Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්වදේශික ඇමරිකානුවන් ගෞරව කළ, “ආත්ම දෙකක් ලද්දවුන්”  

කුඩාකල සිටම අප රට තුළ පවතින සමාජ ක්‍රමය හා ඉගැන්වීම් අපගේ මනසට හුරුකරවා ඇත්තේ ස්ත්‍රී සහ පුරුෂ යන ලිංගයන් දෙක පමණක් මේ ලොව තුළ සාමාන්‍ය බවත්, මෙම ලිංගයන් දෙක අතර සංක්‍රාන්තියක් හෝ තුන්වන ලිංගික අනන්‍යතාවයක් පැවතීම අසාමාන්‍ය දෙයක් බවත් ය. නමුත් අප තේරුම්ගත යුතු කරුණ වන්නේ ලිංග භේදය යන කාරණාව හුදු භෞතික ආකාරවලින් පමණක් නොසළකා, යමෙකුගේ මනසට ද සම්බන්ධ කරගනිමින් සිතිය හැකි බව යි. මිනිසෙක්, පුරුෂයෙකු හෝ ස්ත්‍රීයක ලෙස හඳුනාගත හැකි ශාරීරික ලක්ෂණ පෙනෙන්නට තිබුණත්, ඔහුගේ හෝ ඇයගේ මනස ඔවුන්ට ජීවවිද්‍යාත්මකව ලැබෙන ලිංගය සමග නිරන්තරයෙන් හෝ එකහෙළාම සමපාත වන බව අපට සැළකිය නොහැකියි. ඒ අයවලුන් පමණක් නොව, උපතින්ම ලිංගික අවයවවලින් පවා ස්ත්‍රී හෝ පුරුෂ ලිංගික අනන්‍යතාවයකට එකවර වෙන්කළ නොහැකි අන්තර්ලිංගිකයන් ද උපදිනවා. එනිසා මෙලෙස මානසික වශයෙන් තම ශරීරය සමග එකඟ නොවන පුද්ගලයන්ට, ශාරීරික වශයෙනුත් මනසින් කැමති ලිංගය වෙත සංක්‍රමණය වීමට ඉඩහැරීම මානුෂීය අවශ්‍යතාවයක් සහ යහපත් සමාජ ගතිලක්ෂණයක් ලෙස දැන් ලෝකයේ ඇතැම් රටවල් පිළිගෙන තිබේ. 

ඉතින් මේ ලිපිය වෙන්වන්නේ උතුරු ඇමරිකානු ස්වදේශික ශිෂ්ඨාචාරයන් විසින් මෙම කරුණු කාරණා පිළිබඳව දැරූ ආකල්ප ගැන තොරතුරු ස්වල්පයක් ඔබ වෙනුවෙන් ගෙන ඒමට යි. සැබැවින්ම ඔවුන් ස්ත්‍රී-පුරුෂභාවය සලකා ඇත්තේ කෙනෙකුගේ ලිංගික අවයව දෙස බලා නම් නොවෙයි. ඔවුන් මෙම සියළු අනන්‍යතා පැහැදිලි කරගත්තේ පුද්ගලයෙකුගේ ආත්මය පදනම් කරගෙන යි. ඒ අනුව මිනිසෙකුගේ අනන්‍යතාවය අප නොසිතන ගැඹුරක් දක්වා ගෙන යාමට වසර දහස් ගණන් පැරණි මේ ගෝත්‍රයන් සමත් වෙලා තිබෙනවා.

ස්වදේශික ඇමරිකානු ද්වි-ආත්ම ඇත්තන්

යුරෝපීය ජාතිකයන් උතුරු ඇමරිකානු කලාපයට පැමිණීමට පෙර, සිය ගණනක් හෝ දහස් ගණනක් වූ විවිධාකාර ස්වදේශික ගෝත්‍රයන් එම කලාපය තුළ පැතිරී සිටියා. අපි “රතු ඉන්දියන්වරු” කියන්නෙත් මේ ස්වදේශිකයන්ට අයත් ජන කොට්ඨාශයන්ට යි.

