Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අළු මතින් නැගී සිටි මනරම් හිරෝෂිමාව

ක්‍රිස්තු වර්ෂ 1589 දී බලවත් හමුදා නායකෙයකු වූ තෙරුමොතෝ මෝරි විසින් සෙතෝ අභ්‍යන්තර මුහුදේ ඩෙල්ටාව ආශ්‍රිත ප්‍රදේශයේ හිරෝෂිමා නුවර ගොඩ නංවන්නේ ඔහුගේ රාජ්‍යයේ අගනුවර ලෙස යි. ජපානය සතු දූපත් අතරින් විශාලත ම දූපත ලෙස සැලකෙන හොන්ෂු දූපතේ බටහිර දිග චුගොකු ප්‍රදේශයේ පිහිටා ඇති විශාලත ම නගරය වන එය සියවස් ගණනාවක් තිස්සේ සමුරායිවරුන් සහ ෂෝගුන්වරුන් අතර පැවති සටන් රාශියක් සඳහා සාක්ෂි දරනවා. එසේ ම අපමණ භූ කම්පනයන්ට සහ මහා ජල ගැලීම්වලට මුහුණ දුන් හිරෝෂිමාව, දෙවැනි ලෝක සංග්‍රම සමයේ දී ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව මගින් හෙළන ලද න්‍යෂ්ටික බෝම්බයක් හේතුවෙන් සම්පූර්ණයෙන් ම අළු බවට පත් වූ බව පැවසීම වැරදි නැහැ.

(© Maarten Heerlien)
බෝම්බ ප්‍රහාරයෙන් පසු ව හිරෝෂිමාව

නමුත් අළු මතින් නැගී සිටි හිරෝෂිමාව, වර්තමානයේ දී සැලකෙන්නේ හොන්ෂු දූපත සතු ඉහළ ම සංචාරක ආකර්ෂණයක් ලෙස යි. මේ ලිපිය නූතන පුරවරයක් ලෙස යළි නැගී සිටි හිරෝෂිමා නුවර වර්ණවත් කරන සොඳුරු ස්ථාන කිහිපයක් ගැන යි.

සාම ස්මාරක උද්‍යානය

1945 අගෝස්තු 6 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව මගින් හෙළන ලද න්‍යෂ්ටික බෝම්බය හේතුවෙන් මිය දහස් ගණනක් වූ ජපන් වැසියන් සිහි කරනු පිණිස අක්කර 30 ක භූමි ප්‍රදේශයක් පුරාවට ‘සාම ස්මාරක උද්‍යානය’ ඉදි කරන ලද්දේ 1954 අප්‍රේල් මාසයේ දී යි. දෙසැම්බර් 30 සහ 31 යන දෙදින හැර වසරේ සෑම දිනක ම විවෘත සාම ස්මාරක උද්‍යානයේ දැක බලා ගැනීම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතු අතර ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් ම උද්‍යානය සතු වෙනවා.

(© Krista Rossow)
‘හිරෝෂිමා සාම ස්මාරකය’ හෙවත් ‘ගෙන්බකු කොත’

‘හිරෝෂිමා සාම ස්මාරකය’ හෙවත් ‘ගෙන්බකු කොත’ එවැනි ස්ථානයක්. 1996 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද එය සැලකෙන්නේ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයෙන් පසු ව හිරෝෂිමා නගරය තුළ නොකැඩී නැගී සිටි එක ම ගොඩනැගිල්ල ලෙස යි. බෝම්බ ප්‍රහාරයට පෙර හිරෝෂිමාවේ කර්මාන්ත ප්‍රවර්ධන ශාලාව ලෙස භාවිතා කරන ලද එය ප්‍රහාරයෙන් පසු ව සංරක්ෂණය කිරීමට ජපන් රජය කටයුතු කර ඇති අතර අදටත් බෝම්බ ප්‍රහාරයෙන් පසු ව එය දිස් වූ ආකාරයට ම ‘හිරෝෂිමා සාම ස්මාරකය’ දැක ගැනීමට ලැබෙනවා.

සාම ස්මාරක උද්‍යානය සතු තවත් වැදගත් ස්ථානයක් වන්නේ බෝම්බ ප්‍රහාරයට ලක් වූවන් වෙනුවෙන් ගොඩ නගන ලද අනුස්මරණ ස්තම්භය යි. ශෛලමය පෙට්ටගමකට සෙවණ දෙන ආරුක්කුවක හැඩයෙන් යුතු මෙය නිර්මාණය කර ඇත්තේ ප්‍රග්-ඓතිහාසික සොහොන් කොත් නිර්මාණය සඳහා යොදා ගත් හනිවා නම් කුඹල් කර්මාන්ත ශිල්ප ක්‍රමය භාවිතා කරමින්. මෙම ශෛලමය පෙට්ටගම තුළ හිරෝෂිමා න්‍යෂ්ටික බෝම්බයෙන් මිය ගිය 297,684 ක් දෙනාගේ නම් ඇතුළත් ලැයිස්තුවක් තැන්පත් කර තිබෙනවා.

