Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පින්නවල අලි අනාථාගාරය පිළිබඳව තොරතුරු බිඳක්

මීට දශක ගණනාවකට පෙර අප රට තුළ සුලබවම අලි ඇතුන් දක්නට ලැබුණා. එම යුගයේ දී මෙරට සැලකිය යුතු තරම් වනාන්තර පද්ධතියක් තිබුණු නිසා අලි ඇතුන්ට කිසිදු කරදරයකින් තොරව නිදහසේ ජීවත්වීමට හැකි වුණා. නමුත් මිනිසා විසින් ක්‍රමයෙන් වනාන්තර එළිපෙහෙලි කිරීමත් සමගම අලි ඇතුන්ගේ ජීවිතයේ පැවැත්මට විවිධ තර්ජන එල්ල වුණා. එම නිසා වාර්ෂිකව සැලකිය යුතු තරම් අලි ඇතුන් ප්‍රමාණයකට ජීවිතය අහිමි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මව් කෙණර මරා දැමීම නිසා අනාථ වුණු පැටවුන් වනාන්තර තුළ සිටින ආකාරය දක්නට ලැබුණා. බොහෝ විට එවැනි පැටවුන්ට කිසිදු පිළිසරණක් නොලැබුණු නිසා උන්ව රැකබලාගැනීමට යම් කිසි වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1975 වසරේ දී පින්නවල අලි අනාථාගාරය ස්ථාපිත කරනු ලැබුවා.

අලි අනාථාගාරය ආරම්භ වුණු හැටි 

1970-1977 සිරිමා බණ්ඩාරනායක රජයේ නැව් කටයුතු සහ සංචාරක අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළේ පී. බී. ජී. කළුගල්ල යි. 1970 මහා මැතිවරණයේ දී කෑගල්ල ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තු වරම් ලබාගත් ඔහු 70 දශකයේ දී කෑගලු දිස්ත්‍රික්කය තුළ සංවර්ධන කටයුතු රැසක් කළ බව අදටත් පැරැන්නන් සිහිපත් කරනවා. එලෙස කෑගලු පුරවරයට ඉමහත් සේවයක් ඉටු කළ කළුගල්ල අමාත්‍යවරයා පින්නවල අලි අනාථාගාරය ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තා. ඒ අනුව අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙය ආරම්භ කළේ 1975 වසරේ පෙබරවාරි මස 16 වැනිදා යි. අක්කර 25ක භූමි භාගයක් පුරා පැතිර තිබෙන අනාථාගාර ආරම්භයේ දී එහි අලි ඇත් පැටවුන් 7 දෙනෙකු සිටියා. උන්  කුමාරි, නීලා, විජය, කදිරා, අනූෂා, ජඳුරා සහ මාතලී යන නම්වලින් හඳුන්වනු ලැබුවා.

පින්නවල අලි අනාථාගාරය (gettyimages)

අනාථාගාරය තුළ සිදුවුණු පළමු අලි උපත 

1978 වසරේ දී පින්නවල අලි අනාථාගාරය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පවරා ගනු ලැබුවා. ඉන් පසුව 1982 වසරේ දී පින්නවල අනාථාගාරය තුළ සත්ත්ව අභිජනන වැඩසටහන ආරම්භ කළා. එම වැඩසටහන ආරම්භ කිරීමෙන් වසර 2කට පසුව මෙහි පළමු අලි උපත සිදු වුණා. 1984 වසරේ ජූලි 5 වැනිදා උපත ලැබූ එම ගැහැණු අලි පැටවාට සුකුමලී යන නම තබනු ලැබුවා. එලෙස පින්නවල අලි අනාථාගාරය තුළ උපත ලැබූ මුල්ම අලි පැටවාගේ දෙමාපියන් වුණේ විජය නම් අලියා සහ කුමාරි නම් ඇතින්න යි. එදා සිට ක්‍රමයෙන් පින්නවල අලි අනාථාගාරය තුළ සිටි අලි ඇතුන් ප්‍රමාණය වැඩි වන ආකාරය දක්නට ලැබුණා. අනාථාගාරය තුළ උපත ලැබූ අලි ඇතුන් මෙන්ම වෙනත් ප්‍රදේශවල සිට රැගෙන එන අනාථ වුණු අලි පැටවුන් ද  ඒ අතරට අයත් වුණා. 

