Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මරණීය හුදෙකලාවක ජීවිතය සොයා යාම‍; One Flew Over the Cuckoo’s Nest (1975)

හැම දෙයක්ම දෛවයට බාරදීලා, වෙනස් කරන්න බැරි කාල සටහනකට අනුව තමන්ගෙ ජීවිත ගෙනියන්න හිත හදාගත්ත මිනිස්සුන්ගෙන් පිරුණු තැනක ඒ ඒකාකාරී ක්‍රමයට එරෙහිව ‘ඇත්ත ජීවිතයක්’ වෙනුවෙන් කැරැල්ලක් ගහනවා කියන්නෙ සුළුපටු වැඩක් නෙමෙයි. ඒ නිසාම වෙන්න ඇති, ඒ වගේ වෙනස් හිතීමක් එක්ක වැඩකරපු සමහර අය ගැන මතක සටහන් කාලයක් ගියත් හරිම ආදරණීය විදියට අපි අතරෙ රැඳිල තියෙන්නෙ. කරන්න බැහැයි කියල අත්හැරීම වෙනුවට දේවල් වෙනස් කරන්න පුංචි හරි උත්සාහයක් දැරීමයි වඩා වැදගත්. කිසි දෙයක් වෙනස් නොවෙන පසුබිමක වුණත් ඒ වගේ බලාපොරොත්තු හරහා ගොඩක් දේවල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. One Flew Over the Cuckoo’s Nest චිත්‍රපටයට පසුබිම් වෙන්නෙත් එහෙම ආදරණීය මතකයක් ඉතුරු කරපු මනුස්සයෙක් ගැන කතාවක්.

කතාව සැකෙවින්

චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ඈත පළාතක, පාලු පාරක් දිගේ ඉස්සරහට ඇදෙන කාර් එකකින්. ඊට පස්සෙ මානසික රෝහලක අඳුරු, මූසල කොරිඩෝවක් දිගේ ඇවිදගෙන එන කලු ඇඳගත්ත කෙනෙක් අපට දකින්න ලැබෙනවා. දොරවල් එකින් එක අරිමින්, වහමින් ඒ එන්නෙ ‘මිස් රැචඩ්’. මැදි වයසෙත් මැද හරියෙ ඉන්න එයා තමයි රෝහලේ ප්‍රධාන හෙදිය. ඊ ළඟට අර මුලින් කියපු කාර් එකෙන් එක්තරා පුද්ගලයෙක්ව මේ මානසික රෝහලට අරගෙන එනවා. ඒ තමයි චිත්‍රපටයේ කතා නායකයා; රැන්ඩල් පැට්‍රික් මැක් මර්ෆි.

ඉස්පිරිතාලෙ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ රැචඩ්ගෙ කාලසටහනට අනුව. ඊට පිටින් හුස්මක්වත් ගන්න කිසි කෙනෙකුට අවසරයක් නැහැ. ඒත් මැක් මර්ෆිගෙ කඩා වැදීමත් එක්ක, එකම රිද්මයකට සහ රටාවකට අනුව ගෙවුණු ඒ ඒකාකාරී ජීවිත උඩු යටිකුරු වෙනවා. කලහකාරී හැසිරීම්, ස්ත්‍රී දූෂණ වගේ වැරදි නිසා කිහිප සැරයක් හිරේ යන්න සිද්ධ වුණු එයාට තියෙන්නෙ පිහාටුවකටත් වැඩිය සැහැල්ලු ජීවිතයක්.

