Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආන්දෝලනයකට තුඩු දුන් එක්සත් ජනපදයේ ලිංගික සාද

ඕනෑම රටකට අනන්‍ය වූ සංස්කෘතික සහ සමාජමය බැඳීම් තිබෙන බව අපි හොඳින් දනිමු. එවැනි බැඳීම්වලින් මිදී නිදහස සහ සතුට සොයා යාමට මිනිසුන් උත්සහ කළ අවස්ථා පිළිබඳවත් ඉතිහාසය පුරාවට සඳහන් වේ. සමහර එවැනි ප්‍රයත්න අන් අයගේ ප්‍රශංසාවට ලක් වූ නමුත් තවත් සමහර ඒවා පිළිබඳ සමාජයෙන් එල්ල වූයේ විරෝධයකි.

මීට සියවසකට පමණ පෙර අමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ නගරවල ආරම්භ වූ ‘ලිංගික සාද’ පිළිබඳව ද බොහෝ දෙනකු තුළ ඇති වූයේ අප්‍රසාදයකි. මෙම සාදවල දී තරුණ තරුණියන්, සහකරුවන් සහ සහකාරියන් කිහිප දෙනකුගේ පහස ලැබූ නමුත් ඒවා කිසිවිටෙක බරපතල ලිංගික සබඳතා නොවී ය. මෙම ලිපිය එකල මහත් ආන්දෝලනයකට තුඩු දුන් ලිංගික සාද පිළිබඳව යි.

‘Petting’ සාදයක් අතරතුර – www.timeline.com

ආරම්භය

ඒ 1920-30 දශකය වූ අතර අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ ඇතුළු නගර ගණනාවක විශාල වශයෙන් ව්‍යාප්ත වූ ලිංගික සාද පිළිබඳ සමාජය තුළ විශාල කතාබහක් ඇති විය. මෙම සාදවලට සහභාගී වූ තරුණ පෙම් යුවළ මත්පැන් පානය කරන්නටත්, වැලඳගන්නටත් වූහ. ටික වෙලාවකින් එකිනෙකා සිප ගත් ඔවුහු තවත් සුළු මොහොතකින් සිය සහකරු හෝ සහකාරිය වෙනත් අයකු සමග හුවමාරු කරගත්හ.

ඊව් බ්ලූ ගේ අත්දැකීම

එකල විශ්වවිද්‍යාල සිසුවියක් වූ ඊව් බ්ලූ දෙසැම්බර් මාසයේ දිනක විනෝදය සඳහා මෙවැනි සාදයකට පැමිණියා ය. සහභාගී වන පළමු සාදය අතරතුර ඇය පිරිමින් හය දෙනකු ස්පර්ශ කරමින් සිප වැලඳගත් නමුත් වෙනත් කිසිදු බරපතල ලිංගික ක්‍රියාකාරකමක නිරත වූයේ නැත. ඇය සහභාගී වූ එවැනි සාද 1920-30 දශකයේ අමෙරිකා එක්සත් ජනපදය පුරා ව්‍යාප්ත වූ විලාසිතාවක් විය. ඒවා තරුණ පරම්පරාව අතර ජනප්‍රිය වුවත් වැඩිහිටියන් නම් මෙම සාද පිළිබඳ දැක්වූයේ දැඩි අප්‍රසාදයකි.

සාදයක් අතරතුර නර්තනයේ යෙදෙන පිරිසක් – www.liveabout.com

බ්ලූ වැනි තරුණ යුවතියෝ මෙම සාදවලට සහභාගී වී මත්පැන් පානය කරන්නටත්, දුම්වැටි භාවිත කරන්නටත් වූහ. ඇඳුම් පැළඳුම් සහ කොණ්ඩා මෝස්‌තර වැනි දේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ ඔවුන්ට අවශ්‍ය වූයේ සාදවලට සහභාගී වන පිරිමින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට යි. ඒ නිසාම සාදවලට පැමිණි තරුණ යුවතියන් අතර විශාල තරගකාරී ස්වභාවයක් තිබිණි. ඔවුන් නිරන්තරයෙන් එකිනෙකට වෙනස් ඇඳුම් පැළඳුම් භාවිත කළ අතර ඒ සඳහා විශාල වියදමක් ද දැරීමට ඔවුන්ට සිදු විය. මෙම සාදවල ප්‍රතිපලයක් ලෙස, එකල තරුණ වියේ පසු වූ ගැහැනු පිරිමි බොහෝ දෙනෙක්  විවාහ වීමට පෙර පිරිමින් සහ ගැහැනුන් කිහිප දෙනකු සමඟ පෙම් සබඳතා පැවැත්වූහ.

