Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මඟතොට දී හමුවන දුරකථන කුටි උපන් හැටි

ගෙවී ගිය දශකයේ වයස් භේදයකින් තොර ව සෑම දෙනා අතර ම පහසුවෙන් එහා මෙහා රැගෙන යා හැකි ජංගම දුරකථන ජනප්‍රිය වීම හේතුවෙන් පොදු දුරකථන සඳහා පැවති ඉල්ලුම බලා සිටිය දී ම පහළ වැටුණේ, මාරු කාසි යොදා ක්‍රියාත්මක කළ හැකි ගෙවුම් දුරකථන (pay phone) සහ දුරකථන කුටි (telephone booth) සංස්කෘතියට කණ කොකා හඬලමින් බව පැවසීම වැරදි නැහැ. 1876 දී ඇලෙක්සාන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් ලොව ප්‍රථම දුරකථන ඇමතුම ලබා ගැනීමෙන් පසු ව එළැඹුණු දශකයේ දී හඳුන්වා දෙන ලද ගෙවුම් දුරකථන සීඝ්‍රයෙන් ප්‍රචලිත වුණේ, දුරකථනයක් මිල දී ගැනීමට තරම් වත්කමක් නොමැති අයට පවා දැරිය හැකි මුදලකට දුරකථන ඇමතුම් ලබා ගැනීමට හැකි වීම හේතුවෙන්.

© Marty Hogan

ශ්‍රී ලංකාවේ එතරම් සුලබ නොවුණත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ (විශේෂයෙන් ම ලන්ඩන් නුවර) දී වර්තමානයේ පවා ගෙවුම් දුරකථන සහ දුරකථන කුටි බහුල ව දැකගැනීමට ලැබෙනවා. නමුත් විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ බොහෝමයක් සංවර්ධිත රාජ්‍යයන්, දුරකථන කුටි තුළ තැන්පත් කර ඇති ගෙවුම් දුරකථන ගලවා ඉවත් කර ඒ වෙනුවට නවීන පහසුකම් සහ ස්පර්ශ තිර සහිත පොදු වයි-ෆයි කුලුනු වැනි නූතන සන්නිවේදන උපාංග සවි කිරීමට කටයුතු කරන බව යි. ගෙවුම් දුරකථන සහ දුරකථන කුටි ක්‍රමයෙන් අභාවයට යන සමයක, එහි උපත සහ පැතිරීම ගැන යි මේ ලිපිය.

ඇමෙරිකාවෙන් බිහි වූ ගෙවුම් දුරකථන

(© Michael Herrick) ලොව ප්‍රථම ගෙවුම් දුරකථන පිහිටි ස්ථානයේ දී දැකගැනීමට ලැබෙන පුවරුව

දුරකථන සමාගම් කාර්යාලවල දී පොදු දුරකථන මුල් වරට දැකගැනීමට ලැබුණේ 1880 දශකය ආරම්භයේ දී වන අතර, දුරකථන ක්‍රියාකරුට මුදල් ගෙවීමෙන් පසු ව ඇමතුම් ලබා ගැනීම සඳහා එයින් පාරිභෝගිකයාට අවස්ථාව සලසා තිබුණා. 1881 ජනවාරි 12 වැනි දින ‘Fernsprechkiosk’ ලෙස නම් කරන ලද ලොව ප්‍රථම දුරකථන කුටිය ස්ථාපිත කරන ලද්දේ බර්ලින් නුවර පොට්ස්ඩෑමර් ප්ලැට්ස් චතුරස්‍රයේ යි. එය භාවිතා කිරීම සඳහා ‘Telefonbillet’ නම් වූ මුද්‍රිත කඩදාසි තුණ්ඩුවක් ලබා ගත යුතු වූ අතර, දුරකථන ක්‍රියාකරුට එය පෙන්වීමෙන් පසු ව මිනිත්තු කිහිපයක සීමිත ඇමතුම් කාලයක් පාරිභෝගිකයාට හිමි වුණා.

1889 දී මාරු කාසි යොදා ක්‍රියාත්මක කළ හැකි ගෙවුම් දුරකථන ලොවට හඳුන්වා දෙන ලද්දේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ වාසය කළ ඇමෙරිකානු ජාතික විලියම් ග්‍රේ විසින්. දුරකථන ක්‍රියාකරුවෙකු නොමැති ව භාවිතා කළ හැකි ප්‍රථම ගෙවුම් දුරකථනය ලෙස සැලකෙන එය හාට්ෆර්ඩ් නගරයේ බැංකුවක් තුළ ස්ථාපිත කරන ලද අතර, වර්තමානයේ දී දැකගැනීමට ලැබෙන ගෙවුම් දුරකථන මෙන් නොව විලියම් ග්‍රේ විසින් සැලසුම් කර ජෝර්ජ් ඒ. ලෝන්ග් විසින් නිර්මාණය කරන ලද ගෙවුම් දුරකථනයට මාරු කාසි ඇතුළත් කළ යුතු වුණේ දුරකථන ඇමතුම අවසන් වීමෙන් පසු ව යි.

