Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොස්කව් මෙත්‍රෝවේ විවිධ තේමාවන්ගෙන් යුතු දුම්රිය​

අපි දන්නව පහුගිය කාලෙ ලංකාවෙ ඇතැම් වෛවර්ණ බස් රථ සමග බැඳුණ උප සංස්කෘතියක් වර්ධනය වුණා. “බස් පිස්සො” ආදී කණ්ඩායම් හරහා විවිධ නම් යෙදූ බස් රථ හරහා මේක සිදු වුණා. අපි දැක්කා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා මෙය වර්ධනය වෙච්ච ආකාරය​. මෙය ලංකාවෙ සමාජයේ පැතිකඩක් විදියට තමයි අපි දැක්කෙ​.

බස් රථ කෙසේ වුණත්, යම් යම් තේමාවන්වලට අනුකූලව පොදු ප්‍රවාහනයේ යෙදෙන දුම්රිය සරසන ප්‍රධාන ස්ථානයක් ලෙස රුසියාවේ මොස්කව් නගරයේ මෙත්‍රෝව හඳුන්වන්න පුළුවන්.​ මොස්කව් මෙත්‍රෝව විවෘත වුණේ 1935 මැයි 15 වන දා. පසුව එය වඩාත් පුළුල් දුම්රිය මාර්ග පද්ධතියක් බවට පත් වුණා. එහි ඉඳහිට විවිධ තේමා අනුව සැරසූ දුම්රිය ධාවනය වනවා. එයින් ඇතැම් ඒවා ස්වල්ප කලක් (අවුරුද්දක් හෝ දෙකක්) තමයි ධාවනය කළේ.

මෙහි ඔබ දකින්නෙ මෑත කාලීනව ධාවනය කරන ලද එවැනි දුම්රිය කිහිපයක පින්තූර එකතුවක්. ඔබට මෙයින් අපේ රට සහ රුසියාව අතරෙ, රටවල් දෙකේ ජනතාව අතරෙ, තියෙන වෙනස්කම් ගැන හිතාගන්න පුළුවන් වෙයි.

ජීවිතය වෙනුවෙන් 25 වසරක්

රුසියාවේ හදිසි තත්ත්වයන් පිළිබඳ අමාත්‍යංශයේ 25 වන සංවත්සරය සඳහා 2015 දී හඳුන්වා දුන් දුම්රියක්. මෙය 2017 තෙක් මෙසේ සරසා ධාවනය කෙරුණා.

ජීවිතය වෙනුවෙන් 25 වසරක් (moscowalk.ru)

විජයග්‍රහණයේ දුම්රිය​

මෙය 2015 දී ධාවනය ඇරඹුණේ දෙවන ලෝක යුද්ධයෙන් ලද ජයග්‍රහණයේ 70 වන සංවත්සරය සලකුණු කිරීමට යි. එකල එහි නම වූයේ “විජයග්‍රහණයේ 70 වසර​” යන්න යි. 2016 දී මෙහි සංවත්සරයට අදාල සැරසිලි ඉවත් කර එම දුම්රිය “විජයග්‍රහණයේ දුම්රිය” ලෙස නම් කෙරුණා.

විජයග්‍රහණයේ දුම්රිය (Yevgeny Chesnokov)

ඉරි වැටුණ අධිවේග දුම්රිය​ (Striped Express)

2016 වසරේ මෙම දුම්රිය ධාවනය ඇරඹුණේ ජාත්‍යන්තර ව්‍යාඝ්‍ර දිනය සැමරීමට යි. ආමුර් ව්‍යාඝ්‍රයා සහ ඈත පෙරදිග දිවියා යන දුර්ලභ සතුන් දෙදෙනා මෙහි මූලික තේමාව වුණා. මෙහි සැරසිලි 2017 දී ඉවත් කෙරුණා.

Striped Express (Sputnik)

සයූස්මුල්ට්ෆිල්ම් (Soyuzmultfilm)

1936 දී පිහිටුවන ලද සයූස්මුල්ට්ෆිල්ම් ආයතනය රුසියාවේ ප්‍රකට කාටූන් සමාගමක් වනවා. එහි 80 වන සංවත්සරය සැමරීම සඳහා 2016 දී සයූස්මුල්ට්ෆිල්ම් නම් වූ තේමාව සහිත දුම්රියක් පිළියෙල කෙරුණා. මෙහි පිටත විවිධ සෝවියට් සහ රුසියන් කාටූන් චරිත ඇඳ තිබුණා. දුම්රිය මැදිරි ඇතුළත විවිධ කාටූන් පිළිබඳ විස්තර සටහන් කර තිබුණා.

