
ඊශ්‍රායල පලස්තීන අර්බුධය පිළිබඳ ලියැවුණ ලිපි කිහිපයක් අපි මීට පෙර ඉදිරිපත් කළා. මෙවර අපි ඔබව රැගෙන යන්නේ ගාසා තීරය වෙතට යි.
ගාසා තීරයේ පාලනය පවතින්නේ හමාස් සංවිධානය යටතේ යි. ලෝකයේ පොදු පිළිගැනීම වන්නේ මෙම සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවයි. පලස්තීන විමුක්ති සංවිධානය ඊශ්‍රායල-පලස්තීන අර්බුධය දේශපාලනික මට්ටමෙන් විසඳා ගැනීමට උත්සාග ගත්තත්, හමාස් සංවිධානයට අවශ්‍ය යුධ බලයෙන් ඊශ්‍රායලය එම භූමියෙන් මුළුමනින්ම අතුගා දමන්නට යි.මේ නිසා ගාසා තීරය අවට නිරන්තරයෙන්ම පාහේ ඊශ්‍රායල හමුදාව සහ හමාස් සංවිධානය අතර ගැටුම් ඇතිවනවා. මේවායින් වැඩිම හානිය වන්නේ පලස්තීන සිවිල් ජනතාවට. හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කරමින් එල්ල කරන මිසයිල හා රොකට් ප්‍රහාර උඩු ගුවනේදීම විනාශ කර දැමීමට ආරක්ෂක පද්ධතියක් ඊශ්‍රායලය සතු නිසා හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායලයට එල්ල වන අනතුර අවම මට්ටමක පැවතුනත්, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට මුහුණ දීමේ එවන් පද්ධතියක් ගාසා තීරයේ ස්ථාපිත වී නැහැ. ඉතින් පලස්තීන වැසියන් බොහෝ ගණනක් මේ ප්‍රහාරවලින් මියයනවා සහ තුවාල ලබනවා. මේ සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස යොදාගන්නා බවට හමාස් සංවිධානයටත්, යුධ නීති උල්ලංඝනය කරමින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලයටත් චෝදනා එල්ල වනවා.
මේ ලිපිය වෙන්වන්නේ ඊශ්‍රායල හමුදා විසින් හමාස් සංවිධානයට එරෙහිව ගාසා තීරයේදී සිදුකළ මෙහෙයුමක් පිළිබඳ තොරතුරු ගෙන ඒම ටයි. Operation Protective Edge ලෙස හැඳින්වෙන මෙය 2014 වසරේ ජුලි මස 08 වනදා ආරම්භ වුණා. මීට පෙර මෙවැනිම මෙහෙයුම් දෙකක් ඊශ්‍රායලය ක්‍රියාත්මක කර තිබෙනවා.
Operation Protective Edge
2014 ජුනි මස 12 වන දින ඊශ්‍රායල යෞවනයන් තිදෙනෙක් බටහිර ඉවුරේ සිට ආපසු එමින් සිටිය දී පැහැර ගැනුණා. ඝාතනය කරන ලද ඔවුන්ගේ මළ සිරුරු හමු වුණේ එම මස 30 වන දින යි. ඊශ්‍රායලය මෙම සිදුවීමට හමාස් සංවිධානය වගකිව යුතු යැයි චෝදනා කළත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. තරුණයින් අතුරුදහන් වීමෙන් දින කිහිපයක් තුළ ඊශ්‍රායලය මෙහෙයුමක් දියත් කරමින් ගාසා තීරයේ දී පලස්තීනුවන් 300ක් පමණ අත්අඩංගුවට ගත් අතර ඉන් බහුතරය හමාස් සාමාජිකයන් වූවා. මෙම මෙහෙයුමේ දී පලස්තීනුවන් 10 දෙනෙකු පමණ මිය ගිය අතර නිවාස 1000කට අධික ප්‍රමාණයක් සෝදිසි කරනු ලැබුවා.

