Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවපුරා ගුවන්විදුලි නාලිකාවලින් මයිකල් ජැක්සන්ගේ ගීත ඉවත් කරයි.

පොප් සංගීත ලෝකයේ රජු ලෙස විරුද්ධාවලිය ලැබූ මයිකල් ජැක්සන්ව නොහඳුනන කෙනෙකු නොමැති තරම්. පසුගිය දිනක ඔහු පිළිබඳව පුවතක් නැවත කරළියට එනවා. ඒ, මයිකල් ජැක්සන් සිදුකළායැ යි පැවසෙන ළමා ලිංගික හිංසන කිහිපයක් වාර්තා වැඩසටහන් ඔස්සේ ලෝකය වෙත අනාවරණය වීම යි.

වාර්තා වැඩසටහන ඔස්සේ අනාවරණය වූ මෙම කරුණු හේතුවෙන් මේ වන විට කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, හා නවසීලන්තයේ ගුවන් විදුලි සේවා ආයතන කිහිපයක්ම මයිකල් ජැක්සන්ගේ කිසිදු ගීතයක් එම සේවා ඔස්සේ විකාශනය කිරීම නවතා දමා තිබෙනවා.

එහෙත් ගුවන්විදුලි නාලිකාවල එම තීරණය ගැන නවසීලන්ත, ඕස්ට්‍රේලියා, හා කැනඩා ශ‍්‍රාවකයන් විවිධ මත පළකරන බව විදෙස් වාර්තාවල සඳහන් වෙනවා. ඇතැමුන් තීරණයට සහාය පළකර ඇතත්, තවත් පිරිසක් දැනට ජීවතුන් අතර නොමැති පුද්ගලයෙකුට එල්ල කර ඇති චෝදනා පදනම් විරහිත බවත් පෙන්වා දී තිබෙනවා. මෙම චෝදනා හා ගීත ප්‍රචාරය නවතා දැමීම ප්‍රයෝජනයකට නොමැති දෙයක් බව යි ඔවුන් වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ.

මයිකල් ජැක්සන්, විවේචනයට බඳුන් වූ වාර්තා චිත්‍රපටය

පොප් සංගීතයේ රජු – මයිකල් ජැක්සන් (BBC)

Leaving Neverland නම් වාර්තා චිත්‍රපටයක් මේ සඳහා හේතු සාධක වී තිබෙනවා. මෙම වාර්තා චිත්‍රපටය, මයිකල් ජැක්සන් වසර ගණනාවක් තිස්සේ ගොඩනගා ගත් අතිවිශාල කිර්තිය මොහතකින් බිඳ දැමීමට සමත්වෙන බව සඳහන්. මයිකල් ජැක්සන් ලෝකයෙන් උපයාගත් ජන ප්‍රසාදය මොහොතකින් ඉවත් වී යන ආකාරයට මෙම වාර්තා වැඩසටහන නිර්මාණය කර ඇති බවත්, එය සම්පූර්ණයෙන්ම සත්‍ය විය නොහැකි බවත් ඇතැම් විචාරකයන්ගේ මතය යි.

මෙම වාර්තා වැඩසටහනට පාදක වී තිබෙන්නේ  වේඩ් රොබ්සන් (Wade Robson) හා ජේම්ස් සේෆ්චක් (James Safechuck) නම් තරුණයන් දෙදෙනෙක්. එම තරුණයන් දෙදෙනා කුඩා අවධියේ දී මයිකල් ජැක්සන් අතින් කිහිපවරක්ම අපයෝජනය වූ බව දක්වා තිබෙනවා. මෙම චිත්‍රපටය පුරාවට ඔවුන්ට සිදු වූ දේවල් පිළිබඳව විස්තර වෙනවා.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හා වින්දිත තරුණයන් දෙදෙනා (Rolling Stone)

2019 වසරේ ජනවාරි 25 වන දා මෙම වාර්තා චිත්‍රපටය නිකුත්වන අතර මාර්තු මස 3 වන දා ඇමෙරිකා එක්සත් ජනපදයේ ද මාර්තු මස 6 වන දා එක්සත් රාජධානියේ ද ප්‍රදර්ශනය කර තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ HBO හරහා ද එක්සත් රාජධානියේ Channel 4 හරහා ද විකාශනය වෙනවා.

මෙම චිත්‍රපටයෙන් පවසන ආකාරයට මෙම කුඩා දරුවන් ඔවුන්ගේ නිවාස තුළදී ද මයිකල් ජැක්සන්ගේ නවාතැන තුළ ද කිහිපවතාවක් අපයෝජනයට ලක් වී තිබෙනවා. තමන් සියවරකට වඩා මයිකල් ජැක්සන් අතින් අපයෝජනය වූ බව ඔවුන් දෙදෙනා එහිදී පවසනවා.

පැය හතරක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඩෑන් රීඩ් (Dan Reed) නම් බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යක්ෂවරයා වන අතර එය විකාශනය වන්නේ වින්දිතයාගේ පාර්ශවය හරහා යි. තවද මෙම වාර්තා චිත්‍රපටය ප්‍රධාන කොටස දෙකකින් සමන්විත යි.

