ලංකාවේ ගම්මිරිස් වගාව ගැන දැනගනිමු

කුළුබඩුවල රජු යන අනවර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබන ගම්මිරිස් ඉතාමත් ඉහළ වාණිජ්‍යමය වටිනාකමක් තිබෙන භෝගයක්. එම නිසා එක් යුගයක ගම්මිරිස් භෝගය ‘කළු රත්තරන්’ ලෙස ද හඳුන්වනු ලැබුවා. මෙම වටිනා භෝගයේ නිජබිම වුණේ ඉන්දියාව යි. එදා ගම්මිරිස් ඇතුළු කුළුබඩුවල වටිනාකම පිළිබඳව දැනගත් යුරෝපීය ජාතීන් ඒවා සොයාගෙන පෙරදිග රටවල්වලට පැමිණියා. 1498 වසරේ මැයි මස 20 වැනිදා ඉන්දියාවේ කැලිකට් වරායට පැමිණි වස්කෝ ද ගාමා, ‘අපි ක්‍රිස්තියානීන් සහ කුළුබඩු සොයා පැමිණියෙමු’ යනුවෙන් පවසා සිටියා.

වස්කෝ ද ගාමා (life.lk)

ගම්මිරිස්වල ඉතිහාසය පිළිබඳව කෙටියෙන් 

ක්‍රි.පූ 2000දී පමණ ඉන්දියානුවන් කුළුබඩුවක් ලෙසින් ගම්මිරිස් භාවිතා කළ බවට සාක්ෂ්‍ය හමුව තිබෙනවා. එසේම ක්‍රි.පූ 1213 දී මියගිය දෙවන රැම්සෙස් රජුගේ මමිය සැරසීම සඳහා ගම්මිරිස් ඇට යොදාගෙන තිබුණා. ඉන් පැහැදිලි වන්නේ ඊජිප්තු ජාතිකයන් ද ඈත අතීතයේ සිටම ගම්මිරිස් භාවිතා කර තිබුණු බව යි. 

අප රට තුළත් ඈත අතීතයේ සිටම ගම්මිරිස් භාවිතා කර තිබෙනවා. එසේම ඈත අතීතයේ දී ගම්මිරිස් මෙරට මුදල් ඒකකයක් ලෙස ද භාවිතා වී තිබුණේ එහි තිබුණු ඉහළ වාණිජමය වටිනාකම නිසා යි. පැරැන්නන් දෑවැද්ද සඳහා ද මුදල් වෙනුවට ගම්මිරිස් ලබා දී තිබුණු බව ද පැරණි පොත පතෙහි සඳහන් වනවා. තව ද අප රටෙන් පිටරටවලට යැවූ කුරුඳු නැව්වල තිබුණු කුරුඳු විනාශ වීම වලක්වා ගැනීම සඳහා කුරුඳු සමග ගම්මිරිස් අසුරා තිබුණු බව පෝල් පීරිස් විසින් ලියූ ලංකාවේ පෘතුගීසි යුගය පොතේ සඳහන් වනවා. 

ගම්මිරිස් වගාවට හිතකර දේශගුණික සාධක 

ගම්මිරිස් භෝගය සෑම දේශගුණයකටම ඔරොත්තු දෙන්නේ නැහැ. එයට වඩාත් හිතකර දේශගුණික තත්ත්වයන් තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 800ක් තරම් උසකින් පිහිටා තිබෙන බිම් ප්‍රදේශ ගම්මිරිස් වගා කිරීම සඳහා වඩාත් සුදුසු යි. එසේම ඊට සෙල්සියස් අංශක 20-30 අතර උෂ්ණත්වය පරාසයක් වඩාත් යෝග්‍ය වනවා. නමුත් මෙම වගාව සඳහා ගැලපෙන මූලික උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක 15-35 අතර පවතිනවා. 

ගම්මිරිස් වගාව සිදුකිරීම සඳහා මි.මී. 1750ට වැඩි වාර්ෂික වර්ෂාපතනයක් තිබිය යුතු යි. අතිරේක ජල සම්පාදනය සඳහා පහසුකමක් නොමැති නම් දීර්ඝ නියඟ සහිත ප්‍රදේශ ගම්මිරිස් වගාවට යොදා නොගත යුතු යි. මල් හට ගැනීම උත්තේජනයට සහ පරාගනයට පැහැදිලි වියළි කාලයක් සහ ප්‍රමාණවත් වර්ෂාපතනයක් තිබිය යුතු යි.

