Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමුතු ඇදහීමක් නිසා අතුරුදහන් වූ අබිරහස් පවුල

පොලිසිය හඳුනා නොගත් කාන්තාවකගේ හෝ කුඩා ගැහැනු ළමයකුගේ මළ සිරුරක් සොයා ගත් බව ඇසෙන සෑම මොහොතක දී ම කැතී මැක්ඩොගල් බියෙන් සලිත වෙනවා. එවැනි පුවතක් කන වැකුණු විගස එය තමාගේ දියණිය හෝ මිණිබිරියගේ සිරුර විය හැකි බව ඇය සිතනවා. සමීපතමයන් වියෝ වීම දුකක් වන නමුත්, කිසිදු සාක්ෂියක් ඉතිරි නොකොට සමීපතමයකු අතුරුදහන් වීමෙන් ඇති වන සන්තාපය ඉතා ම ප්‍රබල යි. කැතී මැක්ඩොගල් දශකයකට අධික කාලයක් තිස්සේ එම චිත්ත සන්තාපයෙන් පීඩා විඳිනවා.

අතුරුදහන් වූ චැන්ටෙල් ගේ මාපියන් – www.theguardian.com 

කැතී මැක්ඩොගල් වඩාත් වේදනාකාරී අත්දැකීමකට 2015 දී  මුහුණ දුන්නා. දකුණු ඕස්ට්‍රේලියාවේ අධිවේගී මාර්ගයක් අසල ගමන් මල්ලක නරක් වූ දරුවකුගේ සිරුරක් සොයා ගැනීම එයට හේතුව යි. සිය මිණිබිරිය ගැන හෝඩුවාවක් එයින් ලබා ගත හැකි බව කැතී අනුමාන කළත්, සොයා ගත් සිරුර තම මිණිබිරියට අයත් නොවන බව තහවුරු වුණා.

 “වරෙක ඉතාලියේ රෝමය ප්‍රදේශයෙන් ගැහැනු ළමයකු සොයා ගත්තා. ඇය ඉංග්‍රීසි කතා කළත්, අනන්‍යතාව හෙළි කර ගන්න බැරි වුණා. සමහරුන් හිතුවේ ඇය වැඩුණු මගේ මිණිබිරිය විය හැකි බව යි. නමුත්, ඒ ඇය නොවෙයි.”

කැතී වරෙක ගාඩියන් පුවත්පතට පවසා තිබුණා.

 කැතී සහ ජිම් මැක්ඩොගල් දෙපළගේ දියණිය සහ මිණිබිරිය අබිරහස් ලෙස අතුරුදහන් වූයේ 2007 වර්ෂයේ දී යි. ඔවුන් පිළිවෙළින් චැන්ටල් මැක්ඩොගල් සහ ලීලා මැක්ඩොගල් වන අතර, චැන්ටල්ගේ සහකරු ලෙස සිටි සයිමන් කැඩ්වෙල් සහ ඔවුන්ගේ මිතුරකු වූ ටෝනි පොපික් ද මේ සමඟ අතුරුදහන් වුණා. අතුරුදහන් වන විට ලීලා මැක්ඩොගල්ගේ වයස අවුරුදු හයක් පමණ යි.  බටහිර ඕස්ට්‍රේලියාවේ පොලිසිය මුහුණ දුන් වඩාත් ගැටලු සහගත සිදුවීම් අතර මෙම අතුරුදහන් වීමත් ඉහළින් ම තිබෙනවා. 

සයිමන් ගේ අමුතු ඇදහිල්ල

සයිමන් කැඩ්වෙල් යනු අන්තර්ජාලය හරහා එක්තරා විශ්වාසයක් හෝ ඇදහීමක් ප්‍රවර්ධනය කළ තැනැත්තෙක්. “සත්‍යයේ සහයෝගීතාව” ලෙස නම් කළ මෙම ඇදහිල්ල, ලෝකය විනාශ වන දිනය පදනම් කරගෙන ගොඩනැඟී තිබුණා. සයිමන් මේ අමුතු විශ්වාසය අන්තර්ජාලය තුළ ප්‍රවර්ධනය කළේ “Si” නමැති අන්වර්ථ නාමයකින්. ලොව පුරා බැතිමතුන් 40 දෙනකු පමණ සයිමන් වටා සිටි අතර,  බැතිමතුන් සියලු දෙනා “ද ෆෝ(ර්)කෝර්ට්” යන පොදු නාමයෙන් හැඳින්වුණා. අනුගාමිකයන් “The Gateway” ලෙස නම් කළ සංවාද මණ්ඩපයක් (Forum) හරහා මාර්ගගත ව සම්බන්ධ වෙමින් අදහස් හුවමාරු කර ගත් බව කියවෙනවා.

