Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔස්කාර් සම්මානය එපා කී කලාකරුවෝ

මේ මස හතරවන ඉරිදා සවස් යාමයේ දින ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි තියෙටර්ස් ශාලාවේදී අනූවන ඔස්කාර් සම්මාන උළෙල මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඔස්කාර් සම්මාන උළෙල, ඇකඩමි සම්මාන උළෙල නමින්ද හැඳින්වෙනවා. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ලාභීන්ගේ තොරතුරු මෙන්ම එම උළෙලේ විශේෂාංගද රැගත් ලිපියක් අප ඔබ වෙත ගෙන ආවා. ඔස්කාර් සම්මානයක් යනු කලාකරුවකුට ලැබිය හැකි උසස්ම ඇගයීමක් යනුවෙනුයි හැඳින්වෙන්නේ. නමුත් එම ඇගයීමට පාත්‍ර වීමේ භාග්‍යය ලැබුවද, සම්මානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ කලාකරුවන්ද සිටිනවා. මේ ලිපියෙන් කියැවෙන්නේ එවැනි කලාකරුවන් ගැනයි.

සල රූ කලාව සහ විද්‍යාව සඳහා වූ ඇකඩමිය හෙවත් The Academy of Motion Picture Arts and Sciences ආයතනය මගින් නළු නිළියන්, පිටපත් රචකයින්, අධ්‍යක්ෂකවරුන් ඇතුළු සිනමා කර්මාන්තයේ බොහෝ දෙනාව අගයනු ලබන්නේ දැනට වසර අනූවක සිටයි. මෙම වසර අනූවක කාලය තුළ බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ රහසක් වන්නේ බොහෝ කලාකරුවන් තමා හට ඔස්කාර් සම්මානයක් ලැබේ යැයි සිතා සිට එය නොලැබුණු විට තමා සම්මානයක් බලාපොරොත්තුවෙන් නොසිටි බව මාධ්‍ය වෙත ප්‍රකාශ කරනා බවයි. නමුත් සැබවින්ම එම සම්මාන ප්‍රතික්ෂේප කළවුන්ද හොලිවුඩයේ සිට තිබෙනවා. රනින් නිමවන ලද නයිට්වරයෙකුගේ අනුරුවක් වන ඔස්කාර් සම්මානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ කලාකරුවන් කිහිප දෙනෙකුම සිටිනවා. ඒ අතුරින් ඇතැම් සිද්ධි අදටත් හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ කතා බහට ලක් වනවා.

මාලන් බ්‍රැන්ඩෝ – 1973

“The Godfather” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සුපිරි රංගන ශිල්පී මාලන් බ්‍රැන්ඩෝ හට 1973 වසරේ හොඳම නළුවා හට හිමිවන ඔස්කාර් සම්මානය පිරිනැමීමට නියමිතව තිබුණා. මාලන් බ්‍රැන්ඩෝ වෙත සම්මානය පිරිනැමෙන බව සම්මාන උළෙලේදී නිවේදනය කළ විට ඔහු වෙනුවට වේදිකාවට ගොඩ වූයේ සචීන් ලිට්ල්ෆෙදර් (Sacheen Littlefeather) නම් වූ පෙරළිකාර තරුණ නිළියයි. එවිට නිවේදකයා ප්‍රකාශ කළේ මාලන් බ්‍රැන්ඩෝ වෙනුවෙන් ඇය විසින් එම සම්මානය පිළිගනු ඇති බවයි. නමුත් ඇමරිකාවේ ස්වදේශික රතු ඉන්දියානුවන්ගේ ප්‍රගතිශීලී ප්‍රතිරූපය පිළිබඳ ජාතික කමිටුවේ (National Native American Affirmative Image Committee) ප්‍රධානියා වූ සචීන් මයික්‍රෆෝනය වෙත ගොස් ප්‍රකාශ කර සිටියේ ඇය වේදිකාවට පැමිණියේ සම්මානය පිළිගැනීමට නොව, මාලන් බ්‍රැන්ඩෝ වෙනුවෙන් එම සම්මානය ප්‍රතික්ෂේප කිරීමට බවයි. “මාලන් බ්‍රැන්ඩෝ හට මෙම ත්‍යාගශීලී ඇගයීම පිළිගැනීමට හැකියාවක් නැහැ. මීට හේතුව වර්තමානයේ සිනමා කර්මාන්තය විසින් ස්වදේශික රතු ඉන්දියානුවන්ව චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලාවන්ට යොදා නොගැනීමේ ප්‍රතිපත්තිය ඔහු විසින් හෙළා දකිනු ලැබීමයි” ඔස්කාර් වේදිකාවේ මෙසේ ප්‍රකාශ කළ සචීන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ එම වකවානුවේදී ඇමරිකානු රජය විසින් දකුණු ඩකෝටා ප්‍රාන්තයේ වූන්ඩඩ් නී (Wounded Knee)  නැමති නගරයේ විසූ ස්වදේශික රතු ඉන්දියානු ක්‍රියාකාරීන්ට එරෙහිව දියත් කරන ලද යුදමය කටයුතු වලටද බ්‍රැන්ඩෝ සිය විරුද්ධත්වය ප්‍රකාශ කරන බැවින්, ඇමරිකානු රජයේ එම ක්‍රියා කලාපයද මෙම සම්මානය ප්‍රතික්ෂේප කිරීමට තවත් එක් හේතුවක් වන බවයි.

