Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුප්‍රකට “Batman”ගේ කුප්‍රකට හතුරා, “Joker” හැදුණේ මෙහෙම යි.

ලෝකයේ නූතන චිත්‍රකතා ඉතිහාසය නිර්මාණය වී දැන් වසර 100ක පමණ කාලයක් ගෙවී අවසන්. මේ ඉතිහාසය තුළ විවිධ චිත්‍රකතා ශිල්පීන් බිහි වුණා. ඔවුන් අතින් විවිධ වූ චරිත නිර්මාණය වුණු අතර, සමහර චරිත චිත්‍රකතා කියවන්නන් අතර විශාල ප්‍රසිද්ධියකට පත් වුණා. මේ චිත්‍රකතා චරිත සිනමාවට ආගමනය වීමත් සමග තවත් විශාල ප්‍රසිද්ධියක් අත්කර ගන්න සමත් වුණා පමණක් නෙමෙයි, එතෙක් කල් චිත්‍රකතා සඟරාවලට පමණක් සීමා වී තිබුණු චරිත සැබෑ ලෝකය තුළ ජීවමාන කිරීමටත් සමත් වුණා.

චිත්‍රකතා ලෝකයේ බිහි වූ චරිත අතරින් බාල මහලු හැම කෙනෙක් ම දන්නා චරිත දෙකක් ඉන්නවා. ඒ තමයි බැට්මෑන් (Batman) සහ ඔහුගේ ප්‍රබලතම සතුරා වන ජෝකර් (Joker) යන දෙපළ. “Joker” කියන දුෂ්ඨ චරිතය තරමක් සුවිශේෂි වෙනවා. මොකද, ජෝකර් වටා සුපිරි වීරයෙකුට සිටිනවට වඩා වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. එ් මෙම චරිතයේ ඇති ගුප්ත බව නිසා ම යි. ඉතින් මේ ලිපිය දිග හැරෙන්නේ මේ අපුරු වූ ප්‍රබලතම සතුරාගේ නිර්මාණ කතාව වටා යි.

Joker (Guy Staff)

චිත්‍රකතා ඇතුළේ “Joker” කියන්නේ කවුද?

ජෝකර්ට චිත්‍ර කතා ඇතුළේ කතාවක් තියෙනවා. ඒත්, ඒ කතාව අබිරහසක්. ජෝකර්ගේ අතීතය හරි ම අපැහැදිලි එකක්, ඒ වගේ ම එයාගේ අනාගතයත් එහෙම යි. ජෝකර් කියන්නේ කොළ පාට කොණ්ඩයක් තියෙන මුහුණු අලේපන දවටගෙන ඉන්න, මානසික ව ව්‍යාකූලත්වයට පත්, සාමාන්‍ය මිනිස්සුන්ට නොහැකි වූ අසාමාන්‍ය හැකියාවන්වලින් යුතු  දරුණු අපරාධකරුවෙක්ට. ජෝකර්ට මේ අසාමාන්‍ය හැකියාවන් ලැබෙන්නේ Ace නමින් හඳුන්වන රසායනික ද්‍රව්‍ය නිපදවන කර්මාන්ත ශාලාවක දී ඔහු ව රසායනික ද්‍රව්‍ය බහාලුමකට වැටීමත් සමග යි. ජෝකර් කියන චරිතය චිත්‍රකතා තුළ ඔහුගේ ජීවිත කතාව ලෙස කතා කිහිපයක් යොදා ගන්නවා. ඒත් ජෝකර්ගේ සැබෑ ම අනන්‍යතාවය හා සැබෑ ම ජීවිත කතාව අබිරහසක්.

ජෝකර්ගේ ප්‍රධාන ම අරමුණ වෙන්නේ රටේ නීතියට පිටුපාමින් රටේ ව්‍යාකූලත්වය ඇති කිරීම යි. ඔහුට ඒ ගමනේ දී බාධාවන ඕන ම දෙයක් විනාශ කරන්නත් ඔහු කටයුතු කරනවා. ජෝකර් කියන චරිතයට කෙනෙකු හසු වුණොත් ඔහුට වෙන දේ කාටවත් ම හිතා ගන්නටවත් බැරි දෙයක් වෙයි. නොපැහැදිලි ජීවිත කතාවත්, ගුප්ත බවත් නිසා ම ජෝකර් නොසිතූ ලෙස ජනප්‍රියත්වයට පත් වෙන්නේ ඔහුගේ සෑම පියවරක් පසුපස ම තිබූ ත්‍රාසය සහ කුතුහලය නිසා ම යි. “අපරාධ ලෝකයේ විකට කුමාරයා” ලෙස ද ජෝකර් ව හඳුන්වනු ලබනවා.

