Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවන් යානයක් නිරුපද්‍රිත ව ගොඩබෑ සාමාන්‍ය වැසියා

ගුවන් යානයක් හැසිරවීම ඉතා අපහසු මෙන් ම සංකීර්ණ කාර්යයක් වෙනවා. ලොව වඩාත් ආරක්ෂාකාරී ප්‍රවාහන මාධ්‍යය ලෙස සැලකුණ ද ඉතා සුළු අතපසුවීමකින් ගුවන්යානයක ගමන් ගන්නා මගීන් සියලු දෙනාගේ ම දිවි අහිමි වීම සිදුවිය හැකි යි. කෙතරම් පෙර සූදානම් වීමක් තිබුණත්, ඒ සියල්ල අපතේ යවමින් භයානක ගුවන් අනතුරු සිදු වූ අවස්ථා කිහිපයක් ම, ගුවන් ගමන්වල ඉතිහාසය පිරික්සීමේ දී අපට හඳුනා ගන්නට පිළිවන්. ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියා කිරීම නිසා එවැනි අනතුරු රාශියක් සිදුවීම වැලකුණු අවස්ථා ද තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයෙන් ගුවන්යානා සම්බන්ධ අසාමාන්‍ය සිදුවීමක් පසුගිය දා වාර්තා වුණා. ගුවන්යානා පිළිබඳ ව සාමාන්‍ය දැනුමක් හෝ නොමැති ඩැරන් හැරිසන් නම් සිවිල් වැසියෙක් සෙස්නා 208 වර්ගයේ ගුවන්යානාවක් හසුරුවමින්, එය නිරුපද්‍රිත ව ගුවන් තොටක් වෙත ගොඩබෑමට සමත් වුණා. ඒ එහි නියමුවා හදිසියේ අසනීප වීම නිසා යි.

 ඩැරන් හැරිසන් (දකුණේ) ගුවන් පාලක නිලධාරී රොබට් මෝගන් සමග- Robert Morgan/Federal Aviation Administration

 

හදිසි අවස්ථාවක්

හැරිසන් සහ තවත් අයෙක් පසුගිය මැයි මස 10 වනදා බහමාස් හි ලියොනාඩ් තොම්සන් ගුවන්තොටින් පිටත් වූයේ කුඩා ගුවන්යානයක් වූ සෙස්නා 208 වර්ගයේ ගුවන් යානයක නැගී යි. එහි වූයේ මොවුන් දෙදෙනා හා යානය පැදවූ ගුවන් නියමුවා පමණ යි. යානය ෆ්ලොරීඩා ගුවන් සීමවට ප්‍රවිෂ්ඨ වූ අතර, මද වේලාවක් ගත වන විට ගුවන් නියමුවා තදබල අසනීපයක ලක්ෂණ පෙන්නුම් කළා. ඔහු සිය ගුවන් මගීන් දෙදෙනාට ප්‍රතිචාර දැක්වීම ද සිදු නොකළ අතර, කිසිදු ආකාරයකින් ගුවන් යානය හසුරවාගත නොහැකි තත්ත්වයක සිටින බැව් හැරිසන් හා ඔහුගේ ගමන් සගයාට වැටහී ගියා. ඉක්මනින්ම ක්‍රියාත්මක වූ හැරිසන් වහා ම ෆ්ලොරීඩාවේ පෝට් පියර්ස් හි ගුවන් යානා හැසිරැවීමේ කාර්යමණ්ඩලය එහි වූ රේඩියෝව මගින් අමතා, තමන් හදිසි තත්ත්වයක සිටින බැව් දැන්වූවා.

ගුවන් යානයක නියමුවා, පියාසැරිය අතරතුර අසනීප වීම ඉතා බරපතල කාරණාවක් වෙනවා. සාමාන්‍යයෙන් ගුවන් ගමනක දී යානය හැසිරැවීමට දන්නා අය අවම වශයෙන් දෙදෙනෙක් රැගෙන යන්නේ එබැවින්. මෙම අවස්ථාවේ දී මෙය සැහැල්ලු ගුවන් යානයක් වීම යන කාරණය මත, එහි යානා පැදවීමට දන්නා අයෙක් ලෙස සිටියේ එහි නියමුවා පමණයි.

