ලෝකයේ බොහෝ නගර ගංගා ආශ්‍රිතව ගොඩනැගී ඇති බව අප දන්නා කරුණක්. ජලය යනු මූලික මිනිස් අවශ්‍යතාවයක් වන් හෙයින් පහසුවෙන් ජලය සපයා ගැනීමට හැකි වීම ගංගා ආශ්‍රිත ජනාවාස බිහිවීම සඳහා මූලික හේතුව වනවා. එමෙන්ම එහි වෙනත් ප්‍රසාද දීමනා ද තිබෙනවා. ජලය අසල පිහිටීම නගරයක හෝ බලකොටුවක හෝ ආරක්ෂාව සඳහා ද වැදගත් වීමට ඉඩ තිබෙනවා.

රුසියාවේ අගනුවර වන මොස්කව් නගරය ද එවැනි ගඟක් ආශ්‍රිතව ගොඩනැගුණ නගරයක්. මොස්කව් නගරය ඉදිවී ඇත්තේ මොස්ක්වා නදිය ආශ්‍රිතව යි. ඔව්, නගරයේ නම මොස්කව් වෙද්දි ගඟේ නම වෙන්නේ මොස්ක්වා.

මුලින්ම එහෙම වෙන්නෙ කොහොමද කියලා අපි සොයා බලමු. රුසියානුවන් මොස්කව් නගරය හඳුන්වන්නේ මොස්ක්වා කියලා යි. ඒ මැදින් ගලන නදියත් මොස්ක්වාම තමයි. නමුත් ඉංග්‍රීසියෙන් සහ වෙනත් බොහෝ යුරෝපා භාෂාවන්ගෙන් නගරයේ නම මොස්කව් හෝ ඒ ආසන්න එකක් වෙද්දී නදියේ නම මොස්ක්වා වෙනවා. ඉතින්, ලෝකෙ පුරාම මොස්ක්වා නදිය ඒ නමින් හඳුන්වද්දි, රුසියානු නොවන්නන් මොස්ක්වා නගරය මොස්ක්ව් විදියට හඳුනා ගන්නවා.

හැබැයි, මෙහි තිබෙන අරුමය එය නොවේ. මොස්කව් නගරයේ ඓතිහාසික නම වඩා සමීප වන්නේ එහි රුසියානු උච්ඡාරණයට නොවේ; විදේශීය උච්ඡාරණයට යි.

මොස්කව් නගරය මුලින්ම ඉදිකළේ කවරෙක් ද​, ඒ කවදා ද යනුවෙන් සඳහනක් ඉතිහාසයේ නැහැ. වංශකතාවල මුලින්ම මොස්කව් ගැන සඳහන් වන්නේ 1147 දී යූරි දල්ගරූකි කුමාරයා තම සහචරයකු වෙත යවන ලද පණිවිඩයක් ලෙස යි. එහි සඳහන් වූයේ, "සහෝදරයා, මොස්කව්හි දී මා හමුවන්න එන්න​" යනුවෙන්.

මේ අනුව, එකල මොස්කව් නගරය එනමින් හැඳින්වූ බව පෙනී යනවා. මොස්කව් පිළිබඳ හමුවන පැරණිම වාර්තාව මෙය හෙයින්, 1147 දී මොස්කව් ඉදිකළේයැ යි නිල වශයෙන් සලකනවා.

මොස්කව් නගරයෙන් කි.මී. 140ක් පමණ බටහිරින් ඇරඹෙන මොස්ක්වා නදිය, කි.මී. 502ක් දුර ගෙවා, අකා (Oka) නදිය වෙත වැටෙනවා. අකා නදිය නිෂ්නි නොව්ගොරොද් හි දී වොල්ගා නදිය හා එක්වනවා. මොස්ක්වා නදියේ ගමන් මඟේ දී වෙනත් නගර මුණගැහුණත්, ඒ නගර මොස්කව් නගරයට වඩා බෙහෙවින් කුඩා යි.

බෝට්ටුවෙන් මොස්කව්

මොස්කව් නගරයට බොහෝ සංචාරකයන් පැමිණෙනවා. ඔවුනට දකින්න බොහෝ ස්ථාන මොස්කව් නගරයේ තිබෙනවා. නමුත් නගරය දැක බලාගන්නට තිබෙන එක් ආකර්ශනීය ක්‍රමයක් තමයි මොස්ක්වා නදියේ බෝට්ටු සවාරියක් යෑම​. නගරයේ ඓතිහාසික සහ වැදගත් ස්ථාන රැසක් මෙහි දී නරඹන්නට පුළුවනි. එය දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් ලබාගන්නට කැමති අත්දැකීමක්.

