Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උතුරු කැරොලයිනාවෙන් මතු වූ අද්භූත දූපත

පසුගිය වසරේ මැයි 29වනදාට යෙදී තිබුණු Memorial Day හෙවත් ඇමරිකානු යුද විරුවන් සැමරීමේ දිනයෙහි යෙදුණු නිවාඩු දිනයේ ඇමරිකානු ජාතික ජැනට් රේගන් නැමැත්තිය විසින් සිය එකොළොස් හැවිරිදි පුතු සමගින් උතුරු කැරොලයිනා මුහුදු තීරය වෙත විනෝද ගමනක් ගියේ සිය නිවාඩු දිනය විවේකීව ගත කිරීමටයි. මුහුදු වෙරළේ වූ සිප්පි කටු ඇහිඳිමින් සෙල්ලම් කළ තම පුතු මින් පෙර මුහුදු තීරයේ නොතිබූ වැලි තලාවක් වෙතත් ගමන් කරනු ජැනට් දුටුවා. අද්භූත ලෙස මුහුදු පත්ලෙන් මතු වී තිබූ මෙම වැලි තලාව සිප්පි කටු ආදියෙන් පිරී තිබූ නිසා ජැනට්ගේ පුතු මෙම කුඩා දූවට නම් තැබුවේ “සිප්පිකටු දූපත” හෙවත් “Shelly Island” යනුවෙනුයි.

අද්භූත දූපත

සැබවින්ම ඒ කුඩා දරුවාගේ නෙත ගැටී තිබුණු මේ කුඩා දූව මින් පෙර එහි වූවක් නොවෙයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මදක් මුහුදු පතුළේ සිට ඉහළට එසැවී තිබූ මෙම කුඩා දූව ඉතා ඉක්මනින් මුහුදේ සිට ඉහළට නිරාවරණය වන්නට වුණා. මෙවැනි වැලි තලා වැනි දූපත් හැඳින්වෙන්නේ “වැලි දූපත්” හෙවත් “Sandbars” යන නමිනුයි. කෙසේ වෙතත්, මේ පිළිබඳව අවධානය යොමු කළ විද්‍යාඥයින් නම් ප්‍රකාශ කළේ එම දූපත වෙත ගමන් කිරීම නම් භයානක විය හැකි බවයි.

උතුරු කැරොලයිනා මුහුදු තීරය (livescience.com)

ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ මුහුදු තීරයේ බක්ස්ටන්හි (Buxton) පිහිටා ඇති හැටෙරාස් තුඩුවේ (Cape Hatteras) ජාතික මුහුදු තීරය ආසන්නයේම පිහිටා ඇති මේ “ශෙලී” ලෙසින් නම් කරන ලද වැලි දූපත දිගින් සැතපුමක් (එනම්, කි.මි. 1.6ක්) සහ පළලින් අඩි 480ක් (එනම් මීටර් 146ක්) පමණ වනවා. දකින්නන්ට කුතුහලය දනවන මේ දූපත වෙත කුඩා ඔරු මගින් මෙන්ම කුඩා බෝට්ටු මගින් ළඟා වීමට ඇති හැකියාව නිසා බොහෝ පුද්ගලයින් මේ නව දූපත වෙත එන්නට පටන් ගත් නමුත්, හැටේරාස් තුඩුව භාර නිලධාරීන් සහ උතුරු කැරොලයිනා “බීච් බගී” සංගමයේ ප්‍රධානී බිල් ස්මිත් ජනතාවට ප්‍රකාශ කළේ කොයි මොහොතක හෝ මෙම දූපත මතු වූවාක් මෙන්ම එය නැවත ගිලී යන්නටද ඇති ඉඩකඩ නිසා මහජනතාව මෙම දූපත මතට නොපැමිනිය යුතු බවයි. (බීච් බගී යනු වැලි මත ගමන් කිරීම සඳහා යොදා ගන්නා, විශාල රෝද ඇති වාහනයකි).

දූපත වෙත යාම අවදානම්!

විශේෂයෙන්ම, මෙම දූපත මතු වුණු මුහුදු තීරය මීට පෙර කාලයකදී මාළු බෑමට ඉතා ප්‍රසිද්ධ මුහුදු තීරයක් ලෙසිනුයි හැඳින්වුණේ. ඒ සමයේදී මුහුදු පත්ලට වැටුණු බිලී කොකු වැනි ද්‍රව්‍ය නැවතත් මෙම දූවේ වැල්ල යට සැඟවී තිබෙනු ඇතැයිද විද්‍යාඥයින් ප්‍රකාශ කළෙන්, එම දූව තුළ එහා මෙහා ගමන් ගැනීමද අනතුරුදායක ක්‍රියාවක් ලෙසිනුයි හැඳින්වූයේ. එපමණක් නොවෙයි, නිරන්තරයෙන්ම නැවත ගිලී යාමේ හැකියාවකුත් තිබූ නිසා මෙසේ ශෙලී දූපත වෙත සංචාරකයින් පැමිණීම නම් බලධාරීන් එතරම් රිස්සූ ක්‍රියාවක් නොවෙයි.

