ඒඩ්ස් රෝගයේ සම්භවය

ඒඩ්ස් රෝගයට හේතුවන එච්.අයි.වී වෛරසයේ සම්භවය පිළිබඳ 1980 දශකයේ එය සොයාගත් දා පටන් ම විවිධ මතිමතාන්තර පැවතුණා. මේ පිළිබඳ ව පර්යේෂණ ගණනාවක් ම සිදුකර ඇති අතර, කාලයාගේ ඇවෑමෙන් එහි ආරම්භය හා විකාශනය පිළිබඳ ව වඩා සාර්ථක තොරතුරු සොයාගන්නට විද්‍යාඥයින් අද වන විට සමත් ව තිබෙනවා.

ඒඩ්ස් රෝගය අද වන විට ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලත් යම් තාක් දුරකට හෝ පැතිරී තිබෙනවා. මේ නිසා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට බොහෝ දෙනා උනන්දු යි. මේ එහි සම්භවය පිළිබඳ ව සැකෙවින්.

එච්.අයි.වී හා එස්.අයි.වී අතර සම්බන්ධය

එච්.අයි.වී වෛරසය ලෙන්ටිවෛරස් කුලකයට අයත් වන්නක් වෙනවා. එනම්, එය පහර දෙන්නේ මානව ප්‍රතිශක්තීකරණ පද්ධතියට යි. එච්.අයි.වී මෙන්ම වානර කුලයේ සතුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට පහර දෙන එස්.අයි.වී නම් වෛරසයක් තිබෙනවා. පර්යේෂණවලින් මේ ව්න විට තහවුරු වී ඇත්තේ මේ වෛරස දෙක අතර සමානතා බොහොමයක් ඇති බව යි. එච්.අයි.වී -1 වෛරස ප්‍රභේදය චිම්පන්සින් අතර ව්‍යාප්ත ව පවතින එස්.අයි.වී වෛරස ප්‍රභේදයකට වඩා වැඩි සමානකමක් දක්වන අතර, එච්.අයි.වී -2 වෛරස ප්‍රභේදය වඳුරන් වර්ගයක හමුවන එස්.අයි.වී වෛරස ප්‍රභේදයකට ළඟ ඥාතීත්වයක් දක්වනවා.

එච්.අයි.වී වෛරසය- aidsinfo.nih.gov

1999 වසරේ දී චිම්පන්සින් අතර තිබූ එච්.අයි.වී වෛරසයට ඉතාමත් සමාන එස්.අයි.වී වෛරස ප්‍රභේදයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත් වුණා. ඒ අනුව එච්.අයි.වී -1 වෛරස ප්‍රභේදය මිනිසුන් අතරට පැමිණියේ චිම්පන්සින්ගෙන් බැව් තීරණය වුණා. විද්‍යාඥයින් මීළඟට අවධානය යොමු කළේ එම එස්.අයි.වී වෛරස ප්‍රභේදය චිම්පන්සින් තුළ සම්භවය වී පැතිර ගියේ කෙසේ ද යන්න සොයා බැලීමට යි. එහි දී හෙළි වූයේ මෙම චිම්පන්සින් කුඩා වඳුරු විශේෂ දෙකක් දඩයම් කර ආහාරයට ගන්නා බව යි. මේ වඳුරු විශේෂ දෙක අතරත් එස්.අයි.වී වෛරසය පැතිරී තිබෙන බැව් සොයාගත් අතර, ඒ  විශේෂ දෙක තුළ පැතිරී පැවතියේ වෙනම එස්.අයි.වී ප්‍රභේද දෙකකුයි. මේ ද්විත්වය ම චිම්පන්සින්ට ආසාදනය වී ඔවුන්ගේ සිරුරු තුළ මුලින්ම සඳහන් කළ එස්.අයි.වී වෛරස ප්‍රභේදය සම්භවය වී තිබුණා. මේ ප්‍රභේදය චිම්පන්සියෙකුගෙන් චිම්පන්සියෙකුට පහසුවෙන් බෝ විය හැකි අතර මිනිසෙකුටත් බෝ විය හැකියි.

