Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිල අධිකම පලතුරු වර්ග

පලතුරු ආහාරයට ගැනීම සාමාන්‍යයෙන් ඉතාම සෞඛ්‍යමත් දෙයක් හැටියටයි ගණන් ගැනෙන්නේ. අතීතයේ පමණක් නොව වර්තමානයේ පවා ගම්බද ගෙවතුවල පලතුරු ගසක් වරදින්නේ නැහැ. මේ නිසා පලතුරු ආහාරයට එක් කර ගැනීම ගැමියන්ට ඒ තරම් අභියෝගාත්මක එකක් නොවුණත් ඒවා මිලට ගැනීමට සිදුවන නාගරික ජනයාට නම් මේවායේ වැඩිවන මිල හොඳින් දැනෙනවා. ශ්‍රී ලංකාව තුල අපට සාමාන්‍යයෙන් හමු වන පලතුරු අතරින් හොඳම තත්ත්වයෙන් යුතුව මිලදී ගත්තත් තමන්ගේ ගේ දොර උකස් තබා මිලදී ගන්නට සිදු වන තරම් මිල අධික එ්වා හමුවන්නේ නැහැ.

ලෝකයේ ඇති සමහර පලතුරු සලකන විට නම් ඒවා මිලදීගෙන රස බලන්නට සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක්ගේ මාසික පඩිය පමණක් නොව ඉඩකඩම් පවා විකුණා දැම්මත් ආපහු බව කීවොත් ඔබ පුදුමයට පත් වේවි. නමුත් ඇත්තෙන්ම ඒ තරම් අධික මිලකට අලෙවි වන පලතුරු තිබෙනවා. ඒවායේ ප්‍රණීත රසය, ගුණය, දුලබ බව, හැඩය හා වර්ණය හෝ වෙනත් සමාජමය වටිනාකම් නිසා මේවාට මේ මිල ගණන් නියම වී තිබෙනවා. මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ එවනි අධිකතම මිල ගණන් වලට ලෝකයේ අළෙවි වන පලතුරු කිහිපයක් ගැන තොරතුරුයි.

ඩෙන්සුකෙ පැණි කොමඩු

(whywhathub.com)

බැලූ බැල්මට සාමාන්‍ය පැණි කොමඩු ගෙඩියක් සේ දිස් වන මේ කොමඩු ඩෙන්සුකෙ නම් මේ කොමඩු වර්ගය ජපානයේ ටෝකියෝ හි පිහිටි Sembikiya flagship store නම් ස්ථානයෙන් හා ජපානය පුරාවටම මිලදී ගත හැකි අතර මෙහි විශේෂත්වය වන්නේ අනෙක් කොමඩුවල මෙන් සමෙහි ඉරි නොමැති වීමත්, විශේෂ පැණි රසක් තිබීමත් යන කරුණුයි. තද කොළ පැහැති පොත්තක් ඇති මේ කොමඩු වර්ගය වැවෙන්නේ ජපානයේ උතුරින්ම ඇති හොකයිඩෝ දූපතේ ප්‍රදේශවලයි.

මේ කොමඩුවල අධික මිලට තවත් හේතුවක් වන්නේ මුළු වර්ෂයකටම මේවා 10,000 ක් පමණක් නිෂ්පාදනය වීමයි. මෙහි කිලෝවක සාමාන්‍ය මිල ශ්‍රී ලංකා රුපියල් 31,800 ක් ප්මණ වනවා. දැනට වාර්තා වී ඇති පරිදි මෙය මෙතෙක් එකට අලෙවි වුණු වැඩිම ප්‍රමාණය හා මිල වශයෙන් 2008 වසරේදී වෙන්දේසියකදී රාත්තල් 17 හා ඊට නියම වුණු ඇමෙරිකානු ඩොලර් 1,600ක මිල සලකන්න පුළුවන්. එය ශ්‍රී ලංකා රුපියල් වලින් 240,000 ක් පමණ වෙනවා.(1)

සෙකයි – ඉචි ඇපල්

(whywhathub.com)

සෙකයි ඉචි හෙවත් ‘ලෝකයේ අංක 1’ ලෙස හැඳින්වෙන ඇපල් වර්ගය ජපානයේ ඉතා ජනප්‍රිය ඇපල් වර්ගයක්. මෙම ඇපල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් 21 කට හෙවත් ශ්‍රී ලංකා රුපියල් 3,150 කට අළෙවි වෙනවා. මෙහි අධික මිලට හේතුව මේවාවල අස්වැන්න නෙළා වෙළඳපොළට නිකුත් කිරීමේදී හානි අවම වීම සඳහා අතින්ම එය සිදු කිරීම වන අතර මී පැණියෙන්ද සෝදනවා.

මේ ඇපල්වල ඵල හට ගැනීම සඳහා පරාගනය සිදු කරන්නේ කුඩා කෝටුවක් මාර්ගයෙන්. මෙහි තිබෙන පිරිසිදු බව හා රසය නිසා ජපාන ජාතිකයින් අධික මිල නොතකා මිලදී ගන්නා අවස්ථා තිබෙනවා.(1)

යුබාරි රජ කොමඩු

(picquery.com)

මේ කොමඩු වර්ගයත් ජපානයෙන් හමු වන විශේෂ වර්ගයක්. සාමාන්‍යයෙන් මේවා යුගලක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 225ක් හෙවත් රුපියල් 3350ක් වෙනවා. ඒ කෙසේ වෙතත් මේ යුගලක් එක් වරක් වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් 23,500 (රුපියල් 3,525,000) කට අලෙවි වුණා.

