පැරණි වංශකතා සහ සාහිත්‍යය ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට බුදුරදුන් තෙවරක් ලක්දිවට වැඩම කර ඇති අතර ඉන් දෙවන සහ තුන්වන ගමන් සිදුව ඇත්තේ නාග ගෝත්‍රිකයන් උදෙසා යි. නාග නමින් ගෝත්‍රයක් ලක්දිව තිබී ඇති බවත්, ඔවුන් ලක්දිව බලවත් ගෝත්‍රයක් වශයෙන් පැවත ඇති බවත් යන විශ්වාසය මෙනිසා ඇති වූ බව උපකල්පනය කෙරේ.

බුදුන් වැඩි සමයේ නාගයන්

බුදුරදුන් ලක්දිවට වැඩම කර ඇත්තේ ක්‍රි. පු. 543ට ඉහත දී යි. උන්වහන්සේ දෙවන වර ලක්දිවට පැමිණ ඇත්තේ වඩුන්නාගල පිහිටි නාග රාජධානියේ රජුත්, මණි නාග දිවයිනේ විසූ නාග රජුත් අතර ඇති වන්නට ගිය බිහිසුණු සටනක් සාමදාන කිරීමට යි. “මණිනාග දිවයින”, එසේ නැතහොත් “සමුද්‍ර නාග භවනය” ලෙසින් එකල හඳුනාගත් දූපත වර්තමානයේ “නයිනතිව්” නමින් හැඳින්වෙන බව ප්‍රසිද්ධ විශ්වාසය යි.

tourslanka.com

තෙවන වර බුදුරදුන් නාග වංශික රජුගේ ආරාධනය පරිදි වැඩම කළ බවයි සඳහන් වන්නේ. ඒ කල්‍යාණි රාජ්‍යය හෙවත් කැලණියට යි. එසේ පැමිණි අවස්ථාවේ එදිනම “සුමන” නම් ප්‍රදේශාධිපතියෙකු මුණ ගැසීමටත්, රජෙකු යැයි සිතිය හැකි ප්‍රභූවරයෙකු මුණගැසීම සඳහා සේරු නම් ප්‍රදේශයට වැඩම කළ බව යි ධාතු වංශයේ ද සඳහන් වන්නේ. එය සද්ධර්මාලංකාරයේ සඳහන් පුද්ගල නාම, සෙල්ලිපි, හා බෞද්ධ සාහිත්‍යය අනුව නාගයන් පදිංචිව සිටි ප්‍රදේශ ද අනුමාන කරයි.

නාගයන්ගේ ජීවන හැසිරීම්

නාග ගෝත්‍රිකයන් ජිවත්ව ඇත්තේ ජලාශ්‍රිත ප්‍රදේශයන් වල යි. එනිසා නාගයන් ධීවර කටයුතු වල ද නියැලුණු බවට උපකල්පනය කිරීම සඳහා සාධක පවතී. සමහරෙක් නාවික කර්මාන්තයේ ද නිරතව ඇති අතර, දඹදිව හා ලක්දිව අතර යාත්‍රා කරන්නට ඇතැයි සැලකේ. නාවික ගමනට අවශ්‍ය වන දියුණු නාවික යාත්‍රා සහ අනෙකුත් උපකරණ ද ඔවුන් සතුව තිබී ඇති අතර දඹදිවට පමණක් නොව, ඉන් ඔබ්බෙහි තිබූ අනෙකුත් රටවලට ද යාත්‍රා කිරීමට හැකියාව ඔවුන් සතු වන්නට ඇත. බොහෝ විට ඔවුන් භාවිතා කරන්නට ඇත්තේ රුවල් නැව් බවයි පැවසෙන්නේ.

කල්‍යාණි රාජ්‍යයේ කැළණි ගං මෝය අසළ පිහිටි කල්‍යාණි වරාය ද නාග ගෝත්‍රිකයන් සිහි කරවන්නක්. එකල මොවුන් බස්නාහිර සහ නිරිතදිග ප්‍රදේශ වලින් හමු වූ මැණික් සහ කැස්බෑ ලෙලි පිටරටට පටවා අත මිට සරු කරගෙන ඇති බව පැවසේ. ඒවා පිටරට පටවා ඇත්තේ කැළණි තොටෙනි.

නාගයන් පදිංචි ප්‍රදේශ

මහාවංශය සඳහන් කරන ආකාරයට නාග ගෝත්‍රිකයන් ජිවත්ව සිටියා යැයි කියන එක් ප්‍රදේශයකි, “වඩුන්නාගල.” වර්තමානයේ මේ ස්ථානය හඳුනා ගන්නේ කන්දරෝඩෙයි ලෙස යි.

