නියඟය නිසා ඉරාකයෙන් මතු වූ මාළිගය

ලොව බොහෝ අසමසම නිර්මාණ කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් තිබෙනවා. කෙසේ නමුත් විවිධ හේතූන් නිසා හදිසියේම වසර සිය දහස් ගණනකට පසු ඒවා සමහරක් නැවත ලොවට අනාවරණය වෙනවා. 

වර්තමාන ලෝකයේ දිනෙන් දින උග්‍ර වන ගැටළුවක් ලෙස කාලගුණ විපර්යාස ගත හැකියි. මිනිස් ක්‍රියාකාරකම් නිසා ලෝකයේ සමහර ස්ථාන පෙර නොවූ විරූ අන්දමේ කාලගුණ විපර්යාසවලට මුහුණ දෙනවා. මේ නිසා විවිධ අවාසනාවන්ත සිද්ධි උද්ගත වෙනවා. කෙසේ නමුත් කාලගුණ විපර්යාස නිසා අත්වූ දුලබ ‘වාසියක්’ පිළිබඳ පසුගියදා ඉරාකයෙන් වාර්තා වුණා.

අතීතය නැවත මතුවීම

ඉරාකයේ යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගා දෙක ආශ්‍රිතව ‘දෙගම්මැදි ශිෂ්ටාරය’ නම් ඉපැරණි මානව ජනාවාස රාශියක් පැවතුණා. ඒ මීට වසර සිය ගණනකට පෙර යි. තාක්ෂණික අතින් ඉතා දියුණු මට්ටමක සිටි ඔවුන් මනස්කාන්ත ගෘහ නිර්මාණ සහිත ගොඩනැගිලි රාශියක් ඉදිකරන්නට යෙදුණු අතර, ඉන් බහුතරය මේ වන විට විනාශ වී හෝ කාලයේ වැලි තලාවෙන් වැසී තිබෙනවා.

ජලාශයෙන් මතු වූ ඉපැරණි මාළිගය- news.sky.com

පසුගියදා ඉරාකයට බලපෑ අධික නියං තත්ත්වය නිසා ටයිග්‍රීස් නදිය අනුබද්ධව තනා ඇති මොසුල් වේල්ල හා එම ජලාශයෙහි ජල මට්ටම සීග්‍ර ලෙස පහළ ගියා. මේ හේතුවෙන් එම වේල්ලෙහි ජලයට යටව තිබූ වසර 3,400ක් පමණ පැරණි සුවිසල් මාළිගයක නටඹුන් මතුව තිබෙනවා. මේ වන විටත් කුර්දි- ජර්මානු විද්‍යාඥයින් ඉතා සීරුවෙන් මෙම මාළිගයේ ඉතිරි කොටස් වැලි පවුරුවලින් ඉවතට මතු කරගනිමින් සිටිනවා. මෙම විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානියෙක් වන හසන් අහමඩ් කාසිම් පවසන්නේ මේ සොයාගැනීම දශක ගණනාවකින් ඉරාකයේ සිදු වූ වටිනාම ඓතිහාසික සොයාගැනීම බව යි.

උක්ත වේල්ලෙහි ජල මට්ටම ක්‍රම ක්‍රමයෙන් අඩු වීම නිසා මාළිගයෙහි නටඹුන් පෑදීම ආරම්භ වී තිබෙන්නේ 2010 වසරේ දී යි. කෙසේ නමුත් ඉන් පසු වරින් වර ජල මට්ටම විචල්‍ය වීම නිසා හා ප්‍රදේශය වෙලාගෙන තිබූ අයි. එස්. අයි. එස් සංවිධානයේ ක්‍රියාකාරකම් නිසා මෙහි වැඩිදුර කැණීම් කටයුතු සිදුකිරීම අපහසු වී තිබුණා. කෙසේ නමුත් මේ වසරේ දී ප්‍රදේශයේ අයි. එස්. අයි. එස්. සංවිධානයේ ක්‍රියාකාරකම් පහව ඇති අතර, ජල මට්ටම ද කැණීම් කිරීම් සඳහා උචිත පරිදි පහළ ගොස් තිබෙනවා.

මාළිගය පිළිබඳ වැඩිදුර තොරතුරු

මෙලෙස සොයාගත් මාළිගය හඳුන්වන්නේ ‘කෙමුනෙ’ මාළිගය වශයෙනුයි. මේවා මඩ ගඩොල් ආධාරයෙන් ඉදි කර තිබෙනවා. මේ මාළිගය තැනීමට යොදාගෙන ඇති එක් මඩ ගඩොලක් අඩි 6ක පමණ ඝණකම සහිත වන අතර අඩි 6.5කටත් වඩා උස් වනවා. මෙම මාළිගයේ සම්පූර්ණ භූමි වපසරිය වර්ග අඩි 20,000 ඉක්මවන බැව් අනුමාන කොට තිබෙනවා.

මෙම මාළිගය ඉදිකොට ඇත්තේ ටයිග්‍රීස් ගංගාවට අඩි 65ක් පමණක් ඉවතින් වූ උස් වේදිකාවක් මත වන අතර මෙහි ශක්තිමත් භාවය වැඩි කිරීම සඳහා එහි නැගෙනහිර කොටසෙහි කොටු බැම්මක් ද ඉදි කර තිබෙනවා. මේ හේතු නිසා එතරම් ශක්තිමත් නොවන පසෙහි මෙය ශක්තිමත්ව රඳා පැවතී තිබෙනවා.