චැන්ටෙල් මැක්ඩොගල් සිය දියණිය සමඟ –  www.theguardian.com 

 සාමාජිකයන් සියලු දෙනා සයිමන් ලියූ “Servers of the Divine Plan” නම් පොතට අවනත වූ අතර, එය අනුගාමිකයන්ගේ ධර්ම ග්‍රන්ථය හෝ මාර්ගෝපදේශක සංග්‍රහය ලෙස ක්‍රියා කළා. ලෝකය වසර 75,000 ක චක්‍රයක් අවසාන කළ පසු ඉතා උසස් මට්ටමක පවතින සවිඥානික ලෝකයක උපත ගැන අනාවැකි මෙම ග්‍රන්ථයේ අඩංගු ව තිබුණා. බැලූ බැල්මට ම සයිමන් කැඩ්වෙල්ගේ විශ්වාසය මනඃකල්පිත ලෝකයක් පාදක වූ හොලිවුඩ් චිත්‍රපටයක තිර රචනයක් මෙන් පෙනෙන්නට තිබුණත්, එය නොසිතූ දුරකට ඔවුන් රැගෙන ගියා.

ව්‍යාජ නමක් ඇති මොළ ශෝධකයා

 සයිමන් කැඩ්වෙල්, සිය සහකාරිය වූ චැන්ටල් මැක්ඩොගල් සහ චැන්ටල්ගේ දියණිය සමඟ බටහිර ඕස්ට්‍රේලියාවේ “නැනප්” ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වුණා. ඔවුන්ගේ ජීවිත සයිමන්ගේ ආධිපත්‍යයට ‍යටත් ව තිබූ ස්වභාවයක් ද දක්නට ලැබුණා. කුලී නිවසේ හිමිකාරීත්වය දැරූ ඈන් ක්‍රවුච්, කැඩ්වෙල් ඇතුළු පවුලේ සාමාජිකයන් අතර යම් සබඳතාවක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක්. ඈන්ට අනුව නිවසේ වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කළ පුද්ගලයා වුණේ චැන්ටෙල් මැක්ඩොගල්.

චැන්ටෙල් ප්‍රායෝගික තරුණියක් වූ අතර, අර්ධ කාලීන රැකියා කිහිපයක නිරත වෙමින් පවුලේ ආර්ථිකය ශක්තිමත් කළා. නමුත්, සයිමන්ගෙන් පවුලට ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. ඔහු  මුළු රාත්‍රිය පුරා ම පරිගණකය ඉදිරියේ වාඩි වී තම විකාරරූපී ඇදහිල්ලේ අනුගාමිකයන් හමු වූ අතර, දවසේ වැඩි කොටසක් නිදා ගැනීම ​සඳහා වැය කළා.

සයිමන් කැඩ්වෙල් හෙවත් ගැරී ෆෙල්ටන් – www.perthnow.com.au 

 සයිමන්ගේ අනුගාමිකයන් අතර ඔහුගේ සහකාරිය සහ දියණියත් ඇති බව පොලිසිය විශ්වාස කරනවා. මීට අමතර ව, ඔවුන් සමඟ සමීප මිත්‍රකමක් ගොඩ නඟා ගෙන සිටි ටෝනි පොපික් පවා සයිමන්ගේ මොළ ශෝධනයට යටත් වූ තැනැත්තකු බවට සැක පහළ වුණා. ඔවුන්ගේ අතුරුදහන් වීමෙන් පසු ව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය වැදගත් කරුණක් හෙළිදරව් කර ගත්තා. සයිමන් තම සැබෑ අනන්‍යතාව සඟවා ගෙන සිටි පුද්ගලයකු බවත්, ඔහු ගැරී ෆෙල්ටන් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයකු බවත්, අනාවරණය වුණා. මේ සඳහා ඔහු බ්‍රිතාන්‍යයේ දී සොරකම් කළ  උප්පැන්න සහතිකයක තොරතුරු ව්‍යාජ අනන්‍යතාව සඳහා භාවිත කර තිබුණා.

