Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොලිසිය පවා මවිතයට පත් වූ ට්‍රොම්ප් පවුලේ අබිරහස් චාරිකාව

ට්‍රොම්ප් සාමාජිකයන් කියන්නේ අනෙක් පවුල් වගේ ම වෙහෙස මහන්සියෙන් වැඩ කරමින් සාමාන්‍ය ජීවිතයක් ගෙන ගිය පවුලක්. පවුලේ ජ්‍යෙෂ්ඨත ම යුවළ වන 51 හැවිරිදි මාර්ක් ට්‍රොම්ප් සහ ඔහුගේ බිරිය වන 53 හැවිරිදි ජැකෝබා, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ආසන්නයේ පිහිටි සිල්වන් හි ගොවිපළක් පවත්වා ගෙන යමින් සිය ජීවිකාව සරි කරගත්තා. කෙසේ නමුත්, 2016 වර්ෂයේ අගෝස්තු 29 වැනිදා ඔවුන් දෙපළ සිය දරුවන් තිදෙනා වූ රියානා, මිචෙල් සහ එලා සමඟ කිසිදු පෙර දැනුම් දීමකින් තොරව වාහනයක නැඟී ගොවිපළින් පිටත් වුණා.

පැහැදිලිව ම එය පවුලේ චාරිකාවක් නොවෙ යි. හදිසියේ සැලසුම් කළ පලා යෑමක් හෝ අතුරුදහන් වීමක් ලෙස ට්‍රොම්ප් පවුලේ ක්‍රියාව හඳුන්වන්නට පුළුවන්. වැඩි දිනක් යෑමට මත්තෙන් ඕස්ට්‍රේලියානු පොලිසිය ට්‍රොම්ප් පවුලේ අතුරුදහන් වීම කෙරෙහි අවධානය යොමු කළා. පරීක්ෂණ අතරතුර පොලිසිය අනාවරණය කර ගත් තොරතුරු දෙබැම රැලි ගන්වනසුලු යි.

ට්‍රොම්ප් පවුලේ විකාරරූපී චාරිකාවේ ගමන් මඟ – www.bbc.com 

සන්නිවේදනය තහනම්! 

පොලිසිය අනාවරණය කරගත් ප්‍රබලත ම කරුණ වූයේ මාර්ක් සහ ජැකෝබා ක්‍රමයෙන් වැඩි වන මානසික ආතතියකින් සහ පීඩනෝන්මාදයෙන් පෙළුණු බව යි. මාධ්‍ය වාර්තාවලට අනුව කිසියම් ආගන්තුකයෙක් පවුලේ සාමාජිකයන් මරා දමා මුදල් පැහැර ගැනීමේ සූදානමක සිටින බවට වූ සැකයකින් මාර්ක් සහ ජැකෝබා පසු වූ බවත් සඳහන් යි. මීට අමතර ව, විදේශ ගමන් බලපත්‍ර, ක්‍රෙඩිට් කාඩ් සහ ජංගම දුරකථන වැනි පෞද්ගලික අනන්‍යතාව හෙළි කර ගත හැකි සියලු සාක්ෂි ට්‍රොම්ප් නිවසේ දමා ගොස් ඇති බව පොලිසිය සොයා ගත්තා. පොලිසියට හමු නොවූ එකම ජංගම දුරකථනය අයත් වුණේ ට්‍රොම්ප් පවුලේ පුත්‍රයෙක් වූ මිචෙල් (25 හැවිරිදි වියේ පසු වූ) හට යි.

 තම පවුල කිසියම් අනතුරකට අත වනන බවට වූ සැකයෙන් පසු වූ එකම පුද්ගලයා මිචෙල් බව පෙනෙන්නට තිබුණා. පසුව අනාවරණය වූ පරිදි මිචෙල් සිය ජංගම දුරකථනය රැගෙන ගොස් තිබුණේ තම පවුලේ සියල්ලන් ම ආරක්ෂිත බව සහතික කිරීමට යි. මිචෙල්ගේ ක්‍රියාව ට්‍රොම්ප් පවුලේ ජ්‍යෙෂ්ඨයන් ඉවසුවේ නැහැ. අවසාන ප්‍රතිඵලය ලෙස සිය ජංගම දුරකථනය ගොවිපළෙන් කිලෝ මීටර් 30 ක් ඈතින් පිහිටි ප්‍රදේශයක දී වාහනයෙන් ඉවතට විසි කිරීමට මිචෙල්ට සිදු වුණා!

