Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැනමාවේ අපූරු ප්ලාස්ටික් බෝතල් ගම්මානය

එදිනෙදා භාවිත කර ඉවත දමන, ආර්ථිකමය වටිනාකමක් නොමැතියැ යි සැලකෙන ඝන තත්ත්වයේ අපද්‍රව්‍ය ඝන අපද්‍රව්‍ය ලෙසින් හඳුන්වනවා. කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරු, ප්ලාස්ටික්, පොලිතින්, ලෝහ වර්ග, පොල්කටු, ඉවත ලන විවිධ ආහාර ද්‍රව්‍ය වැනි දේවල් ඒ අතරට අයත්. පසුගිය දශක කිහිපය තුළ ලෝක ජනගහනයෙහි සිදුවුණු වර්ධනයත් සමඟ ම ඝන අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම බහුල වශයෙන් සිදු වුණා. 

තැනින් තැන ගොඩගැසී ඇති ප්ලාස්ටික් – hydratem8.com

 

එම ක්‍රියාවලිය නොකඩවා සිදුවීම හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් ආශ්‍රිත ව පාරිසරික සහ සෞඛ්‍යමය ගැටලු රැසක් ඇති ව තිබෙනවා. එම ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දී තිබෙනවා.

එහි දී සිදුවන්නේ ඝන අපද්‍රව්‍ය එකතු කර ප්‍රතිචක්‍රිකරණය කිරීමෙන් පසුව විවිධ නිෂ්පාදන සිදුකිරීම යි. ඒ අනුව වර්තමානය වන විට ලෝකයේ  බොහෝ රටවල්  ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සිදුකරනවා. 

ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම- tamilwireless.com

 

එලෙස එකතු කරන ඝන අපද්‍රව්‍ය භාවිත කර කලාත්මක නිර්මාණ කරන උදවිය ද සිටිනවා. මීට පෙර කැළිකසළවලින් අපූරු නිර්මාණ සිදුකරන ඉරාක ශිල්පියෙක් පිළිබඳව කෙටි වීඩියෝවක් පවා අප ඔබ වෙත ඉදිරිපත් කළා. මෙම ලිපියෙන් අප ඔබට කියන්න යන්නේ ඉවත දැමූ ප්ලාස්ටික් බෝතල් භාවිත කර සෑදූ අරුම පුදුම ගම්මානයක් පිළිබඳව යි. රොබට් බෙසෝ නම් කැනේඩියානු ජාතිකයකුගේ අදහසකට අනුව නිර්මාණය කර තිබෙන එම ප්ලාස්ටික් බෝතල් ගම්මානය අද වන විට ලෝක ප්‍රසිද්ධ වී තිබෙනවා. 

ප්ලාස්ටික් බෝතල් ගම්මාන සංකල්පය ඇතිවුණු හැටි

රොබට් බෙසෝ කැනේඩියානු ජාතික ව්‍යවසායකයෙක්. ඔහු මොන්ට්‍රියල් හි ක්විබෙක් නගරයේ ජීවත් වුණා. 2012 වසරේ දී පැනමාවට පැමිණි බෙසෝ එහි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කළා. පැනමාවට පැමිණි මුල් දිනවල ඔහු බොහෝ විට මුහුදු වෙරළේ විනෝදයෙන් කාලය ගත කළා.

එවිට බෙසෝට යම් කිසි දෙයක් නිරීක්ෂණය කරන්නට ලැබුණා. ඒ ප්ලාස්ටික් බෝතල් මුහුදු ජලයට අසීමිත ලෙස එකතු වී ඇති ආකාරය යි. එය දුටු බෙසෝට අපූරු අදහසක් පහළ වුණා.