සාදවල අරමුණ

සියලු දෙනා මේ ලිංගික සාද අනුමත නොකළ අතර විශේෂයෙන් ම වැඩිහිටියන්ගෙන් ඒවාට එල්ල වූයේ විශාල විරෝධයකි. විවිධ තේමා ඔස්සේ, විවිධ ස්ථානවල සහ විවිධ ක්‍රම භාවිත කරමින් මෙම සාද පැවැත්වුණත් ඒවාට සහභාගී වන්නන්ගේ අරමුණ වූයේ එක පොදු කරුණකි, ඒ ශාරීරික සතුටක් ලැබීම යි. ඊට අමතර ව මෙම සාද අතරතුර මත්පැන් සහ දුම්වැටි භාවිතය ද ඉතා ඉහළ මට්ටමක පැවතිණි.

සාදවලට සහභාගී වූ බොහෝ දෙනකුගේ අරමුණ ශාරීරික සතුටක් අත්විඳීම වුවත්, වෙහෙසකර දිනක සවස් කාලයේ මත්පැන් පානය කිරීමට මෙම සාදවලට පැමිණි පුද්ගලයන් ද නැතුවා නොවේ. ඔවුන් බොහෝ විට කණ්ඩායම් වශයෙන් පැමිණ මත්පැන්වලින් සප්පායම් වී පිටත් ව ගොස් ඇත. මෙම සාද තුළ ගායනය සහ නර්තනය වැනි ක්‍රියාකාරකම් ද දක්නට ලැබිණි.

සාදයකට සහභාගී වූ යුවතියක් – www.britishgq.com

වැඩිහිටියන් තුළ මෙම ලිංගික සාද පිළිබඳ ව පැවතියේ විරෝධයක් වුවත් ඒවා එතරම් ජුගුප්සාජනක නොවූ බව සමහර ඉතිහාසඥයන්ගේ මතය යි. අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, පෝලා එස්. ෆාස් මෙම සාද පිළිබඳ අධ්‍යයනයක් සිදු කළ අතර ඇය ඒවා අර්ථ දක්වා ඇත්තේ මෙලෙසිනි:

“මෙම සාද ඒවාට සහභාගී වන්නන් නිරන්තරයෙන් අත්හදා බැලීම් සිදු කිරීමට දිරිමත් කළා. ඔවුන් පැහැදිලි සීමා තබාගැනීමට ද අමතක කළේ නැහැ.”

‘සුරතල් කිරීම’

මෙම ලිංගික සාදවලට සහභාගී වන්නන් එකිනෙකා සමඟ විනෝද වීම හැඳින්වූයේ ‘සුරතල් කිරීම’ (Petting) යනුවෙනි. සමහරු ඉතා දීර්ඝ සිපගැනීම්වලිනුත්, තවත් සමහරු වැලඳගැනීම්වලිනුත් එකිනෙකා සමඟ විනෝද වූහ. කෙසේ වෙතත් කිසිදු විටෙක ඔවුන් බරපතල ලිංගික සම්බන්ධතා පැවැත්වීමට පෙලැඹුණේ නැත. එබැවින් කන්‍යාභාවයට හානි වීම්, ගැබ්ගැනීම් හෝ ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝගවලට ගොදුරුවීම් වැනි දේවල්වලින් තොරව එකිනෙකාගේ ලිංගිකත්වය ගවේෂණය කිරීමට මෙම සාද අවස්ථාව සලසා දුන් බව ඒ පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥයකු පවසා තිබේ.