ස්වදේශික ඇමරිකානු ගෝත්‍ර සමාජවල සිටි ටූ ස්පිරිට් නැතහොත් ආත්ම දෙකක් සහිත පුද්ගලයන්/kqed.org

යුරෝපයේ ශිෂ්ඨාචාරය උතුරු ඇමරිකානු කලාපයේ මුල්බැස ගැනීමට පෙර මෙහි සිටි ස්වදේශිකයන් පුද්ගලයෙකුගේ ලිංගික අනන්‍යතාවය හඳුනාගත්තේ තරමක් වෙනස් ආකාරයකට යි. ඒ අනුව ස්වදේශික ඇමරිකානු ගෝත්‍රිකයින් ස්ත්‍රී, පුරුෂ යන ලිංගයන්ට අමතරව තුන්වන ලිංගයක්, නැතහොත් “ද්වි-ආත්ම ඇත්තන්” (two-spirit) ලෙස වූ තවත් ලිංග අනන්‍යතාවයක් තම ගෝත්‍ර තුළ පවත්වාගෙන ගියා. නමුත් මේ “ටූ ස්පිරිට්” යන වචනය කාටත් වැටහෙන පරිදි ඇමරිකානු ස්වදේශිකයන් මෑතක දී යොදාගත් වචනයක් බව සඳහන් කළ යුතු යි. එයට හේතුව වන්නේ එක් එක් ගෝත්‍ර මේ තෙවැනි ලිංගය හැඳින්වීමට වෙනස් වෙනස් අර්ථ‍යන් ඇති, වෙනස් වෙනස් නාමයන් භාවිතා කිරීම යි. උදාහරණයක් ලෙස නවාහෝ නම් ස්වදේශික ගෝත්‍රය “ද්විත්ව ආත්ම” අර්ථ දැක්වූයේ “එක් ලිංගයකින් තවත් ලිංගයකට පරිවර්තනය වූ” නමැති අදහස ගම්‍ය වන ලෙසට. ඒ අතර ලකෝටා ගෝත්‍රිකයින් මෙය අර්ථ නිරූපණය කළේ “ස්ත්‍රීයෙකු ලෙස හැසිරීමට කැමති පිරිමියා” ආකාරයට යි. ඒ අනුව “ටූ ස්පිරිට්” යන තෙවන ලිංගික අනන්‍යතාවයේ සාමාන්‍ය අර්ථය “එකම ශරීරයක් තුළ ගැහැණු සහ පිරිමි ආත්ම ද්විත්වයක් රැඳී සිටීම” වශයෙන් සරලව අර්ථ නිරූපණය කරනවා.

මෙයින් අප වටහාගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. මේ ගෝත්‍රික සමාජයන්වල සංක්‍රාන්ති ලිංගිකයෙකු හෝ අන්තර් ලිංගිකයෙකු ඉපදුණත්, ගැහැණු ලක්ෂණ පෙන්වමින් සිටින පිරිමියෙකු හෝ පිරිමි ලක්ෂණ  පෙන්වන ස්ත්‍රීයක ඔවුන් අතර ජීවත් වුණත්, එය ඔවුන්ට අමුතු, ප්‍රතික්ෂේප කළ යුතු හෝ ගැරහීමට කාරණාවක් නොවන බව අපට මෙයින් පෙනී යනවා. ඔවුන් පුද්ගලයෙකු ගේ ලිංගික අනන්‍යතාවය දැක ඇත්තේ ස්ත්‍රී – පුරුෂ වශයෙන් අන්තයන් දෙකකට වෙන්කළ හැකි දෙයක් ලෙස නොව ද්‍රවතාවයක් සේ පවතින දෙයක් විදියට යි. එවැනි මැදහත් මානසිකත්වයක් මෙම සමාජ අතර ගොඩනැගී ඇත්තේ ඇයි? අපි බලමු.

ද්වි-ආත්ම ඇත්තන් ඉහළ කලාකාමී පිරිසක් වුණා/socialistamorena.com.br

භෞතික ශරීරයට වඩා ආත්මය වැදගත් කොට සැලකූ විශ්වාසය

බොහෝ ස්වදේශික ඇමරිකානු ගෝත්‍රයන් තම භෞතික ශරීරයට වඩා ආධ්‍යාත්මික ශරීරයට මුල් තැන දෙන්න ක්‍රියා කළා. වර්තමානයේ පවා ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව වැනි රටවල ඉතිරිව සිටින ස්වදේශික ජනයා, පුද්ගලයෙකුගේ ස්වභාවය සහ ගතිගුණ ඔවුන්ගේ ආත්මයේ පිළිඹිබුවක් බව විශ්වාස කරනවා. ඒ අනුව මිනිසෙකුගේ ස්ත්‍රී-පුරුෂභාවය පවා තීරණය වන්නේ ඉපදෙන ශරීරයට ලැඟුම් ගන්නා ආත්මය අනුව බව ඔවුන්ගේ පිළිගැනීම යි. ලිංගික අවයව හෝ භෞතික සාධක මඟින් කෙනෙකුගේ ස්ත්‍රී-පුරුෂභාවය තීරණය කරන පිළිවෙතක් ඔවුන් අතරේ තිබී නැහැ. මේ නිසා සංක්‍රාන්ති ලිංගිකයන් හෝ පූර්ණ ලෙස ගැහැණු හෝ පිරිමි ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන්, ගැහැණු සහ පිරිමි ආත්ම දෙකක් එකවර මිනිස් ශරීරයකට ඇතුළු වී උපත ලද්දන් ලෙස පිළිගැනීමට ඔවුන් පුරුදු වී සිටියා.

