Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ සාර්ථකම මානුෂික මෙහෙයුම – ඊශ්‍රායලයේ “ඔපරේෂන් සොලමන්”

හිට්ලර් විසින් ආරම්භ කරන ලද දෙවන ලෝක යුද්ධයේ ඔහුගේ එක් මූලික අරමුණක් ලෙස යුදෙව් ජාතිකයන් මේ ලෝකයෙන් අතුගා දැමීම හඳුන්වාදිය හැකියි. ඔහු විසින් යුදෙව්වන් සමූල ඝාතනය කිරීම හේතුවෙන් ඉන් බේරීමට යුදෙව් ජාතිකයන් ලොව පුරා විසිරී යනවා.

පසුව යුදෙව්වන් විසින් ඊශ්‍රායලය නිර්මාණය කිරීමෙන් අනතුරුව ලොව පුරා විසිරී සිටින තම ජාතිකයන් ඊශ්‍රායලය වෙතට ගෙන්වා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලබනවා. ඉතා රහසිගතව ක්‍රියාත්මක කළ  මෙහෙයුම් මගින් යුදෙව්වන් ඊශ්‍රායලය වෙතට ගෙන්වා ගැනීම මේ යටතේ සිදු වෙනවා.

එලෙස සාර්ථකව ක්‍රියාත්මක වූ එක් මෙහෙයුමක් ලෙස ඔපරේෂන් සොලමන් (Operation Solomon) නම් කළ  හැකියි. පැය 36ක් පුරා ක්‍රියාත්මක වෙමින් ඉතියෝපියාවේ සිටි යුදෙව්වන් ගුවන් යානා යොදාව ගනිමින් ඊශ්‍රායලයට ගෙන්වා ගැනීම මෙහිදී සිදු වෙනවා. ඉතින් අද ලිපිය ලියවෙන්නේ ඒ පිළිබඳවයි.

ඔපෙරේෂන් සොලමන් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම ක්‍රියාත්මක වූ ඔපරේෂන් මෝසස්

ඊශ්‍රායල් ගුවන් හමුදා ලාංජනය (aJudaica.com)

1984 වර්ෂයේ ජාත්‍යන්තර මාධ්‍යයට පවා වසන් කරමින් ක්‍රියාත්මක වූ මෝසෙස් මෙහෙයුම (Operation Moses) මගින් ඉතියෝපියානු සිවිල් යුද්ධයෙන් හා සාගතයෙන් බැට කමින් සිටි ඉතියෝපියානු යුදෙව්වන් 8000ක් පමණ ඊශ්‍රායලයට ගෙන්වා ගැනීම සිදු වෙනවා. ඉතියෝපියානු පාලනය මගින් ඊශ්‍රායලය වෙත සංක්‍රමණය වීම තහනම් කර තිබූ බැවින් මෙම මෙහෙයුම සිදු වන්නේ ඉතා රහසිගතවයි. ඉතියෝපියාවෙන් පිට වී අවදානම් සහගතව සූඩාන දේශ සීමාව හරහා පැමිණෙන ඔවුන්ට, ඊශ්‍රායලය වෙත ගුවන් මගින් සංක්‍රමණය වීමට අවශ්‍ය පහසුකම් සලසා තිබුණා.

නමුත් මෙම රහසිගත මෙහෙයුම මාධ්‍යයට වාර්තා වීමත්, අරාබි රටවලින් සුඩානයට එල්ල වූ බලපෑමත් හේතුවෙන් සංක්‍රමණික ක්‍රියාවලියට සුඩානයේ අකමැත්ත එල්ල වීම වැනි හේතූන් නිසා මෝසෙස් මෙහෙයුම අතරමග නවතා දැමීමට ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යංශයට හා ගුවන් හමුදාවට සිදු වෙනවා.

ඔපරේෂන් සොලමන් ක්‍රියාත්මක කිරීමට බලපෑ කරුණු

එවකට ඊශ්‍රායල් අගමැති Yitzhak Shamir (Brookings Institution)

යුදෙව්වන් ගෙන්වා ගැනීම සදාකාලිකවම නවතා දැමීමට ඊශ්‍රායල් රජය තීරණය නොකරන අතර නැවතත් 1991 වසරේ මැයි 24 හා මැයි 25 දෙදින තුළ එහි තවත් පියවරක් ලෙස ඔපරේෂන් සොලමන් ක්‍රියාත්මක වෙනවා.

