Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වටිනාම මැණික් වර්ග

මැණිකකට උපමා කර යමෙක් හෝ යමක් හඳුන්වන්නේ එහි ඉහළ වටිනාකම පිළිබිඹු කිරීමටයි. මැණිකක පවතින අලංකාර බව පමණක් නොව එහි භෞතික ගුණ මෙන්ම අතිශය දුර්ලභ බවත් නිසා එය ඉතා මිලෙන් අධික වෙනවා. ශ්‍රී ලංකාවත් අගනා මැණික් වලට ලොව වටාම සුප්‍රසිද්ධයි.

ලොව පුරා විවිධ ප්‍රදේශ වලින් මැණික් හමුවන අතර ඒවායේ සැකැස්ම, වර්ණය, දෘඪ භාවය වැනි දේ අනුව වර්ග කර තිබෙනවා. මැණික් වර්ග රාශියක් ශ්‍රී ලංකාවේ රත්නපුරයෙන්ද හමු වෙනවා. විවිධ මැණික් වර්ග විවිධ වටිනාකම් වලින් යුක්ත වෙනවා. මේ සටහන ලොව එදා මෙදා තුර වැඩිම වටිනාකමකට ඇස්තමේන්තුගත කරන ලද මැණික් කිහිපයක් ගැනයි.

ටැන්සනයිට් (Tanzanite)

i.ebayimg.com

මේ දුර්ලභ මැණික් වර්ගය නම් තවමත් ලොව හමු වී තිබෙන්නේ උතුරු දිග ටැන්සානියාවෙන් පමණයි. ක්‍රි.ව 1967 දී මුලින්ම හමු වී තිබෙන මේ මැණික් වර්ගය සොයාගෙන තිබෙන්නේ අලි ජුයවාටු නම් මසායි ගෝත්‍රිකයෙකු විසිනු යි.

ටැන්සනයිට් වර්ණයෙන් නිල් පැහැති වන අතර මෙහි ඇති අතිශය දුර්ලභ බව නිසාම තවත් වසර 20 – 30 පමණ කාලයකදී මේවා සැපයුම සම්පූර්ණයෙන්ම නවතිනු ඇතැයි විශ්වාස කෙරෙනවා. මේ නිසා යම් දිනෙයක ටැන්සනයිට් වටිනාකම අතින් දියමන්තිද අභිබවනු ඇතැයි අනුමාන කෙරෙනවා. වර්තමානය වන විට ටැන්සනයිට් කැරට් එකක් ශ්‍රී ලංකා රුපියල් 180,000 කට පමණ අලෙවි වෙනවා.

ජෙරමිජිවයිට් (Jeremejevite)

patrickvoillot.com

ඇලුමිනියම් මිශ්‍රිත බෝරේට වලින් සෑදුණු මේ මාණික්‍ය වර්ගයට සුළු වශයෙන් ෆ්ලෝරයිඩ් හා හයිඩ්‍රොක්සයිඩ අයනද අන්තර්ගත වෙනවා. ක්‍රි.ව 1883 සයිබීරියාවෙන් මුල්වරට සොයා ගැනුණු මෙය ක්වාට්ස් (තිරුවානා) තරමටම දෘඪ භාවයෙන් යුක්ත වෙනවා. මෙහි තිබෙන ඉහළ දෘඪ භාවය නිසා විවිධ ආභරණ සෑදීමට සුදුසු වෙනවා. වෙළඳපොළෙහි මේවා එක කැරට්ටුවක මිල ශ්‍රී ලංකා රුපියල් 300,000 පමණ වෙනවා.

අග්නි මාණික්‍ය (Fire Opal)

reddit.com

ජල අණු මැදි වුණු සිලිකන් ඩයොක්සයිඩ් දැලිසක් සහිතව නිර්මාණය වී ඇති මෙම මැණික් වර්ගය විද්‍යාත්මකව ඛනිජයක් ලෙස හැඳින්විය නොහැක්කේ ඒහි ඛනිජයක තිබෙන ස්ඵටිකරූපී ව්‍යුහය නොමැති නිසායි. මේ වර්ගයේ මැණික් විවිධ පැහැයෙන් යුතුව හෝ වෛවර්ණව සැකසී තිබිය හැකි අතර එම පැහැයන් ඇති වීමට පාංශු හා පාරිසරික සාධක බල පවත්වනවා. වෙළඳපොලෙහි මේවා කැරට් එකක මිල ශ්‍රී ලංකා රුපියල් 350,000 ක් පමණ වෙනවා.