ගොවිපළේ පිහිටි ට්‍රොම්ප් පවුලේ නිවස – www.dailymail.co.uk 

මිචෙල් පවුල හැර යයි

 නිමා නොවන ට්‍රොම්ප් පවුලේ චාරිකාව ගැන මිචෙල් සිටියේ නොසතුටින්. ගොවිපළේ සිට සැතපුම් 500 ක් ගත වූ තැන සිය මාපියන්ගේ අවශ්‍යතා තවදුරටත් තමාගේ වගකීමක් ලෙස නොසලකා වාහනයෙන් බැස යන්නට මිචෙල් තීරණය කළා. සිඩ්නි නගරයට බටහිරි පිහිටි බැතර්ස්ට් නම් ප්‍රදේශයේ දී සිය පවුලෙන් උදෑසනින් ම වෙන් වූ මිචෙල්, දුම්රිය ගමන් වාර කිහිපයක් භාවිත කරමින් සිය නවාතැනට සැපත් වුණා. ට්‍රොම්ප් පවුල ගමන් ගත් වාහනයේ සිදු වූ දේවල් පාලනයෙන් තොර වූ බැවින් තම පවුලට උදව් කළ යුතුව තිබුණත්, අවස්ථානුකූල ව ගත හැකි එකම තීරණය වාහනයෙන් බැස යෑම බව ඔහු මාධ්‍ය හමුවේ පවසා තිබුණා.

වාහනයක් සොරකම් කළ දියණියෝ

මිචෙල්ගේ වෙන්වීමෙන් පසු ඉතිරි ට්‍රොම්ප්වරුන් සිව්දෙනා ජනප්‍රිය සංචාරක මධ්‍යස්ථානයක් වූ ජෙනොලන් ගුහා සංකීර්ණය වෙත ළඟා වුණා. රියානා සහ එලා (පිළිවෙලින් 29 සහ 22 හැවිරිදි වියේ පසු වූ) තම මාපියන්ගෙන් වෙන්වීමට තීරණය කළේ එහිදී යි. මිචෙල් සාමාන්‍ය ආකාරයෙන් පොදු ප්‍රවාහනය භාවිත කරමින් සිය ගමනාන්තය වෙත සැපත් වුණත්, රියානා සහ එලා සිදු කළේ ඇදහිය නොහැකි ක්‍රියාවක්. ඔවුන් දෙදෙනා එක්වී මෝටර් රථයක් සොරකම් කළ අතර, ජෙනොලන් ගුහා වලට නැගෙනහිරින් පිහිටි ගූල්බර්න් වෙත ඉන් ඔවුන් ළඟා වුණා. එහි දී තම මව්පියන් අතුරුදහන් වූ බව ඔවුන් වාර්තා කළා.

ජෙනොලන් ගුහා සංකීර්ණය – www.bluemts.com.au

රියානා සහ එලාගේ හෙළිදරව්ව මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචලිත වීමට පටන් ගත් අතර, එකම පවුලේ සාමාජිකයන් මෙසේ අබිරහස් ලෙස වෙන් වී යෑම සහ අතුරුදහන් වීම ඕස්ට්‍රේලියානුවන් ව්‍යාකූලත්වයට පත් කළා. අනෙක් අතට, මේ සියලු දේ සිදු වන්නේ ඉතා දුරස්ථ ප්‍රදේශවල නොවෙ යි. ට්‍රොම්ප් පවුලේ අබිරහස් චාරිකාව ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලට සමීප ව සිදු වෙමින් තිබුණා. මේ අතර ගූල්බර්න් ප්‍රදේශයේ එක්තරා ඉන්ධන පිරවුම්හලක් අසල දී රියානා සහ එලා වෙන් වීමට තීරණය කළා. තම අශ්වයන් පෝෂණය කිරීමට නිවසට යාමට අවශ්‍ය බව පවසමින් එලා පවුලේ ගොවිපළ වෙත පැමිණි අතර, පොලිසිය සොයා ගත් පළමු ට්‍රොම්ප් සාමාජිකාව බවට ඇය පත් වුණා. මිචෙල් ඒ වනවිටත් දුම්රියක් ආධාරයෙන් නිවසට පැමිණෙමින් සිටියා.

