ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල ඉතිහාසය

ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ත්‍රිකුණාමලයේ අක්කර 850ක පමණ වපසරියක පැතිර ඇති චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය පිළිබද මේ වන විට බොහෝ දෙනා කතිකා කරන්නේ ඉන්දියාව සමග ඇතිකරගන්නට නියමිත යැයි පැවසෙන වෙළඳ ගිවිසුම හේතුවෙනි. නමුත් සැබෑ ඉතිහාස කතාවක් අදටත් සැඟව පවතින්නේ වනාන්තරයෙන් වැසී තිබෙන බහුතරයක් තෙල් ටැංකි අතරය.

තෙල් ටැංකි සංකීර්ණය‍ේ ඉතිහාසය

මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉදි කරනු ලැබුවේ ශ්‍රී ලංකාව යටත් විජිතයක් කරගත් බ්‍රිතාන්‍යයන් විසිනුයි. 1920 වසරේ මුල් භාගයේදී මුල් භාගයේදී මෙම තෙල් ටැංකි ඉදිකිරීමේ තීරණය ඔවුන් විසින් ගෙන තිබෙන අතර පළමුවන ලෝක යුද්ධය අවසාන වීමත් සමගම ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ප්‍රවර්ධනයක් ඇති කිරීමේ අවශ්‍යතාව බ්‍රිතාන්‍යයන්ට මතුව තිබේ. එහිදී ත්‍රිකුණාමලය ඔවුන්ගේ මූලික නාවික මධ්‍යස්ථානය වූ බැවිනුත් ලොව දෙවැනියටම ගැඹුරුම ස්වාභාවික වරාය වන බැවිනුත් මෙම තෙල් ටැංකි ඉදිකිරීමට සුදුසුම ස්ථානය ලෙස තෝරා ගනු ලැබීය. මෙම තෙල් ටැංකි ඉදිකිරීමේ කටයුතු 1920 දශකයේ ආරම්භ වී 1930 දශකයේ අවසාන කොට තිබේ. එහිදී ටැංකි 101 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබූ අතර 99 අංකය අසුබ අංකයක් ලෙස සලකන බැවින් එම ටැංකිය ඉදි නොකොට අනෙකුත් ටැංකි ගොඩනගා ඇත. ටැංකි ඉදිකිරීම සදහා වහල් සේවකයන් ගෙන්වා ඇති අතර ඔවුන් අතරින් බහුතරයක් අප්‍රිකානුවන් බව කියැවේ.

තෙල් ටැංකි තාක්ෂණය

(Telo.org)

තවමත් හොද මට්ටමේ පවතින අති දැවැන්ත ටැංකි

තෙල් ටැංකි ඉදිකිරීමේදී යොදා ගෙන ඇති තාක්ෂණයද ඉහලය. ටැංකි වල බඳ කොටස අගලක් පමණ ඝනකම වානේ තහඩු යොදා තනා ඇති අතර ඇණ පේලි කිහිපයක් යොදා ගනිමින් කොටස් එකිනෙක පිරිද්දීම සිදුකර තිබේ. වරායට ආසන්න ටැංකි අඩි 1ක් පමණ ඝනකමැති කොන්ක්‍රීට් වළලු වලින් ආරක්ෂා කර තිබේ. ඇතැමුන්ගේ මතය වන්නේ යුද්ධ ප්‍රහාර වලින් ආරක්ෂා වීමට එසේ තැනූ බව වන අතර තවත් අය ප්‍රකාශ කරන්නේ මුහුදු ආශ්‍රිත සුළං වැදීමෙන්  ටැංකි මළ කෑමේ අවදානමක් ඇති බැවින් එය වැළැක්වීමට මෙසේ ආවරණ යොදා ඇති බවයි. මෙම තෙල් ටැංකියක ඉන්ධන ධාරිතාව මෙට්‍රික් ටොන් 12,000ක් පමණ වන බව පැවසේ.මෙම ධාරිතාවය ලංකා පෙට්‍රෝලියම් සංස්ථාවේ වර්තමාන ගබඩා ධාරිතාවය මෙන්ම මුතුරාජවෙල ඉන්ධන ගබඩා ධාරිතාවයද ඉක්මවා යයි.අඩි 45ක පමණ උසකින් යුතු එක් ටැංකියක වට ප්‍රමාණය අඩි 365කට ආසන්න වේ.

