Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වූහාන් කොරෝනා වෛරස් වසංගතය- සිද්ධි මාලාව (මෙය යාවත්කාලීන කෙරෙන ලිපියකි)

නව කොරෝනා වෛරස් රෝගය පිළිබඳ මුලින්ම වාර්තා වූයේ 2019 දෙසැම්බරයේ දී යි. චීනයේ වූහාන් නගරයෙන් ඇරඹි මෙම රෝගය, මේ වන විට වෙනත් රටවල් කරා ද ව්‍යාප්ත වී තිබෙනවා. සතුන්ගෙන් මිනිසාට ඇතුල් වන්නක් සේ මුලින් මෙය සොයාගැනුණ අතර​, මිනිසාගෙන් මිනිසාට ද බෝ විය හැකියැ යි පසුව සොයාගනු ලැබුණා.

Reuters

2019 දෙසැම්බර් 31

හඳුනා නොගත් හේතුවකින් හට ගත් නිව්මෝනියා තත්ත්වයක් සඳහා පුද්ගලයන්ට ප්‍රතිකාර කරන ලද බවට වාර්තාවක් වූහාන් නගරයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිවේදනය කෙරුණා. මෙයින් බොහෝ දෙනා හුනාන් මුහුදු ආහාර තොග වෙළෙඳපොළේ වෙළෙඳාමේ යෙදෙන්නන් බව මේ අතර වාර්තා වුණා.

2020 ජනවාරි 01

හුනාන් මුහුදු ආහාර තොග වෙළෙඳපොළ වසා දමා විෂබීජහරණය කෙරුණ බව චීනයෙන් වාර්තා වුණා.

2020 ජනවාරි 02

නව වෛරස් රෝගයට 41 දෙනෙකු ලක් ව ඇතැ යි වාර්තා වුණා.

ජනවාරි 09

නව කොරෝනා වෛරසයක්, රෝගී වූ පුද්ගලයකු වෙතින් හඳුනාගත හැකි වූයේ යයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියා. මේ අතර එදිනම පළමු මරණය වාර්තා වුණා.

ජනවාරි 13

චීනයෙන් පිටත පළමු නව කොරෝනා වෛරස් රෝගියා තායිලන්තයෙන් වාර්තා වුණා. ඇය 61 හැවිරිදි චීන කාන්තාවක්. වූහාන් හි පදිංචිකාරියක වූ ඇය තායිලන්තයට පැමිණ තිබුණේ ජනවාරි 8 වන දා යි.

ජනවාරි 14

මෙම නව රෝගය මිනිසාගෙන් මිනිසාට බෝ වීමේ සැකය මතු වුණා.

ජනවාරි 19

චීනයේ ගුවන්ඩොංග් පළාතෙන් සහ බීජිං නගරයෙන් රෝගීන් වාර්තා වුණා. මෙය වූහාන්වලින් පිටත චීනයේ ප්‍රදේශවලින් නව කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වූ පළමු වතාව යි.

ජනවාරි 20

දකුණු කොරියාව පළමු නව කොරෝනා වෛරස් රෝගියා පිළිබඳ වාර්තා කළා.

ජනවාරි 22

නව කොරෝනා වෛරසය මහජන සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ හදිසි තත්ත්වයක් ද යන්න නිගමනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි රැස්වීමක් පවත්වනු ලැබුණා. එහෙත් අවසන් තීරණයකට එළඹෙන්න නොහැකි වුණා.

ජනවාරි 23

මේ වන විට චීනයේ බොහෝ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වෙමින් තිබුණා. වූහාන් නගරය සියලු පොදු ප්‍රවාහන සේවා නවතා දැමීමට තීරණය කළා.

ජනවාරි 24

චීනයෙන් පිටත ස්ථානයක මිනිසාගෙන් මිනිසාට රෝගය පැතිරුණු පළමු අවස්ථාව වියට්නාමයෙන් වාර්තා වුණා.

ජනවාරි 25

කොරෝනා වෛරසය වැළඳුණු බවට සැක කෙරෙන චීන කාන්තාවක හා තවත් අයකු පිළිබඳ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.

ජනවාරි 26

චීනයේ ශැංහයි හි පළමු කොරෝනා වෛරස් මරණය වාර්තා වුණා. ඒ, 88 හැවිරිදි අයෙක්.

ජනවාරි 27

ශ්‍රී ලංකාව පළමු තහවුරු කරන ලද කොරෝනා වෛරස් රෝගියා පිළිබඳ නිවේදනය කළා. ඒ, 43 හැවිරිදි චීන කාන්තාවක්.