ටාෆීට් (Taaffeite)

Elise A. Skalwold./gia.edu

ටාෆයිට් ලොව අතිශය දුර්ලභ මාණික්‍යයක් ලෙස සැලකෙනවා. කොයි තරම් දුර්ලභද යත් එය දියමන්ති වලට වඩා දශලක්ෂ ගුණයක් දුර්ලභ වෙනවා. මේ මැණික් වර්ගය මැණික් සම්බන්ධයෙන් අධ්‍යයනය කළ  විද්‍යාඥයෙකු වූ රිචඩ් ටාෆ් විසින් 1945 වසරේදී අයර්ලන්තයේ ඩබ්ලින් නුවර මැණික් වෙළඳසැලක තිබී හඳුනාගත් අතර ඒ වනතුරු එය වෙනත් මැණික් වර්ගයක් වන කිරිංචි ලෙස වැරදියට හඳුනාගෙන තිබුණා. වර්තමානය වන විටත් මේ මාණික්‍ය ලොව හමු වන්නේ ස්ථාන දෙකක පමණයි. ඒ ටැන්සානියාවෙන් හා ශ්‍රී ලංකාවෙනුයි. වෙළඳපොළෙහි මේවා සොයා ගැනීම ඉතා අසීරු අතර කැරට් එකක මිල ශ්‍රී ලංකා රුපියල් 375,000 ක් පමණ වෙනවා.

පවුඩ්රටිඅයිට්  (Poudretteite)

Smithsonian Gem Collection

පොඩ්‍රටිඅයිට් මැණික් වර්ගය 1960 දශකයේදී කැනඩාවේ ක්විබෙක් හි පිහිටි ශාන්ත හිලරි හීදී සොයා ගැනුණා. මෙය මැණික් වල දෘඪතාව මනින මෝ පරිමාණයේ 5 හෙවත් සාමාන්‍ය දෘඪතාවයෙන් යුතු වන අතර රෝස පැහැති වෙනවා. ක්‍රි ව 2000 දී මියන්මාරය තුළදී මේ වර්ගයේ විශාලම මැණික හමු වී ඇති අතර එහි බර කැරට් 9.41 වෙනවා. මේ වර්ගයේ මැණිකක කැරට් එකක වෙළඳපොළ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 450,000 ක් පමණ වෙනවා.

ඩෙමැන්ටෝයිඩ් ගානට් (Demantoid Garnet)

Ildar Latypov Minerals/gemsociety.org

ගෝමේද කුලකයට අයත් එහෙත් ගෝමේදය මෙන් නොව කොළ පැහැයෙන් යුතු මේ මැණික් වර්ගය ඉතා දුර්ලභ එකක් ලෙස සැලකෙනවා. මෙය 19 වන සියවසේ මැද භාගයේදී රුසියාවෙන් හමු වී හඳුනාගෙන ඇති අතර කොළ පැහැ පසුබිමෙහි සමහර විටෙක ඇඳී ඇති රන් පැහැ කොටස් මෙහි අලංකාරය තවත් තීව්‍ර කරනවා. එමෙන්ම මේවා වැඩිපුරම හමු වන්නේ ඉතා කුඩා ප්‍රමාණ වල මැණික් කැට ලෙසයි. මෙහි කැරට් එකක වෙළඳපොළ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 500,000 ක් පමණ වෙනවා.

කළු මාණික්‍ය (Black Opal)

opalauctions.com

මේ මාණික්‍යය අග්නි මාණික්‍යය අයත් කුලකයටම අයත් අතර එම කාණ්ඩයේ දුර්ලභම මැණික් වර්ගය ලෙස සැලකෙනවා. මේ මැණික් සියල්ලම පාහේ හමු වන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි ප්‍රදේශයෙන් පමණක් වීම විශේෂිතයි. මෙය ප්‍රධාන වශයෙන් කළු පැහැති වුවත් අග්නි මාණික්‍යයේ මෙන්ම අඩු වශයෙන් විවිධ වර්ණ වලට අයත් කොටස් දැකිය හැකියි. මෙහි කැරට් එකක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 525,000 පමණ වෙනවා.

