නොබැඳි, ආසියාන් හා සාර්ක්

ලොව පවතින විශාලම ජාත්‍යන්තර සංවිධානය වන්නේ 1945 වසරේ දී බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය යි. එම සංවිධානයේ අභ්‍යන්තර ආයතන 6ක් මෙන්ම ඊට අනුබද්ධ ආයතන විශාල ප්‍රමාණයක් ද මේ වන විට ලෝකය තුළ ස්ථාපනය වී තිබෙනවා. එක්සත් ජාතින් හැරුණු කොට විවිධ අරමුණු සඳහා අන්තර්ජාතික සංවිධාන, කලාප සංවිධාන 300කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. ඒ අතරින් කිහිපයක් අහෝසි වී ඇති අතර, බොහෝ ප්‍රමාණයක් ක්‍රියාකාරී මට්ටමේ දැකිය හැකියි.

ඒ සංවිධාන අතරින් නේටෝ, වෝර්සෝ, ඔපෙක් හා පොදු රාජ්‍ය මණ්ඩලය යන සංවිධානයන් හි ඉතිහාසය හා වත්මන් තත්ත්වය පිළිබඳව ඔබ වෙත පසුගිය ලිපියකින් කරුණු ගෙන ආවා. මේ ලිපියෙන් තවත් එවැනි ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් පිළිබඳව ඔබ වෙත ගෙන එනවා.

නොබැඳි ව්‍යාපාරය– Non-Aligned Movement (NAM)

නොබැඳි ව්‍යාපාරයේ ආරම්භක නායකයන් (wilsoncenter.org)

යුගෝස්ලාවියාවේ නායක මාෂල් ටිටෝගේ අදහසක් මත ඉන්දියාවේ නේරු, ඝානාවේ ක්වාමේ න්කෲමා, ඊජිප්තුවේ ගමාල් අබ්දෙල් නසාර් හා ඉන්දුනීසියාවේ අහමඩ් සුකර්ණෝ වැනි නායකයන්ගේ ආරම්භක සාමාජිකත්වයෙන් නොබැඳි ජාතීන්ගේ සංවිධානය ආරම්භ වෙන්නේ 1961 වසරේ දී යි. එහි ප්‍රථම සමුළුව පැවැත්වෙන්නේ ද යුගොස්ලාවියාවේ දී යි. වර්තමානය වන විට එහි සාමාජිකයන් ගණන 120ක් වන අතර, එක්සත් ජාතීන්ට පසුව ඇති විශාලම ජාත්‍යන්තර සංවිධානය ලෙස නම් කළ හැකියි.

නොබැඳි ව්‍යාපාරය උත්සාහ කරන්නේ ධනවාදී හා සමාජවාදී කඳවුරු දෙකටම සම්බන්ධ නොවෙමින් මැදහත්ව කටයුතු කිරීම යි. මුල් කාලීනව ශක්තිමත් ජාත්‍යන්තර ව්‍යාපාරයක් වූවත්, එය පසු කාලීනව දුර්වල වෙනවා. විශේෂයෙන්ම සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු එහි වැදගත්කමක් නොමැති තත්ත්වයට පත් වන්නේ එතෙක් තිබූ සමාජවාදී කඳවුර බිඳ වැටීම නිසා යි.

මෙහි මුලස්ථාන පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර වන අතර 2016 දී එම ව්‍යාපාරයේ 17 වන සමුළුව පැවැත්වෙනවා. ඒ වෙනසුවෙලාවේ දී යි. 18 වන සමුළුව 2019 වසරේ ඔක්තෝම්බර් 25-26 දිනවල අසර්බයිජානයේ, බකු හි දී පැවැත්වෙනවා. මෙහි දී දේශගුණික විපර්යාසයන් හි අහිතකර බලපෑම්, සංවර්ධනය වෙමින් පවතින රටවලට දරිද්‍රතාවය තුරන් කිරීම හා තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම පිළිබඳව වැඩිදුරටත් රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

අසර්බයිජානය විසින් මෙම සංවිධානයේ සභාපතිත්වය 2022 වන තුරු උසුලනු ලබනවා.

ලංකාව නොබැඳි ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, එම කාලයේ දී මෙරට රාජ්‍ය නායිකාව වන්නේ සිරිමා බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය යි. 1976 වසරේ දී නොබැඳි ව්‍යාපාරයේ පස්වන සමුළුව ශ්‍රී ලංකාවේ, කොළඹ දී පැවැත්වෙනවා.