සයිමන් කැඩ්වෙල්ගේ අතීතය

 සයිමන් කැඩ්වෙල් නම් ව්‍යාජ නාමය සහිත ව එක්සත් රාජධානියෙන් පලා ආ ගැරී ෆෙල්ටන්, අලුත් ජීවිතයක් ආරම්භ කරමින් එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ සංචාරක දිවි පෙවෙතක් අනුගමනය කළා. ඔහු එක්සත් රාජධානිය අත්හළ හේතුව නම් පැහැදිලි නැහැ. 1993 දී ඔහුට ඩෙබෝරා නම් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක හමු වූ අතර, වර්තමාන සිදුවීමට සමාන ආකාරයෙන් ම ඩෙබෝරා-සයිමන් දෙපළත් අතුරුදහන් වුණා. නමුත්, යුවළ ඉන්දියාවේ ආශ්‍රමයක සිටින බව පසුව සොයා ගැනුණා. ඔවුන් පසුව මෙල්බර්න් නගරය කරා ළඟා වූ අතර, එහිදී සයිමන්ට චැන්ටල් මැක්ඩෝගල් හඳුනා ගැනීමට අවස්ථාව උදා වුණා.

සයිමන් සිය පවුල සමඟ වාසය කළ නැනප් ප්‍රදේශයේ කුලී නිවස – www.perthnow.com.au 

 සයිමන් සමඟ සබඳතාවක් ඇරඹූ චැන්ටල්, ඔහුත් සමඟ බටහිර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරමින්. ඔවුන් සමඟ ඩෙබෝරාත් පැමිණියා. වර්ෂ 2000 දී පමණ ඔවුන් වෙරළබඩ නගරයක් වූ ෆ්ලෝරියට් හි නිවසක් පිහිටුවා ගත් අතර, සයිමන්ගේ තවත් අනුගාමිකයෙක් ඔවුන් සමඟ ජීවත් වීමට පැමිණියා. සයිමන් සහ චැන්ටල්ගේ සබඳතාව තවත් ශක්තිමත් කරමින් 2001 වසරේ දී චැන්ටෙල් සිය දියණියට උපත ලබා දුන්නා.

 ටික කලකින් අමනාපකම් සහ කටුක දෝෂාරෝපණ මධ්‍යයේ මෙම සාමූහික ගෘහස්ථ ජීවිතය දෙදරා යෑම ඇරඹුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සයිමන්, චැන්ටල් සහ ඔවුන්ගේ දියණිය ෆ්ලෝරියට් හි නිවසෙන් පිටමං වී නැනප් ප්‍රදේශයට පැමිණියා. එහිදී ඔවුන්ට ටෝනි පොපික් නමැති ස්වභාවධර්මයට ආදරය කරන ගැමි තරුණයා මුණ ගැසුණා. සිය සමාගමයට ටෝනිත් ඇතුළත් කර ගනිමින් නැනප් පෙදෙසේ අලුත් ජීවිතයක් සයිමන් ආරම්භ කළා.

EM තරංගවලට බිය වූ සයිමන්

 නැනප් පෙදෙසට පැමිණි පසු බොහොම සාමාන්‍ය දිවි පෙවෙතක් සයිමන් ඇතුළු පවුල ගත කරන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණා. නමුත්, සයිමන්ගේ හැසිරීම් රටාවේ තිබූ අමුතු ලක්ෂණ ඔහුගේ අසල්වැසියන් හරහා හෙළි කර ගැනීමට පොලිසිය සමත් වුණා. විද්‍යුත් චුම්භක තරංග හෙවත් EM තරංගවලට සයිමන් දැක්වූ අධිකතර බිය ඒ අතරින් විශේෂ යි.

සයිමන්ගේ අසල්වසියකු වූ බෲස් බ්ලැක්බර්න්ගේ නිවස ආසන්නයේ ට්‍රාන්ස්ෆෝමරයක් සමඟ විදුලි කණුවක් සවි කිරීමට එක්තරා සමාගමක් සැලසුම් කිරීමත් සමඟ ‍යම් අර්බුදයක් හට ගත්තා. විදුලි කණුවෙන් විද්‍යුත් චුම්භක තරංග නිකුත්වේයැ යි බියට පත් වූ සයිමන්, සමාගමේ ක්‍රියාවට තදබල විරුද්ධත්වයක් පෑවා. සයිමන්ගේ හැසිරීම අතාර්කික බියකින් පීඩාවට පත් වූ මිනිසකුගේ ස්වරූපයකට හැරුණා. අදාළ තරංග කාන්දම් මඟින් ආපසු හරවා යැවිය හැකි බවට වූ විශ්වාසය මත ගෙවත්තේ සෑම තැනකම කාන්දම් වළ දැමීමට සයිමන් ක්‍රියා කළා. 