90 දශකයේ මුල් කාලයේදීම ඉතියෝපියාවේ ඇති වූ එරිත්‍රියා(Eritrean) හා ටයිග්‍රියන් (Tigrean) කැරලිකරුවන්ගේ හමුදාමය නැගිටීම නිසා ඉතියෝපියාව පාලනය කරමින් සිටි ඒකාධිපති පාලකයෙකු වූ මෙන්ගිස්ටු (Mengistu Haile Mariam) පාලනය දුර්වල වෙමින් තිබුණා. ඒ හේතුවෙන් ඉතියෝපියාව බරපතළ දේශපාලන අස්ථාවරභාවයකට මෙන්ම දැඩි සාගතයකට මුහුණ පානවා. මේ වන විටත් එහි වාසය කළ යුදෙව්වන්ගේ ආරක්ෂාව පිළිබඳව ඊශ්‍රායලයේ අවධානය යොමු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි ඊශ්‍රායල් අගමැති යට්ෂක් සමීර් (Yitzhak Shamir) ගේ උපදෙස් මත  සොලමන් මෙහෙයුම සඳහා අවශ්‍ය පිඹුරුපත් සැකසෙන්නේ.

නමුත් කෘර පාලකයෙකු වූ මෙන්ගිස්ටු පවතින තත්වය යටතේ යුදෙව්වන්ට ඉතියෝපියාවෙන් පිටවීම තහනම් කරනවා. නමුත් මෙම අවස්ථාවේදී ඇමරිකා එක්සත් ජනපදයෙහි එවකට ජනපති ජෝර්ජ් බුෂ් ඊශ්‍රායලය සමඟ සිටීම හේතුවෙන් ඉතියෝපියාවේ එම තීරණය වෙනස් වෙනවා. 1991 වසරේ මෙහෙයුම සිදුවන අවස්ථාවේ මෙම පාලකයා නෙරපා සිටි බැවින් නව ඉතියෝපියානු නායකත්වයේ කැමැත්ත මේ සඳහා ලබා ගැනීමට ඇමරිකාව මැදිහත් වී කටයුතු කරනවා.

පැය තිස්හයක් පුරාවට ක්‍රියාත්මක වූ මෙහෙයුම

බස් මගින් ගුවන්තොටුපොළ දක්වා යුදෙව්වන් ප්‍රවාහනය (North American Conference on Ethiopian Jewry)

මෙහෙයුමේ සම්පූර්ණ වගකීම ඊශ්‍රායල් ගුවන් හමුදාවට භාර දෙන අතර මෙහෙයුම නිම වෙන තුරු එය මාධ්‍යට හෙළි නොකිරීමට ඔවුන් විසින් කටයුතු කරනවා. බස් රථ 400ක් යොදා ගනිමින් ඉතියෝපියාවේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ සිට “අඩිස් අබාබා“(Addis-Abeba) ගුවන් තොටුපොළ දක්වා යුදෙව්වන් ප්‍රවාහනය සිදු කරනවා.

මෙහෙයුම සඳහා ඊශ්‍රායල් ගුවන් සේවයේ යානා, ඊශ්‍රායල් ගුවන් හමුදාවේ යානා ඉතියෝපියානු ගුවන් සේවයේ එක් යානාවක් ඇතුළු ගුවන් යානා 34ක් යොදා ගන්නවා. ඒ අතරට බෝයිo 747 භාණ්ඩ ප්‍රවාහන යානා හා හර්කියුලිස් යානාද ඇතුලත් වෙනවා. සෑම ගුවන් යානවකම සිවිල් ඇඳුමින් සැරසුණු ඊශ්‍රායල් හමුදා භට කණ්ඩායමකින් හා වෛද්‍ය කණ්ඩායමකින් සමන්විත වෙනවා.

පළමු ගුවන් යානය මැයි 24 වනදා පෙරවරු 4.41ට ඊශ්‍රායලයෙන් පිටත් වූ අතර එය අඩිස් අබාබා ගුවන් තොටුපොළ වෙත පෙරවරු 10 වන විට ලඟා වෙනවා. පළමු ගුවන් යානය පස්වරු 12. 56ට ඊශ්‍රායලය වෙත පිටත්වීම සඳහා ගමන ආරම්භ කරන අතර යුදෙව්වන් රැගත් පළමු ගුවන් යානය ඊශ්‍රායලයේ ටෙල් අවිව් (Tel Aviv) ගුවන්තොටුපොළට ගොඩබසින්නේ පස්වරු 5ට යි. පසුදා පෙරවරු 11.37 ට අවසන් ගුවන් යානය අඩිස් අබාබා ගුවන්තොටුපොළෙන් නික්මුණු අතර පැය 36ක් පුරා ක්‍රියාත්මක වූ මෙහෙයුමේ සෑම මොහොතකම අඩුම තරමින් ගුවන් යානා 27ක් ගුවනේ තිබූ බව ගුවන් හමුදාව පවසනවා.