මගීන් දෙදෙනා ම ගුවන්යානා හැසිරැවීම පිළිබඳ කිසිවක් දැන සිටියේ නැහැ. මෙම අවස්ථාව ඉතා හදිසි තත්ත්වයක් ඇතිකරන්නක් වන අතර, එය යානය අනිවාර්යය කඩාවැටීමකට ලක් වී තිදෙනා ම මිය යාමේ විශාල සම්භාවිතාවක් ඇති අවස්ථාවක් බැව් කාට කාටත් වැටහී තිබුණා. තත්ත්වය වඩාත් භයානක කරමින්, කෙටි වේලාවකින් එහි පාලනය ගිලිහී, එහි ඉදිරි මුහුණත පහළට සිටින පරිදි ගමන් කරන්නට වුණා.

 සෙස්නා 208 යානයේ පාලක පද්ධතිය – Wikimedia Commons

 

ඉක්මනින් ක්‍රියාත්මක වීම

ගුවන් යානා හැසිරැවීම සම්බන්ධයෙන් කිසිවක් නොදත්තේ වුව ද, ඩැරන් හැරිසන් ගුවන් අනතුරක් සිදුවන්නට යන විට සිදු කළ යුතු මූලික කර්තව්‍යයන් දැන සිටියා. වහාම සිය ගමන් සඟයා ඇමතූ ඔහු, කලබල නොවී තමන්ට උදව් වෙන ලෙස පවසා, යානයේ පණිවිඩ හුවමාරු යන්ත්‍රය ඔස්සේ, ෆ්ලොරීඩා හි පෝට් පියර්ස් ගුවන් යානා පාලක මධ්‍යස්ථානය ඇමතීමට සමත් වුණා. ඒ එහි හදිසි අවස්ථාවක් ඇති වූ බැව් හැඟවෙන ‘මේ ඩේ’ ආමන්ත්‍රණයත් සමගින්.  වහාම ක්‍රියාත්මක වූ පෝට් පියර්ස් හි ඒ වන විට සේවයේ නියුතුව සිටි යානා හසුරුවන්නා වන ක්‍රිස්ටොෆර් ෆ්ලෝරස් යානයේ වර්ගය හඳුනා ගෙන, නිසි උපදෙස් ලබාදීම ආරම්භ කළා.

හැරිසන් හා සගයා යානයේ වර්ගය හෝ හරි හැටි නොදැන සිටි අතර, එහි අභ්‍යන්තර ස්වරූපය අනුව යානයේ වර්ගය අනුමාන කළ ෆ්ලෝරස් පියවරෙන් පියවර, එය හසුරුවාගන්නා ආකාරය පිළිබඳ ව හැරිසන් දැනුම්වත් කරීම ආරම්භ කළා. හැරිසන්ට තමන් සිටින ඉසව්ව, මග පෙන්වන උපකරණ භාවිතයෙන් හඳුනාගැනීමේ හැකියාවක් නොවූ අතර, ප්‍රශ්න කිරීම් මගින් ඔහුට ෆ්ලෝරීඩා වෙරළතීරය දෘෂ්‍යමාන  වන බැව් ෆ්ලෝර්ස් වටහා ගත්තා. යානයේ වූ විවිධ උපකරණ හසුරුවාගෙන එය පාලනය කරගන්නා ආකාරය පිළිබඳ ව ෆ්ලෝරස් හැරිසන්ට පියවරෙන් පියවර උපදෙස් දුන් අතර, ඔහු ඒවා හොඳින් පිළිපැද්දා. මේ අනුව ඉක්මනින්ම යානය භූමිය හා සමපාත වූ අතර, වෙරළ තීරය ඔස්සේ වමට හෝ දකුණට යන ලෙසට හැරිසන්ට මීලඟ උපදෙස ලැබුණා. ඔහු එය හොඳින්ම ඉටු කළ අතර, මේ හේතුවෙන් යානය තිබෙන ස්ථානය නිවැරදි ව හඳුනාගන්නට ෆ්ලෝරස් සමත් වුණා.  

