Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොකු පොඩි කාටත් නැතිව බැරි පෑන හා පැන්සල

කුඩා කල සිට අපට නිතර දෙවේලේ ඇසෙන වචන අතර පෑන හා පැන්සල යන වචන ඉදිරියෙන්ම සිටී. පෙර පාසල් කාලයේ සිට තරමක් ඉහළ පන්ති දක්වා ළමුන්ට පැන්සල භාවිතා කිරීමට සිදු වේ. මීට හේතුව ඔවුන් අතින් අකුරු ලිවීමේ දී සිදු වන වැරදි පැන්සලකින් ලියු විට මකා දැමීමට හැකි වීම යි. නමුත් තරමක් ඉහළ  පන්ති වල සිටින ළමුන්ට අකුරු ලිවීම සඳහා පෑන භාවිතා කිරීමට ඉඩ ලබා දේ.

පෑන යනු තීන්ත භාවිතා කර යම් මතු පිටක, විශේෂයෙන් කඩදාසිවල ලිවීමට යොදාගන්නා දිග, සිහින්, වටකුරු උපකරණය කි. පැන්සල හඳුන්වන ‘පෙන්සිල්’ ලෙස පැන්සල හඳුන්වන ඉංග්‍රීසි නාමය ‘පෙන්සිලස්’ නම් ලතින් යෙදුම හරහා  භාවිතයට පැමිණෙන ලදි. පෙන්සිලස් යන්නෙහි තේරුම කුඩා වලිගය යන්න යි. පැරණි ප්‍රංශ වදනක් වන ‘පින්සෙල්’ නම් වචනය ඔස්සේ ‘පෙන්සිල්’ වචනය නිර්මාණය වූ බවට ද මතයක් ඇත. පින්සෙල් යනු කුඩා බුරුසුව යි. පැන්සල තැනීමට අමුද්‍රව්‍ය ලෙස  ලී, ක්ලේ සහ මිනිරන් භාවිත වේ. පැන්සල් සඳහා අවශ්‍ය  මෘදු මිනිරන් සකස් කරන්නේ මිනිරන් පිටි බවට පත් කර ඒවා මැටි සමග මිශ්‍ර කිරීමෙනි. පැන්සලක් මගින් ලියන දෑ මකනයක් යොදාගෙන මකා දැමිය හැක.

පෑන හා පැන්සලේ ආරම්භය

yankodesign.com

පෑනේ ඉතිහාසය ගැන කතා කිරීමේ දී පෑන එක්‌ රැයකින් බිහි වූවක්‌ නොවේ. පෑනක්‌ මුලින්ම භාවිතා කළේ ඉන්දියානුවන් ය. ඔවුන් පෑන සාදා ගැනීමට භාවිත කරන ලද්දේ  කුරුළු පිහාටු සහ උණ කෝටු යි. මෙලෙස කුරුළු පිහාටු වලින් සකසා ගත් පෑන් රාමායනය, මහා භාරතය වැනි කෘති ලිවීම සඳහාත් භාවිතා කර ඇත .

7 වැනි ශතවර්ෂය පමණ වන විට පිහාටු පෑන වෙනුවට භාවිතා කර ඇත්තේ ඉපි පෑනයි. පකිස්‌තානයේ ශිෂ්‍යයන් ලිවීමට භාවිතා කරන්නේ ඉපි පෑනයි. ලී පුවරුවල ලිවීමට භාවිතා කරන මෙම ඉපි පෑන  සකස් කරන්නේ බම්බුවක්‌ යොදා ගෙනයි. 1787 වසරේදී ඇමරිකාවේ ව්‍යවස්‌ථාවන් රචනා කිරීම සිදු කර ඇත. මේ සඳහා භාවිත කර ඇත්තේ පිහාටු පෑනයි. කාලයත් සමග යුරෝපීයයන්ට ඉපියන් ලබා ගැනීමේ අපහසුවක් පැන නැඟුණු නිසා ඔවුන් පිහාටු පෑන දෙසට නැවත යොමු විය. පිහාටු පෑන 19 වැනි ශතවර්ෂය දක්‌වාම භාවිතා විය.

