙකාව වඩාත් අපහසුතාවයට පත් කළ හැක්කේ කාටදැ යි බැලීමට කතිකා කර ගන්නවා. ප්ලේන් එකෙන් බැසීමට ආසන්නව රේචල් රොස්ගේ උරහිසට වාරු වී නිදාගත් අතරේ ඔහු පෑනකින් ඇගේ මුහුණේ රැවුලක් අඳිනවා.

ෆීබි නිසා මෙය දැනගත්ත ද, එය මකා ගන්නට රේචල් නොහැකි වෙනවා. රොස් පෑන් නිෂ්පාදකයන්ට ඇමතුමක් ගෙන එය මැකිය හැකි ක්‍රම ගැන විමසූව ද ලැබෙන පිළිතුර, එය කිසිසේත් මැකිය නොහැකි බව යි. අවසානයේ දෙදෙනාම බීමත්ව, රොස්ගේ මුහුණේ ද පෑන් ඉරි ඇඳ තිබෙනු දකින්නට ලැබෙනවා. ඒ, Season 5 හි අවසානය යි.

Season 6 ඇරඹෙත්ම, දෙදෙනාම උදේ නැඟිට බලද්දී එම පෑන් ඉරි එලෙසම පවතින නමුත්, කෑම මේසයට එන විට ඒවා මැජික් එකකින් මෙන් අතුරුදහන් වෙයි!

රොස්ගේ අවසන් Apartment එකේ තැන වෙනස් වෙයි

හැරී පෝටර්වල වගේ ෆීබී බිත්තිය හරහා යයි (Copyright – Warner Bros.)

‘කැත නිරුවත් මිනිසා’ එහෙමත් නැත්නම් Ugly naked guy සතුව තිබූ Apartment එක රොස් මිල දී ගන්නවා. මොනිකාගේ Apartment එකට ඉතා ළඟ නිසා රොස්ට එය කෙතරම් අවශ්‍ය වී ද යත්, ඔහු සමග නිරුවත්ව පවා කාලය ගත කරමින් මිතුරු වෙනවා. නමුත්, එතැන් පටන් සීරීස් එක පුරාවට එය තිබෙන ස්ථානය වෙනස් වන බව දකින්නට ලැබෙනවා.

දොරෙහි ඇති අංකය ගැන සැලකුවහොත්, රොස් මුලින් Ugly naked guy හමුවද්දී (ඉහත ඡායාරූපයේ වම්පස) එහි ඇත්තේ අංක 201 යි. එම ගොඩනැගිල්ලේ සිටින හවර්ඩ් නමැත්තාගේ විශ්‍රාම දින සැමරුම (S05 E15) වන විට එය 3B බවට පත් වෙනවා. පසු කථාංගවල ඒ දොරේ කිසිදු අංකයක් දකින්නට නොලැබෙයි.

ස්ථානානුකූලව ගත් කල, මුලින් රොස් යන විටත්, පසුව ජෝයී ගෑනු ළමයකු සොයාගෙන (S05 E17) එම Apartment එකට යද්දීත්, එය ශාලාවේ කෙළවර බිත්තියක් අසල ඇති එකක් වූ අතර Season 9 වන විට එම බිත්තිය අතුරුදහන් වෙයි. (උදා: S09 E09).

එක ම මුහුණු නැවත නැවතත් මතු වෙයි

අක්කා සහ මල්ලි අහඹු හමුව (Copyright- Warner Bros.)

එකම නළු නිළියන් විවිධ අවස්ථාවන් හි දී බොහෝ විට, විවිධ චරිත නිරූපණය කරනු දකින්නට ලැබෙයි.

බෙන්ගේ උපත සිදුවන අවස්ථාවේ (S01 E23) එහි සිටින හෙදියක් ලෙස රඟන ජූන් ගේබ්ල්, පසුව ජෝයිගේ රංගන නියෝජිතවරිය වන එස්ටෙල් ලෙනර්ඩ් ලෙස (S02 E10) දකින්නට ලැබේ.

ෆීබිගේ සහෝදරයා ඇයට හමුවන්නේ පියාගේ නිවසට ගිය විට (S02 E21) වුවත්, ඇත්තටම ඊට එපිසෝඩ් 15කට පෙර (S02 E06) ෆීබි පාරේ ගිටාර් වාදනය කරමින් සිටිය දී යි. ඔහු මුදල් වෙනුවට කොන්ඩමයක් ඇයට දෙන අතර, පසුව ඔහු එය නැවත ගන්නට ආ අවස්ථාවේ දී යි අපිට දකින්නට ලැබෙන්නේ.