මුහුදු ජලයට එකතු වී තිබෙන ප්ලාස්ටික් බෝතල්  -thebalance.com 

 

 ඉවත දැමූ ප්ලාස්ටික් බෝතල් පහසුවෙන් සොයාගත හැකි නිසා ඒවා භාවිත කරමින් යම් කිසි නිෂ්පදනයක් සිදුකිරීමට යි. ප්ලාස්ටික් බෝතල්වලින් සිදුකළ හැකි නිෂ්පාදනයක් ගැන එක් වර ම ඔහුගේ මතකයට ආවේ නැහැ. එක්තරා හැන්දෑ වරුවක නිදහසේ සාගරය දෙස බලා සිටි බෙසෝට අපූරු අදහසක් පහළ වුණා. ඒ ප්ලාස්ටික් බෝතල් භාවිත කරමින් ගොඩනැගිලි නිර්මාණය කිරීම පිළිබඳව යි. 

රොබට් බෙසෝ – plasticbottlevillage-theline.com

 

ගම්මානය ඉදිකිරීම සඳහා සැලසුම් කිරීම 

ප්ලාස්ටික් බෝතල් ගම්මානයක් ඉදිකිරීම සඳහා විශාල ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණයක් අවශ්‍ය බව බෙසෝ දැන ගෙන සිටියා. එනිසා ඔහු ව්‍යාපෘතිය සඳහා අනුයුක්ත කර තිබුණු සේවකයන් ලවා හිස් ප්ලාස්ටික් බෝතල් එකතු කළා. එලෙස එකතු කළ බෝතල් එක්තරා භූමියක ක්‍රමවත් අයුරින් ගොඩගැසුවා. මාස 18ක පමණ කාලයක් නොකඩවා ප්ලාස්ටික් බෝතල් එකතු කළ එම පිරිස අවසානයේ දී මිලියනයකට අධික ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණයක් එකතු කර ගත්තා. අ

වශ්‍ය තරම් ප්ලාස්ටික් බෝතල් එකතු කරගැනීමෙන් පසුව නිවාස සෑදීම සඳහා දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියකු අවශ්‍ය වුණා. ඉන් අනතුරු ව බෙසෝ මෙම ව්‍යාපෘතිය කර ගෙන යාම සඳහා ගැළපෙන ගෘහ නිර්මාණ ශිල්පියකු සොයන්නට වුණා. එහි දී ඔහුට ඩග් අයිචෙල්බර්ගර් පිළිබඳ අසන්නට ලැබුණා. 

ඩග් අයිචෙල්බර්ගර් අමෙරිකාවේ ජීවත් වුණු දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඔහු අපතේ යන ද්‍රව්‍ය භාවිත කරමින් නිර්මාණ කිරීම පිළිබඳ ප්‍රසිද්ධියට පත් ව සිටි අයෙක්. එක්තරා දිනයක ඩග් සම්බන්ධ කර ගත් බෙසෝ සිය අදහස ඔහුට පවසා සිටියා. එම අදහස පිළිබඳ උනන්දු වුණු ඩග් ව්‍යාපෘතිය සඳහා සහයෝගය පළකිරීමට එකඟ වුණා. ඉන් අනතුරු ව ඔවුන් දෙදෙනා පැනමා රටට ගොස් ගම්මානය ඉදිකිරීම සඳහා තෝරාගෙන තිබෙන ස්ථානය නිරීක්ෂණය කළා. අනතුරු ව ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳ සැලසුම සකස් කළා. 

ප්ලාස්ටික් බෝතල් නිවසක් ඉදිකරන ආකාරය

මෙවැනි ආකාරයේ නිවසක් ඉදිකිරීම සඳහා ප්ලාස්ටික් බෝතල්, වැලි, සිමෙන්ති, මැටි, සහ නූල්  අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් එක් නිදන කාමරය, මුළුතැන්ගෙයක්, නාන කාමරයක්, විසිත්ත කාමරයක් ඇති නිවසක් නිර්මාණය කිරීම සඳහා ප්ලාස්ටික් බෝතල් 7800ක් පමණ වැය වෙනවා. මෙම ක්‍රමයට නිවාසය ඉදිකිරීම ප්‍රධාන පියවර 5ක් යටතේ සිදුවෙනවා. එම පියවර පහ පහතින් දක්වා තිබෙනවා.