ආසන්නත ම ගුවන්තොටෙන් උපදෙස්

ෆ්ලෝරස් මෙම යානයට ආසන්නත ම ගුවන්තොට වන්නේ පාම් බීච් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බැව් වටහා ගත්තා. හැරිසන් තමන් අමතා මිනිත්තු 10 ක් ගතවන විට, ඔහු ඉතා හොඳින් හා කලබලයකින් තොර ව උපදෙස් පිළිපදින බැව් හා යානය පාලනය වී ඇති බැව් වටහාගත් ෆ්ලෝරස්, එහි පාලනය හා උපදෙස් දීම පාම් බීච් ගුවන්තොටුපොළෙහි යානා පාලක මධ්‍යස්ථානය වෙත පැවරුවා. ඒ එය එම ගුවන්තොටුපොළට ගොඩබස්සවා ගන්නා ලෙස උපදෙස් දෙමින්. එහි ඒ වන විට කාර්යයේ නියුතු රොබට් මෝගන්ට සෙස්නා 208 ගුවන් යානා පිළිබඳ ව එතරම් දැනුමක් තිබුණේ නැහැ. මේ නිසා වහාම එහි පාලක උපකරණ පවතින කුටීරයේ ඡායාරූපයක් ගෙන්වාගෙන, එය අධ්‍යයනය කරමින් හැරිසන්ට උපදෙස් දීම ඔහු ආරම්භ කළා.

හැරිසන් ඔහු අමතා, තමන් එම යානය ගැන කිසිත් නොදන්නා බව හා, එය ගුවන්තොටුපොළකට ගොඩබස්වන ආකාරය පිළිබඳ ව කිසිදු අදහසක් නැති බැව් ප්‍රකාශ කල ද, හැරිසන් සතු වූ ඉවසීම හා, දුන් උපදෙස අකුරට ම පිළිපැදීමේ ගුණය නිතරම විද්‍යමාන වීම නිසා මෙය කිසිදු උපද්‍රවයකින් තොර ව තම ගුවන්තොටට ගොඩබැස්විය හැකි බවට විශාල විශ්වාසයක් මෝගන් තුළ ගොඩ නැඟුණා. මේ නිසා අදාළ අවථාව එළැඹි විට, යානයේ එංජින් බලය අඩු කොට, එය තම ගුවන් පථය වෙත දිශාගත කළ යුතු ආකාරය පිළිබඳ ඔහු හැරිසන්ට උපදෙස් දුන්නා. මේ අතර ඒ වන විට පාම් බීච් ගුවන්තොටුපොළෙහි සේවයේ නියුතු අනෙකුත් පාලක නිලධාරීන්, එහි වූ අනෙක් සියලු ගුවන් ගමන් මඳකට නවතා ලූයේ, හැරිසන්ට යානය ගොඩබැස්සවීමේ දී වන අපහසුව හැකි උපරිමයෙන් මඟහරවා දැමීම සඳහා යි.

 යානය සාර්ථක ව ගොඩබැස්වීමෙන් පසු – WPTV

 

සාර්ථක ගොඩබෑමක්

මෝගන් ගේ උපදෙස් පරිදි හැරිසන් යානය පාම් බීච් ගුවන් පථය වෙත ගොඩබස්සවන්නට වුණා. මෙය කාටකාටත් ඉතා දැඩි තිගැස්මක් ඇති කළ අවස්ථාවක් වුණා. කෙසේ නමුත් කිසිදු ගැටලුවකින් තොර ව, සාමාන්‍ය ගුවන් නියමුවෙක් යානය ගොඩබස්වන ආකාරයට ම, එය ගොඩබෑමට හැරිසන් සමත් වුණා. මේ අනුව සිදුවන්නට ගිය විශාල අනතුරක් වැලකී ගියා. වහාම හැරිසන් වෙත දිව ගිය මෝගන් ඔහුට සුබපැතුවා. ගුවන් නියමුවා වහාම රෝහල් ගත කරන්නටත් පියවර ගැනුණා.

පසුවදන

39 වියැති ඩැරන් හැරිසන් මේ අත්දැකීමට මුහුණපා තිබුණේ, බහාම්ස් හි නිවාඩුවක් ගත කර, ලේක්ලන්ඩ් හි පිහිටි සිය නිවස කරා නැවත එන විට යි. හදිසි අවස්ථා වල ඉතා සන්සුන් ව සිටීමේ ගුණය ඔහුට මනාව පිහිටා ඇති බැව් ඔහුගේ සමීපතමයන් පවසනවා. ෆ්ලෝරීඩා බලධාරීන් ඔහු හා රොබට් මෝගන්ට ශුභාසිංශන පිරිනමා ඇති අතර, මෙය ෆ්ලෝරීඩා හි ගුවන් ගමන් ඉතිහාසය තුළ සදානුස්මරණීය අවස්ථාවක් බව බලධාරීන්ගේ මතය යි.

 කවරයේ පින්තූරය - සෙස්නා 208 ගුවන්යානයක්- aviation24.be 

මූලාශ්‍ර:

Edition.cnn.com

Theguardian.com

Allthatsinteresting.com

Related Articles