රියානා ගේ ව්‍යාකූලත්වය

මිචෙල් සහ එලා කිසියම් මානසික දුර්වලතාවකින් පෙළෙන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. රියානා වෙතින් යම් යම් වෙනස්කම් ප්‍රදර්ශනය වුණා. ඇය ගූල්බර්න් හි දී ආගන්තුකයකුගේ වාහනයක පිටුපස නැඟී සැගවුණු අතර, සිය වාහනයේ තවත් කෙනකු සිටින බව රියදුරා දැන ගත්තේ පැයක් පමණ ගත වූ පසුව යි. රියානා සොයා ගත් මොහොතේ දී ඇය කිසියම් කම්පනයකට ලක් වී සිටි බවත්, ඇය තමාගේ අනන්‍යතාව සහ සිටින ප්‍රදේශය ගැන අවබෝධයකින් නොසිටි බවත්, රියදුරා ප්‍රකාශ කර තිබුණා. රියානා පසුව ගූල්බර්න් ප්‍රදේශයේ රෝහලට පිටත් කර යැවූ අතර, එහි දී ඇයට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. මානසික සෞඛ්‍ය හේතුන් මත වාහනයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් රියානාට චෝදනා එල්ල නොවුණත්, එලාට එම චෝදනාවලින් නිදහස් වීමේ හැකියාවක් තිබුණේ නැහැ.

ට්‍රොම්ප් පවුලේ සාමාජිකයෝ – www.dailymail.co.uk 

දෙදෙනෙක් තවමත් ඉතිරි යි!

සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයේ උනන්දුව වැඩි වීමත් සමඟ ඉතිරි දෙදෙනා සොයා ගැනීම සඳහා අන්තර් ප්‍රාන්ත සෝදිසියක් ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියානු පොලිසිය තීරණය කළා. සෙවීම් සිදුවන අතරතුර මාර්ක් සහ ජෙකෝබා නැවතත් ජෙනොලන් ගුහා සංකීර්ණයේ සිට මෙල්බර්න් දක්වා ගමන් කරමින් සිටියා. සිදුවීම් දාමයේ අබිරහස් බව තවත් තීව්‍ර කරමින් ඉන් දිනකට පසු ජෙනොලන් සිට කිලෝ මීටර් 600 ක් දකුණට වන්නට පිහිටි වැන්ගරාටා හි දී ජැකෝබා සහ මාර්ක් ද එකිනෙකා ගෙන් වෙන් වුණා!

 ජැකෝබා නැවතත් උතුරු දෙසට ගමන් කළ අතර, ඒ පිටුපස තිබූ හේතුව තවමත් අබිරහසක්. පසු දින වැන්ගරාටා සිට කිලෝ මීටර් 350 ක් දුරින් පිහිටි “යාස්” නමැති ප්‍රදේශයේ දී කලබලකාරී හැසිරීමක් සහිත ව ඉබාගාතේ ගමන් කරන ජැකෝබා සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. පසුව මානසික ප්‍රතිකාර උදෙසා රියානා නැවතී සිටි ගූල්බර්න් රෝහල වෙත ජැකෝබාත් පිටත් කර හැරීමට සෞඛ්‍ය අංශ තීරණය කළා. මාර්ක් තවමත් නැවතී සිටියේ වැන්ගරාටා ප්‍රදේශයේ යි. ඔහු පලා යමින් සිටි නිසා සෝදිසි කිරීම් පොලිසිය අඛණ්ඩ ව පවත්වා ගෙන ගියා.

මාර්ක් සහ ජැකෝබා – www.bbc.com 

ව්‍යාකූල චාරිකාවේ සාරාංශය

අසාමාන්‍ය ප්‍රෙහේළිකාවේ අවසාන කොටස විසඳීම සඳහා ඕස්ට්‍රේලියානු පොලිසියට දින හයක් ගත වුණා. වැන්ගරාටා ගුවන් තොටුපළ අසල මාර්ගයක ගමන් කරමින් සිටිය දී මාර්ක් ට්‍රොම්ප් සොයා ගැනීමට පොලිසිය සමත් වූ අතර, ඔහු ප්‍රශ්න කිරීම් මාලාවකට සහ මානසික සෞඛ්‍ය නිලධාරියකුගේ ඇගයීමකට ලක් කළා. පසුව මාර්ක් ට්‍රොම්ප්, සිය සහෝදරයාගේ රැකවරණය යටතේ නිදහස් කිරීමට පොලිසිය තීරණය කළා. මහජනතාව සහ ආරක්ෂක අංශ පත් වූ අපහසුතාව සම්බන්ධයෙන් සමාව අයදින්නටත් ඔහු අමතක කළේ නැහැ.

