Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සඳ ගමන සැබෑවක් කළ ඇපලෝ ව්‍යාපෘතිය

ඈත අතීතයේ සිට ම සඳෙහි ස්වභාවය පිළිබඳ ව අපේ මුතුන්මිත්තන් විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළා. විවිධ ශිෂ්ටාචාර විද්‍යාව අතින් දියුණු වන විට සඳෙහි ස්වභාවය නිර්ණය කරන්නටත්, එය කරා යාමට විවිධ ක්‍රම නිර්ණය කරන්නටත් උත්සුක වුණා.

මුලින්ම මිනිසෙකු සඳ මත පා තැබුවේ 1969 දී වුණත්, මෙය පිළිබඳ විද්‍යාත්මක ව්‍යාපෘති හා පර්යේෂණ ආරම්භ වූයේ බොහෝ කලකට පෙර යි. මේ පිළිබඳ ව මිනිසුන්ගේ කෙතරම් උනන්දුවක් තිබුණා ද යත් ජුලස් වර්න් වැනි සාහිත්‍යධරයින් ද, මේලියස් වැනි චිත්‍රපට අධ්‍යක්ෂකවරු ද, හර්ජ් වැනි චිත්‍රකතාකරුවන් ද සිය නිර්මාණවලට ‘සඳ ගමන’ යන මාතෘකාව ඈඳා ගත්තා.

20 වන සියවසෙහි මැද භාගයේ සිට සඳ ගමන සාක්ෂාත් කරගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය හා රුසියාව අතර තරගයක් තිබුණා. අවසානයේ එය ජයගත්තේ ඇමෙරිකාව යි. මේ සඳහා නාසා ආයතනය ‘ඇපලෝ ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කළා. යම් මතභේද පැවතුණි ද ලොව වැඩිමනක් දෙනා සඳ ගමන සැබෑවක් බව පිළිගන්නා අතර පළමු සඳ ගමනත්, ඉන් අනතුරුව සිදු වූ සඳ ගමන් කිහිපයත් මේ ‘ඇපලෝ’ ව්‍යාපෘතිය යටතේ සාර්ථක ව ක්‍රියාත්මක වුණා.

thebedfordcitizen.org

ඇපලෝ ව්‍යාපෘතිය ගැන සැකෙවින්

නාසා ආයතනය විසින් සඳ ගමන අරබයා ක්‍රියාත්මක කළ ඇපලෝ ව්‍යාපෘතිය මඟින් සමස්ථයක් ලෙස යානා 11ක් සඳ වෙත ‍යැවීමට සමත් වෙනවා. මෙමඟින් ක්‍රියාත්මක කළ පළමු පියාසැරි 4 සඳ ගමන උදෙසා තනන ලද උපාංග පරීක්ෂා කර බැලීම සඳහා දියත් කළ අතර, ඉතිරි යානා 7න් 6ක් ම සාර්ථක ව සඳ මත ගොඩබැස්ස්වීම සිදුවෙනවා.

පළමු ඇපලෝ යානය 1968 දී දියත් කිරීම සිදු වූ අතර මිනිසා සඳ මත පා තැබීම 1969 ජූලි මාසයේ දී සිදු වුණා. ඇපලෝ ව්‍යාපෘතිය මඟින් අවසන් වතාවට සඳ මතට යානයක් යවන ලද්දේ 1972 දී යි.

ඇපලෝ යානයක කොටස් – MSFC-67-MS-G-1351-G

ඇපලෝ ව්‍යාපෘතිය යටතේ ගගනගාමීන් 12 දෙනෙකු සඳ මත පා තැබූයේයැ යි සැලකෙන අතර ඔවුන් විසින් ඒ මත විද්‍යාත්මක ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළා. ඔවුන් විසින් සඳෙහි පෘෂ්ඨය පර්යේෂණවලට භාජනය කළ අතර එහි වූ පාෂාණ කැබලි හා පස් සාම්පල වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා පෘථිවිය වෙත රැගෙන ආවා.

ඇපලෝ ව්‍යාපෘතිය සඳහා යොදාගත් යානා

නාසා ආයතනය විසින් මේ ව්‍යාපෘතිය සඳහා ඇපලෝ විධාන මොඩියුලය (Apollo Command Module) නිර්මාණය කළා. එය ගගනගාමීන් තිදෙනෙකුට ගමන් කළ හැකි කැප්සියුලයක් වුණා. මෙය තුළ සිට ගගනගාමීන් සම්පූර්ණ යානා පද්ධතිය සඳ වෙත ගෙනයාමත්, නැවත පෘථිවිය වෙත පැමිණීමත් සිදු කළා. මෙය මර්කරි හා ජෙමිනි ව්‍යාපෘතීන් සඳහා යොදාගත් ඒවාට වඩා ප්‍රමාණයෙන් විශාල වූ අතර එය තුළ ගගනගාමීන් තිදෙනාට පහසුවෙන් ඔබමොබ සැරිසැරිය හැකි වුණා. මෙය තුළ දළ වශයෙන් සාමාන්‍ය කාරයක පමණ ඉඩක් තිබුණා.

