Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිනෙන් දින වර්ධනය වන අරුම පුදුම දූපත – නිශිනෝෂිමා

මේ ලෝකෙ කොහේ හරි වර්ධනය වන භූමි ප්‍රදේශයක් තියෙන්න පුළුවන්ද? එය ටිකක් අමුතු අදහසක් වගේ ඔබට දැනේවි. ඒත් එවැනි අපූරු සංසිද්ධි ස්වභාවධර්මය විසින් ඇති කරනවා. මේ ආරංචිය ලැබෙන්නේ ජපානයෙන්. අවුරුදු ගණනාවක් තිස්සේ වර්ධනය ‍වෙමින් මේ අයුරින් තම වපසරිය වැඩි කර ගන්නේ නිශිනෝෂිමා නම් දූපතක්. මේ ලිපියෙන් නිශිනෝෂිමාව ගැන තොරතුරු රැසක්ම ඔබට කියවන්න ලැබේවි.

පිහිටීම

නිශිනෝෂිමා දූපතේ පිහිටීම (Google Earth)

ජපානයේ ටෝකියෝවට කිලෝමීටර 1000ක් පමණ දකුණෙන් ගිණිකොණ ප්‍රදේශයේ පිහිටි ගිනිකඳු වලින් හටගත් දූපතක් වන නිෂිනෝෂිමාව වසර දහස් ගණනක් තිස්සේ නිහඬව පැවතුණා. නිශිනෝෂිමා දූපත මීටර 650ක දිගකින් සහ මීටර 200ක පළලකින් යුක්ත වන අතර එය රොසාරියෝ (Rosario) සහ නයිජිමා (Niijima) යන නම් වලින්ද හඳුන්වනවා. ඔගසවරා (Ogasawara) දූපත් සමූහයෙන් එකක් වන මෙම දූපත වෙත ළඟා වීම සඳහා ඔගසවරා සිට සම්පූර්ණ දිනක් පමණ ගත වෙනවා. නිශිනෝෂිමාහි විශේෂත්වය වන්නේ එය දිගින් දිගටම වර්ධනය වීමයි.

විවිධ අවස්ථා වලදී සම්බන්ධ වූ නව දූපත් නිසා ප්‍රමාණයෙන් විශාල වූ නිශිනෝෂිමාව (Google Earth)

මෙම දූපත නිර්මාණය වී තිබෙන්නේ 1973දී ඇති වූ “Surtseyan” වර්ගයේ පිපිරුමක් සහ 2013දී ඇති වූ “Strombolian” වර්ගයේ පිපිරුමක් නිසයි. 1973 පිපිරුමෙන් පසු අවුරුදු 40ක ඇවෑමෙන් 2013 දෙසැම්බර් හිදී නැවතත් මෙය පිපිරුණා.

1973 ඇති වූ පිපිරුම

1973 අප්‍රේල් හි නිශිනෝෂිමා හි නැගෙනහිර පෙදෙසේ වෙනස් වීමක් ආරම්භ වුණා. එය පසුකර යන නාවිකයන්ට එම පෙදෙසේ ජලය තුළින් ඉහළ නඟින දුමක් නිරීක්ෂණය කළ හැකි වුණා. පසු කාලයකදී ඖෂධ වර්ග වෙළඳාම් කරන්නන් දෙදෙනෙක් විසින් මේ සංසිද්ධිය විස්තර කරමින් මුහුදු ජලය මඩ පැහැති වූ බවත් ඊළඟ දින කිහිපයේදී අලුත් දිවයිනක් ඇති වූ බවත් ලියා තිබෙනවා. ඉන්පසු පෙර පැවති දූපත හා නව දූපත එකිනෙක එකතු වී නිෂිනෝෂිමාව පැවතියාට වඩා ප්‍රමාණයෙන් විශාල වූ බවත් සඳහන් වෙනවා.

1978දී ඉහළ අහසේ සිට ලබා ගත් නිෂිනෝෂිමාවේ ඡායාරූපයක් (National Land Image Information Color Aerial Photographs, Ministry of Land, Infrastructure, Transport and Tourism)

වසර 40කට පසු  

ඒ වන විට සැලකිය යුතු මට්ටමකට විශාලව පැවති මෙම දූපත ඉන් නොනැවතී වසර 40කට පසු 2013දී නැවත සක්‍රීය වුණා. 2013දී නිශිනෝෂිමාව ආසන්න සාගරයේ පැවති වෙනත් ගිනි කන්දක් වූ නියිජිමා ගිනි කන්ද විදාරණය වීම ආරම්භ වූ අතර එයින් ඉතා වේගයෙන් ලාවා ගලා යාමටද පටන් ගත්තා. මෙම ලාවා ගලා යාම කොතරම් වේගවත්ද යත් ගිනි කන්දේ සක්‍රීය භාවය පිළිබඳ මිනිසුන් මවිත කරවන සුළු වුණා.

