Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැපොල් වල යහ ගුණ

ශ්‍රී ලංකාව ඉතා සශ්‍රීක පරිසරයකට හා ඉතා සරු පසකට උරුමකම් කියන රටක්. මෙහි ඇති උණුසුම් දේශගුණයත් ජලයෙන් නොඅඩු බවත් නිසා පළතුරු වර්ග රාශියක් ඉතා පහසුවෙන් වැවෙනවා. මේ අතරින් ජනප්‍රියම පලතුරු වර්ගයක් වන පැපොල් හෙවත් ගස්ලබු ශ්‍රී ලාංකිකයින් විසින් වැඩිපුරම පරිභෝජනයට ගන්නා පලතුරු වර්ගයක්. ශ්‍රී ලාංකික ජනතාව තම ගෙවතු වල පැපොල් වගා කරන්නේ එය පහසුවෙන්ම වැවෙන නිසා හෝ එහි ඇති රසවත් බව නිසා පමණක් නොවේ. එහි ඇති ගුණදායක බව පිළිබඳවත් යම් කිසි හෝ දැනුමක් ඇති නිසායි. එම දැනුම තව දුරටත් වැඩි කර දීමේ අටියෙන් පැපොල් වල පෝෂණය හා සෞඛ්‍යමය ගුණ පිළිබඳ වැඩිදුර විස්තර කිහිපයක් ගෙන එන්නට අපි තීරණය කළා.

පැපොල් වල පැටිකිරිය

පැපොල් ගසක්-balconygardenweb.com

Carica papaya යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන පැපොල් වල නිජබිම වශයෙන් සැලකෙන්නේ මෙක්සිකෝව ඇතුළු මධ්‍යම ඇමෙරිකාවයි. වර්තමානය වන විට ලොව පුරාම, විශේෂයෙන් ඝර්ම කලාපීය දේශගුණය සහිත රට වල මේවා යහමින් පැතිරී තිබෙනවා.

පැපොල් වල පෝෂණ ගුණ

පැපොල් ග්‍රෑම් සියයක් තුල කැලරි 39 ක ශක්තියක් ගැබ්ව තිබෙනවා. එසේම ග්‍රෑම් 0.6 ක ප්‍රෝටීනත් ග්‍රෑම් 0.1 ක පමණ ලිපිඩත් මෙහි අන්තර්ගත වනවා. පැපොල් වල ශරීරයට හිතකර ඔමේගා 3 මේද අම්ල ද සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතයි.

පැපොල් ග්‍රෑම් 100 ක කාබොහයිඩ්‍රේට ග්‍රෑම් 9.8 ක් අන්තර්ගත අතර ඉන් ග්‍රෑම් 1.8ක් ම තන්තු වෙනවා. මීට අමතරව සරල සීනි ග්‍රෑම් 5.9 ක් ද මේ කාබොහයිඩ්‍රේට ගොන්නට ඇතුලත් වෙනවා.

alwaysfoodie.com

පැපොල් විටමින් වර්ග රාශියකින් අනූන යි. ඉන් විටමින් ඒ හා සී විශේෂිත වෙනවා. පැපොල් ග්‍රෑම් 100ක කොටසක විටමින් ඒ අන්තර්ජාතික ඒකක 1094 හෙවත් දෛනික අගයෙන් 22% ක් පමණද විටමින් සී මිලිග්‍රෑම් 61.8 ක් හෙවත් දෛනික අගයෙන් 103% ක් පමණද අන්තර්ගත වෙනවා. මීට අමතරව විටමින් ඊ, කේ මෙන්ම ෆෝලේටත් සැළකිය යුතු ප්‍රමාණ වලින් අන්තර්ගතයි.

පැපොල් වල අඩංගු ඛණිජ ලවණ සැලකීමේදී පොටෑසියම් හා කැල්සියම් විශේෂිත වෙනවා. පැපොල් ග්‍රෑම් 100ක පොටෑසියම් මිලිග්‍රෑම් 257 හෙවත් දෛනික අගයෙන් 7% ක් අන්තර්ගත අතර කැල්සියම් මිලිග්‍රෑම් 24ක් ද අන්තර්ගතයි. එය දෛනික අගයෙන් 2% ක් පමණ වෙනවා.