කුප්‍රකට දුෂ්ඨයාගේ නිර්මාණය

1940 දී ලෝකයේ වඩාත් ප්‍රසිද්ධියට පත් සුපිරි වීරයා ලෙස සලකන බැට්මෑන් (Batman) ව නිර්මාණය කරන්න බොබ් කේන්, බිල් ෆින්ගර්, සහ ජෙරී රොබින්සන් කියන චිත්‍රකතා ශිල්පීන් තිදෙනා සමත් වෙනවා. ඒ නැෂනල් කොමික් (National Comic – වර්තමානයේ DC Comic ලෙස හඳුන්වයි) ආයතනයේ චිත්‍රකතා මාලාවක් වන ඩිටැක්ටිව් කොමික් (Detective Comic) හි 27 වන කලාපය සඳහා යි. නමුත් බැට්මෑන් සමග සටන් කිරීම සුපිරි දුෂ්ඨයෙක් නිර්මාණය කිරීම ඔවුන්ට ගැටළුවක් බවට පත්වෙලයි තිබුණේ.

බිල් ෆින්ගර්, බොබ් කේන්, සහ ජෙරී රොබින්සන් පිළිවෙළින් (mansao wayne)

දිනක් ඔවුන් තිදෙනා කාර්ඩ් සෙල්ලම් කරමින් හිටියා. කාර්ඩ් සෙල්ලම් කරන අතරත් ඔවුන්ගේ කතාව හා අවධානය යොමු වී තිබුණේ බැට්මෑන්ට ගැළපෙන දුෂ්ඨයෙකු නිර්මාණය කිරීම ගැන යි. ජෙරී අතේ තිබුණු කාර්ඩ් කිහිපය අතර ජෝකර්ගේ කාර්ඩ් එක තිබුණා. ජෙරී මොහොතක් මේ ජෝකර් දිහා බලාගෙන හිටියා. ජෙරීගේ හිතේ ඊළඟ තප්පරය තුළ ම ක්‍රියාත්මක වුණේ බැට්මෑන්ගේ දුෂ්ඨයා නිර්මාණය කිරීමේ අදහස යි. ජෙරී තමන්ගේ අදහස බොබ්ට සහ බිල්ට කියනවා. ජෙරී ඔහුගේ සිතිවිල්ල අනුව යමින් කාර්ඩ් කුට්ටමේ සිටි ජෝකර් ව බලාගෙන ලෝකයේ එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ බිහි වූ ප්‍රසිද්ධියට ම පත් දුෂ්ඨයාගේ මුල් ම ස්වරූපය සිතුවමට නඟනවා.

Jokerගේ සම නිර්මාතෘවරයෙකු වන ජෙරී රොබින්සන් විසින් 1940 දී අඳින ලද ජෝකර්ගේ මුල් ම සිතුවම (nytimes)

බැට්මෑන්ගේ දුෂ්ඨයාගේ චරිතය ඒ විදියට නිර්මාණය කරත් ඔවුන්ට ඊළඟ ගැටළුව බවට පත් වී තිබුණේ මේ චරිතය ස්වරූපය නැතිනම්, ස්භාවය කොහොම නිර්මාණය කරන්න ද යන ගැටළුව යි. චිත්‍රකතා ලෝකය තුළ බොහෝ චරිත නිර්මාණය වී ඇති අතර, ඒ සෑම චරිතයක් පිටුපස ම සැබෑ පුද්ගලයෙකුගේ ස්වරූපයක් සැඟ වී තිබුණා. ඔවුන්ගේ ඊළඟ ගැටළුව වුයේ ජෝකර්ට ගැළපෙන පුද්ගල ස්වරූපයක් සොයා ගැනීම යි.

මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගන්නට සමත් වෙන්නේ බිල් ෆින්ගර්. දිනක් ඔහු ජෙරී සහ බොබ් වැඩ කරමින් සිටින තැනට විත් ඔහුගේ පොතක් තුළ තිබූ ඡායාරූපයක් ගෙන ඔවුන්ගේ මේසය මත තබන්නේ ඔහු විසින් ජෝකර්ගේ සැබෑ ස්වරූපය සොයා ගත් බව කියමින්.