ඉතිහාසගත ගලවා ගැනීමේ මානුෂික මෙහෙයුම

ඉතියෝපියානු යුදෙව්වන් යානය තුළ (Pinterest)

ඉතියෝපියානු යුදෙව්වන් 14325ක් මෙහෙයුම මගින් ඊශ්‍රායලය වෙත ගෙන්වාගත් බව රජය විසින් ප්‍රකාශ කරන අතර මෙවැනි විශාල පිරිසක් ගණනය කිරීම සදහා සෑම මගියෙකුගේම නළලේ සුදු පැහැති අංකයක් ඇලවීම සිදු කරනවා.

ඊශ්‍රායල් ආරක්ෂක අංශ වල උපදෙස් පරිදි කිසිදු ගැටුමකින් තොරව සියළු යුදෙව්වන් යානාවලට ඇතුළු කළ හැකි වූ අතර ගුවන්තොටුපොළ හා ගුවන් වාර කළමනාකරණය අති විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වෙනවා. යානාවලට ඇතුල්වන යුදෙව්වන් සතුව කිසිදු ගමන් මල්ලක් නොතිබුණු අතර ඉතා සුළු පිරිසක් පමණක් එක් අත් බෑගයක් සහිතව ගුවන් යානා වලට ඇතුල් වීම විශේෂත්වයක්.

මගී ප්‍රවාහන ගුවන් යානා මෙන්ම අසුන් ගලවා සකස් කර තිබූ භාණ්ඩ ප්‍රවාහන යනාද මේ සඳහා භාවිතා කළ අතර ඉතා ඝන පොලිතීන් වැස්මකින් ගුවන් යානා ආසන ආවරණය කර තිබුණේ ඉතියෝපියානු යුදෙව්වන් විසින් බෝවන රෝගයන්හි රෝග බීජ රැගෙන පැමිණිය හැකි බැවින්.

ඉතියෝපියානු යුදෙව්වන් මගීන්  1122කු ප්‍රවාහනය කළ  බෝයිo 737 යානය (Getty Images)

තවද තනි ගුවන් යානයක වැඩිම මගීන් පිරිසක් රැගෙන යන්නේද මෙම මෙහෙයුම අතරතුරේදීයි. ඒ 1122ක් ලෙස සටහන් වී තිබූ ඊශ්‍රායල් ගුවන් සේවාවට අයත් බෝයිo 737 භාණ්ඩ ප්‍රවාහන යානයේ රැගෙන ගිය මගීන් ප්‍රමාණයයි. (ලියාපදිංචි කර තිබුනේ මගීන් 1087ක් පමණි. මවුවරුන් වඩාගෙන සිටි කුඩා දරුවන් නොසලකා තිබුණි) ගුවන් ගමන් වාර අතරතුර දරු උපත් කිහිපයක් සිදුවන අතර අලුත උපන් බිළිඳුන් සඳහාද වෙනම හෙද සේවාවක් ගුවන්තොටුපොළේ ක්‍රියාත්මක වෙනවා.

ගුවන් ගමන් වාර අතරතුරදී සිදු වූ දරු උපතක් (http://www.jewishlens.org)

“ජාත්‍යන්තර වශයෙන් සැලකූ විට මෙය ඉතා විශිෂ්ට මෙහෙයුමක්. මෙතරම් විශාල සිවිල් වැසියන් පිරිසක් අඩු ගුවන් නියමුවන් පිරිසක් විසින් මේ තරම් ඉක්මණින් ප්‍රවාහනය කළ මුල්ම අවස්ථාව මෙයයි.” මෙහෙයුම අවසානයේ ඊශ්‍රායල් ගුවන් හමුදාපතිවරයා විසින් ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් මෙම මෙහෙයුමට දේශපාලනික, මානුෂික හා යුදමය වශයෙන් ලෝක ඉතිහාසය තුල වැදගත් ස්ථානයක් හිමි වී තිබෙනවා.

කවරයේ ජායාරූපය – Transportation History

මූලාශ්‍ර –  https://www.youtube.com/watch?v=DJIQlQsMeUA&t=499s

http://www.nytimes.com/1991/05/26/world/ethiopian-jews-and-israelis-exult-as-airlift-is-completed.html

http://www.tabletmag.com/jewish-news-and-politics/105324/shamir%E2%80%99s-greatest-legacy

http://www.iaf.org.il/4694-42584-en/IAF.aspx

https://israelforever.org/news/operation_solomon/

Related Articles