පැපොල් වල සෞඛ්‍යමය ගුණ

පැපොල් වල සෞඛ්‍යමය ගුණ රාශියක් තිබෙනවා. මේ නිසා ලොව බොහෝ ජනයා සිය සෞඛ්‍යය ඔප් නංවා ගැනීමට පැපොල් ආහාරයට ගන්නවා.

කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීම

පැපොල් තන්තු, විටමින් සී හා ප්‍රතිඔක්සිකාරක වලින් අනූන නිසා රුධිර නාලිකා වල කොලෙස්ටරෝල් ගොඩ ගැසීම වලක්වනවා. මෙසේ කොලෙස්ටරෝල් දීර්ඝ කාලීනව තැන්පත් වීම හෘදයාබාධ ඇති වීමට හේතුවක් වෙනවා. මීයන් යොදා කළ පර්යේෂණ වලදී පැපොල් ශරීරයේ ලිපිඩ හා ට්‍රයිග්ලිසරයිඩ ප්‍රමාණය පහත දමන බව සනාථ වී තිබෙනවා.

ශරීරයේ බර අඩු කිරීමට උපකාරී වීම

මධ්‍යම ප්‍රමාණයේ පැපොල් ගෙඩියක ගබඩා වී ඇත්තේ කැලරි 120 ක ශක්තියක් පමණයි. මේ නිසා ඔබ බර අඩු කර ගැනීමට වෙහෙසෙන අයෙක් නම් ඔබේ ආහාර වේලට පැපොල් එක් කර ගැනීමට අමතක කරන්න එපා. පැපොල් වල තන්තු බහුල නිසා ඉකමණින්ම ආමාශය පිරුණු හැඟීමක් ඇති වීම නිසා නිතැතින්ම ගන්නා ආහාර ප්‍රමාණයද පාලනය වෙනවා.

organicfacts.net

ප්‍රතිශක්තිය වර්ධනය කිරීම

එක් පැපොල් ගෙඩියක සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ දෛනික අවශ්‍යතාවය මෙන් දෙගුණයක විටමින් සී  අන්තර්ගත වෙනවා. මේ නිසා පැපොල් ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වීමට හොඳ ආධාරයක් සැපයෙනවා.

දියවැඩියාවට අනඟියි

පැපොල් ස්වභාවයෙන් පැණි රසැති පලතුරක් වුවත් අන්තර්ගත සීනි ප්‍රමාණය අඩුයි. පැපොල් කෝප්පයක ප්‍රමාණයක සීනි අන්තර්ගත වන්නේ ග්‍රෑම් 8.3ක් පමණයි. මීට අමතරව මේවා වල ග්ලයිසීමික අගයත් අඩු එකක් වන අතර මේ හේතුවෙන් පැපොල් දියවැඩියා රෝගීන්ට අගනා ආහාරයක් වෙනවා. මෙහි අන්තර්ගත විටමින ඇතුළු පෝෂක දියවැඩියා රෝගීන්ට ඇති හෘදයාබාධ අවදානම අඩු කරනවා. එසේම පැපොල් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව වැළඳීමද වලක්වාගත හැකියි.

අක්ෂි සෞඛ්‍යට කදිමයි

පැපොල් විටමින් ඒ හා බීටා කැරොටින, සියාසැන්තීන්, ක්‍රිප්ටොසැන්තීන් හා ලුටෙලින් වැනි ෆ්ලේවනොයිඩ වලින් අනූනයි. මේවා ඇසෙහි ශ්ලේෂ්මල පටල සෞඛ්‍යමත්ව තබනවා. එසේම විටමින් ඒ කහ ලපය සෞඛ්‍යමත්ව තබනවා. පැපොල් වල ඇති කැරොටිනොයිඩ තක්කාලි හා කැරට් වැනි ආහාර වල ඇති ඒවාට වඩා පසසුවෙන් ශරීරයට අවශෝෂණය වෙනවා

ආතරයිටිස් වලින් ආරක්ෂාව

වැඩිහිටියන්ට පැපොල් කදිම ගුණ දෙන පලතුරක්-acefitness.org

පැපොල් ආහාරයට ගැනීම අස්ථි වලටත් හිතකර වෙනවා. මෙහි  විටමින් සී අඩංගු නිසා ආතරයිටීස් අවදානම පහත හෙළනවා. මීට අමතරව පැපොල් වල ප්‍රති ප්‍රදාහ ගුණත් තිබෙනවා. පර්යේෂණ වලට අනුව විටමින් සී අඩංගු ආහාර නිසි පමණ ආහාරයට නොගන්නා පුද්ගලයින්ට අන් අයට වඩා රූමැටික ප්‍රදාහ වැළඳීමේ අවදානමක් ඇති බව සොයාගෙන තිබෙනවා.