ඕස්ට්‍රේලියානු පොලිසිය සහ මහජනතාව මොහොතකට තර්කනය තුළ අතරමං කළ සතියක් ලෙස ට්‍රොම්ප් පවුලේ “විකාර සහගත චාරිකාව” හැඳින්විය හැකි යි. ඔවුන්ගේ ගමන් මඟෙහි වැදගත් සන්ධිස්ථාන සාරාංශ ගත වූයේ මේ අයුරින්.

අගෝස්තු 29: ට්‍රොම්ප් පවුල සිල්වන් ප්‍රදේශයේ පිහිටි ගොවිපළ හැර යයි. වෝ(ර්)බර්ටන් ප්‍රදේශයේ දී මිචෙල්ගේ ජංගම දුරකථනය අත හැරීමට සිදු වුණෙත් මෙදින යි.

අගෝස්තු 30: මිචෙල් පවුලේ “ව්‍යාකූල” චාරිකාවෙන් ඉවත් වෙයි. රියානා සහ එලා ජෙනෝලන් ගුහා අසල දී මිචෙල්ගේ ක්‍රියාව අනුගමනය කිරීමට තීරණය කරයි.

අගෝස්තු 31: වැන්ගරාටා ප්‍රදේශයේ මාර්ක් සහ ජැකෝබා සිටින බව හෙළි වෙයි.

සැප්තැම්බර් 01: යාස් ප්‍රදේශයේ දී ජැකෝබා පොලිස් භාරයට පත් වෙයි.

සැප්තැම්බර් 03: වැන්ගරාටා ප්‍රදේශයේ ගුවන් තොටුපළ ආසන්නයේ දී මාර්ක් ට්‍රොම්ප් පොලිස් භාරයට පත් වෙයි.

මේ ව්‍යාකූල චාරිකාවේ මුළු දුර කිලෝ මීටර 1500 කට අධික බවත් වාර්තා වෙනවා.

මිචෙල් සහ එලා ඔවුන්ගේ මව්පියන් කිසියම් බියකින් පෙළුණු බව පවසා තිබුණා – www.bbc.com 

තර්ක විතර්ක මැද සත්‍යය..?

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනවලට දායක වූ සිල්වන් දිස්ත්‍රික්කයේ එක්තරා පොලිස් නිලධාරියෙක් පවසා සිටියේ ඔහුගේ තිස් වසරක වෘත්තිය ජීවිතය තුළ දුටු විස්මයජනක ම සිද්ධි‍ය මෙය බව යි. ට්‍රොම්ප් පවුලේ හදිසි නික්ම යෑම සහ ඔවුන්ගේ අමුතු හැසිරීම් රටාව සම්බන්ධයෙන් ඔවුන්ගේ ම අදහස් විමසා තිබුණත්, ට්‍රොම්ප් පවුලේ සාමාජිකයන් සාධාරණ පිළිතුරක් දීමට අපොහොසත් වුණා. පවුලේ කිසිදු සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය භාවිත නොකළ අතර, කිසිවකුට මානසික සෞඛ්‍යය අතින් ගැටලුකාරී ඉතිහාසයක් නොමැති බව ද අනාවරණය වුණා. පවුලේ සාමාජිකයන් පෞද්ගලික ව දන්නා එක්තරා පොලිස් නිලධාරියෙක් පවසා සිටියේ ඔවුන් කිසිදු මූල්‍යමය අර්බුදයකට ලක් ව නොසිටි බව යි. ට්‍රොම්ප් පවුල කිසිදු ආන්තික ආගමික කණ්ඩායමක කොටසක් හෝ අනුගාමිකයන් නොවන බවත් හෙළිදරව් වුණා. ඒ අනුව හදිසි පලා යෑම හෝ අතුරුදහන් වීමේ උත්සාහය සම්බන්ධයෙන් ගොඩ නැඟුණු තර්ක විතර්ක එකින් එක බිඳ වැටීම ඇරඹුණා.

