Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් නොවිසඳුණු අතුරුදහන් වීම් -2 : ජෙනිෆර් කෑස්

වතිකානයේදී අතුරුදහන් වූ පහළොස් හැවිරිදි එමානුවෙලා ඔලැන්ඩි පිළිබඳ පසුගිය ලිපියකින් අපි ඔබ වෙත විස්තර ගෙන ආවා. ඇයගේ අතුරුදහන් වීම සිදු වී ආසන්න වශයෙන් වසර 40 ක් ගත වී තිබුණ ද තවමත් ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට කවරෙක් හෝ සමත් වී නැහැ. මේ ආකාරයේම, තවමත් අක් මුල් සොයාගත නොහැකි වූ අරුම පුදුම පුද්ගල අතුරුදහන් වීමක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ද 2006 වසරේ දී  වාර්තා වුණා.

කිසිදු විශ්වාස කළ හැකි හේතුවක් නොමැති ව සිය නිවසේ දී ම අතුරුදහන් වූ ජෙනිෆර් කෑස් නමැත්තිය පිළිබඳ කිසිදු සාධනීය තොරතුරක් එම සිද්ධියෙන් වසර දහසයක් ගත වන වර්තමානය දක්වා ම සොයාගැනීමට කිසිවකුට හෝ නොහැකි වීම ඇත්තෙන් ම පුදුම සහගත යි.

 ජෙනිෆර් කෑස් ගේ ඡායාරූප ද්විත්වයක්- vizaca.com 

 

සියලු ම දෙයින් සපිරි ජීවිතයක්

අමෙරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඔලැන්ඩෝ හි පදිංචිව සිටි, 24 හැවිරිදි ජෙනිෆර් කෑස් ගේ ජීවිතයේ කිසිදු අඩුවක් තිබුණේ නැහැ. සිය ජීවන ගමනේ තෙවන දශකයේ මැද සිටි යුවතියකට තිබිය යුතු සියලු දේ සම්පූර්ණ ව ඇයට ලැබී තිබුණා. දුටුවන් මන බඳනා රූපකායක් තිබූ ඇය ඉතා ප්‍රසන්න තැනැත්තියක් වුණා. ඇයට ඉතා ආදරණීය මව්පියන් සහිත පවුල් සංස්ථාවක ආශිර්වාදය තිබූ අතර, ඉතා ගුණ යහපත් පෙම්වතෙක් ද ලැබී තිබුණා. තම ජීවිතය සැප පහසුව ගෙන යා හැකි පරිදි, යහමින් මුදල් ලැබෙන රැකියාවක් ද ඇයට ලැබී තිබුණා.

සිය නිවසෙහි රැඳී සිටිය දී 2006 වසරේ ජනවාරි මස 23 වන දින හදිසියේ ම ඇය අතුරුදහන් වන්නේ මේ අතර යි. කිසි ලෙසකින් සිය නිවසෙන් පලා යාමට හේතුවක් ඇයට නොතිබූ අතර, යම් කිසි භයානක දෙයක් නිසැකයෙන් ම ඇයට සිදු වී ඇති බවට අගේ පවුලේ අය අනුමාන කළා. මේ අනුව පොලිසිය දැනුම්වත් කෙරුණු අතර, අතුරුදහන් වූ දින අසල්වැසි කැමරා කාචයක සටහන් ව තිබූ නොපැහැදිලි රූපයක් හැරුණුකොට ගෙන කිසිදු සාධනීය හෝඩුවාවක් ඉක්මනින් ම සොයාගන්නට කිසිවකුත් සමත් වුණේ නෑ. ඇගේ මෝටර් රථය අත්හැර දමා තිබිය දී හමු වුව ද,පර්යේෂණවල ඉදිරි ගමනට  ඉන් එතරම් රුකුලක් සැපයුණේ නැහැ.