චීන අගමැති ලී කෙකියෑංග් වූහාන් නගරයේ සංචාරයක යෙදෙමින් සෞඛ්‍ය අංශයන් හි කටයුතු පරීක්ෂා කළා.

ජනවාරි 28

ලොව පුරා කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගිය බව වාර්තා වුණා.

චීනයේ අධ්‍යාපනය ලබන සිසුන් ලංකාවට ගෙන්වා ගැනීම ඇරඹුණා.

ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් රෝගියාට අමතරව රෝගය ඇතැ යි සැක කෙරෙන තවත් පස් දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවේදනය කළා.

එමෙන්ම මෙම රෝගයට ප්‍රතිකාර කිරීමට රෝහල් 12ක් සූදානමින් තිබෙන බව එම ආයතනය කියා සිටියා.

– ජාතික බෝවන රෝග විද්‍යායතනය MRI

– උතුරු කොළඹ ශික්ෂණ රෝහල-රාගම

– ගම්පහ මහ රෝහල

– මීගමුව මහ රෝහල

– ජාතික රෝහල-මහනුවර

– ශික්ෂණ රෝහල-කරාපිටිය

– ශික්ෂණ රෝහල- අනුරාධපුර

– ශික්ෂණ රෝහල-යාපනය

– ශික්ෂණ රෝහල- කුරුණෑගල

– පළාත් මහරෝහල-රත්නපුර

– පළාත් මහරෝහල-බදුල්ල

– ශික්ෂණ රෝහල-මඩකලපුව

එමෙන්ම චීනයෙන් පැමිණෙන සිසුන් දින 14ක් සිය නිවෙස් තුළ සිටින ලෙස ද එම ආයතනය දන්වා සිටියා.

ජනවාරි 30

ටිබෙටය සිය පළමු තහවුරු කරන ලද කොරෝනා වෛරස් රෝගියා පිළිබඳ වාර්තා කළා. ඒ අනුව චීනයේ සියලු පළාත්වල මෙම රෝගීන් වාර්තා වී තිබුණා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් චීන ජාතිකයන් පැමිණීමේ සීමාවන් පැණවූවා.

ඉන්දියාව සහ පිලිපීනය සිය පළමු කොරෝනා වෛරස් රෝගීන් පිළිබඳ වාර්තා කළා.

ජනවාරි 31

රුසියාව, චීන දේශසීමාව වසා දැමීමට කටයුතු කළා.

මොස්කව් – බීජිං සෘජු දුම්රිය ගමන හැර චීනය සමග වන සියලු දුම්රිය ගමන් නවතා දමන බව රුසියාව නිවේදනය කළා.

ලෝක සෞඛ්‍ය සංවිධාන​ හදිසි අවස්ථා කමිටුව කොරෝනා වෛරස වසංගත තත්ත්වය අන්තර්ජාතික මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළා.

පෙබරවාරි 01

ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය මත්තල වෙත ගොඩබැස්සා. ඔවුන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ රසායනික න්‍යෂ්ටික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණය විසින් දියතලාව වෙත රැගෙන ගියා. එහි ඔවුන් වෙනුවෙන් විශේෂ මධ්‍යස්ථානයක් සකසා තිබුණා.

කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන් සුව ව ඇතැ යි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කළා.

පෙබරවාරි 02

කොරෝනා වෛරස ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වූහාන් හි කඩිනමින් ඉදිකෙරුණ හුවෝශෙන්‍ෂාන් රෝහලෙහි වැඩ අවසන් කෙරුණා.

පෙබරවාරි 03

සංචාරකයන් ගෙන යන සුඛෝපභෝගී නෞකාවක් වන World Dream හි ජනවාරි මස 19 සිට 24 දක්වා වූ සංචාරයකට සහභාගී වූ තිදෙනකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැ යි වාර්තා වුණා. මෙම නැව තායිවානය විසින් හරවා එවන ලදුව, පසුව හොංකොං වෙත ළඟා වුණා.

පෙබරවාරි 04

කොරෝනා වෛරසයෙන් මියගිය පළමු හොංකොං වැසියා පිළිබඳ වාර්තා වුණා.

ජපානයේ යෝකහෝමා හි දී ඩයමන්ඩ් ප්‍රින්සස් නම් සුඛෝපභෝගී නෞකාව නිරෝධායනයට ලක් කෙරුණා. එහි 3,700 දෙනෙකු ගමන් කරමින් සිටියේයැ යි වාර්තා වුණා.

පෙබරවාරි 05

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැ යි ජපන් සෞඛ්‍ය ඇමති සඳහන් කළා.

(අවසන් වරට යාවත්කාලීන කළේ 2020 පෙබරවාරි 5 පස්වරු 1.30ට​)

කවරයේ පින්තූරය: Reuters

Related Articles