මිචෙල් සහ එලා මාධ්‍යට අදහස් දක්වමින් – www.dailytelegraph.com.au 

ට්‍රොම්ප් පවුල පත් වූ තත්ත්වය සම්බන්ධයෙන් සාධාරණ පැහැදිලි කිරීමක් ලබා දිය හැකි ව තිබුණේ මනෝ විද්‍යාවට පමණ යි. වසර ගණනාවක් තිස්සේ පවුල තුළ යම් මානසික ආතතියක් ගොඩ නැඟෙමින් තිබුණු බවත්, එම ආතති ස්වභාවය අවසානයේ දී නිදහස් වූයේ ඔවුන්ගේ ව්‍යාකූල චාරිකාවෙන් බවත්, රියානා ට්‍රොම්ප් පවසා තිබුණා. නමුත්, සිදුවීම සම්බන්ධයෙන් රියානා යෝජනා කර තිබුණේ ඇය අනුමාන කළ හේතුවක් පමණ යි. පවුලේ සාමාජිකයන් කිසිවෙක් ඔවුන්ගේ හැසිරීමට බලපෑ සත්‍ය සාධකය දැන සිටියේ නැහැ.ඔවුන්ගේ ආර්ථිකයට සවියක් වූ ගොවිපළේ භාවිත කළ එක්තරා රසායනිකයක් නිසා මෙවැනි බලපෑමක් එල්ල වූ බවත් පැවසෙනවා. කෙසේ නමුත්, පවුලේ සාමාජිකයන් සියල්ලම පාහේ කිසියම් මිත්‍යා විශ්වාසයක් හෝ මුළාවක් එක හා සමාන ව විශ්වාස කළ නිසා මෙවැන්නක් සිදු වූ බව වඩාත් පිළිගන්නා අදහස යි. මෙම තත්ත්වය “folie a deux” ලෙස හඳුන්වන අතර, එය “madness of two” යන අර්ථයට සමීප ප්‍රංශ යෙදුමක් වෙනවා.

ව්‍යාකූල සහ මුළා සහගත හැසිරීම්

“Folie à deux” යනු පුද්ගලයන් දෙදෙනකුට හෝ ඊට වැඩි ගණනකට ඇති විය හැකි දුර්ලභ ගණයේ මානසික ව්‍යාකූලතාවක්. බොහෝ විට මෙම තත්ත්වය සමීපත්වය ඉහළින් පවත්වා ගන්නා පවුල්වල සාමාජිකයන් අතර ඇති විය හැකි යි. මේ ව්‍යාකූල සහ මුළා සහගත හැසිරීම් මුලින් ම හඳුනාගත්තේ 19 වැනි සියවසේ ජීවත් වූ එක්තරා ප්‍රංශ යුවළක් හරහා බව පැවසෙනවා. ඔවුන් දෙදෙනා අතරින් මුලින් ම මනෝ ව්‍යාධියට පත් වූයේ කවුරුන්දැ යි පැවසීමට වෛද්‍යවරුන් අපොහොසත් වුවත්,  එකිනෙකාගේ මිත්‍යාවන් ශක්තිමත් කිරීමේ චක්‍රයකට ඔවුන් හසු ව සිටි බව නම් පැහැදිලි යි. ට්‍රොම්ප් පවුලටත් මෙතෙක් විස්තර කළ මානසික ව්‍යාකූලත්වය අදාළ කරගත හැකි වුවත්, ඔවුන් අතර ශක්තිමත් වෙමින් තිබූ මිත්‍යාව හෝ මුළාව කුමක්දැ යි විස්තර කිරීම උගහට යි. කෙසේ නමුත්, සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ නොපැවැත්වීමටත්, අදාළ ප්‍රශ්නය පවුලේ ප්‍රශ්නයක් ලෙස සැලකීමටත්, පොලිසිය තීරණය කළා.

කවරයේ ඡායාරූපය: ට්‍රොම්ප් පවුලේ අබිරහස් චාරිකාව සතියක් පුරා ඕස්ට්‍රේලියානුවන් මවිතයට පත් කළා - www.dailymail.co.uk

මූලාශ්‍ර:

 www.bbc.com

www.ranker.com

www.ncbi.nlm.nih.gov 

Related Articles