සේවයට වාර්තා නොකළ ජෙනිෆර්

ජෙනිෆර් කෑස් අතුරුදහන් වීමට පළමු දින ඇය ඉතා සාමාන්‍ය අන්දමින් ගත කර තිබුණා. රාජකාරිය නිම වී සවස් යාමයෙහි සිය සේවා ස්ථානයෙන් නික්මුණු ඇය, සිය නිවස වෙත පැමිණ සුපුරුදු පරිදි දුරකථනයෙන් සිය මව හා පියා අමතා තිබුණා. ඉන් අනතුරු සිය පෙම්වතා වන රොබට් ඇලන් වෙත ඇමතුමක් ගත් ඇය, එය අවසන් කර තිබුණේ රාත්‍රී 10 ට පමණ යි. වෙනදා මෙන් ම එදාත් ඉතා සතුටින් ඇය සිටි බව ඔහුට වැටහී තිබුණු අතර, වෙනසක කිසිදු සේයාවක් ඇය ප්‍රකට කර තිබුණේ නැහැ. ඇමතුම අවසන ඇය නින්දට යන බැව් ඔහුට ප්‍රකාශ කර තිබුණා. ඒ ඇය කිසිවකු ඇමතූ හෝ දුරකථන කෙටි පණිවිඩවලට පිළිතුරු එවූ අවසන් වතාව යි.

 ආරක්ෂක කැමරාවල සටහන් වූ අපැහැදිළි රූපය- Orlando Police Department /Kesse family

 

පසුදින ඇය සේවයට වාර්තා කර නොතිබුණේ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොර ව යි. මේ නිසා රැකියා ස්ථානයේ ඇගේ මිතුරු මිතුරියන් හා ඉහළ නිලධරයන් පුදුමයට පත්ව තිබුණා. ඒ ඇය ඉතා පිළිවෙළට කටයුතු කළ, නිතර ම සේවයට වාර්තා කරන අයකු වීම නිසා යි. ඇය සිය පෙම්වතාගේ හා මාපියන්ගේ ඇමතුම් හා කෙටි පණිවිඩවලට ද ප්‍රතිචාර දැක්වූයේ නැහැ. මින් කලබලයට පත් ඔවුන් උදෑසන 11 ට පමණ ජෙනිෆර් ගේ නිවස වෙත ගොස් පරීක්ෂා කළා. ඇගේ මාපියන් ටැම්පා හි විසූ අතර, මේ අසාමාන්‍ය තත්ත්වය නිසා ඔවු ඔලැන්ඩෝ වෙත කඩිනමින් පැමිණ තිබුණා. ජෙනිෆර් නිවසෙහි නොවූ අතර, ඇගේ කාරය ද නිවසේ නොවූයේ ඇය බැහර ගිය බවක් හුවා දක්වමිනු යි.

කාරය හමුවෙයි

ජෙනිෆර් කෑස් පිළිබඳ ව අවට සොයා බැලුව ද කිසිදු හෝඩුවාවක් සොයාගන්නට ඇයගේ පවුලේ උදවිය හෝ පෙම්වතා සමත් වූයේ නැහැ. මේ නිසා ඔවුන් ප්‍රදේශයේ පොලිසිය මේ පිළිබඳ ව දැනුම්වත් කළා. ඇගේ කාරය තදාසන්න ස්ථානයක අතැර දමා තිබිය දී සොයාගන්නේ ඒ අනුව යි. පුදුමයට මෙන් එහි වූ කිසිදු වටිනා දෙයක් නැති වී නොතිබුණු අතර, මේ නිසා ම මංකොල්ලයක් සිදු වී ඇතැයි යන්න බලධාරීන් බැහැර කළා. අවට වූ ආරක්ෂක කැමරා පද්ධති පරීක්ෂා කිරීමේ දී එක් වැදගත් කාරණාවක් හෙළි වුණා.

ඒ ඇය අතුරුදහන් වූ ජනවාරි මස 24 වනදා සවස 1 ට පමණ, එනම් ජෙනිෆර්ගේ මාපියන් ඇය සොයා ඇගේ නිවසට පැමිණීමෙනුත් අනතුරු ව කිසිවෙක් ඇගේ කාරය අදාළ ස්ථානයේ දමා ඉවතට ගිය බව යි. අවාසනාවට 2006 වසර වන විට තිබූ ආරක්ෂක කැමරාවල රූපවල තත්ත්වය වර්තමානයේ මෙන් හොඳ මට්ටමක නොතිබූ අතර, එලෙස ඉවතට යන තැනැත්තාගේ මුහුණ අසල වූ ගේට්ටුවකට වැසී තිබුණා.