ෆවුන්ටන් පෑනක් හඳුන්වා දෙනු ලැබුවේ පෙට්රෙඩ් පොනරු නම් රුමේනියානු ශිෂ්‍යයකු විසිනි. එය හඳුන්වා දෙන ලද්දේ පැරීසියේ දී ය. පසුව 1827දී මේ සඳහා පේටන්ට් බලපත්‍රය නිකුත් කරන ලද්දේ ප්‍රංශ රජය විසිනි. 1850 ගණන් වන විට ෆවුන්ටන් පෑනට ඇති ඉල්ලුම ඉහළ යන ලදී. මේ නිසා  එහි නිෂ්පාදනය වැඩි කිරීමට සිදු විය. වර්තමානයේ වැඩි වශයෙන්ම භාවිත පෑන බවට බෝල් පොයින්ට් පෑන පත් වී ඇත. මිට හේතුව මෙම පෑන පහසු මිලකට ලබාගත හැකි වීමයි. බෝල්පොයින්ට් පෑන සඳහා මුල්ම පේටන්ට් බලපත්‍රය නිකුත් වී ඇත්තේ ජෝන් ජේ ලවුඩ්ගේ නමටයි.

pngimg.com

පැන්සලේ ඉතිහාසය ගැන කතා කිරීමේ දී, දැනට භාවිතයේ පවත්නා මිනිරන් පැන්සලට ද වසර 500ක පමණ ඉතිහාසයක් ඇත. මිනිරන් පැන්සල පළමු වරට නිපදවූයේ වර්ෂ 1565දී පමණය. පැන්සල නිපදවීමට හේතුව වුයේ එංගලන්තයේ කුම්බ්‍රියා පෙදෙසින් විශාල මිනිරන් නිධියක් සොයා ගැනීම යි. පැන්සල් නිෂ්පාදනය ආරම්භයේ සිට කාලයක් යනතුරුම ඒකාධිකාරයක් ගෙන යාමට එංගලන්තයට හැකි විය. මිනිරන් පැන්සල සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ස්විස් ජාතික කොන්රඩ් හෙනර්ටර්ටයි. පසුකාලීනව එම පැන්සල ජර්මනියේ නියුරන්බර්ග් හිදී වැඩිදියුණු කෙරිණි. වර්ෂ 1795දී මෙය තව දුරටත් වැඩි දියුණු කරන ලදී. එය සිදු කරන ලද්දේ නැපෝලියන්ගේ හමුදාවේ සිටි ප්‍රංශ නිලධාරියකු වූ නිකොලාස් ජැක් කොස්ට් විසිනි. නූතන පැන්සලේ නිර්මාතෘ ලෙස ද ඔහු සැලකේ. පැන්සල් ආකාර දෙකකට වර්ග කළ හැක. ඒ සුමට ලෙස හා දැඩිව ලිවිය හැකි පැන්සල් ලෙස යි. වෙනත් වචන වලින් නම් පළමු වර්ගය 9B ලෙසත් දෙවන වර්ගය 9H ලෙසත් දැක්විය හැක. මේවාට අතරමැදි පරාසය HB ලෙස හදුන්ව යි. මෙය වඩාත්ම ප්‍රචලිත පැන්සලයි

පෑන බිහි වීමට පෙර අකුරු ලියු හැටි

පෑන බිහි වීමට පෙර ළමුන් අකුරු ලිවීමට භාවිත කරන ලද්දේ ගල් ලෑල්ල හා ගල් කූරයි. අප පොත්පත් වල අකුරු ලියා ඒවා අවශ්‍ය වූ විට නැවත භාවිතයට ගත්ත ද ගල් ලෑල්ලේ ලියන අකුරු එසේ ගබඩා කර තබා ගත නොහැක. අලුත් අකුරු ලිවීමට නම් පරණ අකුරු මකා දැමිය යුතු වේ.

