Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සියවස් ගණනාවක් පුරාවට මිනිස් සිත් බියෙන් සලිත කළ හොල්මන් කථාන්තරයන් හි උපත

පුරාණ කාලයේ සිට ම මිය ගිය පුද්ගලයන්ගේ ආත්මයන් ඔවුන් ජීවත් ව සිටිය දී වාසය කළ ස්ථාන කරා නැවත පැමිණ හොල්මන් කරන බව සඳහන් වන කථාන්තර සඳහා ලොව වටා සංස්කෘතීන් රාශියකට අයත් ජනශ්‍රැතීන් හි විශාල ඉඩකඩක් හිමි වූ බව පැවසීමේ වරදක් නැහැ. මෙවැනි කථාන්තර බොහෝමයක් ගෙතී ඇත්තේ අඩු වයසින් සාහසික මරණයකට ගොදුරු වූ හෝ අභිරහස් ලෙස මිය ගිය රජුන් සහ රැජිනියන්, දේශපාලකයින්, කලාකරුවන්, හෝ ජනප්‍රිය පුද්ගලයන් වටා යි. සියවස් ගණනාවක් මිනිස් සිත් බියෙන් සලිත කළ හොල්මන් කථාන්තරයන් බිහි වූ ආකාරය ගැන යි මේ ලිපිය.

© SteemKR

හොල්මන් සහ අවතාර බවට පත් වූ මිනිස් ආත්මයන්

ඉතිහාසඥයින් විශ්වාස කරන අන්දමට ‘හොල්මන් සහ අවතාර’ යන සංකල්පය මිනිසුන් අතරට පැමිණ ඇත්තේ යම් පුද්ගලයෙකු මිය ගිය පසු එම පුද්ගලයාගේ ආත්මය, ඔහුගේ සිරුරෙන් නික්ම ගොස් තව දුරටත් සැරිසරමින් පවතින බවට පුරාණ මිනිසුන් තුළ වූ විශ්වාසය මත පදනම් ව යි. මේ හේතුවෙන් බොහෝමයක් පුරාණ සංස්කෘතීන් හි අවමංගල චාරිත්‍ර සකස් වී ඇත්තේ මිය ගිය පුද්ගලයන්ගේ ආත්මයන්ට නැවත පැමිණ හොල්මන් කිරීමට නොහැකි බව සහතික වන අයුරින්. පොදු විශ්වාසයට අනුව හොල්මන් සහ අවතාර වැඩි වශයෙන් ගැවසෙන්නේ මිය යාමට පෙර වාසය කළ නිවෙස්, මිය ගිය ස්ථාන, හෝ අතීත ජීවිතයට සමීප සබඳතාවක් ඇති ස්ථාන ආශ්‍රිත ව යි. එසේ ම හොල්මන් සහ අවතාර නිරන්තරයෙන් ම සැරිසරන ස්ථානයන් හි දී අද්භූත ශබ්ද ඇසීමට ලැබීම, අමුතු ගන්ධයන් ආඝ්‍රාණය කිරීමට ලැබීම, සංගීත භාණ්ඩ ස්වයං වාදනයේ යෙදීම වැනි සිත බියෙන් සලිත කරන අත්දැකීම්වලට මුහුණදීමට සිදු වන බව යි සුලබ මතය වන්නේ.

© Pinterest

ක්‍රි. ව. 1 වැනි සියවසේ දී පමණ මුල්වරට හොල්මන් දුටු බවට තොරතුරු වන්නේ රෝම අධිරාජ්‍යයෙන්. ප්‍රකට ලේඛකයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ප්ලීනි, ඔහුගේ සටහන් හි සඳහන් කර ඇති අන්දමට යදමින් බැඳි දිගු රැවුලක් සහිත වයස්ගත පිරිමි අවතාරයක් නිරතුරුව ම ඇතන්ස් හි පිහිටි ඔහුගේ නිවසේ සැරිසරා ඇති අතර පසුකාලීන ව ප්ලීනිගේ මඟ යමින් ග්‍රීක ලේඛකයෙකු වූ ලුසියන් සහ රෝම ජාතික ප්ලූටස්, හොල්මන් දර්ශනය වීම් පිළිබඳ විස්තරාත්මක තොරතුරු ලේඛනගත කර තිබෙනවා. එයින් සියවස් කිහිපයකට පසු ව ක්‍රි. ව. 856 දී ජර්මනියේ ගොවිපළකින් ප්‍රථම වරට ගෙවලයෙකු (poltergeist) පිළිබඳ ව තොරතුරු වාර්තා වෙනවා. මූලාශ්‍රයන් හි සඳහන් වන්නේ ගොවිපොළේ වාසය කළ පවුලට ගල් ප්‍රහාර එල්ල කිරීමට සහ ගොවිපොළ ගිනි තැබීමට එම ගෙවලයා කටයුතු කර ඇති බව යි.