Joker මුල් සිතුවම ජෙරී රොබින්සන් විසින් චිත්‍රකතාවට ගැළපෙන ආකාරයට සිතුවමට නැඟූ අවස්ථාව (mansao wayne)

දුෂ්ඨයාට නිහඬ චිත්‍රපට නළුවෙකු ආභාසය වෙයි

බිල්ගේ පොත තුළ තිබුණේ ජර්මානු චිත්‍රපට නළුවෙකු වන කොන්රාඩ් වෙයිට්ගේ ඡායාරූපයකි. එය තුළ තිබුණේ තරමක් බිහිසුණු පෙනුමකි. ඡායාරූපය ලබා ගෙන තිබුණේ  The Man Who Laughs” නම් නිහඬ චිත්‍රපටය අතරතුර යි. මෙහි කොන්රාඩ් වෙයිට් රංගනයෙන් දායක වුණේ Gwynplaine නම් වූ චරිතයකට යි. එම චරිතය පියාගේ දේශපාලනික ගැටළුවක් නිසා පළිගැනීමකට ලක් වූ පුතෙකුගේ චරිතයක් වු අතර, පියාගේ අපරාධයට Gwynplaineට දඬුවම් වශයෙන් වෛද්‍යවරයෙකු විසින් සැත්කමක් කරනු ලබනවා, ඒ නිසා ම ඔහු සදාකාලික ව ම සිනහා‍වෙන් යුතු මුහුණක් සහිත විකෘති වූ පෙනුමක අයිතිකරුවෙකු බවට පත් වෙනවා.

1928 තිරගත වූ The Man Who Laughs” හි සිනමා පෝස්ටරය (Wikipedia)

එම චිත්‍රපටය තුළ කොන්රාඩ්ට වෙයිට්ගේ මුහුණ සහ වේශ නිරූපණය ජෙරීගේ සිත තුළ සම්පුර්ණයෙන් ම ජෝකර් නම් ඒ ගුප්ත චරිතය නිර්මාණය සඳහා පසුබිම ගොඩ නඟන්නට සමත් වෙනවා. ජෙරී රොබින්සන් ගුප්ත චරිතයේ කතාව නිර්මාණය කරන්නට වූ අතර, බිල් සහ බොබ් දෙපළ ජෝකර්ගේ චිත්‍රය නිර්මාණය කරන්නට සමත් වෙනවා. එය ඔවුන් සිතූ තරමට ම සාර්ථක නිර්මාණයක් වුණා.

1928 The Man Who Laughs” හි කොන්රාඩ් වෙයිට් සහ 2005 වසරේ නිර්මාණය වූ The Man Who Laughs” චිත්‍රකතාවේ ජෝකර් (mansao wayne)

“Joker” ව තේරුම් ගැනීමට ඔහුගේ නිර්මාතෘවරයාටත් නොහැකි වෙයි.

1940 ජෝකර්ගේ ආගමනය සිදු වූ Detective Comic #27 චිත්‍රකතාව  (mansao wayne)

ජෝකර් ව ඔහුගේ පළමු චිත්‍රකතා අාගමනයෙන් ම, ඒ කියන්නේ Detective Comic #27 ඔහුගේ කතාව අවසන් කරන්නට ජෙරී සහ බොබ්, බිල් දෙපළට අවශ්‍ය වුණා. නමුත් එම චිත්‍ර කතාව අතිශයෙන් ම ජනප්‍රියත්වයට පත් වීම නිසා ඔවුන්ට ජෝකර් කියන චරිතය බැට්මෑන් සමග ම දිගට ම පැවැතිය යුතු චරිතයක් බවට පත් කරන්නට සිදුවෙනවා.

