Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විරුද්ධාභාස: මට වචන තුන්දහසකට වඩා අඩුවෙන් ලියා නිර්වචනය කල නොහැකි සංකල්පය – දෙවන කොටස

අපි කලින් ලිපියේ දී විරුද්ධාභාස ගැන කතා කලා. අපි මෙවර සාපේක්ෂව ටිකක් අළුතින් ඉදිරිපත් වුණු විරුද්ධාභාස කිහිපයක් ගැන කතා කරමු.

කරණවෑමියාගේ විරුද්ධාභාසය

බර්ට්‍රන්ඩ් රසල් , (reasonandmeaning.com)

බර්ට්‍රන්ඩ් රසල් , (reasonandmeaning.com)

1901 ගණිතඥයෙකු සහ දාර්ශනිකයෙකු වන බර්ට්‍රන්ඩ් රසල් සුප්‍රකට ‘රසල්ගේ විරුද්ධාභාසය’ නම් ගණිතයේ කුළකවාදය උඩු යටිකුරු කල විරුද්ධාභාසය ඉදිරිපත් කරනු ලැබුවා. එහි සරල දිගුවක් තමා මේ කරණවෑමියාගේ විරුද්ධාභාසය.

එක්තරා ගමක කරණවෑමියෙකු සිටිනවා. ඔහු ගමේ සිටින තමන් විසින් තමාගේ රැවුල කපාගන්නේ නැති සියල්ලගේ ම රැවුල කපනවා. දැන් ප්‍රශ්නය, කරණවෑමියාගේ රැවුල කපන්නේ කවුද ?

ඔහු රැවුල කපන්නේ තමන් විසින් තමන්ගේ රැවුළ කපාගන්නේ නැති අයගේ. කරණවෑමියා එයාගේ රැවුළ තනිවම කපාගන්නේ නැත්නම් ‘ඔහු රැවුල කපන්නේ තමන් විසින් තමන්ගේ රැවුල කපාගන්නේ නැති අයගේ’ නිසා ඔහු තමාගේ රැවුල කපාගත යුතුයි. ඒත් තමන් විසින් තමන්ගේ රැවුල කපාගන්නා අයගේ රැවුල කපන කෙනෙක් නෙවෙයි කරණවෑමියා. ප්‍රශ්නය දැන් පැහැදිලි ඇති, ඒත් විසඳුමක් ඇති ප්‍රශ්නයක් නෙවෙයි මේ.

අහඹු විභාග විරුද්ධාභාසය

(www.brilio.net)

(www.brilio.net)

මේ තවත් ඔළුව අවුල්වන වෙනස් විදියේ විරුද්ධාභාසයක්. තවමත් පර්යේෂණ පත්‍රිකා එළි දැක්වෙන තර්ක ශාස්ත්‍රයේ සහ දර්ශනයේ අපූර්වත්වය පෙන්වන අපූරු ප්‍රශ්නයක්. අතිශය සරල ප්‍රශ්නයකට ශාස්ත්‍රීය ලෝකය මේ තරම් කැළඹෙනව ද කියන එකත් වෙලාවකට පුදුම සහගතයි.

එක්තරා ගුරුවරයෙක් පන්තියකට අහඹු විභාගයක් දෙන්න තීරණය කරනවා. ඒ කියන්නේ විභාගය පැවැත්වෙන දවස කලින් දැනුම් දෙන්නේ නෑ. ඉතින් ගුරුවරයා පන්තියට දැනුම් දෙනවා ඊළඟ සතියේ දවසක අහඹු විභාගයක් දෙන බව.