ගල් ලෑල්ල කළු සිමෙන්තියෙන් හෝ එවැනි ද්‍රව්‍යයකින් සාදන ලද ඔප දැමූ තුනී තහඩුවකි. මෙය මත ලිවීමට භාවිත කරන්නේ හීන් දිගටි ගල් කූරකි. එයින් පැහැදිලිව ලිවිය හැකිය. ගල් ලෑල්ල තිබු අවධියේ පන්ති භාර ගුරුතුමිය වෙත විශාල රාජකාරියක් පැවරේ. ඒ අලුතින් පන්තියට එන  දරුවන්ගේ ගල් ලෑලිවල, රූල් ගසා දීම යි. මේ සඳහා භාවිත කරන්නේ මිට ගැසූ ඇණයක් වැනි දිග කටුවකි. ගල්ලෑල්ල දෙපැත්තකට බෙදා රූල් ගැසීම සිදු කරයි. එක පැත්තක දික් රූල් ගසන අතර අනික්‌ පැත්තේ කොටු රූල් ගැසීම මෙහි දී සිදු වේ. ගල්ලෑල්ල හොඳින් පිරිසිදු කිරීමෙන් පැහැදිලිව ලිවීම කළ හැක. මෙය සතියකට දෙකකට වරක් හොඳින් අඟුරු වලින් මැද පිරිසිදු කිරීම ප්‍රමාණවත් වේ. එසේ කළ විට මතුපිට ඇති තෙල් ගතිය ඉවත් වේ. එහි රාමුව පිරිසිදු කිරීම සඳහා ‘කොරස’ කොළ භාවිත කරන ලදී.

පෑන් වර්ග

discountmugs.com

පෑනක්‌ ප්‍රධාන කොටස්‌වලට බෙදෙන්නේ එහි තුඩ අනුව යි.

  • අප නිතරම භාවිත කරන බෝල්පොයින්ට්‌ පෑන ක්‍රියා කරන්නේ තෙල් සහිත තීන්ත පිත්තල හෝ වානේ ටන්ස්‌ටන්වලින් සකස් කළ මි.මී. 0.7 සිට 1. 2 පමණ කුඩා ගෝලයකින් තීන්ත ආලේප කිරීමෙනු යි.
  • රොලබෝල පෑන ක්‍රියා කරන්නේ ජලය සහිත දියර තීන්ත හෝ ජෙල් බෝල්පොයින්ට් පෑනේ ආකාරයට ම ආලේප කිරීමෙනි. මෙම පෑන පහසුවෙන් කඩදාසියට උරා ගැනීම සිදු වේ.
  • උල්පත් පැනේ දි සිදු වන්නේ දියර තීන්ත පෑනෙන් විසිරී යාම යි. මෙහි විශේෂත්වය වන්නේ පෑනේ තිබෙන ටැන්කියට තීන්ත නැවත පිරවීමට හැකි වීමයි.
  • සලකුණු පෑනට කෙඳි වලින් සෑදු සවිවර තුඩක් තිබේ. කඩදාසිවල ලිවීමට භාවිත කරන්නේ කුඩා තුඩ සහිත සලකුණු පෑනයි. මධ්‍යම ප්‍රමාණයේ තුඩ සහිත සලකුණු පෑන ළමයි විසින් විවිධ කාර්යන් සඳහා යොදා ගනී. ඉන් ප්‍රධාන කාර්යක් වන්නේ වර්ණ ගැන්වීම යි. විශාල ප්‍රමාණයේ තුඩ සහිත සලකුණු පෑන භාවිත කරන්නේ කාඩ්බෝඩ් පෙට්ටිවල ලිවීමට හා සුදු පුවරුවල ලිවීමට යි.

කවරයේ පින්තුරය – stationeryinfo.com

Related Articles