Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පැරණි ම ආගම්

මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වූ කාලයේ පටන් ම මිනිසා නොයෙක් ආකාරයේ ආගම් අදහන ලද බවට සාක්ෂි පවතිනවා. මුල් කාලයේ දී මිනිසාගේ දෙවිවරුන් වුණේ හිරු, සඳු හෝ තාරකා වැනි සොබාදහමේ දායද යි. පසු කාලීන ව ශිෂ්ටාචාර බිහි වීම සමග මිත්‍රවාදය (ක්‍රිස්තු වර්ෂ 1 – 4 වැනි සියවස දක්වා කාලයේ දී මිත්‍රාස් නම් රෝම දෙවිඳුන් වෙනුවෙන් සිදු කළ පුදපූජා), මැනිකිවාදය (ඉරාන ජාතික පූජකයෙකු වූ මානි විසින් ඇති කරන ලද ආගමක්) සහ ටෙන්ග්‍රිවාදය (ක්‍රිස්තු පූර්ව 3,300 – 1,200 අතර කාලයේ දී මධ්‍යම ආසියාවේ ව්‍යාප්ත වූ ධර්මයක්) වැනි ආගම් හිස එසවූව ද කාලය ගත වුණේ ඒවා ඉතිහාසයට එක් කරමින්.

නමුත් අදින් සහස්‍ර කිහිපයකට පෙර බිහි වූ ආගම් සහ දර්ශනයන් කිහිපයක් ම තවමත් භාවිතයේ පවතිනවා. මේ ලිපිය ලොව පැරණි ම ආගම් කිහිපයක් ගැන යි.

හින්දු දහම

© Erofeenkov / Shutterstock

ඉන්දියාවේ සහ නේපාලයේ ප්‍රචලිත හින්දු දහම අනුගමනය කරන්නන් මිලියන 900 ක් පමණ ලොව පුරා වාසය කරන බව යි සඳහන් වන්නේ. හින්දු දහම ආරම්භ වුණේ කුමන කාල සීමාවේ දැයි නිශ්චිත ම සඳහන් නොවුණ ද ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ එය ක්‍රිස්තු පූර්ව 15 – 5 වැනි සියවස දක්වා කාලයේ භාවිතයට පැමිණෙන්නට ඇති බව යි. හින්දු දහමේ මූලික සංකල්ප ගැන තොරතුරු ඇතුළත් වන පැරණිත ම ලිඛිත මූලාශ්‍ර ලෙස සැලකෙන සංස්කෘතික බසින් රචිත වේද ග්‍රන්ථයන්, ක්‍රිස්තු පූර්ව 1700 – 1100 අතර කාලයේ දී රචනා කරන්නට ඇති බව විශ්වාස කරනවා. ලේඛනගත සාක්ෂි අනුව ඉතිහාසඥයින්ගේ මතය වන්නේ දැනට ලොව භාවිතයේ පවතින පැරණි ම ආගම, හින්දු දහම බව යි.

සරතුස්ත්‍රවාදය

(© Wikimedia Commons)
සරතුස්ත්‍රවාදයේ එන මිථ්‍යා කථාන්තර දැක්වෙන සිතුවමක්

අදින් වසර 3,500 කට පමණ සොරොඇස්ටර් හෙවත් සරතුස්ට්‍රා නම් ඉරාන සෘෂිවරයා විසින් නිර්මාණය කරන ලද සරතුස්ත්‍රවාදය දැනට ලොව පවතින පැරණි ම ඒක දේවවාදි දහම ලෙස සැලකෙනවා. සහ්‍රසයකට අධික කාලයක් ලොව බලවත් ම ආගමක් ලෙස එය සලකන ලද අතර ක්‍රිස්තු පූර්ව 600 සිට ක්‍රිස්තු වර්ෂ 650 දක්වා කාල සීමාවේ දී පර්සියාවේ (වත්මන් ඉරානයට අයත් ප්‍රදේශය) නිල ආගම වුණේ ද සරතුස්වාදය යි. සරතුස්වාදීන්ට අනුව ආහුරා මැස්ඩා නම් තනි දෙවි කෙනෙකු වාසය කරන අතර ලෝකයේ නිර්මාතෘවරයා වන්නේ ද ඔහු යි. අදටත් ඉරානය, ඉන්දියාව සහ ඉරාකයේ ඇතැම් ප්‍රදේශවල සරතුස්වාදය අනුගමන කරන බැතිමතුන් 200,000 ක් පමණ වාසය කරන බව සඳහන්.

යුදෙව් දහම

© Israel Tourism

මිලියන 13.1 ක පමණ ජන සමූහයක් අනුගමනය කරන යුදෙව් දහමේ ආරම්භය සිදු වී ඇත්තේ අදින් වසර 3,500 කට පමණ පෙර යි. මැද පෙරදිග රාජ්‍යයන් ආශ්‍රිත ව බිහි වූ එහි ආරම්භකයා වන්නේ මෝසෙස් නම් ශාස්තෘවරයා වුව ද යුදෙව්වන් ඔවුන්ගේ ඉතිහාසය, ඒබ්‍රහම්ගේ (ඒක දේවවාදී දහම ප්‍රථමයෙන් ලොවට හඳුන්වා දුන් අයෙක්) කාලය දක්වා ම ඈතට රැගෙන යනවා. යුදෙව් දහම ද ඒක දේවවාදී ධර්මයක් වන අතර ඔවුන් විසින් පිළිපැදිය යුතු සාම්ප්‍රදායන් ‘ටෝරා’ නම් වන යුදෙව් බයිබලයේ ප්‍රථම කාණ්ඩයේ දක්වා තිබෙනවා.