මොස්කව් හි බෝට්ටු සවාරි සඳහා විවිධ පැකේජ තිබෙනවා. ඒවා ගමන් මාර්ගය​, ගතවන කාලය සහ ගමන පටන් ගන්නා වෙලාව, ඒ සඳහා යොදාගන්නා බෝට්ටුව යනාදී කරුණු මත රඳා පවතිනවා.

අපේ ගමන​. වම් පැත්තට වන්නට ඇති රතු පැහැ රවුමෙන් කියෙව්ස්කි දුම්රියපල පෙන්වනවා. කළු පැහැ රවුම මහා පීටර් අධිරාජයාගේ ස්මාරකය තිබෙන ස්ථානය පෙන්වනවා. කොතෙල්නිචෙස්කායා ගොඩනැගිල්ල දකුණුපස පෙන්වා තිබෙනවා. (Google Maps)

අපේ මොස්කව් බෝට්ටු සවාරිය යෙදිලා තිබුණේ ජූලි මාසෙ අන්තිම දින කිහිපයේ දවසක හවස​. මොස්කව් වෙලාවෙන් හවස 7ට පටන් ගන්න ගමන පැය දෙකහමාරක කාලයක් ගතවන ගමනක්. ඉතින්, ගමන සමග අපට රාත්‍රී භෝජන සංග්‍රහයක් ද ලැබුණා.

අපේ කණ්ඩායම සඳහා මේ ගමන සංවිධානය කළේ රුසියානු රජය විසින්. වඩාත් නිවැරදිව කිවහොත් Russia Beyond වෙබ් අඩවිය සහ රුසියානු විදේශ අමාත්‍යංශය විසින්. ඔවුන් තෝරාගත් වෙලාව​ අපට කදිමට ගැළපුණේ මොස්කව් දකින්න සුදුසුම වෙලාවක මේ ගමන යෙදී තිබුණ නිසා යි. ඒ දිනවල මොස්කව් නගරයට රාත්‍රිය එළඹුණේ රාත්‍රී 9.30 කිට්ටුව යි. එහෙයින් මොස්කව්වල විදුලි පහන් දැල්වුණේ අප බෝට්ටුවේ සිටිය දී යි. හිතාමතා හෝ නැතිව හෝ එම වෙලාව අපේ ගමන සඳහා තෝරාගැනීම පිළිබඳ අප සංවිධායකයන්ට​ ස්තූතිවන්ත විය යුතු යි.

කියෙව්ස්කි වග්සාල්

අපේ ගමන ඇරඹුණේ කියෙව්ස්කි වග්සාල්, එනම් කියෙව් දුම්රිය නැවතුම්පළ, ආසන්නයෙන්. මෙය මොස්කව්හි දුම්රිය ස්ථාන අතුරින් මොස්ක්වා නදියට මුහුණ ලා තිබෙන එකම දුම්රියපළ බව යි සඳහන් වන්නේ. මෙහි දී දුම්රියපළක්යැ යි අදහස් කළේ මොස්කව් මෙත්‍රො (උමං දුම්රිය​) නැවතුමක් නොවේ. මෙහි දී අදහස් කළේ මොස්කව් සහ අනෙකුත් ප්‍රදේශ සම්බන්ධ වන දුම්රිය මාර්ගයන් හි පිහිටි දුම්රිය නැවතුම් ස්ථාන යි.

කියෙව්ස්කි වග්සාල් (Chamara Sumanapala)

කියෙව්ස්කි වග්සාල් ඉදිකරන ලද්දේ පළමු ලෝක යුධ සමයේ බව සඳහන්. මීටර් 51ක් උස ඔරලෝසු කණුව එහි විශේෂත්වයක් වනවා.