එච්චර දවසක් එකම වට්ටෝරුවකට අනුව ජීවිතේ ගත කරපු රෝහල් නේවාසිකයන්ට මැක් මර්ෆිගෙ පැමිණීමම ‘පිස්සු හැදෙන’ අත්දැකීමක් වෙනවා. එයා ළඟ තියෙන නිරුවත් පින්තූර සහිත කාඩ්පැක් එකට වගේම තක්කඩි හිනාවටත් හැමෝම ආකර්ෂණය වෙන්නෙ හරිම ඉක්මණින්. හැසිරීමේ අමුත්තක් නිසා මානසික රෝහලකට ගෙනාවට මොකද එයා කරන්නෙ බොරුවක් කියලයි නිලධාරීන් හිතන්නෙ. හැබැයි එක්තරා සිදුවීමක් නිසා මැක් මර්ෆිට ඇත්තටම ප්‍රතිකාර අවශ්‍යයි කියලා පාලනාධිකාරිය තීරණය කරනවා.

තමන්ට ආයෙත් එළියට යන්න වෙන්නෙ රැචඩ් හෙදියට ඕනනම් විතරයි කියල තේරුම් ගන්න මැක් මර්ෆි එතන ඉඳලා සැලසුම් කරන්නෙ පැනල යන්න. එයා ඒ වෙනුවෙන් තෝරගන්න සහයකයා තමයි චීෆ්. හැමෝම ගොලු, බිහිරි ඉන්දියානුවෙක් කියල හිතාගෙන ඉන්න මේ උස මහත හාදයට කතා කරන්න වගේම අහන්නත් පුලුවන් බව මැක් මර්ෆි හොයා ගන්නවා. එතන ඉඳලා එයාල අතරෙ ගොඩනැගෙන්නෙ දැඩි මිත්‍රත්වයක්.

දෙන්නා පැනල යන්න ගහන සැලසුම සාර්ථක වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ගැස්සිලා යන්නෙ භයානක අත් වැරැද්දකින්. එතන ඉඳලා සිද්ධ වෙන අනුවේදනීය සිදුවීම් පෙළ දිහා ඉවසීමෙන් බලාගෙන ඉන්න චීෆ් අන්තිමේ තීරණය කරනවා තමන්ගෙ ආදරණීය මිත්‍රයා පෙන්නපු පාරෙ යන්න.

නිර්මාණ පසුබිම

Ken Kesey ගෙ නවකතාවක් පදනම් කරගනිමින් චිත්‍රපටයේ තිර පිටපත ලියන්නෙ Lawrence Hauben සහ Bo Goldman දෙන්නා. අධ්‍යක්ෂණය කරන්නෙ Milos Forman. ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන 5ක් ඇතුළුව තවත් සිනමා සම්මාන ගණනාවක් හිමි කරගන්නත් One Flew Over the Cuckoo’s Nest සමත් වෙනවා. චිත්‍රපටයට කළින් මේ කතාව වේදිකා නාට්‍යයක් විදියටත් නිර්මාණය වුණා.

චිත්‍රපටයේ මැක් මර්ෆිගෙ චරිතයට පණ දෙන Jack Nicholson තමන් පුදුමාකාර රංගන ශිල්පියෙක් බව හැම තත්පරයක් ගාණෙම ඔප්පු කරද්දි, රැචඩ් මෙනෙවියගෙ චරිතය හරහා Louise Fletcher ඉදිරිපත් කරන්නෙත් ඊට නොදෙවෙනි රංගනයක්. ඇත්තටම ඒ විශිෂ්ඨ රඟපෑම් දෙක ගැන කතා නොකර බැහැ. ඒවා ඒ තරමටම සුවිශේෂීයි.