ඉතිහාසයේ ප්‍රකට හොල්මන් ත්‍රිත්වයක්

(© National Portrait Gallery, London) ඈන් බොලීන්

එංගලන්තයේ වඩාත් ජනප්‍රිය හොල්මනක් ලෙස සැලකෙන ඈන් බොලීන්, මුල්වරට දර්ශනය වී ඇත්තේ 16 වැනි සියවස තරම් ඈත කාලයේ දී යි. 8 වැනි හෙන්රි රජුගේ දෙවැනි බිරිඳ සහ 1 වැනි එළිසබෙත් රැජිනගේ මව වන ඇය, 1536 දී ලන්ඩන් කුලුනේ ඉදිරිපිට දී හිස ගසා මරණයට පත් කර ඇත්තේ මායාකර්මය, රාජ්‍ය ද්‍රෝහී වීම, ව්‍යාභිචාරය, සහ අනාචාරය යන චෝදනා සඳහා වැරදිකාරිය වීම හේතුවෙන්. ලන්ඩන් කුලුන, ඈන් බොලීන් ඇගේ ළමා කාලය ගත කළ කෙන්ට් හි හීවර් මාළිගය වැනි ස්ථාන බොහෝමයක දී ඇගේ හොල්මන දැකගැනීමට ලැබෙන බව යි වාර්තා වන්නේ.

(© Joseph Duplessis) බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්

හොල්මන් දර්ශනය වීම ගැන දීර්ඝ ඉතිහාසයක් ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ වඩාත් ප්‍රකට හොල්මනක් වන්නේ ඇමෙරිකානු විප්ලවය දියත් කිරීම සඳහා විශාල දායකත්වයක් දැක් වූ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ගේ අවතාරය යි. 19 වැනි සියවසේ අග භාගයේ දී මුල්වරට දර්ශනය වී ඇති ඔහුගේ හොල්මන, ෆිලඩෙල්ෆියා හි ඇමෙරිකානු දර්ශනවාදී සංගමයට අයත් පුස්තකාලයේ දී වැඩි වශයෙන් දැකගැනීමට ලැබෙන බව සඳහන්. එසේ ම ඇතැම් සටහන් හි පුස්තකාලය ඉදිරිපිට ඇති ග්‍රෑන්ක්ලින්ගේ ප්‍රතිමාව තුළින් මතු වන හොල්මන විදී පුරා නිදහසේ සැරිසරමින් නටන බව දුටු අවස්ථාව ද වාර්තා වී තිබෙනවා.

 (© Christie’s Auction House) ඒබ්‍රහම් ලින්කන්

ඇමෙරිකානු ජනාධිපති නිල නිවෙස වන ධවල මන්දිරය ද හොල්මන් කිහිපයකගේ ම ස්ථිර වාසස්ථානය බව යි ඇමෙරිකානුවන්ගේ විශ්වාසය වන්නේ. ධවල මන්දිරයේ හොල්මන් අතර වඩාත් ජනප්‍රිය හොල්මන ලෙස සැලකෙන්නේ 1865 අප්‍රේල් මාසයේ දී මිනීමරු ඝාතකයෙකුගේ වෙඩි උණ්ඩයකට ගොදුරු වී මිය ගිය ඇමෙරිකා එක්සත් ජනපදයේ 16 වැනි ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ අවතාරය යි. ඉලිනෝයි හි නීතිඥයෙකු ලෙස කටයුතු කළ ඔහුගේ හොල්මන, ධවල මන්දිරයේ පමණක් නොව ස්ප්‍රින්ග්ෆීල්ඩ් හි ඔහුගේ පැරණි කාර්යාලයේ ද සැරිසරන බව යි සඳහන් වන්නේ. ධවල මන්දිරයට පැමිණි බොහෝමයක් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා ඒබ්‍රහම් ලින්කන්ගේ හොල්මන දැක ඇති අතර 20 වැනි සියවසේ ඇමෙරිකාව මුහුණ දුන් මහා අවපාතයේ දී එවකට ජනාධිපති වූ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ට පාලන කටයුතු මෙහෙය වීම සඳහා ඒබ්‍රහම් ලින්කන්ගේ හොල්මන උපකාරී වී ඇති බව වාර්තා වෙනවා.

කවරයේ පින්තූරය: © Wallpaper Abyss / Alpha Coders

Related Articles