එච්.අයි.වී චිම්පන්සින්ගෙන් මිනිසුන්ට පැතිරුණේ කෙසේ ද?

එච්.අයි.වී චිම්පන්සින්ගෙන් මිනිසාට සංක්‍රමණය වන්නට ඇති බැව් සැලකෙනවා- natgeokids.com

මේ පිළිබඳ ව ඇති වඩාත් පිළිගන්නා මතය වන්නේ, සමහර රටවල මිනිසුන් චිම්පන්සින් මරා ආහාරයට ගන්නා බැවින් ඒ මඟින් වෛරසයට මිනිසුන්ට පැතිරීම සිදුවන්නට හැකි බව යි. ඔවුන් දඩයම් කිරීමේ දී පහසුවෙන් ම චිම්පන්සි රුධිරය මානව රුධිරය හා මුසු වීම වි‍ය හැකියි. එස්.අයි.වී වෛරසය මිනිසෙකුට ඇතුළු වූ පළමු අවස්ථා කිහිපයේ දී ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය එය හා සාර්ථක ව සටන්වදින අතර, කිහිපවිටක් ම එය සිදු වූ පසු වෛරසය මානව ප්‍රතිශක්තීකරණ පද්ධතියට ‘හුරු වී’ අනතුරුව වෙනස්වීම්වලට භාජනය වී වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. මෙලෙස වර්ධනය වූ වෛරසය එච්.අයි.වී -1 ප්‍රභේදය වන්නට ඇති බැව් සැලකෙනවා.

වර්තමානය වන විට එච්.අයි.වී වෛරස ප්‍රභේද 4ක් හඳුනාගෙන තිබෙනවා. මේවායේ ජාන සැකැස්මෙහි සුළු සුළු වෙනස්කම් ඇති අතර, මෙය ද චිම්පන්සින්ගෙන් මිනිසුන්ට රෝගය බෝවන බවට වන මතය තහවුරු කරන සාධකයක් වෙනවා. එනම්, වෙන් වෙන් ව ස්ථාන 4ක දී එස්.අයි.වී වෛරසය එච්.අයි.වී බවට පරිවර්තනය වීම යි.

මිනිසුන් තුළ ප්‍රථම වරට එච්.අයි.වී වෛරසය වර්ධනය වූයේ කවදා ද? කොහේදී ද?

දැනට අධ්‍යයනය කර ඇති පරිදි මුල්ම වතාවට මිනිස් ශරීරයක එච්.අයි.වී වෛරසය වර්ධනය වී ඇත්තේ 1920 දශකයේ දී යි. එය කොංගෝවේ කින්ෂාසා ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. වර්තමානය වන විට මෙම ප්‍රදේශය ලොව වැඩි ම එච්.අයි.වී ප්‍රභේද ඝණත්වය ඇති පෙදෙස බවට හඳුනාගෙන තිබෙන අතර, කිහිපවිටක් ම මිනිසුන් තුළට එස්.අයි.වී වෛරසය ඇතුළු වී ඒවා ස්වාධීන ව එච්.අයි.වී වෛරසය බවට පත්වන්නට ඇති බැව් විශ්වාස කෙරෙනවා.

කින්ෂාසාව එච්.අයි.වී වෛරසයේ තිඹිරිගෙය ලෙස සැලකෙනවා- kosubaawate.blogspot.com

කින්ෂාසාව අතීතයේ පටන් වෙළඳ කටයුතු හා වෙනත් හේතු නිසා ලොව විවිධ දෙසින් පැමිණෙන මිනිසුන්ගෙන් ගහන බිමක් වුණා. මේ නිසා මෙහි ලිංගික ශ්‍රමිකයන්ට ද හොඳ වෙළඳපොළක් තිබුණා. මේ නිසා ක්‍රම ක්‍රමයෙන් ඒඩ්ස් කොංගෝව පුරා ද, පසුව අප්‍රිකාවට මෙන්ම ඉන් අනතුරුව ලොව සෙසු පෙදෙස්වලටත් බෝ වන්නට ඇතැ යි විශ්වාස කෙරෙනවා.