ජෛන ආගම

© Mahesh Balasubramanian

ඉන්දියානු අර්ධද්වීපය සතු ප්‍රබල ධර්මයක් වන ජෛන ආගමේ ආරම්භය සිදු වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 8 – 2 වැනි සියවස දක්වා වන කාල සීමාවේ දී යි. අවිහිංසාවාදී දහමක් වන එහි මූලික පරමාර්ථය වන්නේ විශ්වයේ සෑම ජීවියෙකුට ම යහපත සැලසීම යි. ජෛන භක්තිකයින් මාංශ අනුභවයෙන් තොර වන අතර ඔවුන්ගේ ජීවන රටාව සකස් වී ඇත්තේ පෘථිවියේ පවතින ස්වභාවික සම්පත් භාවිතය හැකිතාක් අවම වන අයුරෙන්. ජෛන ආගමිකයන් දෙවිවරුන් විශ්වාස නොකරන අතර ඔවුන්ගේ ‘තෙරුවන’ වන්නේ නිවැරදි විශ්වාසය, නිවැරදි දැනුම සහ නිවැරදි ක්‍රියාව යි. දැනට ලොව ජෛන භක්තිකයින් මිලියන 4.2 ක් පමණ වාසය කරන බව සඳහන් වෙනවා.

කොන්ෆියුසියස් දහම

(© Philipus / Fotolia)
කොන්ෆියුසියස්තුමා

ක්‍රිස්තු පූර්ව 551 – 479 කාලයේ වාසය කළ චීන ගුරුවරයෙකු සහ දාර්ශනිකයෙකු වූ කොන්ෆියුසියස්තුමා විසින් ලොවට හඳුන්වා දුන් කොන්ෆියුසියස් දහම, ආගමකට වඩා සාමාජීය සහ සදාචාරාත්මක දර්ශනයක් ලෙස හැඳින්වීම නිවැරදි යි. අදටත් චීනය, කොරියාව, ජපානය සහ වියට්නාමය වැනි රාජ්‍යයන් හි ප්‍රචලිත එය චීන ජනශ්‍රැතීන් සඳහා ප්‍රබලත ම බලපෑමක් සිදු කරන ලද ආගමක් ලෙස සැලකෙනවා. සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ වර්තමානයේ දී කොන්ෆියුසියස් දහම අනුගමනය කරන්නන් මිලියන 6 ක් පමණ වාසය කරන බව යි.

බුදු දහම

© Pinterest

අනෙකුත් ආගම් සමග සැසඳීමේ දී පැහැදිලි ඉතිහාසයක් සහිත බුද්ධ දර්ශනයේ ඇරඹුම සිදු වුණේ සිද්ධාර්ථ තාපසතුමන් සම්මා සම්බුද්ධත්වයට පත් වීමෙන් පසු ව යි. ඒ ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ දී යි. බුදු දහමේ මූලික පරමාර්ථයන් වන්නේ ආධ්‍යාත්මය දියුණු කිරීම සහ අත් හැරීම යි. ඒ අනුව බෞද්ධයෙකුට ළඟා විය හැකි උසස් ම ස්ථානය නිර්වාණය (සියලු ම ආශාවන් දුරු කිරීම) ලෙස සැලකෙනවා. දැනට ලොව පුරා බුදු දහම අනුගමනය කරන්නන් මිලියන 376 ක් පමණ වාසය කරන අතර එය ‘මහායාන’ සහ ‘ථේරවාද’ ලෙස දෙයාකාර යි. දේවවාදී ආගමක් නොවන එහි මූලික විශ්වාසයක් වන්නේ සෑම දෙයක් ම වෙනස්වීමට ලක් වෙනවා යන්න යි.

ටාඕ දහම

© Joya Life

චීන සාම්ප්‍රදායන්ට ප්‍රබල බලපෑමක් එල්ල කරන ටාඕ දහමේ බිහි වීම සිදු වුණේ අදින් වසර 2,000 කට පමණ පෙර යි. ටාඕ දහමේ පදනම් වන්නේ ප්‍රතිවිරුද්ධ බලවේගයන් එක් කිරීම යි. එහි හරය පෙන්නුම් කරන ‘යින් සහ යෑන්ග්’ මගින් නිරූපණය කරන්නේ ජීවිතයේ සියලු ම අවස්ථා සහ සංසිද්ධි ඇති කරන ඌනපූරක බලයන් ද්විත්වයක්. කළු පැහැයෙන් දක්වන ‘යින්’ මගින් පෘථිවිය, අඳුර, ස්ත්‍රීත්වය, උදාසීන බව සහ අවශෝෂණය ද සුදු පැහැයෙන් දක්වන ‘යෑන්ග්’ මගින් දෙව්ලොව, පුරුෂත්වය, ආලෝකය, ක්‍රියාකාරී බව සහ විනිවිද යාම ද පෙන්නුම් කරනවා. ටාඕ දහමට අනුව සම්පූර්ණ බව ඇති වන්නේ මෙම සියලු ලක්ෂණ එක් වීමෙන් පමණ යි.

කවරයේ පින්තූරය : © The Quint

Related Articles