‘Petting’ සාද පිළිබඳ පළ වූ පුවත්පත් වාර්තාවක් – www.medium.com

මව්වරුන්ගේ පැමිණිලි

ටික කලක් ගත වන විට බොහෝ තරුණ තරුණියන්ගේ මව්වරුන් මෙම සාදවලට සිය විරෝධය පළ කරන්නට වූයේ ඒවා නිසා සිය දරුවන් නොමඟට යොමු වන බව පවසමිනි. 1927 දී කාන්තාවන් පිරිසක් එක්ව මෙම සාද පැවැත්වීම නවත්වන ලෙස බලකරමින් කැන්සාස් නගරයේ දී විරෝධතාවක පවා නිරත වී තිබේ. එම කාලයේ දී තුළ විශ්වවිද්‍යාල සහ වෙනත් අධ්‍යාපන ආයතනවල නේවාසිකාගාර තුළ පැවැත්වුණු මෙවැනි සාද වැටලීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා තිබූ අවස්ථා ද තිබූ බව කියැවේ.

සාදවලට වැඩිපුර සහභාගී වූයේ තරුණියන්?

විවිධ පාර්ශව මෙම සාද පිළිබඳ එල්ල කළ විවේචන මූලික වශයෙන් එල්ල වූයේ ඒවාට සහභාගී වූ තරුණියන්ට ය. සාම්ප්‍රදායයික තරුණියන් මෙන් විවාහ වී දරුවන් ලැබීමට ඔවුන් කැමැත්තක් නොදැක්වූ බැවින් ඒ පිළිබඳ බොහෝ දෙනෙක් මැසිවිලි නැඟූහ. එක්තරා අධ්‍යයනයක් මඟින් හෙළි වී ඇත්තේ 1924 වන විට අමෙරිකා එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලැබූ යුවතියන්ගෙන් 92%ක් පමණ ජීවිතයේ එක් වරක් හෝ මෙම සාදයකට සහභාගී වී ඇති බව ය.

1922 දී එක්තරා කාන්තාවක් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට මෙම සාදවලට සහභාගී වූ තරුණියන් පිළිබඳ ව අදහස් පළ කර ඇත්තේ මේ අයුරිනි:

“අපේ කාලයේ අපිට සිදු වුණා පිරිමින්ගෙන් ප්‍රවේශම් වෙන්න. නමුත්, දැන් මේ කිසි ම චාරයක් නැති සාද නිසා පිරිමි දරුන්වට සිදු වෙලා තියෙනවා මේ තරුණියන්ගෙන් ප්‍රවේශම් වෙන්න.”

සාදයක ඡායාරූපයක් – www.liveabout.com

ලිංගිකත්වය විවෘතව අත්විඳීම

නිරන්තරයෙන් සහභාගී වූ පුද්ගලයන් වයසින් මුහුකුරා යාමත් සමඟ මෙම සාද කෙමෙන් කෙමෙන් වියැකී යන්නට විය. බොහෝ දෙනකු විවාහ වූ පසු ඒවාට සහභාගී වීම නවතා දැමූ බව කියැවේ. මෙම සාද නිසා ලිංගික ප්‍රකාශන විවෘත ව සිදු කිරීම වඩාත් ජනප්‍රිය විය. එබැවින් එම සාද ක්‍රම ක්‍රමයෙන් අඩු වුවත් ලිංගිකත්වය විවෘතව අත්විඳීමට හැකි අවස්ථා ගණනාවක් පසුකාලීන ව බිහි විය. ප්‍රසිද්ධියේ සිප වැලඳගැනීම් වැනි දේ සිදු කිරීමට සමාජය තුළ පැවැති පැකිළීම මෙම සාද නිසා බොහෝ සෙයින් වෙනස් විය.

“සුරතල් කිරීමේ සාද වර්තමානයේ දැකිය නොහැක්කේ ඒවා විනෝදජනක නොවන නිසා නොවේ, ඒවා වර්තමානය වන විට අවශ්‍ය නොවන නිසා” යයි මෑතකාලීන විචාරකයෙක් සඳහන් කර ඇත්තේ ඒ නිසා ය. 

කවරයේ පින්තූරය- 'Petting' ලිංගික සාදයකට සහභාගී වූ තරුණ තරුණියෝ - www.history.com

මූලාශ්‍ර:

www.history.com/ Erin Blakemore

www.historyofyesterday.com

www.timeline.com

Related Articles