කියෙව්ස්කි වග්සාල් අසලින් අප පා ගමනින් ගඟ දෙසට යද්දී වෙලාව 7ට ආසන්න වී තිබුණා. බෝට්ටුව 7ට පිටත් වන නිසා අපට අඩිය ඉක්මන් කරන ලෙස අපගේ මාර්ගෝපදේශිකාව වූ මාරියා උපදෙස් දුන්නා. එහෙත් අවට දිස්වන ගොඩනැගිලිවල ඡායාරූප ගනිමින් ගිය අපව ඇදගෙන යාම ඇයට එතරම් පහසු වූයේ නැහැ.

අපේ මාර්ගෝපදේශිකාව​, මාරියා (Chamara Sumanapala)

අපේ බෝට්ටුව විශාල ප්‍රමාණය එකක්. එහි පහළ තට්ටුව වීදුරුවලින් ආවරණය කළ භෝජනාගාරයක්. අප බෝට්ටුවට යන විටම අපේ රාත්‍රී භෝජන සංග්‍රහයෙ පළමු කොටස ඇවිත් තිබුණා.

ගමන පටන් ගත්තු මුල් කොටසේ දී අවට ගොඩනැගිලි නරඹමින් ආහාර ගනිමින් සිටි අපි උඩ තට්ටුවට ගියේ අපේ සංචාරක මාර්ගෝපදේශකයාගේ ආරාධනයෙන්. ඔහු අයිවන් කියල තරුණ මඟ පෙන්වන්නෙක්. ඔහු එක්ක මිතුරු වුණාම අපි ඔහුව හැඳින්වූයේ "බිහිසුණු නැති අයිවන්" කියලා යි. "බිහිසුණු අයිවන්" යනු රුසියාවේ පළමු සාර්වරයා වූ සිව්වන අයිවන් අප දන්නා හඳුනන ක්‍රමය යි. එහෙත් බිහිසුණු අයිවන්ගේ රුසියන් විරුද නාමයේ අර්ථය "බිහිසුණු" නොවන බව අපි දැනගත්තෙත් අපේ අයිවන්ගෙන්. ඒ ගැන වෙනම ලිපියකින් විස්තර කළ යුතු නිසා මෙතැන ඒ ගැන කියන්නට උත්සාහයක් ගන්නේ නැහැ.

ස්ටාලින්ගේ අහස පීරන ගොඩනැගිලි

බෝට්ටුවේ ඉහළ තට්ටුවට ගිය විට සීත සුළඟ අපව පිළිගත්තා. සුළු වෙලාවක දී අප ඉදිරියේ දකුණු පසින් වූයේ ඈතින් දිස්වන විශාල ගොඩනැගිල්ලක්. ඒ මොස්කව් රාජ්‍ය විශ්වයවිද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල යි. මෙය අධ්‍යාපනික ආයතනයක වන ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙනවා. මෙහි සමස්ථ උස මීටර් 240ක් වන අතර වහලය දක්වා උස මීටර් 182 ක් වනවා. ඉතිරි උස සෑදෙන්නේ ඇන්ටෙනාව සහ ඒ මත වන තාරකාව හේතුවෙන්.

මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල (Chamara Sumanapala)

1949 දී ඉදිකිරීම් අරඹා 1953 දී අවසන් කළ මෙම ගොඩනැගිල්ල මුල පටන්ම ලොමොනසොෆ් මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ ප්‍රධාන ගොඩනැගිල්ල ලෙස භාවිතා වුණා.

මෙම ගොඩනැගිල්ල සෝවියට් පාලක ජෝසෆ් ස්ටාලින්ගේ සමයෙහි ඉදිකළ උස් ගොඩනැගිලි හතෙන් උසම ගොඩනැගිල්ල යි. මෙම ගොඩනැගිලි හත මොස්කව් හි "සහෝදරියන් සත්දෙනා" ලෙසත් හඳුන්වනවා. බටහිර රටවල ගොඩනැගිලි හා තරග කළ හැකි වූ ගොඩනැගිලි කිහිපයක් මොස්කව්හි ඉදිකිරීම සඳහා ස්ටාලින්ට වූ අවශ්‍යතාව මත මෙම ගොඩනැගිලි ඉදිවුණා. සමස්ථ වශයෙන් ගොඩනැගිලි නවයක් සැලසුම් කරන ලද නමුත්, ඉන් දෙකක් ඉදිකිරීමට හැකි වූයේ නැහැ. අපේ මේ ගමන අතර ඉන් ඉදිකළ නොහැකි වූ ගොඩනැගිලි දෙක පිහිටීමට නියමිත වූ ස්ථානයන් පසු කළ අතර තවත් ගොඩනැගිලි දෙකක් දැකගත්තා. අපේ ගමන නිම වූයේ ද "සහෝදරියන් සත්දෙනා" අතුරින් එකක් වන “කොතෙල්නිචෙස්කායා ගංඉවුරෙහි ගොඩනැගිල්ල” අසලින්.

මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය දර්ශනය වූ ප්‍රදේශයේ නදිය දෙපස හරිත වර්ණයෙන් පිරුණ ප්‍රදේශයක්. සීත සුළඟ ද සමග පිරිස සැහැල්ලුවෙන් සිටිය දී අප සමග සිටි සර්බියානු මිත්‍රයෙක් ප්‍රකට රුසියන් ගීයක් වන "කත්යූෂා" ගයන්න පටන් ගත්තා. අපි ද තාලය අල්ලමින් ඊට එක් වූයේ, ඒ ගීය අපට ද හුරු පුරුදු එකක් වන නිසයි.

කියවන්න​: දහස් ගණන් රුසියානු පෙම්වතියන්ගේ ගීතය- කත්යූෂා

විපර්යාසයේ සුළඟ

මොස්ක්වා නදියේ වංගුවක් ගනිද්දී වම් පසින් ලුෂ්නිකි ක්‍රීඩාංගණය අප පසු කළා. අප අතර සිටි පාපන්දු ලෝලීන්ට 2018 ලෝක කුසලානයේ අවසන් තරගය මතක් වූවා නිසැක යි.

මේ වංගුව සම්පූර්ණ කර ස්වල්ප දුරක් යද්දී අපේ දකුණු පසින් ගෝර්කි උද්‍යානය මුණගැසුණා. ඇතැමුන්ට මාර්ටින් කෲස් ස්මිත් ලියූ "ගෝර්කි පාර්ක්" නවකතාව මතක් වන්නට ඇති. බොහෝ දෙනාට එහි දී මතකයට නැගුණේ ස්කෝර්පියන්ස් කණ්ඩායමේ "Wind of Change" ගීය යි.

I follow the Moskva
Down to Gorky Park
Listening to the wind of change

මොස්ක්වා ගඟ දිගේ
ගෝර්කි පාර්ක් වෙත යමි
විපර්යාසයේ සුළඟට කන් දී

සෝවියට් දේශය කඩා වැටෙන සමයේ දී ලියන ලද මෙම ගීතය යුරෝපයේ අතිශයින් ජනප්‍රිය වුණා. මෙහි "Wind of Change" යන යෙදුම ඊට පෙර භාවිතා වූවක්. 1960 පෙබරවාරි 3 වන දා බ්‍රිතාන්‍ය අගමැති හැරල්ඩ් මැක්මිලන් දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තුව අමතා කතාවක් කළා. එහි දී ඔහු "අප්‍රිකාව හරහා විපර්යාසයේ සුළඟ හමා යයි. අප කැමති වුණත්, නැතත් ජාතික විඥානය වර්ධනය වීම ප්‍රත්‍යක්ෂ කරුණකි" යනුවෙන් පවසමින් ඇඟවූයේ වර්ණභේදවාදී ක්‍රමය පවත්වාගත නොහැකි එකක් බව යි. තිස් වසරකට පසු මොස්කව් හරහා හමන විපර්යාසයේ සුළඟ පිළිබඳ පවසමින් ස්කෝර්පියන්ස් කණ්ඩායම කියා සිටියේ කොමියුනිස්ට් ක්‍රමය පවත්වාගත නොහැකි බව යි.

ආසන දෙව් මැදුර​

ගෝර්කි උද්‍යානය පසු කරද්දි අප ඉදිරියේ වූයේ ඉතා උස් වූ ප්‍රතිමාවක්. මේ මහා පීටර් අධිරාජ්‍යයා සඳහා ඉදිකරන ලද්දක්. කෙසේ වෙතත්, මෙම ස්මාරකය පිළිබඳ විශාල මතභේද තිබෙනවා. වරක් මෙය වෙනත් නගරයකට තෑගි දෙන්නට උත්සාහ කළත් කිසිවෙකු බාරගෙන නැහැ. මීටර් 98ක් උස් වූ මෙම ස්මාරකය ලොව අවලස්සනම ස්මාරකයක් ලෙස ද ඇතැම් සමීක්ෂණවල දී නම් වී තිබෙනවා.