සයූස්මුල්ට්ෆිල්ම් (Wikimedia Commons)

ශේක්ස්පියර්

මෙය 2016 දී සරසන ලද්දේ විලියම් ශේක්ස්පියර්ගේ මරණයෙන් 400 වසරක් පිරීම සනිටුහන් කිරීමට යි. එය එක්සත් රාජධානි – රුසියානු භාෂා වර්ෂය ලෙස ද නම් කර තිබුණා. මෙහි ගමන් කරන්නන්ට ශේක්ස්පියර්ගේ නිර්මාණවල උධෘත කියවන්නට ලැබුණ අතර, එහි ශේක්ස්පියර්ගේ සමයේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණ පුද්ගලයන්ගේ රූප ඇඳ තිබුණා. මෙම දුම්රියෙහි පළමු මඟියා වූයේ “බ්‍රිටිෂ් ශෝර්ට්හෙයාර්” වර්ගයේ බළලෙක්.

ශේක්ස්පියර් (moscowalk.ru)

මොස්කව්හි කියවීම (Reading Moscow)

මෙම දුම්රියෙහි මැදිරි පුස්තකාල ලෙස සරසා තිබෙනවා. එහි විශාල පොත් රාක්කවල සිතුවම් ඇඳ ඇති අතර පැරණි, බඳින ලද අත්පිටපත්වල ද සිතුවම් ඇඳ තිබෙනවා. තව ද​, මෙහි විවිධ ප්‍රකට ලේඛකයන්ගේ නිර්මාණවල උධෘත සටහන් කර තිබෙනවා. මෙහි නිවේදන කටයුතු කරන්නේ මෙත්‍රො-2033 නම් ප්‍රකට රුසියානු කෘතිය ලියූ දිමිත්‍රි ග්ලුහොව්ස්කි විසින් වීමත් විශේෂත්වයක් වනවා.

Reading Moscow දුම්රිය (RIA Novosti)​

සෝචි 2014

2014 වසරේ සිසිර ඔලිම්පික් උළෙල සහ සිසිර පැරා ඔලිම්පික් උළෙල සෝචි නගරයේ පවත්වන ලද සමයෙහි ධාවනයෙහි යෙදුණ මෙම දුම්රියෙහි, එම උළෙලවල් සැමරීම සඳහා එහි නිල සංකේත ආදිය ඇඳ තිබුනා. මෙම සැරසිලි එම වසර තුළ දීම ඉවත් කරනු ලැබුණා.

සෝචි 2014 දුම්රිය (RIA Novosti)

මොස්කව් 870

මොස්කව් නගරයේ 870 වන සංවත්සරය සැමරීම සඳහා 2017 දී මෙම දුම්රිය සරසනු ලැබුණා. මෙහි මොස්කව් නගරයට සම්බන්ධ විවිධ විද්‍යාඥයන්, සාහිත්‍යවේදීන්, ක්‍රීඩකයන් ආදීන්ගේ සිතුවම් දකින්න ලැබුණා. මේ සිතුවම් සමග ඔවුන් විසින් කරන ලද ප්‍රකට ප්‍රකාශයන් මෙන්ම ඔවුන් පිළිබඳ ජීවන තොරතුරු ද ලියා තිබුණා.

Moscow 870 (Moskva Agency)

අභ්‍යවකාශ දුම්රිය​

යූරි ගගාරින්ගේ අභ්‍යවකාශ ගමනෙහි 55 වන සංවත්සරය සැමරීම පිණිස 2016 දී මෙම දුම්රිය සේවයේ යෙදුණා. තරු පිරුණ අහස​, අභ්‍යවකාශ යානා, ග්‍රහලෝක ආදියෙහි සිතුවම් මෙහි පිටත දිස් වුණා. මැදිරි ඇතුලත සෝවියට් සහ රුසියානු අභ්‍යවකාශ වැඩසටහන්, චන්ද්‍රිකා ආදිය පිළිබඳ විස්තර සඳහන්ව තිබුණා. මෙම දුම්රියෙහි දොරවල් වැසුණ විට ගමන් ආරම්භ කිරීමේ සංඥාව වූයේ සිය ගමන ඇරඹීමට පෙර ගගාරින් පැවසූ “පයියකලේ” (යමු!) යන වදන යි.

අභ්‍යවකාශ දුම්රිය​ (moscowalk.ru)

අනාගතවාදී රුසියාව​

මෑත කාලයේ දී හඳුන්වා දුන් දුම්රියක් වන මෙය කාර්මික​, පාරිසරික​, තොරතුරු තාක්ෂණ​, ප්‍රවාහන ආදී විවිධ ක්ෂේත්‍රයන්හි රුසියානුවන් ලැබූ විද්‍යාත්මක සාර්ථකත්වයන් පිළිබඳ සටහන් වනවා.

අනාගතවාදී රුසියාව​ (moscowalk.ru)

මීට අමතරව මොස්කව් මෙන්ම සාන්ත පිතර්බුර්ග්හි ද මෙත්‍රෝ දුම්රිය ස්ථාන කලාගාර මෙන් සිතුවමින් සරසා ඇති බව බොහෝ දෙනා දන්නවා. ලෝකයේ ආකර්ශනීයම දුම්රිය ස්ථාන ලෙස ඇතැම් අය විසින් මෙම නගර දෙකෙහි දුම්රිය ස්ථාන සලකනු ලබනවා.

Cover Images: කොම්සොමොල්ස්කායා මෙත්‍රෝ නැවතුම්පළ (Getty Images)

Related Articles