2013 නොවැම්බර් 20 වැනිදා නිෂිනෝෂිමා දූපත ආසන්න සාගරයේ පිහිටි ගිනි කන්දක් පිපිරෙමින් නව දූපතක් නිර්මාණය වන අයුරු (Japan Coast Guard)

2013 නොවැම්බර් 21 වැනිදා ඔගසාවරා දූපත් සමූහයේ දකුණු පෙදෙසේ නව දූපතක් නිර්මාණය වන අයුරු (Japan Coast Guard)

Japan Times පුවත් පත 2014දී වාර්තා කර තිබූ අන්දමට එවර පිට වූ ලාවා ප්‍රමාණය වර්ග මීටර 112,456කින් යුතු Tokyo Dome සය වතාවක් පිරවීමට ප්‍රමාණවත් වී තිබෙනවා. 2015 දී නිශිනෝෂිමාව එය දෙවන වර පැතිරුණු ප්‍රමාණය මෙන් 12 ගුණයක් විශාල වී තිබුණා.

පර්යේෂණ

ගිනිකඳු පිපිරීම් සම්බන්ධව අධ්‍යයනය කිරීම ජපානයේ ප්‍රමුඛස්ථානයක් ගන්නවා. ගිණිකඳු පිපිරීම් යම්කිසි කාල සීමාවක් තුළ පැවතිය හැකි බවත් එයින් මතු වන ලාවා සාගරයට ගලා යා හැකි බවත් ටෝකියෝ විශ්ව විද්‍යාලයේ භූ කම්පන පිළිබඳ පර්යේෂණ ආයතනයේ මහාචාර්යවරයෙකු වන සෙත්සුයා නාකදා (Setsuya Nakada) පවසනවා.

2013 දෙසැම්බර් 24 වැනිදා නව දූපත පැරණි දූපත සමඟ සම්බන්ධ වන අයුරු (Japan Coast Guard)

2014 අප්‍රේල් 15 – තවදුරටත් දූපත් දෙක අතර පරතරයක් දක්නට ලැබෙන්නේ නැහැ (Japan Coast Guard)

ජෛව විද්‍යාත්මක දූෂණය වැළැක්වීම

2013 සිට 2015 දක්වා ඇති වූ පිපිරුම් වලින් පසු අදටත් නිශිනෝෂිමාව ඉතා සෙමින් නමුත් සැලකිය යුතු මට්ටමින් ප්‍රසාරණය වෙමින් පවතිනවා.

2014 සැප්තැම්බර් 14 වැනිදා ලබා ගත් ඡායාරූපයක් (Japan Coast Guard)

ජපානයේ පරිසර අමාත්‍යාංශයේ පර්යේෂකයන් පිරිසක් මෑතකදී මෙම දූපතට ගියේ ජෛව විද්‍යාත්මක දූෂණය වැළැක්වීමට පියවරක් ගැනීමටයි. ඒ සඳහා පරීක්ෂණ කිරීමට ඔවුන් එහි තිබූ පාෂාණ, ශාක සහ කෘමි සත්ත්ව සාම්පල එකතු කරගත් අතර Gannet නම් විශාල මුහුදු කුරුළු විශේෂය දූපත වාසස්ථාන කරගෙන ඇති පළමු සත්ත්ව විශේෂය බවටද හඳුනා ගෙන තිබෙනවා.

2016 ඔක්තෝබර් 18 නිශිනෝෂිමාව දර්ශනය වූ අයුරු (Japan Coast Guard)

පර්යේෂණ කණ්ඩායම පවසන්නේ ගිනිකඳු සහිත දූපත් නිර්මාණය වන්නේ කෙසේදැයි අධ්‍යයනය කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ බවයි. මෙහි වැඩි කාලයක් රැඳීම අනතුරුදායක නිසා ඔවුන් නිරීක්ෂණයේ පහසුව සඳහා දූපතේ භූ කම්පන වලට සංවේදී උපකරණ කිහිපයක්ම සවි කර තිබෙනවා.

“විවිධාකාරයේ ලාවා සාම්පල සහ අළු සාම්පල එකතු කර ගන්නටත් ඒවා අධ්‍යයනය කරන්නටත් අප බලාපොරොත්තු වෙනවා.” මෙසේ පවසන්නේ ටෝකියෝ සරසවියේ මහාචාර්යවරයෙකු වන මිනෝරු ටකෙයෝ (Minoru Takeo) යි.

2013 සිට 2015 අතර කාලයේදී නිෂිනෝෂිමාව නව දූපත් කොටස් සම්බන්ධ වීමෙන් විශාල වී ඇති අයුරු (www.ajiko.com)

නවතම තොරතුරු වලට අනුව මෙම දූපත තවමත් දිනපතා ඉතා විශාල ලාවා ප්‍රමාණයක් බැහැර කරනවා. ඉදිරි කාලයේදී නිෂිනෝෂිමාව තවත් කොපමණ ප්‍රමාණයක් විශාල වේ දැයි අනාවැකි කීමට නොහැකි වුවත් විද්‍යාඥයින් නම් මේ සම්බන්ධව බොහෝ උන්නදුවෙන් පසු වන බව පෙනෙනවා.

කවරයේ පින්තූරය – Japan Coast Guard

මූලාශ්‍ර

https://www.atlasobscura.com

http://www.asahi.com

https://www.ibtimes.co.uk

https://www.huffingtonpost.com

http://www.satpalda.com

Related Articles