Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 100කට පසු එළිදැක්වෙන චිත්‍රපටයක්

චිත්‍රපටයක් නිපදවීම කියන්නෙ ඉතා අසීරු කාර්යයක්. ඒ පිළිබඳ වූ අදහස මුල් බැසගත් දා සිට එය සම්පූර්ණයෙන් ම රූපගත කර, සංස්කරණ කටයුතුත් අවසන් කරන්නට යම් කාලයක් ගත වෙනවා. එය සාමාන්‍යයෙන් මාස කිහිපයක සිට වසර කිහිපයක් දක්වා විය හැකියි. ඉන් අනතුරුවත් ප්‍රදර්ශනයට අවකාශ ලැබෙන තුරු යම් කාලයක් එහි නිෂ්පාදකයින්ට බලා සිටින්නට වෙනවා. එයත් වසර කිහිපයක් දක්වා වූ කාලයක් විය හැකියි.

වසර ගණනාවක මහන්සියක ප්‍රතිඵලයක් ලෙස එළිදැක්වෙන චිත්‍රපටයක් තිරගත වෙනු දැකීම, එයට සම්බන්ධ වූවන්ට මහත් සන්තෝෂයක් ගෙන දෙනවා. කෙසේ නමුත් මෑතක දී හොලිවුඩයේ නිපදවුණු චිත්‍රපටයක් තිරගත වනු දකින්නට එයට සම්බන්ධ වූ බොහෝ දෙනාට හැකියාවක් ලැබෙනු ඇතැ යි පැවසිය නොහැකියි. එයට හේතුව වන්නේ එය එළිදැක්වීමට දින නියම කොට ඇත්තේ 2115 වසරේ දී වීම නිසා යි.

චිත්‍රපටයේ මූලික වතගොත

YouTube

ප්‍රවීණ තිර පිටපත් රචක ජෝන් මැල්කොවිච් විසින් රචිත මෙම චිත්‍රපටය හඳුන්වා ඇත්තේත් 100 years ලෙස යි. මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදුකර ඇත්තේ මෙක්සිකානු සම්භවයක් සහිත ඇමෙරිකානු අධ්‍යක්ෂකවරයෙකු වන රොබට් රොඩ්‍රිගස් විසිනුයි. ඔහු විසින් මින් පෙර එල් මරියාචි, ඩෙස්පරාඩෝ, ස්පයි කිඩ්ස් වැනි ජනප්‍රිය වූ චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙනවා. මෙය ‘විද්‍යා ප්‍රබන්ධයක්’ යන්න මාධ්‍යයට හෙළි කර ඇතත්, එහි කතා සාරාංශය හෝ පෙළ රහසක් ව තබාගන්නට නිෂ්පාදකයින් කටයුතු කර තිබෙනවා.

නිෂ්පාදන කටයුතු

මැල්කොවිච් හා රොඩ්‍රිගස් 2015 නොවැම්බර් මාසයේ දී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම අපූර්ව චිත්‍රපටයේ මූල්‍යමය දායකත්වය රෙමි මාර්ටින් සමාගම මඟින් ලබා දී ඇත්තේ ඊට අයත් Louis XIII Cognac නම් නිෂ්පාදනය ප්‍රවර්ධනය සඳහා බව යි. මේ සමාගම මඟින් නිපදවන මෙම බ්‍රැන්ඩි වර්ගය උපරිම තත්ත්වයෙන් යුතු ව නිෂ්පාදනය කිරීමට වසර 100ක කාලයක් ගතවන බැවින් ඒ අනුරූප කොටගෙන මෙම චිත්‍රපටය එළිදක්වන කාලය සැලසුම් කළ බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.

රොබට් රොඩ්‍රිගස්- Daniel Bergeron

2015 නොවැම්බර් මස 18 වන දා මොවුන් දෙදෙනා චිත්‍රපටයෙහි පූර්ව ප්‍රචාරක පට 3ක් ප්‍රසිද්ධියට පත් කළා. ඉන් එකකවත් චිත්‍රපටයෙහි කිසිදු රූපරාමුවක් අන්තර්ගත නොවූ අතර Retro, Nature සහ Future නමින් නම් කර ඇති මේවායේ අනාගත ලෝකය පිළිබඳ වූ අනුමාන මෙහි අන්තර්ගත බවට ඉඟි සපයා තිබෙනවා. කෙසේ නමුත් ඉන් ඔබ්බට කිසිදු විස්තරයක් චිත්‍රපටය ගැන සැපයීමෙන් ඔවුන් වැළකී සිටින අතර, එයට සහභාගී වූ සියලු ශිල්පීන්ට ඒ ගැන පැවසීම ද නීතිමය ලෙස තහනම් කොට තිබෙනවා. මෙම චිත්‍රපටයේ සංස්කරණය කළ පිටපත්, හා සංස්කරණය නොකළ දර්ශන සහිත ස්ථානයට දැඩි ආරක්ෂාවක් ද සපයා තිබෙනවා.

රංගන ශිල්පීන් හා කාර්යමණ්ඩලය

චිත්‍රපටයට සහභාගී වූ රංගන ශිල්පීන් හා අනෙකුත් තාක්ෂණික ශිල්පීන් පිළිබඳ ව පසුගිය දා මාධ්‍ය දැනුවත් කෙරුණා. මෙහි කැමරා අධ්‍යක්ෂණය ක්ලෝඩියෝ මිරැන්ඩා විසින් සිදුකර ඇති අතර, සංගීතය නිර්මාණය කර ඇත්තේ ෆැරල් විලියම්ස් විසිනුයි. කූසා නිෂ්පාදනයක් ලෙස එළිදැක්වෙන මෙය එහි අනු-සමාගමක් වන මූන්වෝක් ෆිල්ම්ස් විසින් නිපදවා ඇති අතර, ඔවුන්ගේ ‘ට්‍රබල් මේකර්ස්’ නම් සංස්කරණ මැදිරියේ දී සංස්කරණය කර තිබෙනවා.