ගම්මිරිස් වගාවට හිතකර පාංශු තත්ත්වය

කාබනික ද්‍රව්‍යය හොඳින් අඩංගු වන, හොඳින් ජලය බැස යන මැටි ලෝම පසක් ගම්මිරිස් වගාවට වඩාත් හිතකර යි. එසේම නොමේරූ දුඹුරු ලෝම පස, රතු පැහැයට හුරු දුඹුරු ලැටසොලික් පස, සහ රතු කහ පොඩ්සොලික් පස මෙම වගාවට වඩාත් යෝග්‍ය යි. නමුත් මැටි පස මෙම වගාවට සුදුසු වන්නේ නැහැ. ඒ, මැටි පස මුල් වර්ධනය සීමා කර කෙටි වියළි කාලවල දී තෙතමන ආතතිය ඇති කරන නිසා යි. එසේම දුර්වල ජලවහනයක් ඇති ඛාදනය වුණු නොගැඹුරු පස් මෙම වගාවට සුදුසු වන්නේ නැහැ. තව ද ගම්මිරිස්  වගාව සඳහා භාවිතා කරන භූමියක පසෙහි තිබිය යුතු pH පරාසය 5.5-6.5 අතර පවත්වා ගත යුතු යි.

ලංකාවේ බහුලවම ගම්මිරිස් වවන ප්‍රදේශ 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ගම්මිරිස් වගා කරනු ලබන්නේ පහතරට හා මැදරට තෙත් සහ අතරමැදි කෘෂි දේශගුණික කලාපවල යි. ඒ අනුව කුරුණෑගල, මාතලේ, මහනුවර, කෑගල්ල, බදුල්ල, රත්නපුර, මොණරාගල යන දිස්ත්‍රික්ක ගම්මිරිස් වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක ලෙසින් දැක්විය හැකියි. ගම්මිරිස් භෝගය පොල් සමග අතුරු භෝගයක් ලෙසින් වගා කර හැකියි. එම නිසා බොහෝ විට පොල් වතුවල ගම්මිරිස් අතුරු භෝගයක් ලෙස වගා කිරීම සිදුවනවා. එසේම අද වන විට හෙක්ටයාර 42000කට වැඩි බිම් ප්‍රමාණයක ගම්මිරිස් වගාව සිදුකරනවා.

ගම්මිරිස් වත්තක් (sambole.lk)

ගම්මිරිස් ප්‍රභේද 

අතීතයේ සිටම ලංකාව තුළ දේශීය ගම්මිරිස් වර්ග රැසක් දක්නට ලැබුණා. නමුත් 70 දශකයේ දී මෙරටට පැනියුර්-1 නම් ඉන්දියානු ගම්මිරිස් ප්‍රභේදයත්, කුචින් නම් මැලේසියානු නම් ගම්මිරිස් විශේෂයත් හඳුන්වා දුන්නා. දේශීය ගම්මිරිස් ප්‍රභේද තත්ත්වයෙන් උසස් වුණත් ඒවාගේ පැල වර්ග සොයාගැනීම තරමක් අපහසු යි. එම නිසා අප රට තුළ බහුලවම වගා කරන්නේ පැනියුර්-1 සහ කුචින් යන ප්‍රභේදවලට අයත් ගම්මිරිස් පැල යි. පසුගිය කාලයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඩිංගි රාල, බූටෑවේ රාල, සහ කොහුකුඹුරේ රාල නමින් දෙමුහුම් ගම්මිරිස් ප්‍රභේදයන් 3ක් හඳුන්වා දුන්නා. එම ප්‍රභේදයන් ත්‍රිත්වයම පැනියුර්-1 ප්‍රභේදය සහ දේශීය ප්‍රභේද මුහුම් කර සාදා තිබුණා.