පොප් රජුට එල්ල වෙන බරපතල චෝදනා

වේඩ් රොබ්සන්, මයිකල් ජැක්සන් සමග (People)

මයිකල් ජැක්සන්ට මීට පෙරත් කුඩා ළමුන් ලිංගිකව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු ජීවත්ව සිටියදීම මෙම චෝදනා වරින් වර එල්ල වූ අතර, ඔහු ද කුඩා කාලයේ දී සිය පියා අතින් ලිංගික අපයෝජනයට ලක් වී ඇති බව ඇතැමුන්ගේ මතය යි.

මෙම කුඩා දරුවන් දෙදෙනා ද මයිකල් ජැක්සන් විසින් ඔහුගේ නිවාස වන, Neverland Ranch හි නවතාගෙන සිටි බවත්, ඔවුන් සමග සංචාර සඳහා විවිධ ප්‍රදේශවලට ගිය බවත්, ඔවුන්ට වටිනා ආභරණ ආදිය රැගෙන දුන් බවත් සඳහන් වේ. මෙම තරුණයන් අතරින් එක් අයෙකු වයස අවුරුදු 7 දී අපයෝජනයට බඳුන් වූ බවත්, අනෙකා වයස අවුරුදු 10 දී මයිකල් ජැක්සන් අතින් අපයෝජනයට ලක් වූ බවත් සඳහන් කර තිබෙනවා.

ජැක්සන්ගේ ගීත ප්‍රචාරය අත්හිටුවීම

වේඩ් හා ජේම්ස් වර්තමානයේ දී (Mamamia)

මේ වන විට ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ හා නවසීලන්තයේ ගුවන් විදුලි නාලිකා කිහිපයක් ම මයිකල් ජැක්සන්ගේ ගීත ප්‍රචාරය කිරීම නවතා දමා තිබෙනවා. තම රසිකයන් කරන ඉල්ලීම මත මෙම ගීත ප්‍රචාරය වීම නවතා දැමු බව අදාළ බොහොමයක් සමාගම් විසින් නිවේදනය කර තිබෙනවා.

මයිකල් ජැක්සන්ගේ ගීත දර්ශක ඉවත් කළ ගුවන් විදුලි නාලිකා අතරට නවසීලන්තයේ විශාලම ශ්‍රාවක පිරිසක් සිටින ප්‍රධාන පෞද්ගලික ගුවන් විදුලි සේවා සමාගම් දෙකම අයත් වෙනවා. එය සංස්කාරක මණ්ඩලයේ තීරණයක් බව අදාළ සමාගම් විසින් දන්වා තිබෙනවා.

මයිකල් ජැක්සන්ගේ ගීත ප්‍රචාරය නවතා දැමීමට කැනඩා ගුවන් විදුලි සේවා තුනක් ද ක්‍රියා කර තිබෙනවා. ඊට මතරව එක්සත් රාජධානියේ BBC2 ගුවන් විදුලි සේවය ද ඔහුගේ ගීත ප්‍රචාරය නවතා දමා තිබෙනවා. නමුත් මෙය තහනම් කිරීමක් නොවන බවත් අදාළ විමර්ශන වලින් පසුව මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවත් මෙය හුදෙක් තාවකාලික ක්‍රියාමාර්ගයක් බවත් අදාළ ගුවන් විදුලි සේවාව විසින් නිවේදනය කර තිබෙනවා.

එක්සත් ජනපදයේ දෙවන විශාලතම ශ්‍රාවක පිරිසක් ඇති Cumulus සමාගම ද මෙම ගීත ප්‍රචාරය කිරීම තාවකාලිකව නවතා තිබෙනවා. මේ අනුව බලන කළ ලෝකය පුරා ප්‍රධාන ගුවන් විදුලි සේවා 25 කට ආසන්න සංඛ්‍යාවක් මයිකල් ජැක්සන්ගේ ගීත ප්‍රචාරය අත්හිටුවා තිබෙනවා.

සත්‍යක් ද? අසත්‍යක් ද?

චිත්‍රපටයට විරෝධතාව ප්‍රකාශ කරන රසිකයන් (MJVibe)

මයිකල් ජැක්සන්ට ආදරය කරන ලෝකය පුරා අති විශාල රසික පිරිසක් මෙම චිත්‍රපටය සමග කැලඹීමට පත්ව සිටිනවා. මෙය හුදෙක් අසත්‍ය කරුණු ඇතුළත් වාර්තා චිත්‍රපටයක් බවත් ඔහු කෙරේ ද්වේශයෙන් මෙවැන්නක් නිර්මාණය කර ඇති බවත් ඔවුන් පවසනවා.

මයිකල් ජැක්සන්ගේ රසිකයන් විරෝධතාවයක (ET Canada)

මෙම චිත්‍රපටයට විරුද්ධවත් ඔහුගේ ගීත ලොව පුරා ගුවන් විදුලි ගීත දර්ශකවලින් ඉවත් කිරීම සම්බන්ධයෙනුත් රසිකයන් මේ වන විට සිය විරෝධතාවය ප්‍රකාශ කරමින් සිටිනවා.

කවරයේ පින්තූරය- Wallpaper Cave

මූලාශ්‍රයයන්-

variety.com

bbc.com

iheart.com

dailymail.co.uk

Related Articles