හයිටිය හා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීම

එච්.අයි.වී වෛරසය අප්‍රිකා මහාද්වීපයෙන් පිටතට ගමන් කර පැතිරී ගිය මුල්ම අවස්ථාව ලෙස හැඳින්වෙන්නේ 1960 දශකයේ දී එය හයිටිය පුරා පැඇතිරී යාම යි. මේ වන විට හයිටි ජාතිකයින් බොහෝ දෙනා කොංගෝවේ සේවය කරමින් සිටි අතර, ඔවුන් නැවත සිය ගම්බිම් කරා පැමිණි පසු එච්.අයි.වී වෛරසය හයිටි භූමියේ පැළපදියම් වුණා.

60 දශකයේ දී හයිටියේ එච්.අයි.වී වෛරසය පැතිරුණා- Dominique Pierre/ pinterest.com

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එච්.අයි.වී වෛරසය වසංගත මට්ටමකින් සොයාගන්නේ 1981 වසරේ දී යි. මේ නිසා මෙය ලෝක අවධානයට ලක් වූ අතර, මේ එය එලෙස අවධානයට ලක් වූ ප්‍රථම අවස්ථාව බැවින් ඒඩ්ස් රෝගයේ සම්භවය සිදුවූයේ 1980 දශකයේ බවට බොහෝ දෙනා තුළ සාවද්‍ය මතයක් පවතිනවා. 1981 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් හා කැලිෆෝනියාවේ සමරිසි පුද්ගලයින් කිහිපදෙනෙකු අතර පැතිරී තිබූ ‘දුලබ රෝගයක්’ පිළිබඳ ව වාර්තා වන්නට ගත් අතර, එය පිළිකාවක් හෝ පෙනහළු ආසාදනයක් ලෙස මුලින් සැලකුණා. කෙසේ නමුත්, පසුව හෙළි වූයේ මේ සියල්ල ම එච්.අයි.වී වෛරසය ආසාදනය වීම නිසා ඇති වන රෝගයක සංකූලතා බව යි.

1982 වසර වන විට මෙම රෝගය ප්‍රචලිත ව පැවතියේ සමරිසීන් අතර, පමණක් පැතිරී යන රෝගයක් බව යි. එනමුත් මෙය විෂමරිසීන් හා මත්ද්‍රව්‍ය එන්නත් කරන්නන් අතරත් පැතිරෙන බැව් ඉක්මනින් ම සොයාගන්නවා. එම වසරේ සැප්තැම්බරයේ දී එයට ‘ඒඩ්ස්’ යන නම පටබැඳෙනවා.

1980 දශකයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ඒඩ්ස් රෝගය කෙරෙහි අවධානය යොමු වුණා- Rollis University/New York Historical Society

ඒඩ්ස් වෛරසයේ ලක්ෂණ තහවුරු කර ගැනීම

1983 වසරේ දී විද්‍යාඥයින් ඒඩ්ස් වෛරසය වෙන්කොට ගෙන, ඒ පිළිබඳ පර්යේෂණ පවත්වා එහි ලක්ෂණ හඳුනාගැනීමට සමත් වෙනවා. එදායින් පසු අද වන තුරුත් පර්යේෂණ පැවැත්වෙන්නේ රෝගය සාර්ථක ලෙස මැඩලීම සඳහා වඩා සාර්ථක ඖෂධ සොයාගන්නට යි.

කවරයේ පින්තූරය: Shutterstock

Related Articles