ටෝනි පොපික් වාසය කළ කැරවෑනය. මෙය සයිමන් කැඩ්වෙල් පදිංචිව සිටි නිවසේ ඉදිරිපිට ගාල් කොට තිබුණා – www.perthnow.com.au 

 විද්‍යුත් චුම්භක තරංග සහ තමන් ප්‍රවර්ධනය කරමින් සිටි ඇදහිල්ල තුළ කාර්ය බහුල වී සිටි සයිමන්ගේ ජීවිතයට කුණාටුවක් පැමිණෙමින් තිබුණා. චැන්ටල් මැක්ඩොගල් සමඟ අමනාප වී සිටි හිටපු පෙම්වතා සයිමන් සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබා දීම ඊට හේතුව වුණා. සයිමන් කැඩ්වෙල් යනු මතුපිටින් පෙනෙන ආකාරයට වඩා වෙනස් පුද්ගලයකු බව එම ප්‍රකාශයෙන් කියවුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය රථ වාහන නැවතුමක දී පොලිසියේ කෙටි ප්‍රශ්නාවලියකට මුහුණ දෙන්නට සයිමන්ට සිදු වුණා. එම සිදුවීමෙන් මාස කිහිපයකට පසු සයිමන්ගේ පවුලේ සාමාජිකයන් සහ ටෝනි පොපික්, අබිරහස් ලෙස අතුරුදහන් වුණා. සිය සැබෑ අනන්‍යතාව හෙළි වීමේ ආසන්න අවස්ථාවකට සයිමන් මුහුණ දුන් නිසා මෙසේ අතුරුදහන් වූ බව පොලිසිය උපකල්පනය කළත්, අතුරුදහන් වීම පිටුපස තිබෙන හේතු ඊට වඩා සංකීර්ණ ස්වභාවයකට හැරුණා.

විමුක්තිය සොයා බ්‍රසීලයට!

2007 ජූලි මාසයේ දිනක සයිමන්, චැන්ටල්, ලීලා සහ ටෝනි යන සිවු දෙනා ම නැනප් පෙදෙසේ පිහිටි කුලී නිවසින් සදහට ම සමු ගත්තා. දින කිහිපයකට පසු ඉඩම් හිමියා ඉදිරිපස දොරට සිර වී තිබූ සටහනක් සොයා ගත් අතර, එහි “බ්‍රසීලය ට පිටත් වුණා” යනුවෙන් සඳහන් ව තිබුණා. ඔවුන්ගේ මුදල් පසුම්බි, ක්‍රෙඩිට් කාඩ් නිවසේ දමා ගොස් තිබුණේ අබිරහස තවත් තීව්‍ර කරමින්. අතුරුදහන් වීමට දින කිහිපයකට පෙර ඔවුන් බ්‍රසීලයට යාමට අදහස් කරගෙන සිටින බව පවුලේ අය සහ මිතුරන් පවා දැන සිටියා. නවීන සමාජයේ ජීවන රටාව නොගැළපෙන නිසා බ්‍රසීලයේ ආධ්‍යාත්මික ප්‍රජාවක් සමඟ සම්බන්ධ වීම ඔවුන්ගේ සැලසුම වුණා. එහෙත්, විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් ඔවුන් විදේශගත වී නොමැති බව පොලිසියට අනාවරණය වුණා. ඔවුන්ගේ බැංකු ගිණුම් වලින් මුදල් ලබාගෙන තිබුණෙත් නැහැ.

