Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මරණයේ අඳුරු සෙවනැලි මවන ලොව අද්භූත ස්ථාන

දර්ශනීය වෙරළ තීර, දිය ඇලි, ගංගා, ඇළ දොළ, කඳු හෙල් වැනි සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ලොව බොහොමයකි. ඒවායේ ඇති සුන්දරත්වය අප ද විශ්වාස කරන්නෙමු. නමුත් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් නොවේ යැයි අප විශ්වාස කරන, එහෙත් සංචාරකයන්ගේ නෙත් බැඳගත් ස්ථාන ද ලොව පවතී. අද්භූත ස්ථාන ද වර්තමානය වන විට සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි.

ලොව පුරා දැකගත හැකි එවැනි හුදෙකලා ප්‍රදේශවල මියගිය අයගේ ආත්මයන් සැරිසරන බවයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. අසන විට, කියන විට ඇඟ කිලිපොලා ගියත්, සමහර සංචාරකයන් මෙවැනි ස්ථාන නැරඹීමට යාමට බොහෝ කැමැත්තක් දක්වන බවක් දැක ගත හැකියි. මේ ලිපියෙන් සාකච්ඡා වන්නේ එවන් නුහුරු නුපුරුදු කතාබහට ලක් නොවුණු ස්ථානයන් කිහිපයක් පිළිබඳවයි.

ඇරිසෝනා ප්‍රාන්තයේ කඳු පන්තිය

az-gold.blogspot.com

ඇරිසෝනා ප්‍රදේශයේ නැගෙනහිර ෆීනික්ස් හි කඳු පන්තිය ද මෙවන් අද්භූත කතා වලින් ගහන ප්‍රදේශයක්. සමහරුන් විශ්වාස කරන ආකාරයට අපායේ දොරටුව ඇත්තේ මේ කඳු පන්තිය යටින් ය. කෙසේ වුවත් ඉතිහාස කතා වලට අනුව ජර්මනියේ සිට මේ ප්‍රදේශයට ආ සංචාරකයෙකු මේ කඳු අතර තිබී රන් ආකරයක් සොයාගෙන තිබේ. ඒ එක් දහස් අටසිය ගණන්වල දී ය. මේ රහස ඔහු මිය යනතුරුවත් කිසිවෙකුට පවසා නොමැති නිසා වෙනත් අයෙකුට එයින් රන් සොයාගත හැකි වී නැත.

ඔහුගේ මරණින් පසුව ද මේ ආකරය සෙවීම සඳහා බොහෝ දෙනෙකු ඒ ප්‍රදේශය වෙත ගොස් ඇති බව පැවසෙයි. නමුත් ඒ කිසිවෙකුටවත් රත්රන් සොයාගත නොහැකි වී ඇති අතර ඒ බොහෝ දෙනා නැවත පැමිණ ද නැත. එසේ රන් සොයා ගොස් මිය ගිය අයගේ ආත්මයන් තවමත් කඳු පන්තියේ සැරිසරන බවයි බොහෝ අය පවසන්නේ. එසේම රන් ආකාරය ආරක්ෂා කිරීම සඳහා කුඩා ජීවින් කොට්ඨාශයක් මේ කඳු පන්තිය මුල තවමත් ජිවත් වන බව ද සඳහන් ය.

ඔකිගහාරා වනාන්තරය

coveredtruths.com

ඔකිගහාරා වනාන්තරය පිහිටා ඇත්තේ ජපානයේ ෆීජි කඳු ආශ්‍රිතව යි. “වන මුහුද” ලෙසින් හැඳින්වෙන්නේ ද මෙයයි. සියදිවි නසාගන්නා වනාන්තරය නමින් නම් දරා ඇති මේ වනය ලොව දෙවනියාට වැඩිම සියදිවි නසාගැනීම් සිදු වන ප්‍රදේශය යි.

ඉතා අඳුරු වූ වනාන්තරයක් වන මෙය දහවලේ ද රාත්‍රිය මෙන් අඳුර සහිත ය. වසරකට සිය දිවි නසාගැනීම් 100 ක් පමණ මේ වනයෙන් වාර්තා වේ. මේ නිසාමයි වනයේ තැන් තැන්වල සිය දිවි නසාගැනීමේ විපාක සහ සියදිවි නසාගැනීම්වලින් වළකින ආකාර සඳහන් පුවරු සවිකර ඇත්තේ.