පැනියුර්-1 ගම්මිරිස් ප්‍රභේදය (adahari.com)

නිෂ්පාදන සහ ප්‍රයෝජන 

ගම්මිරිස් නම් භෝගයෙන් විවිධ නිෂ්පාදනයන් කරනු ලබනවා. එසේම ගම්මිරිස් භෝගයෙන් ප්‍රයෝජන රැසක් ලබාගන්නවා. පහත දක්වා ඇත්තේ ඒ පිළිබඳව යි.

1) මුළු ඵලයම වියලීම මඟින් කළු ගම්මිරිස් ලෙසින් නිපදවනු ලබයි. 

2) පිටත ගම්මිරිස් ඵලාවරණය ඉවත් කිරීමෙන් සුදු ගම්මිරිස් නිපදවන අතර එය කැබලි කරන ලද හා ඇඹරූ ආකාරවලින් ද ලබා ගත හැකියි.

3) හරිත හා ඉදුණු ගම්මිරිස් කුඩා ප්‍රමාණයක් ලුණු අච්චාරු දැමීම සිදු කරන අතර, විජලනය කළ අමු ගම්මිරිස් සහ කල්තබා ගැනීමට සකස් කළ ඉදුණු ගම්මිරිස් ද වෙළඳාම සඳහා භාවිතා කරයි. 

4) ගම්මිරිස් තෙල් සහ ඔලියෙරොසින් ද අගය එකතු කළ නිෂ්පාදන ලෙස අලෙවි කරනු ලබයි.

5) ගම්මිරිස් ප්‍රධාන වශයෙන් ආහාර කර්මාන්තයේ දී කුළුබඩුවක් සහ රසකාරකයක් ලෙස භාවිතා කරයි. තව ද එය සුවඳ විලවුන් හා ඖෂධ කර්මාන්තවල දී යොදාගනු ලබයි.

6) දේශීය වෛද්‍ය විද්‍යාවේ දී ඖෂධයක් ලෙසින් භාවිතා කරයි.

සුදු ගම්මිරිස් (Daraz)

වැළඳෙන රෝග සහ හානි කරන පළිබෝධකයන් 

ගම්මිරිස් වගාවට ප්‍රධාන වශයෙන් හානි කරන පළිබෝධකයන් සිව්දෙනෙකු සිටිනවා. එසේම ගම්මිරිස් වගාවට සුලභවම වැළඳෙන රෝග 3ක් තිබෙනවා. පහත දක්වා ඇත්තේ එම පළිබෝධකයන් සහ රෝග පිළිබඳව තොරතුරු යි.

කඳන් විදින කුරුමිණියා 

මෙම කුරුමිණියාගේ කීටයා කඳ තුළට ඇතුල් වී අභ්‍යන්තර කොටස් ආහාරයට ගනු ලබනවා. එම නිසා සම්පූර්ණ වැල හෝ වැල් කොටසක් කහපාට වීම සහ මැලවීම සිදුවනවා. කුඩා රවුම් සිදුරු වැල් මත තිබීම සහ වියලී ගිය ගම්මිරිස් පත්‍ර හා පුරුක් වැලෙන් වෙන් නොවී, බිමට නොවැටී, වැල මතම රඳා පැවතීම හානියේ ලක්ෂණයන් ලෙස නිරීක්ෂණය කළ හැකියි. එහි දී කඳ පලා බැලූ විට ඇතුළත කොටස් කා දමන, පාද රහිත,  ක්‍රීම් පැහැති කීටයන් දැකිය හැකියි. කඳන් විදින කුරුමිණියාගෙන් සිදුවන හානිය පාලනය කිරීම සඳහා පහත සඳහන් දේවල් කළ යුතු යි.

1) කෙෂ්ත්‍රයේ වල් මර්ධනය.

2) ගම්මිරිස් මුල අසල අඩි දෙකක් පමණ වට රවුම උදලු ගා සම්පුර්ණයෙන්ම වල් ඉවත් කිරීම.

3) පොලව සමග ස්පර්ශ වන ධාවක සහ හරස් අතු කපා ඉවත් කිරීම, සිදුරැ පවතීනම් එම වැල් කොටස් හානි වුණු සිදුරට අඩි එකක් පමණ පහලින් කපා දමා ඒවා එකතු කර වහාම ගිනි තබා විනාශ කිරීම. 