මහා පීටර් ස්මාරකයේ පීටර් අධිරාජයා මෙසේ නිර්මාණය කර තිබෙනවා. (Chamara Sumanapala)

පීටර් අධිරාජ්‍යයාගේ ස්මාරකය තිබෙන්නේ මොස්ක්වා නදියට වදූත්වද්නි ඇළ හමුවන ස්ථානයේ යි. එහි දී මොස්ක්වා නදිය තරමක් වම් පසට හැරෙනවා. එසේ හැරුණ විට අපට සමීප වන සුවිශාල වූ දේවස්ථානයක් දැකගන්නට ලැබෙනවා. ඒ ක්‍රිස්තුස් නම් ගැලවුම්කරුවානන්ගේ ආසන දෙව් මැදුර යි. මෙයට ද විචිත්‍රවත් ඉතිහාසයක් තිබෙනවා.

නැපෝලියන්ගේ ආක්‍රමණය පරාජය කරන ලද පසු, තම ජයග්‍රහණය වෙනුවෙන් ස්තූතිය පළ කිරීමට දෙව් මැදුරක් ඉදිකිරීමේ අදහස දෙන්නේ පළමු ඇලෙක්සැන්ඩර් අධිරාජයා විසින්. නමුත් එහි කටයුතු ඇරඹෙන්නේ ඔහුගෙ සහෝදර පළමුවන නිකුලස් සාර් සමයේ යි. මෙම දේවස්ථානය විවෘත කරන්නේ 1883 දී. ඊට අවුරුද්දකට පෙර චයිකොව්ස්කි තම 1812 Overture සංගීත නිර්මාණය එළිදැක්වූයේ ද ඉදිවෙමින් පැවති මෙම දෙව් මැදුර අසල දී යි.

1931 දී ස්ටාලින්ගෙ අණ පරිදි මෙම දෙව් මැදුර විනාශ කළා. ඔහු මෙහි ඔහුගේ අහස පීරන මැදුරුවලින් උසම ගොඩනැගිල්ල නිමවන්නට අදහස් කළා. එය "සෝවියට් මන්දිරය​" (Palace of the Soviets) නම් වුණා. එහි වැඩ අරඹන ලද නමුත් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් එහි වැඩ නවතනු ලැබුණා.

පසුව සොයාගන්නා ලද්දේ එම ස්ථානය එවන් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නුසුදුසු බව යි. එහෙයින් එම ගොඩනැගිල්ල අතැර දමනු ලැබුණා. පසුව එහි ඉදිකරන ලද අත්තිවාරම් කොටස් උපයෝගී කරගෙන මොස්ක්වා පිහිනුම් තටාකය ඉදිකරනු ලැබුණා. එය ලොව විශාලම එළිමහන් පිහිනුම් තටාකය වුණා. එහි ජලය උණුසුම් කරන ක්‍රමයක් තිබුණ අතර, එහෙයින් ශීත කාලයේ ද කොටසක එය භාවිතා කළ හැකි වුණා.

ක්‍රිස්තුස් නම් ගැලවුම්කරුවාණන්ගේ ආසන දෙව් මැදුර​, මොස්කව් (Chamara Sumanapala)

සෝවියට් දේශය බිඳවැටුණ පසු නැවත කලින් තිබුණු ආසන දෙව් මැදුර මෙහි ඉදිකිරීමට තීරණය කෙරුණා. ඒ අනුව යි අද දකින්නට ලැබෙන ගොඩනැගිල්ල ඉදිවූයේ. එය අවසන් කෙරුණේ 2000 දී යි. සෝවියට් දේශය බිඳවැටුණ පසු නැවත කලින් තිබුණු ආසන දෙව් මැදුර මෙහි ඉදිකිරීමට තීරණය කෙරුණා. අද දකින්නට ලැබෙන ගොඩනැගිල්ල ඉදිවූයේ ඒ අනුව යි. එය අවසන් කෙරුණේ 2000 දී යි.