1) බෝතල් සකස් කිරීම 

එකතු කර ගත් බෝතල් වැලිවලින් පිරවීම මුලින්ම සිදු කළ යුතු යි. එහි දී වැලි පිරවීමට පෙර ඒවා හොඳින් හලා ගත යුතු යි. වැලිවල තිබෙන තරමක් විශාල ගල් කැට ඉවත් කිරීම එහි අරමුණ යි. ඒ අයුරින් වැලි හොඳින් හලා ගත් විට බෝතල්වලට පිරවීම වඩාත් පහසුයි. මෙම පියවරේ දී ඇතුළත හිඩැස් නොසෑදෙන ආකාරයට බෝතලය තුළට හොඳින් වැලි පිරවිය යුතු යි. එම ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් මෙන් ම විශාල මිනිස් ශ්‍රමයක් ද අවශ්‍ය යි.

බෝතල් සකස් කිරීම – world-habitat.org

2) අත්තිවාරම දැමීම 

ඕනෑම ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා සවිමත් අත්තිවාරමක් අවශ්‍ය යි. මෙවැනි නිවසක් සෑදීම සඳහා සැලකිය යුතු තරම් සේවක පිරිසක් යොදා ගැනීමට හැකි නම් බෝතල්වලට වැලි පුරවන අතරතුර අත්තිවාරම හෑරීම සිදුකරන්නට පුළුවන්. අත්තිවාරම හෑරීමෙන් පසුව උසස් තත්ත්වයේ සිමෙන්ති මිශ්‍රණයකින් අත්තිවාරම පිරවීම සිදු කළ යුතු යි. ඒ සඳහා විශේෂඥයකුගේ උපදෙස් ලබාගැනීම වඩාත් යෝග්‍ය යි. 

3) ආධාරක තීරු සහ කණු සෑදීම 

ඉන් අනතුරුව  වැලි පිර වූ බෝතල් භාවිත කර ආධාරක තීරු සහ කණු  සාදගත යුතු යි. එහි දී ආධාරක කණු සෑදීමේ දී කම්බියක් මැදි කොට වැලි පිර වූ බෝතල් පිළිවෙළකට ඇසිරිය යුතු යි. එක් පේළියක් ඇසිරීමෙන් පසුව එය උඩට කොන්ක්‍රීට් මිශ්‍රණය දැමිය යුතු යි. ඉන් අනතුරුව එය උඩින් ඊළඟ බෝතල් පේළිය ඇසිරීම සිදුකළ යුතු යි. එවිට ආධාරක කණු  හොඳ සවි ශක්තියකින් යුක්ත ව සාදාගැනීමට පුළුවන්. ආධාරක තීරුත් ඒ ආකාරයට සකස් කර ගත හැකි යි.

ආධාරක තීරු සහ කණු අවශ්‍ය තරම් උසට සාදා ගැනීමෙන් පසුව බෝතල් සියල්ල නූල් මඟින් සම්බන්ධ කළ යුතු යි. එවැනි පියවරක් අනුගමනය කරන්නේ  ආධාරක තීරු සහ කණුවල ශක්තිය තවත් වැඩිකිරීම සඳහා යි. ඒ වාගේ ම වානේ රාමු තුළට ක්‍රමවත් ව බෝතල් අසුරා ඒවායින් ආධාරක තීරු සහ කණු සෑදීමට හැකි යි. එවිට ආධාරක තීරු සහ කණුවල ශක්තිය තවත් වැඩි යි. 