බෙනිටොයිට් (Benitoite)

geologylearn.blogspot.com

ලොව අලංකාරතම මැණික් වර්ගයක් ලෙස මේවා සැලකෙනවා. මේ මැණික් වර්ගය ඉතා දීප්තිමත් නිල් පැහැයකින් යුතු වෙනවා. මෙය මුලින්ම ගවේෂණය කර තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් බෙනිතෝ ගංගා පත්ලෙහි තැන්පත්ව තිබියදී යි. මෙය ඉතා දැඩි ලෙස ආලෝකය විවර්තනය කරන අතර පාරජම්බුල ආලෝකයේ දී ලුමිනස් නිල් පැහැයෙන් බබළනවා. මේ මැණික් වර්ගයේ එක් කැරට්ටුවක් ශ්‍රී ලංකා රුපියල් 570,000 ක පමණ මිලකින් යුතු වෙනවා. (3)

පද්මරාග (Ruby)

Youtube.com

පද්මරාග Sapphire කාණ්ඩයට අයත් ලොව දුර්ලභම මාණික්‍ය වර්ගය ලෙස හැඳින්වෙනවා. මෙය රෝස පැහැයට හුරු තැඹිලි වර්ණයෙන් යුක්ත යි. මෙහි නාමය සංස්කෘත හා සිංහල භාෂා වලින් බිඳී පැමිණ තිබෙන අතර ඉන් නෙළුම් පොහොට්ටුව සංකේතවත් කෙරෙනවා. මෙවා බහුලවම හමු වන්නේ ශ්‍රී ලංකා පොළොවෙනුයි. මීට අමතරව සුළු වශයෙන් මැඩගස්කරයෙන් හා ටැන්සානියාවෙන්ද හමු වෙනවා. කෙසේ නමුත් තත්ත්වයෙන් ඉහළම පද්මරාග හමු වන්නේ ශ්‍රී ලංකාවෙන් පමණයි. මැඩගස්කරයෙන් හා ටැන්සානියාවෙන් හමුවන පද්මරාග වල වර්ණයෙහි යම් අඩුවක් තිබෙනවා. මේ මැණික් වර්ගයේ කැරට් එකක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1,200,000 ක් පමණ වෙනවා.

රතු බෙරිල් (Red Beryl)

bluffparkbackporch.wordpress.com

මේ මැණික් වර්ගයත් එය අයත් කාණ්ඩයේ දුර්ලභම මැණික් විශේෂය වෙනවා. මේවා හමු වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඌටා හා නිව් මෙක්සිකෝ ප්‍රාන්ත වලින් පමණයි. ක්‍රි.ව 1904 දී මියනාර්ඩ් බ්‍රික්ස්බි නැමැත්තෙක් විසින් මුලින්ම සොයාගත් මේ මැණික් වර්ගය සොයා ගැනීම ඉතා අපහසුයි. මේවා ඇති වීමට විශේෂ පරිසර තත්ත්වයන් උවමනා වෙනවා. බොහෝ විට මේවා හමු වන්නේ කැරට් 1 කට වඩා කුඩා මැණික් කැට ලෙසයි. මේවායේ වෙළඳපොළ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 1,500,000 පමණ වෙනවා.

ගිනි පයින්ගලය (Alexandrite)

wikigempedia.com

මේ අලංකාර මැණික් වර්ගයේ අති විශේෂත්වයක් වන්නේ එය හිරු එළියේදී හා විදුලි බුබුළකින් නිකුත් වන ආලෝකය යටතේ සම්පූර්ණයෙන් වෙනස් වර්ණ දැරීම යි. මෙය හිරු එළියේදී කොළ පැහැයෙන් බබළන අතර විදුලි බුබුලක ආලෝකය යටතේ දිස් වන්නේ රතු පැහැයෙනු යි. මේ ආකාරයෙන් ආලෝක ප්‍රභවය මත වෙනස් වර්ණ දක්වන මැණික් වර්ග ඉතා දුර්ලභ වෙනවා.