ක්‍රෙම්ලිනය සහ රතු චතුරශ්‍රය​

ක්‍රිස්තුස් නම් ගැලවුම්කරුවාණන්ගේ ආසන දෙව් මැදුර පසුකර යද්දී අප හමුවට දිස්වූයේ මොස්කව් ක්‍රෙම්ලිනය සහ රතු චතුරශ්‍රය යි. ක්‍රෙම්ලිනය හෝ රතු චතුරශ්‍රය හෝ පිළිබඳ හොඳ විස්තරයක් කිරීමට මොස්ක්වා නදී සංචාරය සුදුසු අවස්ථාවක් නොවේ. මක්නිසාද යත්, නදියෙහි සිට එම ප්‍රදේශයන් සම්පූර්ණයෙන් දකින්නට නොහැකි නිසා යි. ඒ වුණත්, ඒ ගැන නොකියා ඉන්නට ද නොහැකියි.

ක්‍රෙම්ලීනයෙහි ප්‍රධාන ක්‍රෙම්ලින් මන්දිරය සහ "ආසන දෙව් මැදුරු චතුරශ්‍රයෙහි" වන ඇතැම් දේවස්ථාන මොස්ක්වා නදියේ සිට දැකගන්නට පුළුවන්. ප්‍රධාන ක්‍රෙම්ලින් මන්දිරය රුසියානු ජනාධිපතිගේ නිල නිවස ලෙස යි සැලකෙන්නේ.

ප්‍රධාන ක්‍රෙම්ලින් මන්දිරය සහ දෙව් මැදුරු කිහිපයක් සමග ක්‍රෙම්ලින් පවුරේ කොටසක් (Chamara Sumanapala)

ක්‍රෙම්ලිනයෙන් එහා රතු චතුරශ්‍රයෙහි සාන්ත බැසිල් ආසන දෙව් මැදුර ද මොස්ක්වා නදියේ සිට දිස්වනවා. සිව්වන අයිවන් සාර් විසින් ඉදිකරවූ එහි වැඩ ඇරඹුණේ 1555 දී. එහි විශේෂත්වයට හේතු කිහිපයක් වනවා. එහි වන සුවිශේෂී ගෘහනිර්මාණ ශිල්පය එයටම ආවේණික වීම එක් හේතුවක්. ඇත්තෙන්ම පිටතින් බලද්දී එය සුරංගනා කතාවක මාලිගයක් මෙන් දිස් වන බව කීවොත් වරදක් නොවේ. එමෙන්ම ස්ටාලින්ගේ අණ පරිදි රතු චතුරශ්‍රයෙහි වූ සියලු දේවස්ථාන විනාශ කරද්දී මෙය විනාශ කළේ නැහැ. එනිසා එහි ඓතිහාසිකභාවය තවත් ඉහළ යි.

සාන්ත බැසිල් ආසන දෙව් මැදුර රතු චතුරශ්‍රයට පෙනෙන අයුරු. මොස්ක්වා නදියේ සිට දිස් වන්නේ මීට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් (Chamara Sumanapala)

නමුත් සාන්ත බැසිල් ආසන දෙව් මැදුර හොඳින්ම නරඹාගත හැක්කේ රතු චතුරශ්‍රය දෙසින් එය වෙත පැමිණි විට යි.

ඉදිනොකරන ලද තවත් ගොඩනැගිල්ලක්

ස්ටාලින් අහස පීරන මැදුරු නවයක් නිර්මාණය කිරීමට සැලසුම් කළ බවත්, ඉන් හතක් තැනූ බවත් අප කලින් ඔබට පැවසුවා. ඉන් එකක් ඉදිකිරීමට තිබුණු ස්ථානය අපට හමු වූයේ ක්‍රෙම්ලීනය හමු වීමට ස්වල්පයක් කලින්. ක්‍රෙම්ලීනය පසුකර ස්වල්ප දුරක් යද්දී ඉදිනොකළ අනෙක් මැදුර ඉදිකිරීමට නියමිත වූ ස්ථානය ද අපට හමුවනවා. එනම්, ස්ටාලින්ට ඉදිකළ නොහැකි වූයේ ක්‍රෙම්ලීනය දෙපස ඉදිකිරීමට සූදානම් වූ ගොඩනැගිලි දෙක යි.