ආධාරක කණු සහ තීරු ඉදිකිරීම – owlcation.com

 

4) බිත්ති ගොඩනැඟීම 

ආධාරක තීරු සහ කණු සාදා අවසන් වීමෙන් පසුව බිත්ති ගොඩනැඟීම සිදුකරනවා. ඒ සඳහා ආධාරක තීරු සහ ආධාරක කණු සෑදූ ක්‍රමය ම අනුගමනය කරනවා. බිත්ති අවශ්‍ය තරම් උසකට ගොඩනගා අවසන් වුණු විට බෝතල්වල බෙල්ලේ කෙළවරවල් හරස් අතට නූල්වලින් බැඳීම සිදු කළ යුතුයි. එමඟින් ප්ලාස්ටික් බෝතල්වලින් ගොඩ නැඟූ බිත්ති ස්ථාවර ව තබා ගැනීමේ හැකියාව පවතිනවා. 

බිත්ති ගොඩනැගීම (owlcation.com)

 

ඒ වාගේම වානේ රාමු තුළට ක්‍රමවත් ව බෝතල් අසුරා ඒවා වැසෙන පරිදි කොන්ක්‍රීට් යොදා බිත්ති බැඳීම මෑතක දී සොයා ගත් නවතම ක්‍රමවේදයක්. එම නව ක්‍රමවේදය මඟින් බිත්තියේ ශක්තිය වැඩි වන බව බෙසෝගේ අදහස යි. 

වානේ රාමු යොදා බිත්ති ගොඩනැඟීම – Robert Bezeau

 

5) වහලය සහ ජනෙල් දොරවල් සෑදීම 

ප්ලාස්ටික් බෝතල් නිවසක බිත්ති හොඳ සවි ශක්තියකින් යුක්ත යි. එනිසා සාමාන්‍ය නිවසක ඉදි කරන ආකාරයේ වහලයක් මෙවැනි නිවසකටත් හොඳින් ගැලපෙනවා. එහි දී වහලයට සෙවිලි කිරීම සඳහා සෙවිලි තහඩු, උළු, ඇස්බැස්ටෝස් භාවිත කරන්නට පුළුවන්. ඒ වාගේම නිවසේ ජනෙල් සහ දොරවල් සාමාන්‍ය ආකාරයට දැව භාවිතයෙන් සාදන්නට පුළුවන්.  

ප්ලාස්ටික් බෝතල් යොදා නිම කළ නිවසක් – Robert Bezeau

 

ගම්මානයේ පළමු නිවස ඉදි කිරීම 

ගම්මානය ඉදිකිරීම සඳහා ඉස්ලා කොලොන් ප්‍රදේශයේ අක්කර 83ක ඉඩමක් තෝරා ගත් බෙසෝ ඉක්මනින් ම එහි වැඩ ආරම්භ කළා. එහි දෛනිකව වැඩ කිරීම සඳහා සැලකිය යුතු තරම් සේවක පිරිසක් යොදවා තිබුණා. ඒ වාගේම ගෘහ නිර්මාණ ශිල්පි ඩග් නිරන්තරයෙන් ම එහි වැඩ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට පැමිණියා. ගම්මානයේ ඉදි කළ මුල් ම නිවස තනි තට්ටුවේ එකක් වුණා. එය ඉදිකිරීම සඳහා ප්ලාස්ටික් බෝතල් 10000කට වැඩි ප්‍රමාණයක් භාවිත කළා. එහි ඉදිකිරීම් කටයුතු 2015 වසරේ දී අවසන් වුණා.

නිවාස තව තවත්  ඉදිකිරීම  

පළමු නිවස සාර්ථක ව නිමකිරීමෙන් පසුව බෙසෝ බෙහෙවින් උද්දාමයට පත්වුණා. එනිසා ඔහු තව තවත් නිවාස ඉදිකිරීමට කල්පනා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2016 වසරේ මුල් කාර්තුව වන විට ප්ලාස්ටික් බෝතල් භාවිත කර දෙමහල් නිවසක් ඉදිකිරීමට හැකි වුණා. එම නිවස ඉදි කිරීම සඳහා ප්ලාස්ටික් බෝතල් 20000ක් පමණ අවශ්‍ය වුණා. 