පර්යේෂණවල දී සයිමන් කැඩ්වෙල් අන්තර්ජාලය හරහා සිය අනුගාමිකයන් සමඟ කළ සාකච්ඡා ගැන විශේෂ විමර්ශනයක් සිදු කළ අතර, ඔහු සිය පවුලත් සමඟ සමූහ සිය දිවි නසා ගැනීමකට සුදානම් ව සිටි බව හෙළිදරව් වුණා. එය ඇදහිල්ලේ ම කොටසක් ලෙස පෙනෙන්නට තිබුණා. නමුත්, එක්තරා අනුගාමිකයෙක් සයිමන්ගේ කුඩා දියණියට අත්වන ඉරණම ගැන පැහැදිලි කළ විට සයිමන් සිය අදහස වෙනස් කර ගත්තා. කිසිවකුට ළඟා විය නොහැකි හුදෙකලා ප්‍රදේශයකට සංක්‍රමණය වෙන්න සයිමන් තීරණය කළේ ඉන් පසුව යි.

අතුරුදහන් වූ ටෝනි පොපික් – www.perthnow.com.au 

පසුගිය දශකය පුරාම පොලිසිය නැනප් ප්‍රදේශයේ සමූහ අතුරුදහන් වීම විසඳා ගැනීමට උත්සහ කළා. එහෙත්, සිව්දෙනා ගැන කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වුණා. ව්‍යාජ අනන්‍යතාවක් යටතේ බ්‍රසීලයට යෑම, සමාජයෙන් වසන් වී හුදෙකලා පෙදෙසක ජීවත් වීම, සමූහ සිය දිවි නසා ගැනීමකට ලක් වීම, ඝාතනයට ලක් වීම, වැනි උපකල්පන කිහිපයක් ඔස්සේ පොලිසිය පරීක්ෂණ සිදු කළත්, ඒ උපකල්පන එකින් එක බිඳ වැටෙන පසුබිමකට මුහුණ දෙන්නට සිදු වුණා. කෙසේ හෝ සයිමන් කැඩ්වෙල් ඇතුළු සිව්දෙනා බ්‍රසීලයට පැමිණ නොමැති බව ඔප්පු වුණා. ඒ සඳහා බ්‍රසීලයේ ආරක්ෂක අංශවල සහය පවා ඕස්ට්‍රේලියාට ලැබුණා. එසේ නම් ඔවුන් වෙනත් නීති විරෝධි ක්‍රමයකින් ඕස්ට්‍රේලියාවෙන් පිටමං විය යුතු යි.

දුම්රියේ ගමන් කළ මිනිසා

 කාලයත් සමඟ නොවිසඳුණු අබිරහසක් ලෙස නැනප් පෙදෙසේ සමූහ අතුරුදහන් වීම ඉතිහාසයට එකතු වුණත්, 2013 දී නැවතත් මෙම සිදුවීම මාධ්‍ය අවධානයට ලක් වුණා. ටෝනි පොපික්ගේ අනන්‍යතාව භාවිත කළ පුද්ගලයකු පර්ත් නගර‍යට අයත් නෝර්ත්බ්‍රිජ් ප්‍රදේශයේ ලැගුම්හලක සිටි බව හෙළිදරව් වීම ඊට හේතුව යි. මෙය සිදු වී ඇත්තේ අතුරුදහන් වූ සිව්දෙනා අවසන් වරට දැකීමෙන් දින කිහිපයකට පසුව යි. ඔහුගේ ඡායාරූපය සහිත රියදුරු බලපත්‍රය ලැගුම්හලේ කාමරයක් වෙන් කර ගැනීම සඳහා භාවිත කොට තිබුණා. එම පුද්ගලයා පර්ත් වෙත පැමිණ ඇත්තේ බන්බරි ප්‍රදේශයෙන් පැමිණි දුම්රියක බවත් අනාවරණය වුණා.

 පර්ත් නගරයේ රැයක් ගත කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා පසුදින උදෑසන 7.15 ට පිටත් වීමට නියමිත ව තිබූ දුම්රියක නැඟී කැල්ගුර්ලී බලා පිටත්ව ගොස් තිබුණා. කෙසේ නමුත්, අදාළ දුම්රියේ චැන්ටල් සහ ඇයගේ දියණිය ගමන් කළ බව හෙළි වුණේ නැහැ. ටෝනි පොපික් පමණක් පර්ත් නගරයට පැමිණිම හමුවේ ගැටලුව තවත් ව්‍යාකූල වූවා මිසක ලිහිල් වුණේ නැහැ. අතුරුදහන් වීම හමුවේ පොලිසියට ලැබුණු අවසාන සහ ප්‍රබලත ම සාක්ෂියත් එය ම වුණා.