මෙහි සිය දිවි හානි කරගන්නා පුද්ගලයන්ගේ අවසන් කටයුතු නිසියාකාරව නොකෙරෙන නිසා ඔවුන්ගේ ආත්ම ඒ වනයේ සැරිසරන බවයි ජපනුන් විශ්වාස කරන්නේ.

මෙක්සිකෝවේ බෝනික්කන්ගේ දූපත

worldfortravel.com

ඒ 1950 වර්ෂය යි. ජුලියන් බරේරා නම් පුද්ගලයාට මේ දුපතේ දී කුඩා ගැහැණු ‍දරුවෙකුගේ මළ සිරුරක් හමුව ඇත. ඒ ගංගාවක ගසාගෙන එද්දී ය. මඳ වේලාවකට පසුව ඔහුට හමු වන්නේ ගංගාවේ ගසාගෙන ආ බෝනික්කෙකි. ඔහු කුඩා දැරියගේ ආත්මය සුවපත් කිරීම පිණිස එතැන් සිට බෝනික්කන් මේ දුපතේ ගස්වල එල්ලා ගොස් ඇත. එම සිද්ධියෙන් වසර ගණනාවකට පසු ජුලියන් ගේ සිරුර ද මේ ගංගාවේම ගසාගෙන යද්දී හමු වී ඇත. මේ දුපතේ අදටත් කුඩා ගැහැණු දරුවාගේ ආත්මය සැරිසරන බවයි බොහෝ අය විශ්වාස කරන්නේ.

මෙම ස්ථානය අද වන විට සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත්ව ඇත. බොහෝ සංචාරකයන් ද තම ගමනේදී බෝනික්කන් රැගෙන ගොස් මේ දුපතේ ගස්වල එල්ලා ඒම පුරුද්දක් කරගෙන තිබෙනු පෙනේ.

මැන්චක් ස්වැම්ප් ප්‍රදේශය

මේ පෙදෙස ඇත්තේ ලුසියානා ප්‍රදේශයේ යි. යම් අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වේ යැයි විශ්වාස කරන මේ ස්ථානයේ මායකාරියක් සිට ඇති බවයි පුරාවෘත්ත පවසන්නේ. මේ මායාකාරිය තමාගේ මරණය සිදු වන දවස ගැන අනාවැකි පවසා ඇති අතර එදිනම තව බොහෝ දෙනෙකුගේ මරණය ද නියත බව ඇය පවසා ඇත. එය සනාථ කරමින් ආ මහා සුළි සුළග එදින බොහෝ දෙනාගේ ජිවිත අහිමි කොට ඇත. මේ මායාකාරිය තම මරණය ගැන ගැයූ ගීත තවමත් මේ ප්‍රදේශයේ දෝංකාර දෙන බවයි පැවසෙන්නේ.

ඉන්දියාවේ ජටින්ගා ගම්මානය

tripoto.com

මේ ගම්මානය ඇත්තේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ යි. එය ද ලොවේ අද්භූත ස්ථාන ලැයිස්තුවේ ඉහළින්ම ඇති ස්ථානයක්. විවිධ ප්‍රදේශවලින් පැමිණෙන සිය දහස් ගණනින් පක්ෂීන් මේ ස්ථානයේ දී සිය දිවි නසා ගන්නා බැව් පැවසේ. ඒ අතර ඉන්දියානු පක්ෂීන් මෙන්ම සංචාරක පක්ෂීන් ද සිටී. නමුත් මෙසේ පක්ෂීන් මේ ස්ථානයටම පැමිණ සියදිවි නසාගන්නේ ඇයි ද යන්න තවමත් අනාවරණය වී නොමැත.

අදෘශ්‍යමාන බලවේග ගැන වර්තමාන දියුණු සමාජය විශ්වාස කළත් නොකළත්, එවන් ස්ථාන මේ මිහිපිට තවමත් ජීවමාන ය. ඒවාට ඇති සංචාරක ආකර්ෂණයේද අඩුවක් නැත. ඔබත් හැකි දවසක කැමති නම් මේ ස්ථාන දැක බලා ගන්න.

කවරයේ කතාව-  ghostlyactivities.com 

මුලාශ්‍ර :

https://www.atlasobscura.com

www.odditycentral.com

http://www.isladelasmunecas.com/

https://www.tripadvisor.com

Related Articles