කලාපීය සහයෝගීතාව සඳහා දකුණු ආසියානු සංගමය (සාර්ක්)- The South Asian Association for Regional Cooperation (SAARC)

සාර්ක් රටවල් (amritaias)

සම පරමාර්ථ හා පොදු අවශ්‍යතා ක්‍රමවත්ව ඉටුකරගැනීම පිණිස ඇතැම් ජාතීන් ඒකාබද්ධ සංවිධාන පිහිටුවා ගැනීමට යටතේ ලෝකයේ දේශපාලනික සිතියමේ ආසන්නව පිහිටි රටවල් එකතු වී පිහිටුවා ගන්නා ලද කලාපීය සංවිධාන බොහොමයක් දකින්න ලැබෙනවා. ඒ අතරින් දකුණු ආසියාතික කලාපීය රටවල් එකතු වී පිහිටුවාගන්නා ලද සංවිධානය මේ නමින් හදුන්වනු ලබනවා. සාර්ක් මහ ලේකම් කාර්යාලය නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටා ඇති අතර, එහි ප්‍රධානියා වන්නේ මහ ලේකම්වරයා යි. වර්තමාන මහ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ පාකිස්තාන ජාතික අම්ජාඩ් හුසේන්. 2020 දී සාර්ක් මහ ලේකම් බවට පත් වන්නේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු වන ඇසල වීරකෝන්.

මිත්‍රත්වය, විශ්වාසය හා අන්‍යෝන්‍ය අවබෝධය තුළින් කලාපයේ පොදු ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීම, එකිනෙකා කෙරෙහි ගරු කිරීම, ලෝක අර්බුදවල දී එක් තීරණයක සිට කටයුතු කිරීම, රටවල් අතර විශ්වාසය හා ප්‍රතිලාභ බෙදාගැනීම මේ සංවිධානයේ ප්‍රධාන අරමුණු ලෙස දැක්වෙනවා.

1985 වසරේ දී සාර්ක් සංවිධානයේ ප්‍රථම සමුළුව බංග්ලාදේශයේ, ඩකා හි ආරම්භ වන අතර මේ සඳහා රටවල් හතක් සාමාජිකත්වය දරනවා. ශ්‍රී ලංකාව ද සාක් ආරම්භක සාමාජිකයෙක් වන අතර, එම සමයේ මෙරට නායකත්වය දරන්නේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යි. 2007 වසරේ දී ඇෆ්ගනිස්තානය ද මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නා අතර ඒ හේතුවෙන් වර්තමානය වන විට සාමාජිකයන් ගණන 8 දක්වා වර්ධනය වී තිබෙනවා. 19 වන සාර්ක් සමුළුව පාකිස්තානයේ පැවැත්වීමට තීරණය කර තිබුණත්, ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති දේශපාලනික ආරවුල නිසා එම සමුළුව පැවැත්වෙන්නේ නෑ. 2020 වසරේ 20 වන සාර්ක් සමුළුව ද පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබුණත්, මේ සඳහා ඉන්දියාව සිය කැමැත්ත පළ කර නෑ.

සාක් සමුළුව මීට පෙර තෙවරක් ශ්‍රී ලංකාවේ පැවති අතර 2020 වසරේ දී 20 වන සාර්ක් සමුළුව ශ්‍රී ලංකාවේ හෝ නේපාලයේ පැවැත්වීමට ද යම් යම් යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

ආසියාන් සංවිධානය (අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය) The Association of Southeast Asian NationsASEAN

ආසියාන් රටවල් (cloudfront)

1967 වසරේ දී ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පුරුව හා තායිලන්තයේ සහභාගිත්වයෙන් ආසියාන් සංවිධානය ආරම්භ වෙන අතර එම අග්නිදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන් පස් දෙනාගේ සහභාගීත්වයෙන් ආසියාන් සංවිධානයේ පළමු හමුව පැවැත්වෙනවා. 

වර්තමානයේ එහි සාමාජිකයන් ලෙස අග්නිදිග ආසියාවේ රටවල් 10ක් කටයුතු කරනවා. ආසියාන් සංවිධානය අද වන විට කලාපයේ රටවල් අතර ආර්ථික, දේශපාලන, හමුදා හා ආරක්ෂක, අධ්‍යාපන හා සමාජ හා සංස්කෘතික අංශ අතර සහයෝගීතාව වැඩි කිරීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර තිබෙනවා.

සාමාන්‍යයෙන් වසරකට දෙවරක් ආසියාන් සංවිධානයේ සැසිවාර පැවැත්වෙන අතර, 35 වන ආසියාන් සමුළුව 2019 වසරේ නොවැම්බර් 1 සිට 4 දක්වා තායිලන්තයේ බැංකොක් හි පැවැත්වීමට නියමිත යි.

මීට අමතරව බ්‍රික්ස් සංවිධානය පිළිබඳව හා බිම්ස්ටෙක් සංවිධානය පිළිබඳව වෙන වෙනම ලිපි දෙකක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. එම ලිපි පහතින් කියවන්න පුළුවන්.

  1. බෙන්ගාල බොක්කේ එකමුතුව- බිම්ස්ටෙක් සංවිධානය
  2. බ්‍රික්ස් රටවල් හඳුනා ගනිමු

කවරයේ පින්තූරය- maggenta.com

මූලාශ්‍රයයන්: 

mnoal.org

asean.org

Related Articles