ඇපලෝ 11 විධාන මොඩියුලය- Mark Usciak / SpaceFlight Insider

මේ සම්පූර්ණ යානා පද්ධතිය තුළ විධාන හා සේවා මොඩියුල හැරුණු කොට අන්තර්ගත වූ අනෙක් මොඩියුලය වන්නේ ලූනා මොඩියුලය යි. මෙය ගගනගාමීන් සඳ මත ගොඩබෑම සඳහා යොදාගත්තා. ඇපලෝ යානා පද්ධතිය සඳ වටා කක්ෂගත වූ පසු ගගනගාමීන් රැගෙන, මව් යානයෙන් වෙන් වී සඳ මතුපිටට ගොඩබැසීම මෙමඟින් සිදුකළ අතර ඉන් අනතුරුව නැවත ගගනගාමීන් මව් යානය වෙත ගෙන යාමත් සිදුකෙරුණා. ලූනා මොඩියුලය ගගනගාමීන් දෙදෙනෙකු වෙනුවෙන් පමණක් සැකසී තිබුණා.

ඇපලෝ 11 ලූනා මොඩියුලයේ අනුරුවක්- korsantes.artstation.com

ඇපලෝ යානා සඳ කරා ගෙන යාම සඳහා රොකට්ටු මාදිලි 2ක් යොදා ගැනුණා. මුල් කාලයේ යවන ලද යානා සඳහා සැටර්න් 1 බී වර්ගයේ රොකට්ටු යොදාගත් අතර ඒවා තට්ටු 22ක ගොඩනැගිල්ලක් තරම් උස් වුණා. මේ රොකට්ටු අදියර දෙකක් හෙවත් කොටස් දෙකකින් යුක්ත විය. ඉන් පළමු කොටසේ ඉන්ධන අවසන් වූ පසු එය ගැලවී හැලෙන අතර ඉන්පසු දෙවන කොටස ක්‍රියාත්මක වෙනවා. මේවා යොදාගත්තේ මිනිසුන් සඳ මතට යැවීමට පෙර අත්හදා බැලීම් සිදුකළ යානා සඳහා යි.

සැටර්න් 1 බී වර්ගයේ රොකට්ටු- NASA

මිනිසුන් සඳ මත ගෙන ගිය පසුකාලීන යානා සඳහා වඩා බලවත් සැටර්න් 5 රොකට්ටු යොදා ගැනුණා. මේවා තට්ටු 36ක ගොඩනැගිල්ලක් තරම් විශාල වූ අතර අදියර 3කින් සමන්විත වුණා.

සැටර්න් 5 රොකට්ටු-NASA/ourplnt.com

මිනිසා සඳ මත පා තැබීම

මිනිසුන් සහිත ව සඳ කරා යවන ලද පළමු යානාව වූයේ ඇපලෝ 8 යානාව යි. එය 1968 දෙසැම්බර් මස සඳ කරා ලඟා වූ අතර ගොඩබැසීමක් සිදු නොකර සඳ වටා කක්ෂගත වී නැවත සාර්ථක ව පෘථිවිය කරා ළඟා වුණා. මේ සඳහා සහභාගී වූයේ ෆ්‍රෑන්ක් බෝමන්, බිල් ඇන්ඩර්ස්, හා ජිම් ලොවෙල් යන අය යි.

ඇපලෝ 11 යානාව මඟින් මිනිසා පළමුවරට 1969 ජූලි 20 වන දා සඳ මත පාතැබීම සිදුකළ අතර එම භාග්‍යය හිමිකරගත්තේ නීල් ආම්ස්ට්‍රෝන්ග් විසිනුයි. මීට අමතර ව එඩ්වින් ඕල්ඩ්‍රින් ද ඒ අවස්ථාවේ දී සඳ මත පාතැබූ අතර, ඔවුන්ගේ අනෙකුත් සඟයා වූ මයිකල් කොලින්ස් මවු යානය හසුරුවා ගනිමින් චන්ද්‍රයා වටා කක්ෂගත වී රැඳී සිටියා.