යුබාරි කොමඩුත් හොඳින්ම වැඩෙන්නේ ජපානයේ හොකයිඩෝ දූපතේයි. කොමඩු වර්ග දෙකක මුහුමකින් සාදා ඇති මෙය තැඹිලි පැහැති මදයකින් යුක්තයි. මෙහි අලංකාර පෙනුමත්, ප්‍රණීත පැණි රසත් නිසා මෙය විවිධ උත්කර්ෂවත් අවස්ථාවලදී යොදා ගැනෙනවා. හිරු කිරණින් වන හානිය වළක්වා ගැනීමට මේවා හරිතගාර තුල වගා කෙරෙනවා.(2)

එංගලන්ත අන්නාසි ගෙඩිය

(youtube.com)

සාමාන්‍යයෙන් අන්නාසි හටගන්නේ ඝර්ම කලාපීය දේශගුණයන්වල වන අතර එංගලන්තය වැනි ශීතල දේශගුණයන් පිහිටි රටවල වැවෙන්නේ නැහැ. ඒ නමුත් එංගලන්තයේ හෙලිගන් හි ‘ලොස්ට් ගාර්ඩ්න්’ නම් උද්‍යානයක වසර දෙකක උත්සාහයකින් පසු අන්නාසි ගෙඩියක් හට ගන්වා ගැනීමට එහි සේවකයන් පිරිසක් සමත් වුණා. මේ සඳහා වික්ටෝරියානු ශිල්පීය ක්‍රම භාවිත කර තිබුණු අතර එහි පොහොර ලෙස යොදාගෙන තිබුණේ කොළ, පිදුරු හා අශ්ව මුත්‍රා වැනි දේවලුයි.

ඉතා දැඩි පරිශ්‍රමයක් හා කාලයක් වැය වී තිබුණු නිසා මේ අන්නාසි ගෙඩියේ මිල නියමව තිබුණේ ඇමෙරිකානු ඩොලර් 1,600 ක් එනම් ශ්‍රී ලංකා රුපියල් 240,000 වැනි මුදලකටයි. ඒ කෙසේ වෙතත් කිසිදා වෙළඳපොළට නිකුත් නොකෙරුණු මෙය කෘතගුණ දැක්වීමක් වශයෙන් උද්‍යානයේ සේවකයන්ට අනුභවය පිණිස දී තිබුණා.(1)

රූබි රෝමන් මිදි

(indianexpress.com)

රූබි රෝමන් මිදි පොකුරක් ජපානයේ කනසාව නුවර 2011 වසරෙදී තිබූ වෙන්දේසියකදී වෙන්දේසි වූයේ ඇමෙරිකානු ඩොලර් 6,400 කට හෙවත් ශ්‍රී ලංකා රුපියල් 960,000 කට පමණ මුදලකටයි. ප්‍රමාණයෙන් පිංපොං බෝල තරම් වූ මිදි ගෙඩි 25ක් පමණ මේ පොකුරේ අන්තර්ගතව තිබූ අතර මේ අනුව එක් මිදි ගෙඩියක් රුපියල් 33,750 ක් පමණ මිලකට අලෙවිව තිබුණා. මේ මිදි ගෙඩියක 18% ක සීනි ප්‍රමාණයක් අන්තර්ගතව තිබුණු අතර ග්‍රෑම් 20ක බරකින් යුතු වුණා.(2)

ඩෙකොපොන්

(Picssr.com/eriageha73)

ඩෙකොපොන් නම් සිට්රස් කුලයට අයත් මේ පලතුර නිපදවා ගන්නේ දොඩම් හා මැන්ඩරින් යන විශේෂ දෙකෙහි මුහුමක් ලෙසයි. මෙය ලොව ප්‍රණීතම පැඟිරි කුලයේ පලතුර ලෙස සැළකෙනවා. මෙය දොඩම් ගෙඩියක පැහැති වන අතර නැට්ට පෙදෙසේ කුඩා ගැටිත්තක් වැනි නෙරීමක් පිහිටනවා. මෙය දොඩම් ගෙඩියකට වඩා වැඩි විශාලත්වයකින් හා පැණි රසයකින් යුක්තයි. මෙය ඇටවලින් තොර වන අතර මුලින්ම ජපානයේ නිපදවා පසුව කැලිෆෝනියාවේත් සාර්ථකව නිෂ්පාදනය වුණා. (1)

උතුරු භූමියේ අඹ

(harrisfarm.com.au)

ඕස්ට්‍රේලියාවේ හමුවන උතුරු භූමියේ අඹ 12ක් සහිත බන්දේසියක් 2012 වසරේදී සිඩ්නි නුවර පැවති වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් 50,000 කට හෙවත් ශ්‍රී ලංකා රුපියල් 7,500,000 කට පමණ අලෙවි වුණා. මේ මුදල ඕස්ට්‍රේලියානු පුරස්ථ ග්‍රන්ථි පිළිකා රෝගීන් වෙනුවෙන් පුද කෙරුණා. ඕස්ට්‍රේලියාව මෙවැනි අඹ බන්දේසි මිලියන 7.2ක් පමණ වසරකට නිපදවන නිසා මේ අඹ බන්දේසියේ විශේෂ මිල පලතුරුවල විශේෂත්වයටත් වඩා ආධාර එකතු කිරීමේ චේතනාව නිසා නියම කෙරුණු බව පැහැදිළි වෙනවා.(1)(2)

1 කවරයේ රූපය : (carmencitta.me)

මූලාශ්‍ර:

  1. firstwefeast.com
  2. topteny.com

Related Articles