මෙම සංසිද්ධිය ස්වදේශීය ඇමරිකානු ගෝත්‍රයන් විසින් ඉතා සුබවාදී දෙයක් ලෙස සැළකීමට පුරුදුව සිටි අතර, එක ශරීරයකට එක ආත්මයක් ලැගුම් ගැනීමට වඩා, එක් ශරීරයකට ආත්ම දෙකක් ලැගුම් ගැනීම ආශිර්වාදයක් ලෙස සැළකුවා. ඒ අනුව, ද්වි-ආත්ම ලද්දන් ආධ්‍යාත්මික වශයෙන් ත්‍යාගශීලි ලෙස ඉපදුණු, සාමාන්‍ය ගැහැණු හා පිරිමි පුද්ගලයන්ට වඩා ගෞරවය ලැබිය යුතු කොට්ඨාශයක් ලෙස මොවුන් අතර පිළිගැනීමක් තිබුණා. එනිසා එවැනි පුද්ගලයින් අපහසුතාවයට පත් කරනවා වෙනුවට, ඔවුන් ආධ්‍යාත්මික නායකයින් සහ ගුරුවරුන් ලෙස පවා සැළකීමට ස්වදේශිකයන් පුරුදු වුණා.

තම නිදහස වෙනුවෙන් ස්වදේශික ඇමරිකානුවන් යුරෝපීය බලමුළු සමග නිතර සටන් වැදුණා/history.com

ද්වි-ආත්ම මිනිසුන්ට ස්වදේශික සමාජයන් ගෞරව කළේ ආගමික ආකල්ප නිසා පමණක්ම නොවෙයි. එම පුද්ගල‍යන්ගෙන් ජන සමාජයට අත්වන සේවාව ගැන ද මේ ස්වදේශිකයන් තම අවධානය යොමු කළා. ද්වි-ආත්ම ඇත්තන් ස්ත්‍රී හා පුරුෂ යන ගති ලක්ෂණ දෙකම මිශ්‍රව පවතින පුද්ගලයන් නිසා එවැන්නන්ට පුරුෂ සහ ස්ත්‍රී පාර්ශව දෙකටම වෙන් වූ වැඩ එකවර කරගෙන යෑමේ හැකියාවක් තිබෙන බව ස්වදේශික ඇමරිකානුවන් විශ්වාස කළා. ද්වි-ආත්ම ඇත්තන් බොහෝවිට වෙහෙස මහන්සි වී වැඩ කළ අය ලෙස සලකනු ලැබූ අතර, කලාත්මක හැකියාවන් අතින් ද ඔවුන් ඉදිරියෙන්ම සිටියා. මෙම පුද්ගලයන් තම සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට උපකාර කළ අතර වැඩිහිටි ඥාතීන් රැක බලාගැනීම ද සිදුකළා. එයිනුත් ඔබ්බට යමින්, මේ මිනිසුන් අනාථභාවයට පත් වූ කුඩා දරුවන්ගේ භාරකාරත්වය තමන්ගේ වගකීමක් ලෙස කරට ගෙන, ස්වදේශික ඇමරිකානු ජන සමාජයන් තුළ ඉමහත් වූ මෙහෙවරක් ඉටුකළ බව කියැවෙනවා.

මෙම ගෝත්‍ර සමාජයන් අතර සිටි ස්ත්‍රී ගතිලක්ෂණ ඇති පිරිමින් ගෝත්‍රය තුළ සිටි පුරුෂයෙකු හා විවාහ වීමට අපේක්ෂා කළ අතර, පුරුෂ ගති ලක්ෂණ ඇති ස්ත්‍රීන් තවත් ස්ත්‍රීයක් සමග විවාහ වීම සාමාන්‍ය දෙයක් වුණා. එවැනි කාරණාවලට එම ගෝත්‍රයන් තුළ කිසිදු විරුද්ධත්වයක් තිබුණේ නැහැ. නමුත් මේ සීමා මායිම්වලින් තොර, සෑම පුද්ගලයෙකුගේම අනන්‍යතාවයට ගරු කරමින් පැවති දියුණු සමාජ හා ජීවන රටාව වැඩි කාලයක් පවත්වා ගෙන යාමට ස්වදේශිකයන්ට ඉඩ ලැබුණේ නැහැ.