ඇපලෝ 11 කණ්ඩායම (වමේ සිට පිළිවෙලින්- නීල් ආම්ස්ට්‍රෝන්ග්, මයිකල් කොලින්ස්, හා එඩ්වින් ඕල්ඩ්‍රින්) – AFP/ NASA)

මුලින්ම අත්හදා බලන ලද යානය වූයේ 1968 ඔක්තෝබර් මාසයේ ගුවන්ගත කරන ලද ඇපලෝ 7 යානය යි එහි දී උපකරණ අත්හදා බැලීම පමණක් සිදු වූවා. අවසන් වතාවට චන්ද්‍රයා වෙත මිනිසුන් ගෙන යන ලද්දේ 1972 දෙසැම්බර් මාසයේ චන්ද්‍රයා වෙත ළඟා වූ ඇපලෝ 17 යානය යි. මේ අතරතුර ඇපලෝ 13 යානය හැර අන් සියල්ල ම සාර්ථක ලෙස සිය මෙහෙයුම් කටයුතු සිදුකළ අතර කාර්මික දෝෂයක් හේතුවෙන් 1970 අප්‍රේල් මාසයේ දී සඳ වෙත යවන ලද ඇපලෝ 13 මෙහෙයුම අතරමග දී නැවත පෘථිවියට ගෙන්වා ගැනීමට නාසා ආයතනයට සිදු වූවා. එහි ගමන්ගත් සියලු දෙනා නිරුපද්‍රිත ව නැවත පෘථිවියට පැමිණියා.

සඳ මත ගොඩබට ආකාරය

ලිපියේ පෙර සඳහන් කළ පරිදි ඇපලෝ යානාව සැටර්න් 5 රොකට්ටුව සමග චන්ද්‍රයා වටා කක්ෂගත වන අතර මේ වන විට එම රොකට්ටුවේ ඉතිරි ව පවතින්නේ එහි තුන්වන අදියරට අයත් කොටස් පමණයි. මේ කොටස් මඟින් ලූනා මොඩියුලය හා විධාන මොඩියුල චන්ද්‍රයා වෙත තල්ලු කිරීම සිදුවන අතර චන්ද්‍රයා ආසන්නයේ දී මොඩියුල දෙක වෙන් වී ලූනා මොඩියුලය චන්ද්‍ර පෘෂ්ඨය මත පතිත වීම සිදුවෙනවා. මෙහි ගගනගාමීන් දෙදෙනෙකු රැඳෙන අතර අනෙක් ගගනගාමියා විධාන මොඩියුලයේ රැඳී එය පාලනය කරමින්, චන්ද්‍රයා වටා කක්ෂ ගත වී සිටිනවා.

නීල් ආම්ස්ට්‍රෝන්ග් සඳ මත දී- YouTube

සඳ මත පා තැබූ අවසන් මෙහෙයුම් 3 දී ගගනගාමීන් ලූනා රෝවරය මඟින් එහි ඔබමොබ සැරිසරා වැඩිදුර ගවේෂණ කටයුතු සිදුකළා. පර්යේෂණ කටයුතු හමාර වීමෙන් පසු ව මේවා සඳ මත අත්හැර පැමිණ තිබෙනවා.

යම් මෙහෙයුමක දී සඳ මත ගොඩබසින ගගනගාමීන් දෙදෙනා සිය කටයුතු හාමාර වූ පසු නැවත ලූනා මොඩියුලය වෙත පැමිණ එය බලගන්වා, චන්ද්‍රයා වටා කක්ෂගත වී නැවත මව් යානය හෙවත් ප්‍රධාන විධාන මොඩියුලය හා සම්බන්ධ වීම සිදුවෙනවා. ලූනා මොඩියුලයේ සිටින ගගනගාමීන් දෙදෙනා නැවත විධාන හෙවත් පාලක මොඩියුලයට පැමිණි පසු ලූනා මොඩියුලය  අත්හැර දමා මව් යානය නැවත පෘථිවිය කරා පැමිණෙනවා. ලූනා මොඩියුලය සඳ මතට කඩා වැටෙනවා. පෘථිවිය කරා පැමිණෙන විධාන මොඩියුලය සාගරයකට පතිත වෙනවා. යාත්‍රාවක් මඟින් ගගනගාමීන් මුදාගැනෙනවා.

ලූනා රෝවරය- NASA/space.stackexchange.com

ඇපලෝ ව්‍යාපෘතිය විශේෂිත එකක් වන්නේ ඇයි?

1960 දශකය මුල් භාගයේ දී එවකට ඇමෙරිකානු ජනපති එම දශකය අවසානයේ දී හැකි නම් සඳ වෙත මිනිසුන් යවා පෙන්වන්නයැ යි නාසා ආයතනයට අභියෝග කළ අතර ඔවුන් එය සාර්ථක ව ජයගන්නවා. මෙය මිනිස් ප්‍රජාව විසින් පෘථිවිය හැර වෙනත් ග්‍රහලොවකට ලඟා වූ පළමු වතාව යි. මෙමඟින් අනාගතයේ දී තවත් ග්‍රහලෝක කරා ලඟා වීමට හැකිය යන විශ්වාසය මිනිසුන් තුළ ඇති වුණා.

කවරයේ පින්තූරය -NASA

Related Articles