විශේෂයෙන්ම රැචඩ් හෙදියගෙ චරිතය. අපට නිතරම දකින්න ලැබෙන රැචඩ්ගෙ මුහුණේ සමීප රූප හරහා එයා නොකියන කතා සියගාණක් එළියට පනිනවා. ඒක හරිම ගුප්ත චරිතයක්. ගොඩක් වෙලාවට එහෙම චරිත පිටිපස්සෙ කවුරුත් නොදන්න විඳවීම් කන්දරාවක් හැංගිලා තියෙන්නත් ඉඩ තියෙනවා. කොහොම වුණත් රැචඩ් කියන්නෙ තමන්ගෙ බලය සම්බන්ධයෙන් මරණීය භීතියකින් පෙළෙන කෙනෙක්. ඒ බලයේ පැවැත්ම රැඳිල තියෙන්නෙ තමන්ගෙ රෝගීන් අතේ බව එයා හොඳාකාරවම දන්නවා. වඩාත් පැහැදිලිව කිව්වොත්, තමන්ගෙ රෝගීන් නිරෝගී වීම එයාට දරාගන්න බැහැ. චිත්‍රපටයේ එක තැනක බිලී බිබිට් කියන ලැජ්ජාකාරයගෙ ගැටළුවේ සෑහෙන ප්‍රමාණයක් මැක් සහ එයාගෙ පෙම්වතිය එකතුවෙලා විසඳනවා. හැබැයි පහුවදා උදේ රැචඩ් කරන්නෙ තමන් කරපු දේ ගැන ලැජ්ජා වෙන්න කියලා බිලීට බලකරන එක. එයා බිලීගෙන් බලාපොරොත්තු වෙන්නෙ පරණ පුරුදු විදියටම ගොත ගගහා කරන සමාව ගැනීමක් මිස ‘වෙනසක්’ නෙමෙයි.

චිත්‍රපටයේ අනිත් හැම චරිතයක්ම ගොඩනගලා තියෙන්නෙත් පුංචි දේවල් ගැන පවා පුදුමාකාර අවධානයක් දෙමින්. වැඩි කතාබහක් නැති, රැචඩ්ගේ සහායක හෙදියගේ චරිතයත් එහෙම එකක්. මැක් මර්ෆි සහ රැචඩ් දිහා බලාගෙන ඉන්න එයාගෙ මුහුණෙ පිළිබිඹු වෙන හැඟීම් ඇතුළෙ ගොඩක් දේවල් නලියන බව අපට පේනවා. ඒත් ඒ කිසි දෙයක් වචන හරහා එළියට එන්නෙ නැහැ.

බලය, දේශපාලනය සහ රැචඩ්ගේ ලෝකය

බාහිර ලෝකය සහ ඒ මානසික රෝහල ඇතුළෙ ජීවිතය කියන්නෙ හාත්පසින්ම වෙනස් ව්‍යුහයන් දෙකක්. එළිය විසින් ඇතුළෙ ජීවිත පාලනය කරමින් ඉන්න වටපිටාවක එතනට කඩාගෙන වැටෙන මැක් ඒ ව්‍යුහයන් දෙක අතරෙ ඊට වැඩිය වෙනස් ගනුදෙනුවක් හදනවා.

වාට්ටුව පුරාම පැතිරුණු රැචඩ්ගෙ බල පරාක්‍රමය සහ ඒක ඇතුළෙ හැංගිලා තියෙන ක්ෂුද්‍ර දේශපාලනය තේරුම් ගැනීම හරහාත් සෑහෙන්න දේවල් තේරුම් ගන්න පුළුවනි. විශේෂයෙන්ම ලංකාව වගේ රටවල්වල දේශපාලනය ක්‍රියාත්මක වෙන විදිය පවා එතන තියෙනවා. මොන ප්‍රශ්නයක් තිබුණත් කිසිම කෙනෙකුට අවසර නැහැ හෙදියන්ගෙ අංශයට ඇතුල් වෙන්න. තමන්ගෙ සීමාවෙ ඉඳලයි ඕනම දෙයක් කියන්න වෙන්නෙ. ඒ වගේම හෙද නිලධාරියෙක් ‘කොහොමද?’ කියල ඇහුවොත් හැමෝම දෙන්නෙ ‘හොඳයි’ ‘සනීපයි’ වගේ උත්තර. මොකද වැරදිලාවත් ‘නරකයි’ කිව්වොත් මුහුණ දෙන්න වෙන්නෙ ඊටත් වැඩිය නරක අත්දැකීමකට බව හැමෝම දන්නවා. වඩාත් උත්ප්‍රාසාත්මක දේ තමයි ඡන්ද පැවැත්වීම. තමන්ගෙ කීකරු බැටළු රංචුව තමන්ට විරුද්ධව අතක් උස්සන්නෙ නැහැයි කියලා දන්න නිසා රැචඩ් හැම තිස්සෙම කරන්නෙ ඡන්ද තියන එක. හැබැයි බහුතරය තමන් එක්ක නැහැයි කියල දැනුණොත් එයා වහාම බලය පාවිච්චි කරලා ඡන්දෙ කල් දානවා. එහෙම දේවල් සිද්ධ වෙන්නෙ මානසික රෝහල් ඇතුළෙ විතරක් නෙවෙයි කියලා හැමෝම දන්නවා.