ආචාර්ය ක්‍රිස් ගේ අදහස

 අපරාධ චර්යා මනෝ විද්‍යාව පිළිබඳ විද්වතකු වූ ක්‍රිස් ගයිසන්,  අතුරුදහන් වූ සිව්දෙනා දැනටමත් මිය ගොස් ඇති බව විශ්වාස කරනවා. සයිමන් ප්‍රවර්ධනය කළ ඇදහීමට අනුව වෙනත් අධ්‍යාත්මික මානයකට පැමිණීම උදෙසා ඔවුන් සිය දිවි නසා ගෙන ඇති බවත්, සිරුරු තවමත් ඕස්ට්‍රේලියාවේ ජන ශූන්‍ය ප්‍රදේශයක තිබිය හැකි බවත්, ක්‍රිස් ගයිසන් අනුමාන කරනවා. කෙසේ හෝ තම සිය දිවි නසා ගැනීම් ලෝකයෙන් සැඟවීමට ඔවුන් සමත් වුණා. 

සයිමන්ගේ අනුගාමිකයන් ලෙස ක්‍රියා කළ කැනේඩියානුවන් දෙදෙනෙක් සිය දිවි නසා ගත් බව සොයා ගැනීමත් සමඟ ක්‍රිස් ගයිසන්ගේ අදහස වඩාත් සාධාරණ බව පෙනෙන්න තිබුණා. මුල දී සිය දියණිය ඝාතනය කිරීමට සිදුවන නිසා සමූහ සිය දිවි නසා ගැනීමේ ප්‍රයත්නය සයිමන් අත් හැරියත්, තම විශ්වාසය හමුවේ මමත්වයට වඩාත් ඇබ්බැහි වීම නිසා සයිමන් අවසාන මොහොතේ දී දියණියගේ ජීවිතය නොසලකා හැරි බව ක්‍රිස් නිගමනය කළා.

අතුරුදහන් වූ දියණිය සහ මිණිබිරිය සොයන කැතී සහ ජිම් මැක්ඩොගල් –  www.perthnow.com.au 

ක්‍රිස් ගයිසන් එලෙස නිගමනය කළත්, ටෝනි පොපික් සහ චැන්ටල් මැක්ඩොගල්ගේ පවුලේ උදවිය තවමත් අතුරුදහන් වූ සහෘදයන් ජීවතුන් අතර සිටින බව විශ්වාස කරනවා. අතුරුදහන් වූවන් ගැන තොරතුරු සෙවීම අදටත් ඔවුන් නතර කොට නැහැ. ඕස්ට්‍රේලියාවේ පමණක් නොව සයුරෙන් එතෙර එන තොරතුරු ගැනත් ඔවුන් අවධානය යොමු කරනවා. රෝමයෙන් හමු වූ අනන්‍යතාව හඳුනා නොගත් දැරිය ගැන පවා විස්තර සෙව්වේ ඒ නිසා යි. ශෝකය අතරින් ම ටෝනි පොපික්ගේ පවුලේ සාමාජිකයන් වැදගත් ප්‍රකාශකයක් ද නිකුත් කර තිබුණා. සයිමන් වැනි අනාගතවක්තෘවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් ගෙන් ඈත් වන ලෙස ලෝකය පුරා අවදානමට ලක් වූ බැතිමතුන් ගෙන් ඔවුන් ඉල්ලා සිටියා.

චැන්ටල්ගේ මව කාලයත් සමඟ ඇයගේ දියණිය සහ මිණිබිරිය මිය ගොස් ඇති බව පිළිගන්නට උත්සහ කළා. සයිමන් ගේ දරුණු මානසික ව්‍යාධියේ බලපෑමට යටත් වූ තිදෙනකුට ජීවිතය අහිමි වූ බව පිළිගැනීමට ඕස්ට්‍රේලියානු ජන සමාජයත් පෙලඹුණා. නමුත්, සංවර්ධිත රටක දක්ෂ වෘත්තිකයන් සිටින ආරක්ෂක අංශ හමුවේ මිනිසුන් හතර දෙනෙක් එක්වර ම අතුරුදහන් වූයේ කෙසේ ද?

කවරයේ ඡායාරූපය: අතුරුදහන් වූ සිව්දෙනා- www.nzherald.co.nz

 මූලාශ්‍ර:

www.abc.net.au

www.theguardian.com

www.perthnow.com.au 

Related Articles