වර්තමානය වන විට මෙහි අලි ඇතුන් 89ක් පමණ සිටිනවා

පසුගිය දශක කිහිපය තුළ පින්නවල අලි අනාථාගාරය තුළ සිටි අලි ඇතුන් ප්‍රමාණය 89 දක්වා වැඩි වුණා. ඒ අනුව වර්තමානය වන විට එහි පිරිමි සතුන් 41ක් සහ ගැහැණු සතුන් 48ක් රඳවා සිටිනවා. පින්නවල අලි අනාථාගාරය තුළ සිටින අලි ඇතුන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීමත් සමගම දේශීය සහ විදේශීය සංචාරකයන් නිතරම එහි පැමිණෙන්නට වුණා. කොරෝනා වසංගත තත්ත්වය ආරම්භ වීමට පෙර දිනකට සැලකිය යුතු සංචාරකයන් පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණියා. එතරම් විශාල සංචාරකයන් පිරිසක් පැමිණෙන පින්නවල අලි අනාථාගාරය තුළ දෛනික කාලසටහනක් ක්‍රියාත්මක වනවා. එය නැරඹීමට යන සංචාරකයෙකු කාලසටහන පිළිබඳව අවබෝධයක් නොමැතිව එහි ගියහොත් අලින්ගේ ක්‍රියාකාරකම් දැක බලා ගැනීමේ අවස්ථාව මඟ හැරී යාමට තිබෙන ඉඩ වැඩියි.

පින්නවල අලි අනාථාගාරය තුළ සිටින අලි ඇතුන් (gettyimages)

අලි අනාථාගාරයේ දෛනික කාල සටහන 

උදෑසන 8.30ට සංචාරකයන් සඳහා විවෘත වන පින්නවල අලි අනාථාගාරය සවස 6ට වසා දමනවා. එම කාල සමය තුළ අලි පැටවුන්ට කිරි ලබා දීම, අනිකුත් අලින්ට ආහාර ලබා දීම, අලි රංචුව දිය නෑම සඳහා මා ඔයට රැගෙන යාම වැනි කාර්යයන් සිදුවනවා. එහි දී අලි රංචුව දෙවරක් ස්නානය සඳහා රැගෙන යන අතර ආහාර ලබාදීම ද දෙවරක් සිදුකරනු ලබනවා. එසේම දිනකට තෙවරක් කුඩා අලි පැටවුන්ට කිරි ලබා දෙනවා. අලි අනාථාගාරය තුළ දෛනිකව ක්‍රියාත්මක වන වැඩසටහන සඳහා නියමිත කාලසටහනක් තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ එම කාලසටහන යි.

පෙ.ව 8.30- සංචාරකයන් සඳහා විවෘත කිරීම

පෙ.ව 9.15- අලි පැටවුන්ට කිරි ලබා දීම හා අනෙක් අලි ඇතුන්ට ආහාර ලබා දීම

පෙ.ව 10.00- අලිරංචුව දියනෑම පිණිස මා ඔයට ගෙන යාම

දහවල් 12.00- මා ඔයෙන් නැවත අලි සුරැකුම් ස්ථානයට රැගෙන ඒම 

ප.ව 13.15- අලි පැටවුන්ට කිරි ලබා දීම හා අනෙක් අලි ඇතුන්ට ආහාර ලබා දීම

ප.ව 14.00- නැවතත් අලිරංචුව දියනෑම පිණිස මා ඔයට රැගෙන යාම

ප.ව 16.00- මා ඔයෙන් නැවත අලි සුරැකුම් ස්ථානයට රැගෙන ඒම 

ප.ව 17.00- අලි පැටවුන්ට කිරි ලබා දීම හා අනෙක් අලි ඇතුන් ගාල් කිරීම 

ප.ව 17.30- නරඹන්නන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නතර කිරීම 

ප.ව 18.00- අලි අනාථාගාරය නැරඹීමට ලබාදෙන කාලය අවසන් කිරීම 

මා ඔයේ දිය නාන අලි ඇතුන් (gettyimages)

අලි ඇතුන්ට ලබාදෙන ආහාර 

අලි ඇතුන් රැක බලා ගැනීමේ දී උන්ට හොඳින් ආහාර සැපයීම අනිවාර්යයෙන් කළ යුතුයි. සාමාන්‍යයෙන් අලි ඇතුන්ගේ ප්‍රියතම ආහාරය වන්නේ කිතුල් ගසේ බොඩ සහ අතු යි. ඊට අමතරව උන් පොල් අතු, සහ කොස් අතු වැනි අතු වර්ග ද ආහාරයට ගන්නවා. එසේම උන් කෙසෙල් ගෙඩි, උක් දඬු, අන්නාසි, සහ පැණි කොමඩු වැනි පළතුරු වර්ග ද ආහාරයට ගන්නවා. එලෙස විශාල අලින්ට ආහාර ලබාදෙන විට පැටවුන්ට ලැක්ටෝජන් නම් කිරි පිටි වර්ගය දිනකට තුන් වරක් ලබාදෙනවා. එහි දී එක් පැටවෙකුට වරකට ලීටර් 5.5ක් කිරි ලබාදෙන නිසා දිනකට පැටවෙකු කිරි ලීටර් 16.5ක් පානය කරනවා. 