අපි කවුරුත් විභාගවලට ආස අය නෙවෙයිනේ. මේ පන්තියෙ ඉන්න තර්කශාස්ත්‍රයට බොහොම දක්ෂ කොල්ලො කෙල්ලො ටිකත් විභාගවලට ඒ හැටි ආසාවක් දක්වපු අය නෙවෙයි. ඉතින් විභාගය ගැන කල්පනාකරල බලපු මේ අයට හදිසියේ ම අපූරු වගේ ම සතුටුදායක දෙයක් වටහාගන්න පුළුවන් වෙනවා. ඒ මොකද්ද දන්නව ද ? ගුරුවරයාට කවදාවත් අහඹු විභාගයක් පවත්වන්න බැරි බව. කොයිතරම් සතුටුදායක දෙයක් ද ඒ. ඒත් ප්‍රශ්නය ඇයි ගුරුවරයාට අහඹු විභාගයක් දෙන්න බැරි ?

හිතන්න, ගුරුවරයා කාටවත් නොකියා විභාගය දෙන්න තීරණය කරනව කියල සිකුරාදා දවසක. සිකුරාදා කියන්නෙ සතියේ අන්තිම දවස. විභාගය දෙන්නේ සතිය ඇතුළත කියල ශිෂ්‍ය ශිෂ්‍යාවො දන්නවා. ඒ නිසා බ්‍රහස්පතින්දා දවසේ විභාගය දුන්නේ නැත්නම් විභාගය දෙන්න වෙන්නේ සිකුරාදා. තර්ක ශාස්ත්‍රයට දක්ෂ ශිෂ්‍යයින්ට මේ සරල දේ වටහාගන්න ඒ හැටි අපහසුවක් නෑ. ඒ නිසා ගුරුවරයා විභාගය සිකුරාදාට යොදාගෙන තිබුණොත් ඒක අහඹු විභාගයක් වෙන්නේ නෑ. මොකද ශිෂ්‍යයෝ බ්‍රහස්පතින්දා විභාගය දුන්නේ නැත්නම් ඒ මොහොතෙ ම දැනගන්නවා විභාගය තියෙන්නේ සිකුරාදා කියල.

ඒ කියන්නේ අහඹු විභාගය සිකුරාදට දෙන්න බෑ. දුන්නොත් අහඹු විභාගයක් වෙන්නේ නෑ. එහෙනම් අහඹු විභාගය පැවැත්වීමට බ්‍රහස්පතින්දා සුදුසු දවසක් ද ?

අපේ බුද්ධිමත් ශිෂ්‍යයො තවත් පියවරක් ඉදිරියට කල්පනා කරනවා. ඔවුන් හොඳට ම දන්නවා අහඹු විභාගය සිකුරාදට වැටෙන්නේ නැති බව. ඒ නිසා අහඹු විභාගය පැවැත්වීම සඳහා දැන් ඉතිරි වී ඇත්තේ සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා පමණයි. විභාගය බදාදා තිබුණේ නෑ කියල හිතමු. දැන් එතකොට විභාගය තියෙන්න ඕනේ බ්‍රහස්පතින්දා, මොකද සිකුරාදා අහඹු විභාගය පවත්වන්න බැරි නිසා. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ බදාදා විභාගය දුන්නේ නැත්නම් විභාගය තියෙන්න ඕනේ බ්‍රහස්පතින්දා බව ශිෂ්‍යයින් දැනගන්නවා, දැනගත්තම ඒක කවදාවත් අහඹු විභාගයක් වෙන්නේ නෑ. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දවසත් අහඹු විභාගයකට සුදුසු දවසක් නෙවෙයි.

මේ තර්කය ගොඩ නැගෙන හැටි ඔබට පැහැදිලි ඇති. බ්‍රහස්පතින්දයි සිකුරාදයි අහඹු විභාගයකට සුදුසු දවස් දෙකක් නෙවෙයි. ඒ වගේ ම බදාදාත් අහඹු විභාගයට සුදුසු දවසක් නෙවෙයි. මොකද අඟහරුවාදා දවසේ විභාගය දුන්නේ නැත්නම් බ්‍රහස්පතින්දයි සිකුරාදයි අහඹු විභාගයක් පවත්වන්න බැරි නම් ශිෂ්‍යයෝ අඟහරුවාදා ම දැනගන්නවා විභාගය තියෙන්නෙ බදාදා කියල. ඒ කියන්නේ බදාදා විභාගය තියන්න නියමිතව තිබුණත් ඒක අහඹු විභාගයක් වෙන්න බැරි බව.