4) නිර්දේශිත කෘමිනාශකයක් යෙදීම.

රේන්ද මකුණා 

වසරේ සෑම කාලයකම පාහේ ක්ෂේත්‍රයේ දැකිය හැකියි. වර්ෂාවත් සමගම මෙම සතුන්ගේ සංඛ්‍යාවේ සීඝ්‍ර  වර්ධනයක් සිදුවනවා. වැඩුන සතා සහ ශිෂුවන් ගම්මිරිස් වැල්වල පත්‍රවලින් හා ලපටි කරල්වලින් යුෂ උරා බොනවා. යුෂ උරා බිවු පත්‍රවල සහ හා ලපටි කරල් මත දුඹුරු පැහැති ලප ඇතිවන ආකාරය දැකිය හැකියි. නොමේරූ කරල්වල හානි කළ ස්ථානවල බීජ හට නොගන්නා හෝ අඩු බිජ ප්‍රමාණයක් හටගන්නා අතර බොහෝ විට කරල් වියලී වැටී යනවා. කරල් හට ගන්නා අවස්ථාවේ දී මෙම හානිය නිසා අස්වැන්න ද අඩු වීමට පුළුවන්. ශෂ්‍ය විද්‍යාත්මක පිළිවෙත් වන සෙවන ශාක ක්‍රමානුකූලව නඩත්තු කිරීම සහ වල් මර්ධනය රේන්ද මකුණා මර්ධනය සඳහා ඉතා වැදගත්. හානිය ඉතා අධික ක්ෂේත්‍රවලට පමණක් කරල් හට ගැනීම ආරම්භයත් සමග නිර්දේශිත කෘමිනාශකයක් යෙදිය යුතු යි.

මුල් ආශ්‍රිත පිටි මකුණා 

ගම්මිරිස් වැලේ පසට යටවුණු කොටසේ කඳෙහි සහ මුල්වල සුදු පැහැති පිටි මකුණන් සමූහ වශයෙන් ජීවත් වෙනවා. ‍ඔවුන් මුල්වලින් ජලය සහ පෝෂණය උරාබීම නිසා ගම්මිරිස් වැලට ජලය හා පෝෂණ ඌණතා ඇතිවී වැල් කහ පැහැ ගැන්වී, මැලවී පසුව එම වැල් මැරී යනවා. එය පාලනය කිරීම සඳහා පහත ක්‍රම අනුගමනය කළ හැකියි. 

1) නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතය, 

2) යහපත් කලමනාකරණ පිළිවෙත් අනුගමනය කිරීම 

3) ගම්මිරිස් මුල අසල අඩි දෙකක් පමණ වට රවුම උදලු ගා සම්පුර්ණයෙන්ම වල් ඉවත් කිරීම.

4) කෙෂ්ත්‍රයේ වල් මර්ධනය සහ නිර්දේශිත පොහොර යෙදීම මගින් ගම්මිරිස් වැල්වල ශක්තිමත් බව වැඩි කිරීම. 

5) පිටි මකුණන් ප්‍රචාරණය වනු ලබන්නේ කූඹින් මඟින්. එම නිසා ගම්මිරිස් වැල් ආශ්‍රිතව කූඹින් සිටී නම් ඔවුන් මර්ධනය කළ යුතු යි.

6) වැලේ පාදස්ථ කොටස පිරිසිදු කර නිර්දේශිත කෘමිනාශකයක් භාවිතා කළ යුතු යි.

පැලමැක්කන් 

මොවුන්ගේ ශිෂුවා සහ වැඩුණු කෘමියා පත්‍රවල යට පැත්තේ සිට යුෂ උරා බොනවා. පැලමැක්කන්ගේ හානියට ලක්වුණු පත්‍රවල දාර ඇතුළට හැකිලෙනු දක්නට පුළුවන්. ගම්මිරිස් වගාවන්වලට මෙම කෘමියා එතරම් හානියක් නොකළත් පැල තවාන්වලට ගැටළුවක් විය හැකියි. තවානේ පැල හානියට ලක්වුණු විට පත්‍ර කුඩා වී හැඩය වෙනස් වෙනවා. 