සචීන් සිය කතාව පවත්වමින් (todayifoundout.com)

සචීන් තම කතාව ආරම්භ කොට මද වේලාවක් යද්දී ප්‍රේක්ෂකාගාරය දෙසින් හූ හඬක් මතු වන්නට වුණා. සම්මාන උළෙලෙන් අනතුරුව ඇතැම් නළු නිළියන් ප්‍රකාශ කළේ සචීන් යනු සැබවින්ම පෙරළිකාර චරිතයක් නොවන බවයි. හොලිවුඩ් නළුවකු හා අධ්‍යක්ෂකවරයකු වන ජෝන් වේන් උත්සවයෙන් අනතුරුව ප්‍රකාශ කර තිබුණේ “කවුරුත් නොදන්නා පොඩි කෙල්ලෙකුට රතු ඉන්දියානු ඇඳුමක් අන්දවා වේදිකාවට එවනු වෙනුවට මාලන් බ්‍රැන්ඩෝම වේදිකාවට විත් එම සම්මානය ප්‍රතික්ෂේප කළ යුතුව තිබුණු” බවයි.

ජෝජ් සී. ස්කොට් – 1971

මාලන් බ්‍රැන්ඩෝ යනු ඔස්කාර් සම්මානයක් ප්‍රතික්ෂේප කළ පළමුවැන්නා නොවේ. 1970 වසරේ තිරගත වුණු “Patton” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජෝජ් සී. ස්කොට් නැමති රංගන ශිල්පියා හට හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය හිමි වුවද ඔහුද එම සම්මානය ප්‍රතික්ෂේප කළා. 1959 වසරේ තිරගත වුණු “Anatomy of a murder” චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සම්මානය සඳහා ඔහු නිර්දේශ වුවද ඔහු එම නිර්දේශයද ප්‍රතික්ෂේප කළා. ඊට දෙවසරකට පසුව, එනම් 1961 වසරේදී තිරගත වුණු “The Hustler” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්ද ඔහු හොඳම සහය නළුවාට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ වුවද ඔහු එම නිර්දේශයද ප්‍රතික්ෂේප කළේ සම්මාන වෙනුවෙ නළු නිළියන් එකිනෙකා සමග තරඟ කරවීම ප්‍රතිපත්තියක් වශයෙන් තමා හෙළා දකින බව පවසමිනුයි.

ජෝජ් සී. ස්කොට් Patton චිත්‍රපටයේ චරිතයට හිමි නිල ඇඳුමින් සැරසී සිටින ඡායාරූපයක් (history.com)

“Patton” නමුත් චිත්‍රපටයේ විශිෂ්ට රංගනය වෙනුවෙන් ඔහු හොඳම නළුවාට හිමි සම්මානයට නිර්දේශ විය යුතුම බව ඇකඩමිය තරයේ විශ්වාස කළ බැවින් ඔහු තෙවෙනි වරටත් 1971 ව්සරේදී නිර්දේශ කෙරුණු අතර, ජූරියේ තීරණයෙන් සම්මානයට තේරී පත්වී තිබුණේද ඔහුයි. නමුත් ඔහු එම සම්මානය භාර ගැනීමට එකඟ වූයේ නෑ.

ඩඩ්ලි නිකොල්ස් – 1936

1935 වසරේ තිරගත වුණු “The Informant” චිත්‍රපටයේ තිර රචනය වෙනුවෙන් හොඳම තිර රචනයට හිමි සම්මානයට හිමිකම් කී ඩඩ්ලි නිකොල්ස් යනු ඔස්කාර් සම්මානයක් ප්‍රතික්ෂේප කළ පළමුවැන්නායි. හොලිවුඩ් සිනමා කර්මාන්තයේ පැවති විවිධ වෘත්තීය සංගම් අතුරින් “Screen Writers’ Guild” හෙවත් තිර රචකයින්ගේ එකමුතුව නිල වශයෙන් පිළිගැනීමට ඔස්කාර් ඇකඩමිය අපොහොසත් වීම හෙළා දැකීමක් ලෙසින් ඔහු විසින් මෙම සම්මානය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එම සමයේදී ඔස්කාර් ඇකඩමිය ස්වාධීන සංගම් ප්‍රතික්ෂේප කළේ සම්පූර්ණ සිනමා කර්මාන්තයම වෙනුවෙන් ඇකඩමිය පෙනී සිටින බව ප්‍රකාශ කරමිනුයි. ඇකඩමිය විසින් ඉන් පසුව දෙවරක්ම නිකොල්ස් වෙත සම්මානය පිරිනැමීමට තැත් කළද ඔහු නැවතත් එම සම්මානය තැපැල් මාර්ගයෙන් ඇකඩමිය වෙත එවීමට කටයුතු කළා.

තිර රචක ඩඩ්ලි නිකොල්ස් (cheatsheet.com)

ඩඩ්ලි නිකොල්ස්ගේ වෑයම සාර්ථක කරමින් 1938 වසරේදී ඇමරිකාවේ ජාතික කම්කරු කටයුතු මණ්ඩලය විසින් තිර රචකයින්ගේ සංගමය සිනමා කර්මාන්තයේ නියෝජිත සංගමයක් ලෙසින් නම් කළා. ඉන් පසුව ඩඩ්ලි නිකොල්ස් තමාට හිමි සම්මානය පිළිගත්තා.

කවරයේ ඡායාරූපය – www.history.com  (මාලන් බ්‍රැන්ඩෝ සම්මානය සචීන් විසින් ප්‍රතික්ෂේප කෙරුණු අවස්ථාව)

තොරතුරු උපුටා ගැනීම – www.history.com වෙබ් අඩවියේ “Academy Award Winners Who Rejected Their Oscars” ලිපිය ඇසුරිනි.

Related Articles