Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාප් තනතුර අපකීර්තියට පත්කළ අමානුෂික පාප්වරු

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ක‍තෝලිකයින් අතර පමණක් නොව අන්‍යාගමිකයින් අතර පවා ප්‍රසාදය දිනාගත් පාප්වරයෙක්. විනයගරුක, ධාර්මික, මෙන්ම මානුෂික පාප්වරයෙකු ලෙස ඔහු දිනාගෙන ඇති ප්‍රසිද්ධිය මෙයට හේතු වනවා ඇති. නමුත් එදා මෙදාතුර වතිකානුවේ වාසය කළ සියළුම පාප්වරුන් මෙවැනි ප්‍රසිද්ධියකට හෝ ජන ප්‍රසාදයකට හිමිකම් කිව්වේ නැහැ. ඔවුන් අතරින් සැලකිය යුතු තරමේ පිරිසක් ඉතාමත්ම අන්තවාදී වූවා පමණක් නොවේ, අමානුෂික අපරාධ වලට අනුබල දුන්, අසම්මත ක්‍රියවන්හි නියැලුණු, ඉතා ඒකාධිපති පාලනයක් ගෙනගිය වූවන් වුණා. දුසිම් ගණනක් වූ එවැනි පාප්වරුන් අතරින් කීපදෙනෙකු පිළිබඳවයි මෙම ලිපිය.

තෙවන ඉනසන්ට් පාප්වරයා (Pope Innocent III)

මොහු ක්‍රි. ව. 1198 සිට 1216 තෙක් පාප්ධූරය හොබවනු ලැබුවා. මෙතෙක් පාප්වරයට පත්වූවන් අතරින් ඉතා බලවත් පාප්වරයෙකු ලෙස මොහු සැලකෙනවා.

තෙවන ඉනසන්ට් පාප්වරයා (ThingLink)

මොහු විසින් සිදුකරන ලද සැහැසිකම් අතුරින් වඩාත් කෲරතම ක්‍රියාව ලෙස සැලකෙන්නේ ඔහු විසින් ‘මිථ්‍යා දෘෂ්ඨිකයින්ට’ එරෙහිව දියත් කරනු ලැබූ කුරුස යුද්ධයි. “කැතර්ස්” නමින් හැඳින්වූ ක‍තෝලිකයින් කණ්ඩායමකට එරෙහිව ඔහු විසින් දියත් කරවන ලද කුරුස යුද්ධයෙන් අහිංසක මිනිසුන් සහ දරුවන් 20,000කට අධික ප්‍රමාණයක් ඝාතනයට ලක්වුණා. එපමණක්ද නොව 1202 දී සිව්වන කුරුස යුද්ධය ආරම්භ කරනු ලැබුවේද තෙවන ඉනසන්ට් පාප්වරයා විසිනුයි. එවන් පාප්වරයෙකු “අහිංසක” යන තේරුම දෙන නමකින් හැඳින්වීමත් උත්ප්‍රාසාත්මක කාරණාවක්.

සයවන ස්ටීවන් පාප්වරයා (Pope Stephen VI)

ක්‍රි. ව. 896 – 897 අතර පාප්ධූරය හෙබවූ සයවන ස්ටීවන් පාප්වරයා තම ධූර කාලය ඇරඹුවේ කුරිරු පලිගැනීමක් සමඟින්. තමාට පෙර එම ධුරය හෙබවූ ෆෝර්මෝසස් පාප්වරයා කෙරෙහි වෛරයෙන් පසුවුණු මොහු, එවකට අපවත්ව සිටි එම පාප්වරයාගේ දේහය ගොඩගෙන එයට එරෙහිව නඩු විභාගයක් දියත් කළා. නරක්වෙමින් පැවති එම සිරුර ආසනයක් මත හිඳුවා, උපස්ථායක පූජකවරයෙකු එය වෙනුවෙන් පිළිතුරු බැඳීමට පත්කළා. නඩු විභාගයෙන් අනතුරුව මියගිය පාප්වරයා දේවාපහාසයට වැරදිකරුවෙකු ලෙස විනිශ්චය කරන ලද අතර, නරක්වෙමින් පැවති සිරුරට අන්දවා තිබූ පාප්වරයට නියමිත ඇඳුම් පැළඳුම් ගලවා එය නිරුවත් කර, දකුණු අතේ ඇඟිලි තුනක් කපා දමා, ආධුනික පූජකවරයෙකුගේ ඇඳුම් අන්දවා රෝමයේ වීදි පුරා ඇදගෙන ගොස් ටයිබර් නදියට දමනු ලැබුවා.

ෆෝර්මෝසස් පාප්වරයාගේ දේහය නඩු විභාගයට ඉදිරිපත් කර ඇත (All That Is Interesting)

ස්ටීවන් පූජකවරයා වසරකට වඩා කලක් ක‍තෝලික ලෝකයේ සිංහාසනය හෙබවූයේ නැහැ. ඔහුගේ සතුරන් විසින් ඔහුව ගෙල සිරකොට මරා දමනු ලැබුවා.