(© Connecticut Historical Society) විලියම් ග්‍රේ සහ ජෝර්ජ් ඒ. ලෝන්ග්

දුරකථන අයිතිකරුට හෝ ක්‍රියාකරුට දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කිරීමකින් තොර ව ඕනෑම අයෙකුට පහසුවෙන් භාවිතා කළ හැකි දුරකථනයක් නිපදවීම සඳහා විලියම් ග්‍රේ කටයුතු කර ඇත්තේ 1888 දී ඔහුට මුහුණ දීමට සිදු වූ අප්‍රසන්න සිදුවීමක් හේතුවෙන්. අසනීප වූ බිරිඳ පරීක්ෂා කර බැලීම සඳහා ඔහුට වෛද්‍යවරයෙකු ගෙන්වා ගැනීමට අවැසි වී ඇති අතර, ඔහු සතු ව පෞද්ගලික දුරකථනයක් නොමැති වූ හෙයින් ඔහු වීදිය කෙළවරේ පිහිටි කම්හල කරා ගොස් තිබෙනවා. නමුත් විලියම් ග්‍රේ දුරකථන සමාගමේ ග්‍රාහකයෙකු (subscriber) නොවූ බැවින් කම්හල් අයිතිකරු ඔහුට දුරකථනය භාවිතා කිරීමට අවසර ලබා දී නැහැ. එහෙත් අවශ්‍යතාවය දැඩි වූ බැවින් තමන්ට දුරකථනය භාවිතා කිරීමට අවස්ථාව දෙන මෙන් බැගෑපත් වීමට ඔහුට සිදු වී ඇති අතර, අවසානයේ දී ඔහුට දුරකථන ඇමතුමක් ගැනීම සඳහා කම්හල් අයිතිකරු අවස්ථාව ලබා දී ඇත්තේ අවලාද නැගීමෙන් පසු ව යි.

ශීඝ්‍රයෙන් ප්‍රචලිත වූ දුරකථන කුටි

© Connecticut Historical Society

1891 දී විලියම් ග්‍රේ විසින් ‘ග්‍රේ දුරකථන ගෙවීම් මධ්‍යස්ථාන සමාගම’ සංස්ථාපනය කරන ලද අතර, ඒ යටතේ මඟ දෙපස ඇති කණු සහ කුඩා කුටි තුළ ගෙවුම් දුරකථන සවි කිරීමට කටයුතු කර තිබෙනවා. කෙටි කලෙකින් ම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ප්‍රචලිත වූ ගෙවුම් දුරකථන, කාලගුණික උවදුරුවලින් ආරක්ෂා කරගැනීම සඳහා දුරකථන කුටි නිර්මාණය වී ඇත්තේ මේ කාලයේ දී යි. දිගින් දිගට ම තමන්ගේ නව නිර්මාණය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කළ විලියම් ග්‍රේ, ගෙවුම් දුරකථනය ආශ්‍රිත නව නිපැයුම් සඳහා අත්පත් කරගෙන ඇති පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව ගණනින් 20 ඉක්ම වන බව යි වාර්තා වන්නේ. සංඛ්‍යා දත්ත පෙන්නුම් කරන්නේ වර්තමානයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය සතු ගෙවුම් දුරකථන සංඛ්‍යාව මිලියන 2කට අධික බව යි.

© Nick Neos

ඇමතුම ලබා ගැනීමෙන් පසු ව මුදල් ඇතුළත් කරනවා වෙනුවට පෙරගෙවුම් ක්‍රමවේදයක් සහිත ගෙවුම් දුරකථන හඳුන්වා දීම සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ ග්‍රේ දුරකථන ගෙවීම් මධ්‍යස්ථාන සමාගම සහ බටහිර ඉලෙක්ට්‍රික් සමාගම යි. ඔවුන් විසින් හඳුන්වා දෙන ලද ‘The 1911 Model 50A’ නම් වූ මාරු කාසි යොදා ක්‍රියාත්මක කළ හැකි ගෙවුම් දුරකථනය ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගත් අතර, දෙවසරක් තුළ දී නිව්යෝක් නගරය තුළ පමණක් ‘The 1911 Model 50A’ මාදිලියේ ගෙවුම් දුරකථන 25,000ක් ස්ථාපිත කර තිබෙනවා.

20 වැනි සියවස ආරම්භ වන විට එංගලන්තය ඇතුළු එක්සත් රාජධානියට ගෙවුම් දුරකථන හඳුන්වා දීම සිදු වූ අතර, වර්තමානයේ දී පවා ලන්ඩන් නුවර දී දැකගැනීමට ලැබෙන රතු පැහැති දුරකථන කුටි එංගලන්තයට හඳුන්වා දී ඇත්තේ 1921 දී යි. ‘K1’ මාදිලියට අයත් වූ එය ප්‍රමාණයෙන් තරමක් කුඩා වූ බැවින් 1924 දී ශ්‍රීමත් ජයිල්ස් ගිල්බර්ට් ස්කොට් විසින් ‘K2’ මාදිලිය සැලසුම් කර තිබෙනවා. පසුකාලීන ව එක්සත් රාජධානියේ නිර්මාණය කරන ලද සියලුම රතු පැහැ දුරකථන කුටි සඳහා පදනම සපයා ඇත්තේ ‘K2’ මාදිලිය බව පැවසීමේ වරදක් නැහැ.

 

 

කවරයේ පින්තූරය: Picture 6 (© Wallpaper Flare)

Related Articles