මේ තර්කය ඔස්සේ දිගටම ගියොත් ඔබට පැහැදිලි වේවි සතියේ කිසිම දවසක අහඹු විභාගයක් පවත්වන්න බැරි බව. ඉතින් අපේ තර්කාණුකූල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බොහොම සතුටින් ඉන්නවා. ඒත් හදිසියේ ම ගුරුතුමා පන්තියට විභාගයක් දෙනවා, උදාහරණයකට කියමු අඟහරුවාදා කියල. ඒක කවුරුත් බලාපොරොත්තුවෙන් හිටපු එකක් නෙවෙයි, මොකද අහඹු විභාගයක් පවත්වන්න බැරි බව තර්කාණුකූලව ඔප්පු වූ ඇති බැවින්. ඒත් ගුරුවරයා දුන්න විභාගය එහෙම පිටින් ම බලාපොරොත්තු නොවූ අහඹු විභාගයක්.

ඔබත් මේ උභතෝකෝටිකය විසඳීමට උත්සහ ගන්න.

මාතෘකාව ගැන

මේ ලිපියේ මාතෘකාව මෙයයි.

“විරුද්ධාභාස: මට වචන තුන්දහසකට වඩා අඩුවෙන් ලියා නිර්වචනය කල නොහැකි සංකල්පය.”

මම මේ ලිපියේ දී උත්සහ කලේ විරුද්ධාභාස යන සංකල්පය පැහැදිලි කිරීමට. මාතෘකාවේ කියවෙන පරිදි මට විරුද්ධාභාස යන සංකල්පය පැහැදිලි කිරීමට අවම වශයෙන් වචන තුන්දහසක්වත් වුවමනයි. ඒත් මේ ලිපියේ වචන සංඛ්‍යාව ඊට වඩා අඩුයි. මාතෘකාවේ සඳහන් ආකාරයට මම මට අවශ්‍ය දේ පැහැදිලි කරන්න මා අසමත් වූවා ද ? මොකද විරුද්ධාභාස යන සංකල්පය නිර්වචනය කරන්න මට අවම තරමේ වචන තුන්දහසක්වත් වුවමනා නිසා.

ඒත් මෙතැන සැඟවුණු රහසක් තියෙනවා. මාතෘකාව දෙස නැවත බලන්න. එහි වචන කීය ද ? එකොළහයි. ඒ වචන එකොළහෙන් කියවෙන්නේ විරුද්ධාභාස යන්න නිර්වචනය කිරීමට වචන තුන්දහසක්වත් අවශ්‍යය බවයි. ඒත් මාතෘකාව ම, ඒ කියන්නේ “විරුද්ධාභාස: මට වචන තුන්දහසකට වඩා අඩුවෙන් ලියා නිර්වචනය කල නොහැකි සංකල්පය.” යන්න ම විරුද්ධාභාස යන සංකල්පයට නිර්වචනයක් නේද ? එනම් මාතෘකාවෙන් විරුද්ධාභාස යන සංකල්පය නිර්වචනය කරන්නේ මට එනම් ලේඛකයාට වචන තුන්දහසකට අඩු ගණනකින් නිර්වචනය කල නොහැකි සංකල්පයක් ලෙසයි. ප්‍රශ්නය එම නිර්වචනයට වුවමනා කොට ඇත්තේ වචන එකොළහක් පමණයි, වචන තුන්දහසක් වැය වෙලා නෑ. ඒ අනුව බලනකොට මේ ලිපියේ මාතෘකාවත් විරුද්ධාභාසයක්.

මේ මාතෘකා විරුද්ධාභාසය ජී.ජී. බෙරීගේ නමින් හැඳින්වෙන බෙරීගේ විරුද්ධාභාසය ආශ්‍රයෙන් සකස් කල එකක්.