කලින් රූප රාමුවේ එය එක් කණුවකට වැසී යන විට, ඒ තදාසන්න ඊළඟ රූප රාමුවේ දී එය අනෙක් කණුවට වැසී යනවා. එම නිසා එලෙස ගමන් කරන්නේ කාන්තාවක් ද, පිරිමියෙක් ද යන්නවත් හරි හැටි හඳුනාගත නොහැකි වුණා. මේ නිසා එලෙස කාරය දමා යන්නේ ජෙනිෆර් ම විය හැකි බවටත් මතයක් ඇති වුණා. කෙසේ නමුත් මේ කිසිවක් ස්ථිර කර ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. කාරයේ සුක්කානමෙහි කිසිදු ආගන්තුක ඇඟිලි සලකුණක් තිබුණේ ද නැහැ.

 වාහන අංගනයක නවතා ගොස් තිබූ ජෙනිෆර්ගේ කාරය- Kesse Family 

 

අවසානයක් නොවූ කතාවක්

වසර කිහිපයක් උත්සාහ කළ ද අමෙරිකානු පොලිස් බලධාරීන්ට ජෙනිෆර් කෑස් පිළිබඳ සාධනීය හෝඩුවාවන් කිසිවක් සොයාගන්නට හැකි වුණේ නැහැ. ජෙනිෆර්ගේ සොයුරා හා පෙම්වතා ඇගේ අතුරුදහන් වීම පිළිබඳ ව ඇගේ පැරණි පෙම්වතකු සැක බවට ප්‍රකාශ කළ හෙයින් ඔහුගෙන් ද මේ ගැන ප්‍රශ්න කෙරුණා. සාධක සහිත ව ඔහු මෙම සිද්ධියට සම්බන්ධ නොවන බැව් පෙනී ගියෙන් එම කුකුස ද ඉක්මනින් ම බිඳී ගියා. රාජකාරි ස්ථානයේ වූ, ජෙනිෆර් පසුපස පැමිණි තවත් අයකුගෙන් ද ප්‍රශ්න කෙරුණු අතර, ඔහුද මීට සම්බන්ධයක් නැති බැව් ඔප්පු වුණා.

මේ අනුව කිසිදු හෝඩුවාවක් නොමැති ව පර්යේෂණවල ඉදිරි ගමන අඩපණ වුණා. 2006 ජනවාරි මස 24 වනදායින් පසු ඇගේ ක්‍රෙඩිට් කාඩ්පත කිසිදු ලෙසකින් භාවිත නොවූ අතර, දුරකථනය ද ක්‍රියා කළේ නැහැ. මේ නිසා දුරකථන සංඥා භාවිතයෙන් ඇය සොයා ගැනීම ද සාර්ථක වූයේ නැහැ. පර්යේෂකයන් පසුකාලීනව පවසන්නට වූයේ ඇය ‘එක් වරම අවකාශයට වාෂ්ප වී ගියා’ සේ හැඟෙන බව යි. එයින් ම ඔවුන් ලක් වූ ඉච්ඡා භංගත්වය ප්‍රකට වුණා.

 යුක්තිය සොයන ජෙනිෆර්ගේ මාපියන්- Red Huber/Orlando Sentinel/MCT/Getty Images

 

පසුවදන

ජෙනිෆර් කෑස් අතුරුදන් වී අද වන විට පුරා වසර දහසයක් ගත වී තිබෙනවා. එහෙත් අද වන විටත් ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නැහැ. කෙසේ නමුත් ඇගේ පවුලේ උදවිය අදටත් ඇය පිළිබඳ ව බලා පොරොත්තු අත්හැර නැහැ.

 කවරයේ ඡායාරූපය - ජෙනිෆර් කෑස් - crimeonline.com

මූලාශ්‍ර:

Allthatsinteresting.com
Fox35orlando.com
Clickorlando.com

 

Related Articles