මේ මැණික් වර්ගය ඇලෙක්සැන්ඩ්‍රයිට් ලෙසද හැඳින්වෙන අතර මුලින්ම හඳුනාගෙන ඇත්තේ 1830 වසරේදී රුසියාවේ යූරල් කඳුකර ප්‍රදේශයේදී යි. මෙය රුසියාවේ දෙවන ඇලෙක්සැන්ඩර් රජුට ගෞරව වශයෙන් නම් තබා තිබෙනවා. මේවා කුඩා පාෂාණ ලෙස ශ්‍රී ලංකාව, බ්‍රසීලය වැනි රටවලින් හමු වූවත් සැලකිය යුතු තරමේ ගිනි පයින්ගලයක් සොයා ගැනීම දුර්ලභයි. මෙහි කැරට් එකක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 1,800,000 ක් පමණ වෙනවා.

දියමන්ති (Diamond)

Shutterstock/ Posteriori

සාමාන්‍ය දියමන්ති පිරිසිදු කාබන්වල බහුරූපී ආකාරයක් වෙනවා. එමෙන්ම දියමන්ති එහි අතිශය දෘඪ භාවයට ප්‍රසිද්ධියක් උසුලනවා. කිම්බර්ලයිට් පාෂාණ කාලයක් තිස්සේ විපර්යාසයන්ට බඳුන් වීම නිසා ඒ ආශ්‍රිතව දියමන්ති නිෂ්පාදනය වීම සිදු වෙනවා. දියමන්තියක් නිෂ්පාදනය වීමට වසර බිලියන 1 සිට 3 දක්වා කාලයක් ගත වෙනවා. දියමන්ති කැරට් එකක වෙළඳපොළ අගය ශ්‍රී ලංකා රුපියල් 2,250,000 ක් පමණ වෙනවා.

සෙරන්ඩිබයිට් (Serendibite)

Sociofab.com

කැල්සියම්, සෝඩියම්, මැග්නීසියම්, යකඩ, ඇලුමිනියම්, සිලිකන්, බෝරෝන් හා ඔක්සිජන් යන මූලද්‍රව්‍ය සියල්ලේම එකතුවෙන් සෑදුණු, කළු පැහැති මේ ඉතා දුර්ලභ මාණික්‍යය මුලින්ම හමු වී තිබෙන්නේ 1902 වසරේදී ශ්‍රී ලංකාවෙනුයි. එයට ‘සෙරන්ඩිබයිට්’ යනුවෙන් නම පටබැඳීමටත් ශ්‍රී ලාංකීය සම්භවය හේතු වී තිබෙනවා. මේ මැණික් වර්ගය ශ්‍රී ලංකාවට අමතරව මෑතකදී මියන්මාරයෙන්ද හමු වී තිබුණා. සෙරන්ඩිබයිට් කැරට් එකක වෙළඳපොළ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 2,700,000 ක් පමණ වෙනවා.

ජේඩයිට් (Jadeite)

Mason-Kay Fine Jade Jewelry

ජේඩයිට් පාෂාණය බැලූ බැල්මට අනෙකුත් දුර්ලභ මැණික් වර්ග බහුතරයක් මෙන් දිදුලන මතුපිටක් දරන්නේ නැහැ. කෙසේ නමුත් මෙය ලොව දුර්ලභම හා මිලෙන් අධිකම මාණික්‍ය ගොන්නට වැටෙනවා. මේ අර්ධ පාරදෘශ්‍යය, තද කොළ පැහැති පාෂාණයේ අධික මිලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එහි අතිශය දුර්ලභ භාවයයි. මේ මාණික්‍ය කැරට් එකක වෙළඳ පොළ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 3,000,000 තරම් ඉතා ඉහළ අගයක් ගන්නවා.