Star Wars හි ලේයා කුමරිය පිළිබඳ ආශාවන් ගැන රොස්, චැන්ඩ්ලර්ට හෙළි කරද්දී (S03 E01) චැන්ඩ්ලර් “එල් මැක්ෆියර්සන්” යනු ද එවන් අගනා යුවතියකැ යි කියයි. අනතුරුව, ජෝයීගේ රූමි ලෙස එන ජ’නීන් චරිතය රඟපාන්නේ ද එල් මැක්ෆියර්සන් වන අතර රොස් සහ චැන්ඩ්ලර් තාර්කිකව නම්, ඇයව හඳුනාගත යුතු වෙයි.

චැන්ඩ්ලර්ට සහ ජෝයිට සිදුවන පුදුමාකාර අමතක වීම්

ඕ..මයි….ගෝඩ් චැන්ඩ්ලර් බිං! (Copyright- Warner Bros.)

චැන්ඩ්ලර්, මොනිකා සමග යාළු වී සිටින කාලයේ ඔවුන් අවන්හලකට පිවිසීමට නොහැකිව බොහෝ කාලයක් පිටත රැ‍ඳ‍ෙනවා (S07 E10). පගාවක් දී ඔවුන් කලින් යාමට උත්සාහ කරද්දී චැන්ඩ්ලර් අතට අත දෙන ගමන් මුදල් මාරු කරන්නට උත්සාහ කරතත්, ඔහුට එය නොහැකි වී යනවා.

මෙය සීසන් 5කට ඉහත දී (S2 E20) මොනිකාගේ පෙම්වතා වූ රිචඩ්ගෙන්; චැන්ඩ්ලර් සහ ජෝයි ඉගෙන ගෙන අනෙක් අයටත් සාර්ථකව කර පෙන්වන්නක්. ඔහුට එය කෙතරම් අමතක වී ද යත්, රිචඩ්ට එවන් හැකියාවක් තිබුණාදැ යි කියා මොනිකාගෙන් පුදුමයෙන් මෙන් අහනවා.

ෆීබිගෙන් ප්‍රංශ ඉගෙන ගන්න බැරි වුණෙත් මේ නිසා වෙන්න ඇති (Copyright- Warner Bros.)

ජෝයිටත් මෙවැනි දේ වෙනවා. වරක්, මොනිකාගේ උපන්දින සාදයක දී (S7 E14) ගෙල බැඳි බෝ එක ගලවමින් චැන්ඩ්ලර්ට “ජෝයිගේ ඇපල් එක (උගුරු දණ්ඩ) රිදෙනවා”යි කියන්නේ Adam’s apple ආකාරයට විවිධ අයගේ නම අනුව එය නම් කර ඇති බව සිතාගෙන යි. නමුත්, ඊට සීසන් 5කට ඉහත දී (S2 E03) ඔහු නිවැරදිව ඒ ඇඩම්ගේ ඇපලය බව කියයි.

එසේම, උපහාසය නිරූපණයට පෙරළි කොමා දැක්වීම (Air quotes) යනු කුමක්දැ යි ජෝයි නොදන්නා බව කියයි (S09 E02). එහෙත් ගර්භණී රේචල්ට පෙම්වතකු සොයා දුන් බවට රොස් ජෝයිට බනිද්දී (S08 E05), මොනිකාගේ රහස් කාමරය විවෘත කරද්දී චැන්ඩ්ලර්ට (S08 E14) පමණක් නොව මොනිකා සහ චැන්ඩ්ලර් පෙමින් වෙළී ඇති බව රේචල්ට කියද්දී (S05 E12) පවා ඔහු එය සාර්ථකව භාවිතා කරයි.

චැන්ඩ්ලර් සහ රේචල් පළහිලව්ව

රේචල්, මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න (Copyright- Warner Bros.)

කථා මාලාව ආරම්භයේ දී (S01 E01) මොනිකා; මඟුල් ඇඳුමින් සැරසී එන රේචල්ව අනෙක් අයට හඳුන්වා දෙයි. එයට අනුව, ඇය හඳුනන්නේ රොස් සහ මොනිකා පමණි. එහෙත් කතාව ගලාගෙන යද්දී එයට පෙර කාලය පිළිබඳව කියද්දී එය රේචල් සහ චැන්ඩ්ලර්ට සාධාරණයක් ඉටුවන්නේ නැහැ.