නාගදීපය ද තවත් එවැනි ස්ථානයක්. නාගදීපය ආසන්නයේ ඇති දූපත් සමූහයම නාග ගෝත්‍රිකයන්ගේ වාස භුමිය වන්නට ඇතැයි සැලකේ. සද්ධර්මාලංකාරයේ මේ ස්ථානය හඳුන්වන්නේ නාග තොට ලෙස යි. ඔවුන්ගේ වාසස්ථානයන් අතර දඹකොළ පටුන ද අමතක කළ නොහැකි යි. දඹකොළ පටුනත්, නාග තොටත් වෙළෙඳ වරායන් ලෙස භාවිතා කරන්නට ඇති අතර මේ වරායන් දඹදිව සහ සෙසු රටවල් කරා යාම ද පහසු කරන්නට ඇත.

ටොලමිගේ සිතියමට ගිය නාගයන්

ටොලමිගේ සිතියම ගෙන විමසිල්ලෙන් බලන ඔබට එහි නම් කොට ඇති සිලෝන් හි ප්‍රදේශ හඳුනාගත හැකි යි. එහි ස්ථාන 3ක් නාගයන්ගේ ප්‍රදේශ ලෙස සලකුණු කර තිබෙනු දැකගත හැකි යි. ඒ “නගදිබ”, “නගදිබොයි”, සහ “නකදුබ” ලෙසින්. ටොලමි විසින් නගදිබොයි හි පිහිටීම විස්තර කරන්නේ ලක්දිව පායිස් නදියටත්, ගැන්ජිස් නදියටත්, ගලිබ කඳු වලටත්, මහ සයුරටත් අතර ඇති ප්‍රදේශයක් ලෙසයි. ඒ අනුව නගදිබොයි යනුවෙන් හඳුන්වන්නට ඇත්තේ නාගදීපය බවයි විද්වතුන් පවසන්නේ.

බලසම්පන්න නාග ගෝත්‍රිකයන්

නාග ගෝත්‍රිකයන් සවිශක්තිය අතින් මෙන්ම මිල මුදල් සහ සැප සම්පත් අතින් ද සරුසාර වූ බව පැරණි වංශ කතා සඳහන් කරනවා.

ඒවාට අනුව නාගයන් වෙළෙඳාමට උපන්නන්. ඔවුන්ගේ වෙළෙඳාම් අතර මුතු වෙළෙඳාම ජනප්‍රිය යි. ඔවුන් එයින් බොහෝ ලාභ ලැබ ඇති අතර මුතු බෙල්ලන් සොයාගත හැකි ප්‍රදේශ ආශ්‍රිතව නාග ජනපද බිහිව ඇත. වත්මන් කලා ඔයේ සිට අරුචි ආරු ගංගාව දක්වා තීරය “මුත්තකාර ජනපදය” ලෙස ය හඳුන්වා තිබෙන්නේ. එය මුතු කිමිදෙන්නන් සඳහාම වෙන්වූවකි. මාතොට හෙවත් මානාතිත්ථ වරාය භාණ්ඩ පිටරට යැවීම සඳහාම විශේෂ වූවක්. ඒ අනුව මානාතිත්ථ වරාය නාගයන්ගේ ප්‍රධානම වරායක් වන්නට ඇත.

quora.com

ලක්දිව වටිනා ස්වභාවික සම්පත් බහුල ප්‍රදේශ ආශ්‍රිතව නාගයන් වාසය කර ඇති බව පැහැදිලි යි. ඔවුන් වාසය කළ නිවෙස් හඳුන්වා ඇත්තේ “නාග භවන” ලෙසින්. මහාවංශයේ ද ඒවා “සමුද්‍ර නාග භවනය”, “වඩුන්නාගල සහ කැලණිය නාග භාවනයන්” ලෙසය හඳුන්වා ඇත්තේ.

මහාවංශය තවදුරටත් සඳහන් කරන ආකාරයට, “යුද්ධාරම්භක කාලයේ මහා බල සම්පන්න වූ මහෝදර නාග රාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙ හි රජකම් කරමින් සිටියේය. ඔහුගේ සහෝදරිය වන කන්හා නම් නමැත්තිය වඩමන් පර්වතයෙහි රජුට පාවා දෙන ලදී. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩවාසි මේ නාගයෝ ද මුහුදු නාගයන් මෙන් බලසම්පන්නයෝ වූහ”.

කවරයේ කතාව - lankainformation.lk 

මුලාශ්‍රයයන්:

https://ipfs.io/ipfs/

https://www.colombotelegraph.com

https://www.slideshare.net

www.lankalibrary.com