(Imgur.com)

ඉන්ධන පරිවහනය පාලනය කරන පොම්පය

(Imgur.com)

ඇණ පේලි යොදාගනිමින් පිරිද්දුම් කර ඇති ආකාරය

මෙම ටැංකිවල දැවි තෙල්, පෙට්‍රල්, ඩීසල් මෙන්ම ගුවන් යානා ඉන්ධන ද ගබඩා කර තිබී ඇති අතර එසේ කර ඇත්තේද අතරින් පතර ඇති ටැංකිවලය. එසේම ඉතා ආරක්ෂාකාරී තෙල් පරිවහන නල පද්ධතියක්ද නිර්මාණය කර ඇති අතර ඉන්ධන ඇතුල් වන පිවිසුම් ස්ථානයේදී මෙන්ම පිටවන ස්ථානයේදීද පෙරහන් පද්ධතියක් තුළින් ඉන්ධන නිකුත් වීමට සලස්වා ඇත. තවද ඉන්ධන ලබා ගැනීමට ඕනෑම ප්‍රමාණයක නෞකාවක් නැවැත්විය හැකි ජැටියක් ගොඩ නගා ඇති අතර නෞකාවල තෙල් ටැංකි කරා ගෙන යාමටත් ටැංකි වලින් නෞකා වලට තෙල් නිකුත් කිරීමටත් පොම්පාගාර දෙකක් ඉදිකර ඇත. විශේෂත්වය වනුයේ මෙම පොම්පාගාර දෙක අදටත් ඉතා හ‍ොඳින් ක්‍රියාත්මක වීම සහ මෙම පොම්පාගාර  ඉදිකිරීමට යොදා ගෙන ඇති කොටස් නිපදවූ එංගලන්ත සමාගම් දෙකක් වන ඇලන් ඇන්ඩ් සන් සහ මර්ලිෂ් යන සමාගම් දැන් වසා දමා තිබීමයි.

තෙල් ටැංකි සංකීර්ණය‍ට එල්ල ව‍ූ ජපන් ගුවන් ප්‍රහාරය

(Srilankaguardian.org)

ජැටිය

(Imgur.com)

ඉන්ධන පෙරහන් පද්ධතියක්

1942 වර්ෂයේ ජපානය විසින් දියත් කළ ගුවන් ප්‍රහාර වල ප්‍රධාන ඉලක්කයක් බවට මෙම තෙල් ටැංකි සංකීර්ණය පත් වී ඇත. එහිදී අංක 91 දරණ ටැංකියට ජපන් ගුවන් යානාවක් කඩා වැටීමෙන් එම ටැංකිය විනාශ වී යාම මෙරට ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි.1942 අප්‍රේල් 09 වන දින ජපාන හමුදාවේ අණ දෙන නිලධාරී අද්මිරාල් චුයිචි නගුමෝගේ අණ දීම යටතේ ජපන් ගුවන් යානා ත්‍රිකුණාමල අහසේ සැරිසරන්නට වූ අතර මෙම තෙල් ටැංකි සංකීර්ණයට පහර දීමට කළ උත්සාහයන් අසාර්ථක වී ඇත්තේ මෙම ටැංකි ඉදිකර තිබු සුවිශේෂී රටාව නිසා බව පැවසේ. මේ සම්බන්ධ මත දෙකක් ඇති අතර එක් මතයකින් කියැවෙන්නේ ඍජු ප්‍රහාරයක් එල්ල වූ බව වන අතර අනිත් මතය වඩා ප්‍රසිද්ධය. වරායට ප්‍රහාර එල්ල කරමින් තිබූ එක් ජපන් ගුවන් යානාවකට බ්‍රිතාන්‍යයන් විසින් ගුවන් යානා නාශක ප්‍රහාරයක් එල්ල කර ඇති අතර බරපතල හානි සිදුවූ ගුවන් යානය මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරමින් අංක 91 ටැංකියට කඩා වැටී ඇත. එම යානයේ ෂිගොනොරි වටනබේ, ටොක්යා ගොටෝ සහ සුටොමු ටොෂීරා යන නියමුවන් සිටි බවට පසුව වාර්තා වී ඇත. එම ගැටීමෙන් ටැංකිය සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර යානයේ කැබලි කිලෝමීටර් ගනණාවක් දුරට විසි වූ බවත් ටැංකිය දින 07ක් තිස්සේ දැවුණු බවත් පැවසේ. ගුවන් යානයේ එන්ජිමේ නෂ්ටාවශේෂ පමණක් පසුව හමුවී ඇති අතර එය කොළඹ ගුවන් හමුදා මූලස්ථාන කෞතුකාගාරයේ සංරක්ෂණය කර තිබේ.

