Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රස නහර පිනවන බැදපු අල පෙති උපන් හැටි

වයස් භේදයකින් තොර ව ලෝකවාසී බොහෝ දෙනෙකුගේ ජනප්‍රිය ම අතුරු ආහාරය (snack food) බවට ‘බැදපු අල පෙති’ පත් වී ඇති බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. ඇමෙරිකානුවන් විසින් එක් වර්ෂයක දී බැදපු අල පෙති රාත්තල් බිලියන 1.2ක් අනුභව කරන අතර, ඔවුන් කොතරම් බැදපු අල පෙති ප්‍රිය කරන්නේ ද යත් සෑම වර්ෂයක ම මාර්තු 14 වැනි දා සැලකෙන්නේ ‘බැදපු අල පෙති සඳහා වන ජාතික දිනය’ ලෙස යි. සිහින් පෙති ලෙස කපා ගන්නා ලද අල, කර කර ගා හැපෙන තෙක් ගැඹුරු තෙලේ බැද ගැනීම හෝ විද්‍යුත් පෝරනුවේ පිළිස්සීම මඟින් සකස් කර ගන්නා බැදපු අල පෙති, අදින් වසර 165කට පමණ පෙර මුල් වරට නිර්මාණය කර ඇත්තේ අහඹු සිදුවීමක් ලෙස බව ඔබ දැන සිටියා ද?

© Tara Kuczykowski

අතෘප්තියට පත් පාරිභෝගිකයෙකුගෙන් චෝදනාවක්

1853 අගෝස්තු 24 වැනි දින අප්‍රිකානු-ඇමෙරිකානු සහ ස්වදේශීය ඇමෙරිකානු සම්භවයක් සහිත කෝකියෙකු වූ ජෝර්ජ් ක්‍රම්, සේවය කළේ නිව් යෝක් ප්‍රාන්තයේ සරටෝගා ස්ප්‍රින්ග්ස් නුවර ‘Moon’s Lake House’ අවන්හලේ යි. එදින ඔහු විසින් සකස් කරන ලද බදින ලද අල තීරු, ආහාරයට ගත නොහැකි ලෙස මහතින් වැඩි සහ තෙත ගතියකින් යුතු බව පවසමින් චෝදනා කළ එක් පාරිභෝගිකයෙකු, එය පිළියෙල කිරීමේ දී අවැසි ප්‍රමාණයට ලුණු එක් කර නොමැති බවට අවලාද නඟා තිබෙනවා. කැලඹීමට පත් ජෝර්ජ් ක්‍රම් විසින් අතෘප්තියට පත් පාරිභෝගිකයා ව තවදුරටත් ව්‍යාපාරය සමග රඳවා ගැනීමේ අරමුණෙන් ඔහු වෙත පිළි ගන්වන ලද ගැඹුරු තෙල් මනා ව බදින ලද වැඩිපුර ලුණු එක් කළ සිහින් ව කපන ලද අල පෙති, කෙටි කලකින් ම ජනප්‍රිය වී ඇත්තේ ‘සරටෝගා අල පෙති’ යන නාමයෙන්.

(© New York Pullic Library) 1896 දී ‘Moon’s Lake House’ අවන්හල

බැදපු අල පෙති නිර්මාණය කිරීම හේතුවෙන් ජනාදරයට පාත්‍ර වූ ජෝර්ජ් ක්‍රම් විසින් 1860 දශකයේ දී ‘Crum’s House’ ලෙස ඔහුගේ ම අවන්හලක් ආරම්භ කර තිබෙනවා. එහි සෑම ආහාර බදුනක් සමග ම බැදපු අල පෙති පුරවන ලද කුඩා කූඩයක් ද පිළිගන්වන ලද අතර, එය ජෝර්ජ් ක්‍රම්ගේ පාරිභෝගික පිරිසි දිනෙන් දින ම ඉහළ නැංවීමට දායක වූ බවට සැකයක් නැහැ. 19 වැනි සියවසේ දී කළු ජාතිකයින්ට පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම සඳහා නීතියෙන් ඉඩ සලසා නොතිබීම හේතුවෙන් ජෝර්ජ් ක්‍රම්, ඔහුගේ නව නිපැයුම සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ නොකරන ලද බව යි වාර්තා වන්නේ. කෙසේ වුව ද, 1870 දශකය වන විට ඔහු විසින් නිර්මාණය කරන ලද සරටෝගා අල පෙති, දුම්රිය භෝජනාගාර, විදී ආහාර කරත්ත, සහ ඉහළ පෙළේ හෝටල් හි සම්මත ආහාර ලේඛන අයිතමයක් (standard menu item) බවට පත් වී තිබෙනවා.