ග්‍රැන්ඩයිඩිරයිට් (Grandidierite)

gemrockauctions.com

මේවා මුල්ම වරට හමු වී තිබෙන්නේ ක්‍රි.ව 1902 දී මැඩගස්කරයෙනුයි. ඇලුමිනියම් හා බෝරෝන් වලින් පොහොසත් ගල් පර්වත ආසන්නයෙන් හමුවන මේවා අර්ධ වශයෙන් පාරදෘශ්‍යයයි. මේ මැණික් වර්ගය සාමාන්‍යයෙන් නිල්,කොළ පැහැති වර්ණයක් දරනවා. ග්‍රැන්ඩයිඩිරයිට් කැරට් එකක වෙළඳපොළ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3,000,000 ක් පමණ වෙනවා.

මස්ග්‍රේවයිට් (Musgravite)

Kevin Schumacher/ gia.edu

මේ මැණික් වර්ගය මුලින්ම සොයාගෙන තිබෙන්නේ 1967 වසරේදී ඕස්ට්‍රේලියාවේ මස්ග්‍රේව් නම් ප්‍රදේශයෙනුයි. පසුකාලීනව මේ ඉතා දුර්ලභ මාණික්‍යය ඇන්ටාක්ටිකාව, ග්‍රීන්ලන්තය හා මැඩගස්කරය වැනි ප්‍රදේශ වලින් හමු වී ඇති නමුත් ඒ ඉතා සීමිතව යි. ක්‍රි.ව 2005 වන විටත් කපා ඔප දැමිය හැකි තරමේ මේ වර්ගයේ මැණික් හමු වී තිබුණේ 8 ක් පමණයි. දුර්ලභ බව නිසාම ඉතා මිල අධික වන මේවා කැරට් එකක මිල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 5,250,000 ක් පමණ වෙනවා.

රතු දියමන්ති (Red Diamond)

businessinsider.com/AFP

ලිපියෙහි පෙර සඳහන් කළ පරිදි සාමාන්‍ය දියමන්තියක් සෑදී තිබෙන්නේ පිරිසිදු කාබන් වලිනුයි. ඒ නිසා එය අවර්ණ වෙනවා. කෙසේ නමුත් කලාතුරකින් මේවා සෑදීමේදී විවිධ අපද්‍රව්‍ය ඒ තුළ තැන්පත් වීම හෝ කාබන් ව්‍යුහයේ යම් වෙනස් වීම් නිසා මේ දියමන්ති වලට යම් වර්ණයක් කැවී තිබිය හැකියි. මේ නිසා එහි වටිනාකමත් වැඩි වෙනවා.

රතු දියමන්ති ලොව දුර්ලභම දියමන්ති වර්ගයක් වෙනවා. එදා මෙදාතුර ලෝකය පුරාවටම රතු දියමන්ති හමු වී තිබෙන්නේ 30 කටත් වඩා අඩු ප්‍රමාණ‍යක්. සාමාන්‍යයෙන් මෙහි එක් කැරට්ටුවක මිල ශ්‍රී ලංකා රුපියල්  150,000,000 තරම් මුදලකට අලෙවි වන අතර වෙන්දේසිවලදී ඊටත් වඩා වැඩි මුදලකට අලෙවි වූ අවස්ථාත් තිබෙනවා.

නිල් දියමන්ති (Blue Diamond)

ebay.com

ලොව වඩාත් මිලෙන් අධික පාෂාණය වන්නේ වර්ණ කැවුණු දියමන්තියි. මේවා තුළ ඉතාම ශෝභමාන බවක් ගැබ්ව තිබෙනවා. දියමන්ති වලට කැවී තිබිය හැකි වර්ණ ලෙස කළු, නිල්, දුඹුරු, කොළ, රෝස්ම් රතු හා කහ හඳුනාගෙන තිබෙනවා. මේ වර්ණ අනුවත් ඒවායේ අවසාන මිල තීරණය වෙනවා.

ඔපන්හයිමර් නම් කැරට් 14.62 ක් බරැති සුප්‍රසිද්ධ නිල් දියමන්තිය වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 57.5 කට හෙවත් ශ්‍රී ලංකා රුපියල් 8,625,000,000 කට විකිණුනු අතර ඒ අනුව එහි කැරට් එකකට නියම වුණු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 3.93 හෙවත් ශ්‍රී ලංකා රුපියල් 589,500,000 ක්.

කවරයේ පින්තූරය- southaustralia.traveller.com.au/South Australian Meusium

මූලාශ්‍

thespruce.com

forbes.com

financesonline.com

Related Articles