“මීට පෙර නම් අප බිය වුණේ මෝරුන් නිසා සිදු විය හැකි අනතුරු පිළිබඳවයි. නමුත් මේ වන විට අපට දූපත වෙත පැමිණෙන සංචාරකයින් දූපතත් සමගම දියේ ගිලීමේ අවදානමට මුහුණ දෙන්නට සිදු වී තිබෙනවා” යනුවෙන් බීච් බගී සංගමයේ ප්‍රධානී බිල් ස්මිත් වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් පළ කොට තිබුණා.

ශෙලී දූපත පසුගිය වසරේ අගෝස්තු මාසය පමණ වන විට ඉතා විශාල එකක් බවට පත්ව තිබුණා. ඒ වන විට එම කුඩා දූව අක්කර එකොළහක (එනම්, හෙක්ටයාර 11ක්) පමණ වපසරියකින් යුක්තව තිබුණා. ඔරු පදින්නන් සහ නොගැඹුරු දොයේ කිමිදෙන්නන් ඇතුළු බොහෝ සංචාරකයින් ඒ වන විටත් විශාල වශයෙන් මෙම දූපත වෙත ඇදී එන්නට පටන්ගෙන හමාරයි.

දූපතෙහි පිහිටීම (phys.org)

ශෙලී ගිලී යයි!

අනාවැකි පළ කළවුන්ගේ අනාවැකි සත්‍යයක් කරමින් මෙම කුඩා දූව නැවත අතුරුදහන් වූයේ මීට දෙමසකට පමණ පෙරයි. පසුගිය මාස දෙක තුළ උතුරු කැරොලයිනා මුහුදු තීරයේ හටගත් විශාල කුණාටු හේතුවෙන් මෙම දූව සෑදී ඇති වැලි නැවත මුහුදු තීරය දිගේ විසිරී යෑම නිසා මෙම දූව අතුරුදහන් වන්නට ඇතැයි විද්‍යාඥයින් මත පළ කරනවා. පසුගිය පෙබරවාරි මස 16වන දින නාසා ආයතනය සහ ඇමරිකානු භූ පාෂාණ ගවේෂණ ආයතනය මගින් එක්ව කක්ෂගත කොට තිබූ LandSat 8 නැමති චන්ද්‍රිකාවේ ආධාරයෙන් ලබාගත් ඡායාරූප වලින් පෙනී ගියේ ශෙලී දූපතෙහි අංශු මාත්‍රයක්වත් ගුවනට දිස් නොවන බවයි.

“ශෙලී” උපත ලැබුවේ කෙසේද?

කෙසේ වෙතත්, මේ ශෙලී දූපත සෑදුණේ කෙසේද යන්න බොහෝ දෙනා විසින් විමසනු ලැබූ ගැටලුවක්. ඒ පිළිබඳ ගවේෂණය කළ විද්‍යාඥයින් වටහා ගත්තේ පසුගිය වසර තුළ හැමූ අධික සුළං හේතුවෙන් උතුරු මුහුදු තීරයේ ඇති වැලි ක්‍රම ක්‍රමයෙන් හැටේරාස් තුඩුවේ දකුණු පස දෙසට විසිරී ගොස් ඇති බවයි. සුළං තත්වය පහව යත්ම, මෙසේ සුළඟින් ගසාගෙන ආ වැල්ල එක් තැනක වක්‍රාකාරව කැරකෙමින් තිබී එතැනම දූවක ආකාරයෙන් සැදුම්ලන්නට ඇතැයි විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා.

youtube.com

එමෙන්ම, 2017 වසරේ හමා ආ අ(ර්)මා, හෝසේ සහ මරියා චණ්ඩ මාරුතයන් ශෙලී අතුරුදහන් වීමට වගකිව යුතු බවත් ඔවුන් සැකෙවින් සඳහන් කළා. චණ්ඩ මාරුතයන් මගින් මෙම වැලි දූපත දෙකඩ වන්නට ඇති බවත්, එසේ දෙකඩ වූ දූවෙන් අඩක් හැටේරාස් තුඩුව වෙත යන්නට ඇති බවත්, අනෙක් අඩ මුහුදු පත්ලේ විසිරී ගොස් තැන්පත් වන්නට ඇති බවත් ඔවුන් මාධ්‍ය වෙත පැහැදිලි කොට දී තිබුණා. ඔවුන් මේ මත පළ කළේ නාසා ආයතනයේ සහය ඇතිව ලබාගත් තවත් ඡායාරූප කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්,  “ඇසි පිය සලන සැණෙකින් නොපෙනී ගිය දූපත” නමින් මේ වන විට හැඳින්වෙන ශෙලී වැලි දූපත විවිධ පාරිසරික හේතූන් මතම උපත ලබා, ඒ හේතූන් නිසාවෙන්ම විනාශ වී ගොස් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වූයේ ස්වභාව ධර්මයේ තවත් අපූරු නිර්මාණයක අවසානය සනිටුහන් කරමිනුයි.

කවරයේ ඡායාරූපය – disclose.tv

තොරතුරු උපුටා ගැනීම – www.livescience.com වෙබ් අඩවියේ “New Island Pops Up Off the Coast of North Carolina” ලිපිය සහ “Mysterious Sandbar Island That Formed Last Summer Is Gone Once Again” ලිපිය ඇසුරිනි.

Related Articles