පරණ කතා කීම ඇරඹෙන්නේ අදට අවුරුදු තුනකට පෙර කාලය පෙන්වද්දී (S03 E06) යි. එහි සෙන්ට්‍රල් පර්ක් වෙනුවට බාර් එකක් තිබේ. එහි මොනිකා සමග කතා කරමින් සිට පූල් ක්‍රීඩා කරන චැන්ඩ්ලර්ට රේචල්ව හමුවෙයි. එහෙත් එහි දී රේචල් ඔහුව ගණන් නොගනියි. (ඔව්, පසුව කාරයේ දී ඔහු ගැන සිතයි.) මෙය පෙර සිද්ධිය හා සසඳද්දී ඉතා කෙටි සිදුවීමක් වශයෙන් ඔවුන්ව එකිනෙකාට අමතක වී තිබෙන්නට ඇතැ යි සැලකිය හැකියි.

රොස්ගේ නිවසේ දී දෙවරක් හමුවීම (Copyright- Warner Bros.)

එය මඳක් ගැටළු සහගත වන්නේ; රොස්ගේ නිවසේ පැවති Thanksgiving සැමරුමකට ඔහු සමග චැන්ඩ්ලර් පැමිණිම යි (S05 E08). ඇත්තෙන්ම, ඔවුන් දෙවරක් පැමිණෙනවා. එහි මොනිකා සමග රේචල් රැඳී සිටින අතර මුල් වතාවේ චැන්ඩ්ලර් හා රේචල් අතර මහත් හැඳුනුම්කමක් සිදුවෙන්නේ නැහැ. එනමුත්, දෙවන වතාවේ දී මොනිකාට මහතයැ යි කී බව, චැන්ඩ්ලර්ගේ ඇඟිල්ලක් කැපුණු අවස්ථාවේ ඉස්පිරිතාලයට යාම ආදිය මඟින් ඔවුන්ට එකිනෙකා අමතක විය හැකි බවට සාධක ගෙන එන්නේ නැහැ.

තවදුරටත් මෙය ගැටළුවක් බවට පත් කරන්නේ සාදයක දී ඔවුන් එකිනෙකා සිප ගත් අවස්ථාවේ දී (S10 E11) යි. එනම්, මේ සියල්ල හා බලද්දි ඔවුන් හොඳින් දැන සිටි දෙදෙනෙක්.

පසුවදන

අපේ හොඳම මිතුරු මිතුරියන් වූ FRIENDS (Copyright- Warner Bros.)

විඩාබර දිනක් අවසානයේ මුව පුරා සිනාවක් දෙන්න සමත් වන FRIENDS ටීවී සීරීස් එක ප්‍රහසනයක් වශයෙන් එහි උපරිමය ඉටු කරනවා. වෙනත් අබිරහස් ගණයේ නාට්‍යවල මෙන් ප්‍රහසනයක් තුළින් 100%ක තාර්කිකත්වයක් අපේක්ෂා කිරීම එතරම් සාධාරණ විය නොහැකියි. 

එහෙත් මේවාට අමතරව, එකිනෙකාගේ වයස සහ වයස් පරතරයන් අතර ගැටළු ගෙන දෙන අවස්ථා, උපන්දිනය වෙනස් වීම්, මිලියනපතියෙක් වූ පීට් බෙකර් වෙත මොනිකා කේක් කැබැල්ලක් දී එහි පියන වැසුව ද (S03 E18) ඒ සමගම ඇති දෙවන Frame එකේ එය නැවතත් විවෘතව තිබීම, රොස් සහ රේචල්ට දාව උපන් ‘එමා’ගේ ආගමනයත් සමග ක්‍රම ක්‍රමයෙන් බෙන් ගැන සඳහනක් නොවීම යනාදී විවිධ පරස්පරතා ද තිබෙනු FRIENDS වෙත ආදරය කරමින් එය දහස් වාරයක් පමණ නැරඹූ ඔබ දකින්නට ඇති.

ඔබට මතක ද; 

බෙන්ගේ ඔළුව හැපුණු වෙලාවේ (S03 E08) “මොනිකා බෑං”යැ යි කීවත් එය, “මොනිකා බිං” ලෙස අනාගත අනාවැකියක් වූ හැටි?

කවරය: Warner Bros.

Related Articles