කිරි පානය කරන අලි පැටවුන් (gettyimages)

පින්නවල සිටින විශේෂ අලි ඇතුන් 

පින්නවල අලි අනාථාගාරය ආරම්භ කළ අවස්ථාවේ දී සිටි මාතලී සහ කුමාරි යන ඇතින්නියන් දෙදෙනා තවමත් මෙහි වාසය කරනවා. දැනට මෙම අලි රංචුවේ නායකත්වය දරන්නේ මාතලී නම් ඇතින්න යි. එම ඇතින්නිය සාලිය, අමාලි, සාමා ඇතුළු පැටවුන් පස් දෙනෙකු බිහි කළා. මාතලී ඇතින්න සේම කුමාරි නම් ඇතින්න ද සුකුමලී සහ ඇසළ ඇතුළු පැටවුන් 5 දෙනෙකු බිහි කරනු ලැබුවා. වර්තමානය වන විට කුමාරි ඇතින්න 55 වැනි වියේ පසුවන විට මාතලී ඇතින්න 50 වැනි වියේ පසුවනවා. 

මාතලී ඇතින්න (nationalzoo.gov.lk)

පින්නවල අලි අනාථාගාරය ආරම්භ කරන අවස්ථාවේ 12 හැවිරිදි වියේ පසු වුණු විජය නම් ඇත් පැටවා පසු කලෙක මෙහි අභිජනන ක්‍රියාවලිය සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදුන්නා. එලෙස පින්නවල අලි අනාථාගාරය තුළ දශක 2කට වැඩි කාලයක් වාසය කළ විජය නම් ඇතා 1999 වසරේ දී මොළයේ ඇති වුණු පිළිකාවක් හේතුවෙන් මරණයට පත් වුණා. කුමාරි සහ මාතලී යන ඇතින්නියන් දෙදෙනාට අමතරව පින්නවල සිටින අනිකුත් වැඩිහිටි ඇතින්නිය වන්නේ කෝමලී ඇතින්නිය යි. දැනට 49 වැනි වියේ පසුවන එම ඇතින්නිය මැණිකා, අරුණ, සහ අශෝකමාලා යන පැටවුන් බිහි කළා. 

කුමාරි ඇතින්න (nationalzoo.gov.lk)

පින්නවල සිටින වැඩිහිටි අලි ඇතුන් සේම අනුරාධා, පණ්ඩුල, මිගාර, නිල්ගල, සහ වරුණ යන අලි පැටවුන් ද එහි පැමිණෙන සංචාරකයන්ගේ ආදරය නොඅඩුව දිනාගෙන තිබෙනවා. එසේම සුරනිමල, ජයතු, සම්පත්, සහ සුමන මෙහි සිටින තරමක් දඩබ්බර අලි ඇතුන් කිහිපදෙනෙකු ලෙස නම් කළ හැකියි. එම නිසා උන්ව රැක බලා ගැනීමේ දී විශේෂ අවධානයක් යොමු කරනු ලබනවා. 

සුමන ඇතා (nationalzoo.gov.lk)

පින්නවල අලි අනාථාගාරය අලි ඇතුන්ගේ ක්‍රියාකාරකම් නැරඹීම සඳහා වෙන්ව තිබෙන අපූරු ස්ථානයක්. මෙම ස්ථානය නැරැඹීමට යන සංචාරකයෙකුට දිනය පුරාම අලි ඇතුන්ගේ ක්‍රියාකාරකම් නරඹමින් විනෝද විය හැකියි. ලංකාවේ අනාථ අලි ඇතුන් රැක බලා ගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන මෙම ස්ථානය මඟින් පසුගිය දශක 4කට වැඩි කාලය තුළ විශාල සේවාවක් ඉටු වුණා. එම නිසා පින්නවල අලි අනාථාගාරය රැකගැනීම අපේ වගකීමක්.

කවරයේ ඡායාරූපය- පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් (gettyimages)

මූලාශ්‍රයයන්- nationalzoo.gov.lk

                        Pinnawala elephant orphanage official site

Related Articles