මේ ගොඩනැගිල්ලට නම දෙන්නට නියමිත වූයේ සර්යදයේ පරිපාලන ගොඩනැගිල්ල යනුවෙන්. සියවස් කිහිපයක් තිස්සේ ක්‍රෙම්ලීනය අසල පැවති, සර්යද්යේ දිස්ත්‍රික්කයේ නිවෙස්, 1947 දී ඉවත් කළේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට යි. නමුත් එය ඉදිකිරීමට අවස්ථාව උදා වූයේ නැහැ. 1953 දී ස්ටාලින් මියගිය අතර මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම ද අතැර දැමුණා. ඒ වෙනුවෙන් අමුත්තන් 6,000කට ඉඩකඩ ඇති රසියා හෝටලය ඉදිවුණා.

කොතෙල්නිචෙස්කායා ගංඉවුරේ ගොඩනැගිල්ල (Chamara Sumanapala)

එහෙත් අද ඔබ එතැනින් යන විට​, රසියා හෝටලය දකින්නට නැහැ. එය 2006 දී කඩා දැමුණා. ඉන්පසු දශකයක් පමණ එහි කුමක් කරන්නේ ද යයි සලකා බලමින් සිටි අතර අවසන එහි උද්‍යානයක් ඉදිකෙරුණා. අද අපට​ දකින්නට තිබෙන මොස්ක්වා නදීබඩ ඒ මනරම් උද්‍යානයට නම් තබා ඇත්තේ සර්යද්යේ උද්‍යානය යනුවෙන්.

එතැන පසුකර ස්වල්ප දුරක් ගියවිට අප කොතෙල්නිචෙස්කායා ගංඉවුරේ ගොඩනැගිල්ල (Kotelnicheskaya Embankment Building) කරා පැමිණියා. අපගේ "බිහිසුණු නැති ඉවාන්" පැවසූ පරිදි මෙහි ඇති නිවාස ඉතා ඉහළ මිලකට අලෙවි වනවා.

කොතෙල්නිචෙස්කායා ගොඩනැගිල්ල මුදුනේ තරුව (Chamara Sumanapala)

මෙම ගොඩනැගිල්ලේ සෝවියට් සංකේත අදටත් දකින්නට පුළුවන්. සෝවියට් ක්‍රමයේ පිළිම මෙන්ම ගොඩනැගිල්ල මුදුනේ තරුව ද ඒ අතර ප්‍රකටව පෙනෙන සංකේත වනවා.

රාත්‍රිය​

අප ආපසු හැරී තරමක් දුර පැමිණෙන විට රාත්‍රිය අප කරා පැමිණියා. ලුෂ්නිකි ආසන්නයට එද්දී අඳුරු වැටෙමින් තිබූ අතර​, අපට ඈතින් දිස් වූයේ මොස්කව් නගරයේ ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි යි. එය මෙතෙක් අප දුටු ඓතිහාසික මොස්කව් නගරයට වඩා වෙනස් වූවක්.

මොස්කව් ව්‍යාපාරික දිස්ත්‍රික්කය​ (Chamara Sumanapala)

ඉන් ස්වල්ප වෙලාවකට පසු අපට විදුලි එළියෙන් අලෝක වූ ස්ටාලින්ගේ තවත් අහස පීරන මැදුරක් දක්නට ලැබුණා. ඒ විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල යි.

විදේශ අමාත්‍යංශ ගොඩනැගිල්ල​ (Chamara Sumanapala)

වම් පැත්තෙන් කියෙව්ස්කි වග්සාල් ගොඩනැගිල්ල පෙනෙද්දි අපේ නදී සංචාරය නිම වන බව අප වටහා ගත්තා. අපේ පිරිස ඊළඟ දිනයේ ආපසු අපගේ රටවල් බලා යාමට නියමිතව තිබුණා. දින කිහිපයක් මොස්කව් හි ගත කර අවසානයේ මනරම් නදී සංචාරයකින් පසු, වෙන්ව යාම එතරම්ම පහසු වූයේ නැහැ. නමුත් ඒ ගමන ඉතිරිකළ මතකයන් සහ මොස්කව් ඉතිහාසය පිළිබඳ විචිත්‍රවත් කතා අපව යළි එහි කැඳවන බව අප දැන සිටියා. ඉතින් අපි එකිනෙකාටත්, මොස්කව් නගරයටත් "දස් විදානියා" (නැවත හමුවෙමු) කියමින් අපේ ගම් බිම් බලා පැමිණියා.

කවරයේ පින්තූරය: මොස්කව් ක්‍රෙම්ලීනය (චාමර සුමනපාල)