(© Jan)
බෝම්බ ප්‍රහාරයට ලක් වූවන් වෙනුවෙන් ගොඩ නගන ලද අනුස්මරණ ස්තම්භය

හිරෝෂිමා මාලිගාව

16 වැනි සියවසේ දී හිරෝෂිමා නුවර ගොඩ නැං වූ තෙරුමොතෝ මෝරි විසින් ක්‍රිස්තු වර්ෂ 1589 දී නිම වන ලද හිරෝෂිමා මාලිගාව හෙවත් කාපි මාලිගාව (the Carp Castle) ක්‍රිස්තු වර්ෂ 1871 දී හන් පාලන ක්‍රමය අවලංගු කරන තුරු ම ජපන් වැඩවසම් වංශාධිපතීන් රැසකට සෙවණ සපයා තිබෙනවා. මහල් පහකින් යුතු හිරෝෂිමා මාලිගාව පිහිටා ඇත්තේ ඕතා ගංගා ඩෙල්ටාවේ යි. දිග අගලකින් වට වී ඇති හිරෝෂිමා මාලිගාව, අතීතයේ දී බටහිර ජපානයේ වැදගත් පාලන මධ්‍යස්ථානයක් ලෙස සලකා තිබෙනවා.

© Jason Rumney

හිරෝෂිමා බෝම්බ ප්‍රහාරයෙන් හිරෝෂිමා මාලිගාව සම්පූර්ණ විනාශ වුව ද එයින් වසර දහතුනකට පසු ව 1958 දී එය යළිත් ගොඩ නැංවීමට ජපන් රජය කටයුතු කළා. සකුරා ගස් 450 කට අධික ප්‍රමාණයකින් යුතු සොඳුරු මල් උයනක් මධ්‍යයේ පිහිටා ඇති එය වර්තමානයේ දී භාවිතා කරන්නේ හිරෝෂිමාව, හිරෝෂිමා මාලිගාවේ ඉතිහාසය සහ ජපානය සතු පැරණි මාලිගා පිළිබඳ තොරතුරු සපයන ඉතිහාස කෞතුකාගාරයක් ලෙස යි.

මියාජිමා දූපත සහ ඉත්සුකුෂිමා විහාරය

(© Thilo Hilberer)
දැවැන්ත ‍තොරී ද්වාරය

හිරෝෂිමාවේ සිට පැයක පමණ දුරකින් පිහිටා ඇති කුඩා දූපතක් වන මියාජිමා හි නිල නාමය වන්නේ ‘ඉත්සුකුෂිමා’ වුවත් පොදු ව්‍යවහාරයේ දී ‘විහාර දූපත’ යන අරුතින් එය හඳුන්වන්නේ මියාජිමා ලෙස යි. එහි දී දැක ගත හැකි සුවිශේෂී ම අංගයක් ලෙස ආධ්‍යාත්මික ලෝකය සහ මිනිස් ලොව අතර මායිම සලකුණු කරන දැවැන්ත ‍තොරී ද්වාරය සැලකෙනවා. මීටර් 16.6 ක පමණ උසකින් යුතු තොරී ද්වාරය පිහිටා ඇත්තේ දැව ස්තම්භ 6 ක් මත යි.

(© Sebastien Schneider)
ඉත්සුකුෂිමා විහාරය

විහාර දූපතේ දී දැක ගැනීමට ලැබෙන ජනප්‍රිය ම විහාරය වන ‘ඉත්සුකුෂිමා විහාරය’ ක්‍රිස්තු වර්ෂ 1168 දී පමණ ගොඩ නංවන ලද්දක්. හේයං පාලන සමයේ අවසන් කාලයේ දී ජපාන අධිරාජ්‍යයේ වාසය කළ බලවත් ම පුද්ගලයා ලෙස සැලකෙන තයිරා නෝ සේමොරි නම් හමුදා නිලධාරියා විසින් එය නිර්මාණය කර ඇත්තේ ඔහුගේ පවුලේ විහාරස්ථානය ලෙස යි. ගොඩනැගිලි කිහිපයකින් සමන්විත වන ඉත්සුකුෂිමා විහාරය, ජලය මත සිටු වන ලද ස්තම්භ මත පිහිටා ඇති අතර වඩදිය පවතින විටෙක එය මුහුද මත පාවෙන සොඳුරු නිමැවුමක් ලෙස දිස් වෙනවා.

ෂුකේන් උද්‍යානය

© Hari Kishan

ෂුකේන් උද්‍යානය’ යන ජපන් වදනේ අරුත වන්නේ ‘අකුළන ලද උද්‍යානය’ යන්න යි. වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් ම අකුළන ලද උද්‍යානයක් වන ෂුකේන් උද්‍යානයේ දී ක්ෂුද්‍ර නිම්නයන්, කඳුවැටි මෙන් ම වනාන්තර ද දැක ගැනීමට ලැබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1620 දී පමණ හිරෝෂිමා මාලිගාව නිර්මාණය කර අවසන් වීමත් සමග ගොඩ නංවන ලද එයින් පෙන්නුම් කරන්නේ සාම්ප්‍රදායික ජපන් උයනක මුහුණුවර යි. එසේ ම උයනේ ප්‍රධාන පොකුණ වටා තේ ගෘහයන් කිහිපයක් ද පවතිනවා. හිරෝෂිමා බෝම්බයෙන් සම්පූර්ණයෙන් ම විනාශ වූ එය යළිත් වරක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇත්තේ 1951 දී යි.

කවරයේ පින්තූරය : (© Peter Lübeck) වත්මන් හිරෝෂිමාව

Related Articles