දොළොස්වන ජෝන් පාප්වරයා (Pope John XII)

දොළොස්වන ජෝන් පාප්වරයා පාප්වරය ලබාගත්තේ ක්‍රි. ව. 955දී යි. ඔහු ප්‍රසිද්ධ වුණේ ඉතාමත්ම අධාර්මික සහ දූෂිත පාප්වරයෙකු ලෙසයි.ඔහුගේ පත්වීමෙන් පසු රෝමකයන් තුළ වූ සදාචාරාත්මකබව පවා හීන වූ බව පැවසෙනවා. ක්‍රි. ව. 963 දී රෝමානු අධිරාජ්‍ය පළමුවන ඔටෝ විසින් කවුන්සිලයක් පත්කර ජෝන් පාප්වරයාට එරෙහි වූ චෝදනා විභාග කළා. එහිදී නුසුදුස්සන් බිශොප් තනතුරු වලට පත්කිරීම, ලැටරන් මාළිගය ගණිකා මඩමක් බවට පත්කිරීම, ශාන්ත පීතර දේවස්ථානයට පැමිණි වන්දනා නඩවල සිටි කාන්තාවන් ලිංගික අතවරයන්ට ලක්කිරීම, පල්ලියට ලැබුණු පරිත්‍යාගයන් පෞද්ගලික භාවිතය උදෙසා සොරකම් කිරීම, යක්ෂයාට සව්දිය පිරීම, සූදු ක්‍රීඩාවන්වලින් ජයග්‍රහණය කිරීම සඳහා වීනස් ආදී මිථ්‍යා දෘෂ්ඨික දෙවිවරුන්ගේ පිහිට පැතීම යන චෝදනා වලට වරදකරු බවට ඔප්පු වීම නිසා දොළොස්වන ජෝන් පාප්වරයා එම තනතුරෙන් නෙරපා හරිනු ලැබුවා. නමුත් ඉතා කෙටි කලකින්, ඔටෝ රජු රෝමය හැරයෑමත් සමඟම නැවතත් වතිකානුවට පැමිණි ඔහු පාප් පදවිය හිමිකරගත්තේ තමාට එරෙහි වූ සියල්ලන්ව ඝාතනය කර දැමීමෙනුයි.

දොළොස්වන ජෝන් පාප්වරයා (Blogger Priest)

964 දී ඔහුගේ පාලනය අවසන් වුණේ මරණයත් සමඟයි. ඔහු විසින් රහසේ ලිංගික සම්බන්ධයක් පවත්වමින් සිටි කාන්තාවකගේ සැමියාට ඔවුන් දෙදෙනා එකට කාලය ගත කරනවා හසුවීම නිසා ඔහු විසින් පහරදෙනු ලැබීමෙන් තෙදිනකට පසු, සිදුව තිබූ තුවාල වල බරපතලකමෙන් මෙම පාප්වරයා මියගිය බව සඳහන් වෙනවා.

අටවන බොනිෆස් පාප්වරයා (Pope Boniface VIII)

1294 සිට 1303 දක්වා වසර 9ක් පාප්ධූරය හෙබවූ මෙම පාප්වරයා බල කාමයෙන් පීඩිතව සිටි පාප්වරයෙකු ලෙසයි හැඳින්වෙන්නේ. ක‍තෝලික ඉතිහාසයේ වැදගත්ම ප්‍රකාශයක් ඉදිරිපත් කළ පාප්වරයා ලෙසත් මොහුව හැඳින්විය හැකියි. “Unam Sanctum” යනුවෙන් හැඳින්වුණු මෙම ප්‍රකාශයෙන් සියළුම ලෞකික හා ආධ්‍යාත්මික බලතල හිමිවන්නේ පාප්වරයාට බවත්, රජුන් සියල්ලමත් පල්ලියේ බලයට යටත් බවත් ප්‍රකාශ කෙරුණා. එයට අනුව ඉඩම්වල බලතලත්, බදු එකතුකිරීමේ බලතලත් පල්ලියට හිමිවුණා.

අටවන බොනිෆස් පාප්වරයා (Skepticism.org)

කෙසේ නමුත් සිවුවන ‍ෆිලිප් රජු මෙයට එකඟ නොවූ නිසා යුද්ධයක් ඇතිවුණා. නගර විනාශයට පත්වුණා. පාප්වරයා යුද්ධයෙන් පරාජයට පත්වූ අතර ඔහුගේ සතුරන් අතින් දරුණු ලෙස පහරකෑමට ද ලක්වුණා. ‍ෆිලිප් රජු ද ඔහුගේ ඇමතිවරුන්ද මෙම පාප්වරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලපෑම් කළත්, තමා ඉක්මණින් මියැදෙනු ඇතැයි කියමින් ඔහු එම නියෝගයට විරුද්ධ වී තිබුණා. පහරකෑම් වලින් ඇතිවූ සංකූලතාවයන්හි ප්‍රතිඵලයක් ලෙස ඉන් මසකට පමණ පසු මෙම පාප්වරයා අපවත් වූ බව කියැවෙනවා.

ඉතාලි ජාතික මහා කවි දාන්තේ අලිගියේරිගේ “Divine Comedy” නම් නිර්මාණයේ මෙම පාප්වරයා පිළිබඳව සඳහන් කර තිබෙනවා. අපායේ කවයන් 9න් 8වන කවයේ මෙම පාප්වරයා දඬුවම් විඳිමින් සිටින බව Divine Comedyහි කියැවෙනවා.

මෙම ලිපියේ අරමුණ වූයේ ඓතිහාසික කරුණු ස්වල්පයක් ඔබ වෙත ඉදිරිපත් කිරීම ම පමණයි. මෙය ක‍තෝලික පල්ලියට අපහාස කිරීමේ අරමුණින් ලියැවුණු ලිපියක් නොවන අතර, මෙහි සඳහන් සියළුම කරුණු විශ්වාසදායී මූලාශ්‍ර වලට අනුකූලව සත්‍ය ඒවා යි.

Sources: Catholic Encyclopaedia

The Washington Post

cover image: (Flickr)

Related Articles