යුරෝපීයයන් හමුවේ උඩු සුළඟේ ගසා ගිය නිදහස

 

උතුරු ඇමරිකානු ප්‍රදේශවලට යුරෝපීය ජාතිකයන්ගේ ආගමනය සිදුවීමත් සමග ස්වදේශික ඇමරිකානු ජන කොට්ඨාශයන්ගේ ජන ජීවිතයට බොහෝ බලපෑම් එල්ල වෙන්න පටන් ගත්තා. ඔවුන් පදිංචිව සිටි භූමිය, ජීවෝනපායන් මෙන්ම ඔවුන් වසර දහස් ගණනක් පවත්වා ගෙන ආ සමාජ ක්‍රමය යුරෝපීයයන් අතින් විනාශ වෙන්න පටන් ගත්තා. ස්වභාවයෙන්ම රණකාමී වූ මෙම ගෝත්‍රයන්, යුරෝපීය සංක්‍රමණිකයන් සමග ගැටෙන්නෙට පටන්ගත් නිසා සමූලඝාතනයට ලක් වුණා. ඒ අතර එවකට යුරෝපීය ජන සමාජයන් අතර දැඩි ලෙස දෝෂ දර්ශනයට සහ දඬුවම් පැමිණවීමට තරම් හේතු වූ සමලිංගික විවාහයන්, තුන්වන ලිංගික අනන්‍යතාවයන් පිළිගැනීම වැනි කරුණු ස්වදේශික ඇමරිකානුවන් අතර සාමාන්‍යකරණයට ලක්වී තිබුණ නිසා එය බරපතල පාපයක් ලෙස සැළකූ ක්‍රිස්තියානි මිෂනාරීවරුන්, එම සිරිත් විරිත් දැඩි ලෙස මර්දනය කිරීමට පෙළඹුණා.

රතු බලය වැනි වැඩසටහන් හරහා ස්වදේශික ඇමරිකානු සම්ප්‍රදායන් නැවත බල ගැන්වුණා/civilrightsinthe1960s.weebly.com

 

මිෂනාරීවරුන් ද්වි-ආත්ම ඇත්තන්ට ස්ත්‍රී හෝ පුරුෂ ලෙස එක් ලිංගික අනන්‍යතාවයකට යටත් වෙන්නට බල කෙරූ අතර, එයට විරුද්ධ වූ ද්වි-ආත්ම ඇත්තන් රහසේම මිය පරලොව ගියා. නැතහොත් තමන්ට ඇතිවූ මානසික පීඩනය නිසා සියදිවි නසා ගත්තා. යුරෝ-ඇමරිකානු විවාහ නීති පැනවීමත් සමග ද්වි-ආත්ම පුද්ගලයන් සහ ඔවුන්ගේ සහකරුවන් අතර වූ විවාහ තවදුරටත් නීත්‍යානුකූල පිළිගැනීමකට ලක් නොවන තත්ත්වයකට පත් වුණා.  

කෙසේ නමුත් 60 දශකයේ පමණ ස්වදේශික ඇමරිකානුවන්ගේ සංස්කෘතික අභිමානයන් නැවත පුනර්ජීවනය කිරීමේ වැඩසටහන් “රතු බලය” නමින් ක්‍රියාත්මක වීමට පටන් ගත් අතර, එක්සත් ජනපදය මූලික කරගනිමින් ඇති වූ සමලිංගික විමුක්ති ව්‍යාපාරවල සහයෝගයත් ස්වදේශික ඇමරිකානුවන්ට ලැබෙන්න පටන් ගත්තා. මෙම සංවිධානගත කිරීම් තවත් ඉදිරියට ගොස් 90 දශකයේ දී එක්සත් ජනපදයේ සහ කැනඩාවේ බොහෝ  සමලිංගික ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරීන් ඔවුන්ගේ වසර දහස් ගණනක් පැරණි සමාජ හා ජීවන රටාව නැවත ප්‍රතිස්ථාපනය කිරීමට සමත් වුණා.

“ටූ ස්පිරිට්” සම්ප්‍රදායේ නූතන මුහුණුවර/voanews.com

 

පසු සටහන:

සංක්‍රාන්ති ලිංගික හෝ අන්තර් ලිංගික පුද්ගලයන් සම්බන්ධයෙන් පවතින නූතන හෝ විද්‍යාත්මක පැහැදිලිකිරීම් සමග මෙම ලිපියේ අන්තර්ගතය සමපාත නොවීමට පුළුවන්. මේ ලිපියේ මූලික අරමුණ වන්නේ  ස්වදේශික ඇමරිකානුවන් විසින් මෙම ලිංගික අනන්‍යතා සහ නැඹුරුතාවයන් තේරුම් ගැනුණු ආකාරය පැහැදිලි කිරීම බව සැලකිය යුතු යි.

cover photo: riotimesonline.com

මූලාශ්‍රයයන්: theguardian.com

indianexpress.com

indiancountrytoday.com

Related Articles