කල්පනා කරන්නට තවත් එක දෙයක්

(travel2ukraine.blogspot.com)

(travel2ukraine.blogspot.com)

බොහොම දිගු වුණ මේ ලිපිය අවසන් කරන්නට හිතුවේ ඔබට තවත් හිතන්නට යමක් ඉතිරි කරමින්. මේක පොඩි කතන්දරයක් වගේ ම ඔළුව අවුල් වෙන නඩුවක්.

ඔන්න එක්තරා සංචාරකයෙක් ඉන්නවා. මනුස්සයා කාන්තාරෙක සංචාරයක් යනවා. විශේෂයෙන් ම සූදානම් කරගත් ලොකු වතුර බූලියකුත් කරේ තියාගෙන මෙයා කාන්තාරෙට බහින්නේ කාන්තාරෙ වතුර නැති වුණොත් කවදාවත් ආපහු එන්න වෙන්නෙ නෑ කියල හොඳට ම දන්න නිසා.

මෙයාට ජන්මාන්තර තරහකාරයො දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාට මේක හොඳ අවස්ථාව. දෙදෙනාගේ ම වුවමනාව සංචාරකයාව මරා දමන්න. හැබැයි ඒ දෙන්නා එකිනෙකාව දැනගෙන හිටියේ නෑ. තවත් කෙනෙක් සංචාරකයව මරන්න සැලසුම් කරන බව අනෙකා දැනගෙන හිටියෙ නෑ.

ඔන්න දැන් සංචාරකයා කාන්තාරේ මැද්දට ගිහින් කූඩාරමක් ගහගෙන රැය පහන් කරනවා. තරහකාරයො දෙන්නත් හැංගිල බලාගෙන ඉන්නෙ වෙලාව එනකම්. සංචාරකයට නින්ද ගියාට පස්සෙ එක තරහකාරයෙක් හෙමීට කූඩාරමට ඇතුළු වෙනවා, හෙමීට වතුර බූලියේ මූඩිය ඇරල ඒකට වස දානවා. ඊට පස්සෙ සද්ද නැතුව එතනින් මාරු වෙනවා.

අනිත් තරහකාරයා මේක දකින්නේ නෑ, එහෙම දෙයක් උනා ද කියලවත් දන්නේ නෑ. එයා කූඩාරමට ඇතුළු වෙන්නේ ඊට පස්සෙ. එයාගෙ සැලසුම වෙන එකක්. කාන්තාරෙ වතුර නැතුව ජීවත්වෙන්න බැරි බව දන්න මේ තරහකාරයා කරන්නේ සංචාරකයගෙ වතුර බූලිය බිමට හලන එක, ඒ මේ වනකොටත් ඒ වතුරට වස මිශ්‍ර කර ඇති බව නොදැන. තම තමන්ගේ සැලැසුම් ක්‍රියාත්මක කරපු තරහකාරයො දෙන්න ම කරදරයක් නැතුව තිරයෙන් ඉවත්ව ගියත් අසරණ සංචාරකයා හිස් වෙච්ච වතුර බූලිය දිහා බල බල වතුර නැතිව කාන්තාරය මැද මිය යනවා.

සංචාරකයාගේ මරණයට වග කියන්න ඕනේ කවුද ? ඔබට කල්පනා කරල පිළිතුරක් දෙන්න පුළුවන් ද ?

පළවෙනි තරහකාරයා, ඒ කියන්නේ වතුරට වස එකතු කරපු තරහකාරයා වැරදිකාරයා වෙන්න බෑ. මොකද සංචාරකයා මියගියේ වස පානය කරල නෙවෙයි.

දෙවැනි තරහකාරයා, ඒ කියන්නේ වතුර බූලිය බිමට හලපු තරහකාරයා වැරදිකාරයා වෙන්නත් බෑ. මොකද ඔහු බිමට හැළුවෙ වතුර නෙවෙයි, වස.

ඔබේ පිළිතුරු අපි බලාපොරොත්තු වෙමු.

Related Articles