ආහාර දිරවීමේ ක්‍රියාවලිය කාර්යක්‍ෂම කිරීම

වර්තමාන ආහාර රටාවලට අනුව වැඩි වශයෙන් ජීර්ණයට අපහසු තෙල් හා පිෂ්ටය අඩංගු ආහාර ශරීරගත වීම සාමාන්‍යයෙන් සිදු වෙනවා. මේ නිසා ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යමත් භාවය යම් පමණකට අඩු වෙනවා. දිනපතා පැපොල් ආහාරයට ගැනීමෙන් එසේ අඩපණ වූ ආහාර ජීර්ණ පද්ධතිය නැවත කාර්යක්‍ෂම වෙනවා. පැපොල් වල අඩංගු පැපේන් එන්සයිමය හා තන්තු මේ සඳහා ඉවහල් වෙනවා.

ඔසප් වේදනා අවම කරයි

පැපොල් ආහාරයට ගැනීම මඟින් කාන්තාවන්ගේ මාසික වේදනාවන් අවම කරගත හැකියි. පැපොල් වල අඩංගු පැපේන් නම් එන්සයිමය මෙහිදී වේදනා නාශනය සඳහා දායක වෙනවා.

සෞඛ්‍යට මෙන්ම රූපලාවන්‍ය කටයුතු වලටත් පැපොල් යොදාගන්නවා-dermatocare.com

පැපොල් තරුණ කම රැක දෙයි

පැපොල් නිතිපතා ආහාරයට එක් කර ගැනීම තුලින් නියම වයසට වඩා වසර 5 කින් පමණ තරුණ පෙනුමක් ලබා ගත හැකියි. පැපොල් වල අඩංගු විටමින් සී හා ඊ, එමෙන්ම බීටා කැරොටින් වැනි ප්‍රතිඔක්සිකාරක මුක්තඛණ්ඩක මඟින් සමට සිදු වන හානි අවම කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමෙහි රැළි වැටීම අඩු වෙනවා.

හිසකෙස් වැවීම උත්තේජනය කරයි

පැපොල් නිරන්තරයෙන් ආහාරයට ගැනීම හිසකෙස් වල සෞඛ්‍යයද ඉහල නංවනවා. පැපොල් වල අඩංගු විටමින් ඒ කිසකෙස් වල දීප්තිය, තෙතමනය හා සුසිනිඳු බව රැක දෙනවා. මීට අමතරව හිසකෙස් වල පැපොල් ආලේප කිරීමෙන් හිස් හොරි ඇති වීම වළක්වා ගන්නට පුළුවන්. මීට අමතරව මෙහි අඩංගු පෝෂක නිසා හිසකෙස් වැටීම පාලනය කරන අතර හිසකෙස් වැවීමත් උත්තේජනය කරනවා.

පිළිකා ඇතිවීම වළකයි

පැපොල් ප්‍රතිඔක්සිකාරක වලින් අනූන පලතුරක්. මීට අමතරව එහි ෆ්ලේවනොයිඩද අඩංගු වෙනවා. මේවා මඟින් මුක්තඛණ්ඩක නිසා සෛල වලට සිදුවන හානිය දුරලනවා. මේ නිසා ප්‍රොස්ටේට් ග්‍රන්ථි පිළිකා, මහාන්ත්‍ර පිළිකා ඇතුළු තවත් පිළිකා ගණනාවක් වැළඳීමේ අවදානම අඩු වෙනවා.

ආතතිය අඩු කරගන්නට පැපොල්

පැපොල් වල අඩංගු විටමින් සී මඟින් මානසික ආතතිය අවම කරනවා.

කවරයේ පින්තූරය – jamaica-gleaner.com

Related Articles