පැහැර ගැනුණ ඊශ්‍රායල යෞවනයන් තිදෙනා/The Guardian
යෞවනයන් තිදෙනාගේ මළ සිරුරු හමු වූ දින රාත්‍රියේ දී හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළා. එයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලයත් පෙරලා ගාසා තීරය දෙසට ගුවන් ප්‍රහාර දියත් කළා.
ඉන්පසු, ජුලි 02 වන දා පලස්තීන තරුණයෙකු පැහැර ගැනුණ අතර පුළුස්සන ලද ඔහුගේ සිරුර පසුව සොයාගත්තා. මෙම සිදුවීම පලස්තීනුවන් බහුතරයක් වෙසෙන නැගෙනහිර ජෙරුසෙලමේ දැඩි නොසන්සුන්තාවක් ඇති කරවීමට සමත් වූ අතර, සිදුවීමට සැකපිට ඊශ්‍රායල ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දඬුවම් පමුණුවනු ලැබුවා. මෙය වාර්තා වූයේ ඉහත කී ඊශ්‍රායල යෞවනයන් තිදෙනාගේ ඝාතනයට එරෙහිව පළිගැනීමට කළ ක්‍රියාවක් ලෙසට යි.
නමුත් මෙම සිදුවීම ඇවිලෙන ගින්නට පිදුරු දැමුවා සේ වූයේ හමාස් සහ ගාසා තීරයේ ක්‍රියාත්මක වන වෙනත් ඉස්ලාමික මූලධර්මවාදී සංවිධාන ඊශ්‍රායලය ඉලක්ක කරමින් දැඩි රොකට් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමත් සමඟ යි. මේ රොකට් ප්‍රහාරවලට මින් පෙර නොවූ විරූ පරිදි drone සහය පවා ලබාගත් බව හමාස් සංවිධානය පසුව ප්‍රකාශ කර සිටියා. නමුත් මේ රොකට්වලින් බොහොමයක් ජන ශූන්‍ය ප්‍රදේශවලට පතිත වූ අතර තවත්
සමහරක් ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කරනු ලැබුවා.
ජුලි 17 වනදා නිල වශයෙන් Operation Protective Edge ආරම්භ කළ ඊශ්‍රායල හමුදා ගාසා තීරය ආක්‍රමණය කළා. මෙහි අරමුණ වන්නේ ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට රහසේ ඇතුළු වීම සඳහා සකසා ඇති, හමාස් සංවිධානයේ රහස් උමං මාර්ග විනාශ කර දැමීම බව ඊශ්‍රායලය ප්‍රකාශ කළා.

ඊශ්‍රායලය දෙසින් ගාසා තීරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයක්/Majdi Fathi
අගෝස්තු මස 5 වන දින භූමියේ මෙහෙයුම් නිමාකරමින් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයෙන් ඉවත්වූ අතර එම මස 26 වන දා විවෘත සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ තාක් කාලය තුල හමාස් සංවිධානය විසින් රොකට් සහ මෝටාර් 4500කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලය වෙත එල්ල කර තිබුණ අතර මේවායින් 300ක් පමණ පතිත වී තිබුනේ ගාසා තීරයටම යි. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව හඳුනාගත් හමාස් ඉලක්ක 5270කට පමණ පහර දී තිබුණා. විනාශ කර දැමූ හමාස් උමං සංඛ්‍යාව 34ක්. ඔවුන්ගේ රොකට් ප්‍රහාර එල්ල කිරීමට සකසා තිබූ පද්ධතියෙන් 80%ක් පමණ විනාශ කර දැමූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව නිවේදනය කළා.

ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට එල්ලවන රොකට් ප්‍රහාරයක්/Getty Images
ජීවිත හානි
මෙසේ හටගත් ගැටුම් නිමාවන විට දළ වශයෙන් 2300ක් පමණ පලස්තීන වැසියන් මරණයට පත්වූ බවත් 10,900ක් පමණ තුවාල ලැබූ බවත් ප්‍රකාශ වුණා. ඉන් 3400ක් පමණ ළමුන් වූ අතර ඔවුන්ගේ 1000ක් පමණ සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ බව වාර්තා කෙරුණා.
ඊශ්‍රායල හමුදා සෙබළුන් 66 දෙනෙකු සහ සිවිල් වැසියන් 5 දෙනෙකු මෙම ගැටුම් නිසා මිය ගියා. ඊශ්‍රායලයේ රැඳී සිටි එක් තායි ජාතිකයෙකුත් ගැටුම් නිසා ජීවිතක්ෂයට පත්වුණා. ඊශ්‍රායල පාර්ශවයේ තුවාල ලැබූවන් අතර 470ක් හමුදා සෙබළුන් වූ අතර අනෙක් 260 සිවිල් වැසියන් වූවා.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පසු ඉතිරි වූ සුන්බුන් මත සිටින පලස්තීන දරුවෙක්/AP
ගාසා තීරයේ ජීවත්වූ වැසියන්ගෙන් 70%ක් පමණ ගැටුම් නිසා කිසියම් ආකාරයකින් විපතට පත්වූ බව එහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවල දැක්වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව පලස්තීන නිවාස 7000ක් පමණ ගැටුම් නිසා මුළුමනින්ම විනාශයට පත් වී තිබුණා. තවත් නිවාස 89,000ක් අර්ධ වශයෙන් විනාශ වී තිබුණා.
ඊශ්‍රායල පලස්තීන අර්බුධය පිළිබඳ ලියවුණ තවත් මෙවන් ලිපියකින් යළි හමුවෙමු.
Sources : CNN, BBC, ABC | Cover Photo : ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක්/ AFP