සිනමා භාෂාව භාවිතය

One Flew Over the Cuckoo’s Nest පුරාම අපට දකින්න ලැබෙනවා ‘සිනමා භාෂාව’ සාර්ථකව පාවිච්චි කරපු තැන්. හොඳම උදාහරණයක් තමයි රැචඩ්ගෙ චරිතය අපට මුණගැහෙන මුල්ම දර්ශනය. එතනදි එයාව පෙන්නන්න පටන් ගන්නෙම අනතුරු ඇඟවීම් ගොඩක් එක්ක. ඇඳගෙන ඉන්න කළු ඇඳුම, අතේ තියෙන යතුරු කැරැල්ල සහ කොරිඩෝවෙ මූසල පෙනුම විතරක් නෙමෙයි, බිත්තියේ දැල්වෙන රතු ලයිට් එක පවා අහම්බයන් නොවෙන බව අපට තේරුම් යන්නෙ පස්සෙ.

වාට්ටුවේ තියෙන කරාම හයිකරපු දැවැන්ත ග්‍රැනයිට් කුට්ටියත් එහෙම එකක්. අවශ්‍ය ප්‍රමාණයට විතරක් වතුර නිකුත් කරන්න බැඳිල හිටපු කරාම කීපය එක්ක සදාකාලිකව එතන ලැගල ඉන්න හිත හදාගත්ත ඒ දැවැන්තයා චීෆ්ගෙ අත්දෙකට මැදිවෙලා පොළොවෙන් ඉහළට එසවෙද්දි, එච්චර කාලයක් හිරවෙලා හිටපු ජල දහරාව නිදහසේ හැමතැනම විහිදීමෙන් කියන්නෙ වචන දාහකින්වත් කියල ඉවර කරන්න බැරි කතාවක්.

එක වෙලාවක මැක් මර්ෆිත් ඒ දේම කරන්න උත්සාහ කරනවා. හැබැයි එයාට ඒක හොල්ලන්නවත් ලැබෙන්නෙ නැහැ. ‘අඩු ගාණෙ මං උත්සාහයක්වත් ගත්තනෙ…’ ඉරණමට හැම දෙයක්ම බාරදීලා බලාගෙන හිටපු අනිත් අයට ඇහෙන්න එහෙම කියලයි එයා තමන්ගෙ හිත හදාගන්නෙ. ඒත් ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට චිත්‍රපටය අවසානයේ චීෆ් අතින් ඒ වික්‍රමය සිද්ධ වෙනවා.

‘මිනිහා ඒක කළා..!’

නිදහස හොයාගෙන ඈත කඳුකරය පැත්තට දුවන චීෆ් වගේම, වීදුරුව බිඳෙන හඬින් ඇහැරුණු පිස්සු ටේකර්ගෙ ප්‍රීතිමත් හිනාවත් නිහඬව මුමුණන්නෙ ඒ වචන කිහිපය.

ඡායාරූප –  www.imdb.com

Related Articles