Detective Comic #27 හි ජෝකර්ගේ මරණය සිදු වූ අවස්ථාව (batman-on-film.com)

ජෝකර්ගේ කතාව ලියපු ජෙරීට සිතා ගන්නට නොහැකි වූ දෙයක් ජෝකර් සතු ව සැඟවිලා තිබුණා. බැට්මෑන් කියන චරිතය තුළ තිබුණු ප්‍රබල බව හා විශිෂ්ඨ බව හේතුවෙන් ම ඔහුගේ සතුරාත් එවැනි ම අයෙක් විය යුතු බව ජෝකර්ගේ නිර්මාණ ශිල්පීන් කියලා තිබුණා. ජෙරී ඒ ගැන කියලා තිබුණේ දුෂ්ඨයා වීරයාට වඩා සෑම විට ම සිත් ගන්නා සුළු විය යුතු බව යි. ජෝකර් නිර්මාණය කිරීමේ දී ද ජෙරී ඔහුගේ ඒ සිතිවිල්ල අනුව නිතර ම ක්‍රියා කරපු බව සඳහන් වෙනවා. ජෙරී, ජෝකර් ව නිර්මාණය කරන්නට පෙර තවත් බොහෝ චරිත අධ්‍යයනය කරන්නට කටයුතු කළා. ජෝකර් කියන්නේ  විකටයෙක්. ඔහු නිතර ම සිනහාවෙන් ඉන්නා කෘෘර අපරාධකරුවෙක්. ජෝකර්ගේ දෑස්වල පවා බිහිසුණු බව රැඳිලා තිබුණා. ඔහුගේ සැලැසුම් කොහොම වෙයි ද? බැට්මෑන් ව ඊළඟ පාර කොහොම ආක්‍රමණය කරයි ද? ජෝකර් ඊළඟට කොතැනට පහර දෙයි ද? වගේ බොහෝ ප්‍රශ්න බැට්මෑන්ගේ නිර්මාතෘවරුන්ට ඊළඟ චිත්‍රකතාව නිර්මාණය කරන්නට සැරසෙන විට හිතන්නට ඉතිරි ව තිබුණා.

ජෙරී රොබින්සන්, Jokerගේ සිතුවමක් අතැති ව (nytimes)

බොබ් කේන්, බිල් ෆින්ගර්, සහ ජෙරී රොබින්සන් කාඩ් සෙල්ලම් කරමින් කාලය ගත කරන අතරේ ජෝකර්ගේ බැට්මෑන්ගේ චිත්‍රකතා බොහෝමයක් නිර්මාණය කළා. ජෙරී ඔහු විසින් නිර්මාණය කරපු ජෝකර් චරිතය කවදාවත් ලෝකයේ කුප්‍රකට ම සුපිරි දුෂ්ඨයා බවට පත් වේවියැ යි සිතින්නටවත් නැතුව ඇති. ජෝකර්ගේ කතාව කෙලෙස අවසන් විය යුතුදැ යි ජෙරී රොබින්සන්ට ඔහු මිය යනතුරු ම සිතා ගැනීමට නොහැකි වූ බව ඔහු සමග සේවය කළ අනිකුත් චිත්‍රකතා ශිල්පීන් පවසා තිබුණා.

දැනට වසර 78ක් තිස්සේ ජෝකර් කියන චරිතය බැට්මෑන් චිත්‍රකතා සමගින් ලෝකයේ ඉදිරියට පැමිණියේ සුපිරි වීරයෙකුට වඩා විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් තමන් සතු කරගෙන යි. 2008 වසරේ ක්‍රිස්ටෝපර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කළ “ Batman : The Dark Kinght” සඳහා හීත් ලෙඩ්ජර් විසින් ජෝකර්ගේ චරිතයට පණ පෙවූ අතර, එම චිත්‍රපටය ඉතාමත් ඉහළ ආදයම් වාර්තා ද ලබා ගත්තේ ජෝකර් චරිතය ප්‍රේක්ෂකයන් ට කිසිදාක අමතක කළ නොහැකි වූ අත්දැකීමක් බවට ද පත් කරමිනුයි. ඒ නිසා ම ප්‍රථම වරට සුපිරි වීරයන්ගේ චිත්‍රපටයක දුෂ්ඨයාට ඔස්කාර් සම්මානය ද දිනා ගත හැකි වුණා.

ලබන වසරේ ටොඩ් පිලිප්ස් අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණය යටතේ Jokerගේ චිත්‍රපටය තිරගත වීමට නියමිත යි. එහි දී ජෝකර්ට පණ පොවන්නේ ජෝක්වීන් ෆීනික්ස් විසින්. එම චිත්‍රපටයේ වැඩ කටයුතු සිදුවන අද දවස වන විටත්, එය වටා අතිවිශාල ප්‍රේක්ෂකයන් පිරිසක් එකතු වී අවසන්.

Related Articles