මාළිගයෙහි අයිතිකරුවෝ

කැණීම් කටයුතු සිදු කෙරෙමින්- University of Tübingen and Kurdistan Archaeology Organization

මෙම මාළිගය වසර ගණනාවක් නිරුපද්‍රිතව පැවති බවට සාධක සොයාගෙන ඇති අතර ක්‍රිස්තු පූර්ව 14 හා 15 වන සියවස්වල උතුරු මෙසපොතේමියාව හා සිරියාවේ සමහර ප්‍රදේශ අයත්ව තිබූ මිට්ටනි අධිරාජ්‍යය පැවති සමයෙහි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා මෙම මාළිගය යොදාගෙන තිබෙනවා. ඊජිප්තුවෙන් ලැබුණු ඓතිහාසික ලියකියවිලිවල සඳහන් වන්නේ එකල මිට්ටනි අධිරාජ්‍යයන් ඊජිප්තුවේ පාරාවෝ හා බැබිලෝනියානු රජුන් මෙන්ම ප්‍රබල තත්ත්වයක පසු වූ බව යි. කෙසේ නමුත් ඊජිප්තු හා බැබිලෝනියාව මෙන් මිට්ටනි අධිරාජ්‍යය පිළිබඳව වර්තමාන ඉතිහාසඥයින් තවමත් ප්‍රමාණවත් තොරතුරු සොයාගෙන නැහැ.

මාළිගය තුළ තිබී හමු වූ සුවිශේෂී දේ

මේ වන විට මාළිගයේ වැඩි කොටසක් භූමියෙන්  ඉවතට මතුකර ගන්නට ඉතිහාසඥයින් සමත් වී තිබෙනවා. ශක්තිමත් සැකැස්මට අමතරව ඓතිහාසිකව වැදගත්කමක් උසුළන තවත් බොහෝ දේ හමු වී තිබෙන අතර තවත් බොහෝ දේ හමු වේ යැයි අපේක්ෂිතයි. විශේෂයෙන් මේ මාළිගය, මේ වන විට එතරම් තොරතුරු හමු නොවන මිට්ටනි රාජධානිය පිළිබඳව වැඩිදුර තොරතුරු අධ්‍යනය කරන්නට ඉතා සුදුසු ස්ථානයක් ලෙස ඔවුන් හඳුනාගෙන තිබෙනවා.

මෙම මාළිගයේ බිත්ති සඳහා ප්‍රධාන වශයෙන් මඩ ගඩොල් හෙවත් සුළඟ ආධාරයෙන් වියලාගන්නා ලද ගඩොල් යොදාගෙන තිබුණත් සමහර ස්ථාන නිමැවීම සඳහා ගිනි ආධාරයෙන් පුළුසාගන්නා ලද ගඩොල් හෙවත්, පෝරණු ගඩොල් භාවිත කොට තිබෙනවා. එමෙන්ම මෙහි වූ කුටි සමහරක බිත්ති විසිතුරු චිත්‍ර හා ඇඹීම්වලින් අලංකාර කොට තිබෙන අතර ඒවා බොහොමයක් දීප්තිමත් රතු හා නිල් පැහැ යොදාගෙන වර්ණ ගන්වා තිබෙනවා. මෙම පෙදෙසේ මින් පෙරදී මේ තරම් සුරක්ෂිතව තිබූ බිතු සිතුවම් හමු වී නැහැ. ක්‍රි.පූ 1500 වැනි කාලයේ දී මෙම ප්‍රදේශය හා ඒ අවට ස්ථානගත වී තිබූ ශිෂ්ටාචාරයන් විසින් ගොඩනගන ලද ගොඩනැගිලිවල මෙවැනි සිත්තම් හමුවනවා.

පරිශ්‍රය පරීක්ෂා කිරීමේ දී විද්‍යාඥයින්ට හමු වී ඇති තවත් සුවිශේෂී දෙයක් වන්නේ මැටිවලින් තනන ලද මේස දහයකුයි. මේවා පුරාවට ඉපැරණි අක්ෂරවලින් බොහෝ දේ සටහන් කර ඇති අතර ඒවා මේ වන විට වැඩිදුර පර්යේෂණ සඳහා ජර්මනියට යවා තිබෙනවා.

බිතු සිතුවම්වල නටඹුන්- University of Tübingen and Kurdistan Archaeology Organization

දේශගුණික විපර්යාස හා ඓතිහාසික ස්ථාන

දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් වශයෙන් උක්ත මාළිගය ගවේෂණය කිරීමේ අවස්ථාව විද්‍යාඥයින්ට ලැබුණද, එවැනි තත්ත්වයන් නිසා ලොව පුරා ඓතිහාසික ස්ථාන දහස් ගණනක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. වායු දූෂණය, ඉහළ යන මුහුදු මට්ටම, උෂ්ණත්වය වැඩි වීම වැනි හේතු නිසා ටජ්මහල වැනි ඓතිහාසික ගොඩනැගිලිවල පිටත බිත්තිය වැණි දේවලට හානි සිදුවනවා. මේ හේතුවෙන් මිනිසාගේ පැවත්මට මෙන්ම ඓතිහාසික දේ ආරක්ෂා කරගැනීම උදෙසාද දේශගුණික විපර්යාසවලට උරදෙන ක්‍රියාකාරකම් හැකිතාක් අවම කිරීමට මිනිස් වර්ගයා ක්‍රියා කිරීම නුවණට හුරු බැව් විද්වතුන්ගේ මතය යි.

කවරයේ පින්තූරය- washingtonpost.com

Related Articles