ඉන් වසරකට පමණ පසුව එම ගම්මානය තුළ අලංකාර සිව් මහල් නිවසක් ඉදි වුණා. එහි මුළුතැන්ගෙයක්, ආලින්දයක්, විශාල නිදන කාමර 4ක්, නැරඹුම් වේදිකාවක්, උත්සව ශාලාවක්, 16 දෙනකුට පමණ එක වර නවාතැන් ගත හැකි විශාල ශාලාවක් දක්නට ලැබෙනවා. එම සුවිසල් නිවස ගොඩනැඟීම සඳහා ප්ලාස්ටික් බෝතල් 40000කට වැඩි ප්‍රමාණයක් වැය වුණා. එලෙස සාර්ථකව ප්ලාස්ටික් බෝතල් නිවාස නිම කිරීමත් සමඟින් ඒවාට තිබෙන ඉල්ලුම වැඩි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගම්මානයේ තව තවත් ප්ලාස්ටික් බෝතල් නිවාස ඉදි වුණා. 

තට්ටු 4ක සුවිසල් නිවස – tripadvisor.com

 

ගම්මානයේ වර්තමාන තත්ත්වය

අද වන විට පැනමා ප්ලාස්ටික් බෝතල් ගම්මානය තුළ විවිධ ප්‍රමාණයේ නිවාස 120ක් පමණ ඉදි කර තිබෙනවා. ඒ වාගේම ගම්මානය තුළ වෙළෙඳ සංකීර්ණයක්, ස්වභාවික අයුරින් නිර්මාණය කළ ලැගුම්හලක්, පලතුරු සහ එළවළු වගා කිරීම සඳහා උද්‍යානයක්, යෝගා ව්‍යායාම කිරීම සඳහා මණ්ඩපයක්, විනෝද උද්‍යානයක් ඇතුළු තවත් දේවල් දක්නට ලැබෙනවා.

මෙම ගම්මානය මේ වන විට සංචාරකයන් අතර වඩාත් ප්‍රසිද්ධ යි. ඔවුන්ට ඩොලර් 90ක් වැනි මුදලක් ගෙවූ විට සැප පහසු ප්ලාස්ටික් බෝතල් මාලිගයක රාත්‍රිය ගත කිරීම සඳහා අවස්ථාව ලැබෙනවා. එය මෙහි පැමිණෙන සංචාරකයන්ට අපූරු අත්දැකීමක් වෙනවාට සැකයක් නැහැ.  

ප්ලාස්ටික් බෝතල් ගම්මානය – smithsonianmag.com

 

පරිසර දූෂණය අවම කිරීමට හොඳ උපක්‍රමයක් 

ප්ලාස්ටික් බෝතල් මඟින් සිදුවන දැවැන්ත පරිසර විනාශය වැලැක්වීම සඳහා ප්ලාස්ටික් බෝතල් භාවිත කර නිවාස ඉදිකිරීම පරිසර හිතකාමී පියවරක් බව බෙසෝගේ මතය යි. මේ වන විට බෙසෝ විශාල වියදමක් කර නිවාස රැසක් ඉදිකර තිබෙනවා. ඉදිරියේ දී තවත් නිවාස ඉදිකිරීම සඳහා ආධාර උපකාර බව ඔහු පවසා සිටිනවා. ඒ වාගේම ඔහු තවදුරටත් පවසා සිටින්නේ ප්ලාස්ටික් නිසා සිදුවන මහා පරිසර විනාශය සමනය කිරීම සඳහා මෙවැනි නිවාස ලොව පුරා ජනප්‍රිය කිරීමට කාලය එළඹ ඇති බව යි. 

කවරයේ ඡායාරූපය- පැනමාවේ ප්ලාස්ටික් බෝතල් ගම්මානය - domain.com.au 

මූලාශ්‍ර:

housing.com 

dogonews.com 

hyperallergic.com 

canadiancontractor.ca 

Related Articles