ජෝන් මැල්කොවිච් හා ෂුයා චැන්ග් පූර්ව ප්‍රචාරණ පටයක- Moonwalk films

තිර රචනය කළ ජෝන් මැල්කොවිච් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර, එය ‘වීරයාගේ’ චරිතය ලෙස හඳුන්වා දී තිබෙනවා. වීරවරියගේ චරිතය නිරුපණය කර ඇත්තේ ෂුයා චැන්ග් නම් තායිවාන ජාතික රංගන ශිල්පිනිය යි. මෙහි ප්‍රතිවීර චරිතය නිරූපණය කොට ඇත්තේ මාර්කෝ සැරර් නම් චිලී ජාතික රංගන ශිල්පියා යි.

මෙම චිත්‍රපටයට සමගාමී ව නම් ෆැරල් විලියම්ස් විසින් සංගීතය සපයන ලද ‘100 years’ නම් ගීතයකුත් මේ වන විට නිපදවා ඇති අතර, එයත් චිත්‍රපටය එළිදක්වීමෙන්  අනතුරුව 2117 වසරේ නොවැම්බරයේ දී එළිදැක්වීමට නියමිත යි.

චිත්‍රපටය එළිදැක්වීම

මෙම චිත්‍රපටය එළිදැක්වන දිනය ලෙස මේ වන විට නම් කර ඇත්තේ 2115 වසරේ නොවැම්බර් මස 18 වන දා යි. මෙය සැලවීමත් සමග ලොව පුරා අවධානය ඊට යොමු වුණා. සමහරු මේ නිසා මීට ඇති වන දැඩි වටිනාකම නිසාත්, තවත් සමහරු කිසිදිනෙක තමන්ට මෙය නැරඹීමට නොහැකි බව පසක් කරගත් නිසාත්, එය සොරකම් කර ගැනීමට උත්සුක වන ප්‍රවණාතාවක් ඇති වුණා. මේ නිසා එය රහසිගත ස්ථානයක ඉතා දැඩි ආරක්ෂාවක් සහිත ව තැන්පත් කොට තිබෙනවා. මෙය ඉතා දෘඪ, වෙඩි නොවදින වීදුරු ආවරණයකින් ආරක්ෂා කොට තිබෙනවා. මේ වන විටත් අධ්‍යක්ෂක රොඩ්‍රිගස් ඇතුළු ලොව පුරා තෝරාගත් දහසක් දෙනෙකුට චිත්‍රපටය එළිදැක්වෙන දිනයට අදාළ විශේෂ ආරාධනා පත්‍ර එහි නිෂ්පාදකයින් විසින් ලබා දී තිබෙනවා. මේවා ඔවුන්ට ඔවුන්ගේ දූ පුතුන්ට ලබා දියහැකි අතර, ඔවුන්ට ද ඉන්පසු පරම්පරාවට ඒවා ලබාදිය හැකියි.

තැන්පත් කර ඇති ස්ථානය- wionews

2016 වසරේ පැවති කාන්ස් සිනමා උළෙල පැවති පරිශ්‍රයේ දී මෙම චිත්‍රපටය අඩංගු මංජුසාව ලොවට ප්‍රදර්ශනය කෙරුණා. අනතුරුව නැවතත් එය පෙර පැවති ආරක්ෂාකාරී ස්ථානයේ ම තැන්පත් කෙරුණා.

පසුවදන

100 years නම් මෙම චිත්‍රපටය වර්තමානයේ සැලසුම් කර ඇති පරිදි ම අදින් වසර 97කට පසු ව එනම්, 2115 වසරේ දී තිරගත වුවහොත් එය ඒ වන විට ලොව වෙසෙන ජනතාවට අමුතු ම අත්දැකීමක් ලබාදීමට සමත් වෙනු ඇති. කෙසේ නමුත් විචාරකයින් ගෙනහැර පාන එක් ගැටලුවක් වන්නේ මෙම චිත්‍රපටය පටිගත කොට ඇත්තේ වර්තමාන තාක්ෂණය සහිත උපකරණ යොදාගෙන ක්‍රියා කරවීමට හැකි ලෙස වන බැවින් 22 වන සියවසේ තාක්ෂණය යොදාගෙන මෙය ක්‍රියා කරවිය හැකි වේ ද යන්න යි. එයට පිළියමක් ලබාදෙමින් මෙය ක්‍රියා කරවිය කැකි උපකරණ කට්ටලයක් ද මෙම චිත්‍රපටය සමග ම සංරක්ෂණය කරන්නට එහි නිෂ්පාදන සමාගම අදහස් කර තිබෙනවා.

100 years චිත්‍රපටය නැරඹීමේ වරම වර්තමානයේ මෙලොව වෙසෙන බොහෝ දෙනෙකුට අහිමි වනු ඇති, කෙසේ නමුත් එය එළිදැක්වෙන විට ජීවතුන් අතර සිටින්නට තරම් වාසනාවන්ත වන වර්තමාන ජනයාගෙන් අතිශය අතළොස්සකට එය අපූරු අත්දැකීමක් වනු ඇති.

 

කවරයේ පින්තූරය- socialifechicago.com

Related Articles