(arawasi-wildeagles.blogspot.jp)

91 ටැංකියට කඩා වැදුණු ගුවන් යානයේ එන්ජිමේ නෂ්ටාවශේෂ

divesrilanka.com

91 ටැංකියේ අද වන විට ඉතිරිව ඇති කොටස්

මේ වනවිට වනයෙන් වැසී ගොස් ඇති අංක 91 ටැංකියේ නෂ්ඨාවශේෂ දැකගත හැකි අතර වානේ තහඩු උණුවී ඇඹරී ගොස්  ඇති ආකාරයද දැකගත හැකිය. මෙම ප්‍රදේශය මේ වන විට ඉන්දියානු තෙල් සංස්ථාව සතුව පවතින බැවින් අංක 91 ටැංකිය නැරඹිම සදහා ඔවුන්ගෙන් අවසර ගත යුතු වේ.

(amazinglanka.com)

විනාශ වු අංක 91 දරණ ටැංකිය පිළිබද විස්තර දක්වා ‍අැති පුවර‍ැව

මෙම සිදුවීමට පසුව 1958 වර්ෂයේද රාජකීය ගුවන් හමුදාවේ ගුවන් ලුතිනන් වරදරාසා විසින් පදවන ලද ගුවන් යානයක් පිටත් වීමේදී සිදුවූ දෝෂයක් හේතුවෙන් මෙම තෙල් ටැංකි සංකීර්ණයට කඩා වැටී ඇති අතර තවත් එක් ටැංකියක් එමගින් විනාශ වි ඇත්තේ කොන්ක්‍රීට් රවුම පමණක් ශේෂ කරමිනි.

මේ වනවිට ඉන්දියානු තෙල් සංස්ථාව සමග ශ්‍රී ලංකා රජය ඇති කර ගැනීමට යන ගිවිසුම සම්බන්ධව ව්‍යාකූල තත්වයක් මතුව ඇති අතර තෙල් ටැංකි විකිණීමක් නොව බදු දීමක් වන බව රජය කියා තිබේ. මේ වන විට තෙල් ටැංකි 15ක්  ඉන්දියානු තෙල් සංස්ථාව බදු ගෙන ඇති අතර ඉතිරි තෙල් ටැංකිද බද්දට ගැනීම තුළින් එම සංස්ථාවේ ලාභය වැඩි කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

කෙසේ වෙතත් මෙම තෙල් ටැංකි සංකීර්ණය රටට අගනා සම්පතක් වේ. ඒවා ඉන්ධන ගබඩා වල තාක්ෂණය අතින් මෙන්ම පිහිටීම අනුවද ඉතා වැදගත් ස්ථානයක පවතී.විශාල නෞකා ප්‍රමාණයක් නැවැත්විය හැකි පහසුකම් තිබීම මෙන්ම  පවත්නා ටැංකි, පොම්පාගාර තවමත් භාවිත කළ හැකි මට්ටමේ තිබීම හේතුවෙන්  චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය මෙරට තුළ ඉමහත් වැදගත්කමක් උසුලයි. එය වනාන්තරයෙන් වැසී යාමට ඉඩ හරිනවාට වඩා රටේ සංවර්ධනය සදහා යොදා ගැනීම උචිත වන නමුත් දේශීයත්වය වාණිජකරණය කර විකිණිමක් කිරීමකින් තොරව එය සිදු වන්නේ නම්  වඩාත් සුදුසු වේ.

කවරයේ පින්තුරය: media.timeout.com

Related Articles