(© Clipart Images) මුල් වරට බැදපු අල පෙති නිර්මාණය කළ ජෝර්ජ් ක්‍රම්, බිරිඳ සමග

බැදපු අල පෙති උපන් හැටි ගැන තවත් කතාවක්

වර්තමානයේ දී බැදපු අල පෙති නිර්මාණය කිරීම පිළිබඳ ව වඩාත් ජනප්‍රිය ව ඇත්තේ ‘සරටෝගා අල පෙති’ කථාන්තරය වුව ද, එහි මූලාරම්භය සිදුවුණේ මහා බ්‍රිතාන්‍යයෙන් බවට තවත් කථාන්තරයක් පවතිනවා. එයට හේතු වන්නේ 1817 දී මුල් වරට ප්‍රකාශයට පත් කරන ලද වෛද්‍ය විලියම් කිචිනර් විසින් රචිත සූප ග්‍රන්ථයක් වන ‘The Cook’s Oracle’ හි 1822 දී මුද්‍රිත සංශෝධිත සංස්කරණයේ අංක. 104 වට්ටෝරුව යටතේ ‘බදින ලද පෙති කැපූ අල’ සකස් කරන ආකාරය දක්වා තිබීම යි. එහි දක්වා ඇති අන්දමට ‘බදින ලද අල පෙති’ අඟල් කාලක ඝනකම ඇති රවුම් හැඩයෙන් යුතු අල පෙති (හෝ ලෙමන් ගෙඩියක් ලෙලි ගසන අන්දමට රවුමට කපන ලද අල ගෙඩියක්) හොඳින් වියළීමෙන් අනතුරු ව ඌරු හෝ සත්ත්ව තෙල් යොදාගෙන බැද ගත යුතු වෙනවා.

(© National Galleries of Scotland) වෛද්‍ය විලියම් කිචිනර්

පසුකාලීන ව මේරි රැන්ඩොල්ෆ් විසින් 1824 දී ප්‍රකාශයට පත් කරන ලද ‘Virginia House-Wife’ සහ එන්. කේ. එම්. ලී විසින් 1832 දී රචිත ‘Cook’s Own Book’ යන ඇමෙරිකානු සූප ග්‍රන්ථයන් හි වෛද්‍ය විලියම් කිචිනර්ගේ ‘බදින ලද පෙති කැපූ අල’ වට්ටෝරුව ඇතුළත් වූ අතර, බ්‍රිතාන්‍ය වැසියන්ගේ විශ්වාසය වන්නේ ජෝර්ජ් ක්‍රම් විසින් එකී වට්ටෝරු අනුගමනය කරමින් ‘සරටෝගා අල පෙති’ නිර්මාණය කරන්නට ඇති බව යි.

දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වූ බැදපු අල පෙති කර්මාන්තය

විශාල වශයෙන් ලාභ ඉපැයිය හැකි දැවැන්ත ව්‍යාපාරයක් බවට බැදපු අල පෙති කර්මාන්තය පත් වුණේ 20 වැනි සියවසේ දී යි. 1910 දී ඔහායෝ ප්‍රාන්තයේ ඩේටන් නුවර දී ඩැනියෙල් ඩබ්ලිව්. මයික්සෙල් විසින් අරඹන ලද ‘Mikesell’s Potato Chip Company’ ව්‍යාපාරය, ඇමෙරිකා එක්සත් ජනපදයේ පැරණි ම බැදපු අල පෙති සමාගම ලෙස සැලකෙනවා. නමුත් රස ගන්වන ලද බැදපු අල පෙති යන අදහස මුල් වරට ඇති වී ඇත්තේ 1920 දී ෆ්‍රෑන්ක් ස්මිත් විසින් ලන්ඩන් නුවර දී සංස්ථාපනය කරන ලද ‘The Smith’s Snackfood Company’ විසින් ලුණු ඉසින ලද අල පෙති, ග්‍රීස්රෝධක කඩදාසි කවරයන් හි අසුරා අලෙවි කිරීම හේතුවෙන්.

(© Eskaylim / Deposit Photos) වර්තමානයේ දී වෙළඳපොළේ ඇති විවිධ රසැති බැදපු අල පෙති

ඒ අනුව යමින් 1954 දී අයර්ලන්තයේ බැදපු අල පෙති නිෂ්පාදන සමාගමක් වන ‘Tayto Crisps’ හි අයිතිකරු වූ ජෝ ‘ස්පඩ්’ මර්ෆි විසින් බැදපු අල පෙති, නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර දී කුළුබඩු යොදා පදම් කළ හැකි ක්‍රමවේදයක් සොයාගැනීම සඳහා උත්සාහ කර තිබෙනවා. අවස්ථා කිහිපයක දී ම අසාර්ථක වුව ද අවසානයේ දී ‘Tayto Crisps’ ආයතනය විසින් ‘චීස් සහ ලූනු’ සහ ‘ලුණු සහ විනාකිරි’ යන රසයන්ගෙන් යුතු බැදපු අල පෙති වෙළඳපොළට නිකුත් කරන්නේ බැදපු අල පෙති සඳහා ඇති ඉල්ලුම තවත් ඉහළ දමමින්. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මුල් වරට නිෂ්පාදනය කරන ලද රස ගන්වන ලද බැදපු අල පෙති, පුළුස්සන ලද මස් (barbecue) රසැති වූ බව යි සඳහන් වන්නේ.

කවරයේ පින්තූරය: © The Daily Meal

Related Articles