මේ කෘමියා පාලනය සඳහා හානියට ලක් වුණු පැල තවානෙන් වෙන්කර යු තුයි. එසේම හානි වුණු පත්‍ර කඩා ඉවත් කර ගිනි තබා විනාශ කළ හැකියි. හානිය ඉතා අධික නම් සම්පූර්ණ පැලයම විනාශ කිරීම වඩාත් යෝග්‍ය යි. මෙම උවදුරෙන් බේරීම සඳහා නිර්දේශිත කෘමිනාශක වර්ගයක් යොදාගත හැකියි.

ගම්මිරිස් කහ මොට්ල් වෛරස් රෝගය 

ගම්මිරිස් සඳහා වඩාත්ම හානිකර රෝගය වන්නේ ගම්මිරිස් කහ මොට්ල් වෛරස් රෝගය යි. ආරම්භයේ දී කහ පැහැති ලප ළපටි පත්‍ර මත දැකිය හැකි අතර පසුකාලීනව කහ විචිත්‍ර පැල්ලම් සහිත කුඩා, අක්‍රමවත් පත්‍ර, අඩක් පුරවා ඇති ඇට සහිත කුඩා කරල් රෝග ලක්ෂණ ලෙස නිරීක්ෂණය කළ හැකියි. ගම්මිරිස් රේන්ද මකුණා, පිටි මකුණා, සහ ආසාදිත රෝපණ ද්‍රව්‍ය හරහා මෙම රෝගය ව්‍යාප්ත වීම සිදුවෙනවා. මෙම රෝගය පාලනය කිරීම සඳහා නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීම, ආසාදිත ශාක විනාශ කිරීම, සහ රෝගවාහකයන් පාලනය කිරීම කළ යුතු යි.

ක්ෂණික මැලවීම 

Phytophthora capsici නම් දිලීරය මඟින් මෙම රෝගය ඇතිවනවා. එම දිලීරය ශාකයේ පාදම මුලින්ම ආසාදනය වීමෙන් පසුව වැලෙහි පාදස්ථ කොටස් කුණුවී එය මූල පද්ධතියට ද පැතිරී යනවා. ආසාදනයට ලක්වුණු විට ශාක මැලවී, සති 2-3ක් තුළ මියයනවා. ජලාපවහනය වැඩිදියුණු කිරීම සහ සෙවන පාලනය කර ගැනීමෙන් රෝගය වළක්වා ගත හැකියි. එසේම රෝගී ආසාදිත ශාක කොටස් ඉවත් කර බෝඩෝ මිශ්‍රණය හෝ වෙනත් දිලීර නාශකයක් වැලෙහි පොළොවට ආසන්න කොටසට ඉසිය යුතු යි.

සෙමෙන් මැලවීම 

සෙමෙන් මැලවීම හේතුවෙන් ගම්මිරිස්වල අස්වැන්න 20-30% පමණ අඩු වනවා. යාන්ත්‍රික හානි, නෙමටෝඩාවන්, සහ කෘමි හානි හා දිලීර ආසාදන මඟින් මූල පද්ධතියට වන හානිය ගම්මිරිස් සෙමෙන් මැලවීමට හේතු වෙනවා. නෙමටෝඩාවන් වළක්වා ගැනීම සඳහා කාබොෆියුරාන් ග්‍රෑම් 03ක් බඳුනට හෝ කාබොෆියුරාන් ග්‍රෑම් 30ක් රෝපණවලට එක් කළ යුතු යි. වසරකට සිව් වතාවක් පාහින ලද ග්ලයිසීඩියා යෙදීම මඟින් නෙමටෝඩාවන් සැලකිය යුතු ලෙස අඩු කරන බව පර්යේෂණාත්මක සාක්ෂ්‍ය සනාථ කර තිබෙනවා. රෝගයේ තත්ත්වය බරපතල නම්, ආසාදිත ශාක උදුරා දමා විනාශ කළ යුතු යි. එසේම නිසි ලෙස පාංශු සංරක්ෂණය කිරීම සහ පසෙහි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයන් පවත්වා ගැනීම කළ යුතු යි.

කවරයේ ඡායාරූපය- Youtube

මූලාශ්‍රයයන්- dea.gov.lk

Related Articles