Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බීමත්කම හේතුවෙන් අසාර්ථක වූ ගුවන් යානා පැහැර ගැනීම

ලෝක ඉතිහාසය තුළ ගුවන් යානා පැහැර ගැනීමේ සිදුවීම් දෙස බැලීමේදී එවැනි ක්‍රියා සඳහා සාමාන්‍යයෙන් කොල්ලකරුවන් සතුව ක්‍රමානුකූල සැලසුම් තිබුණු බව කිව හැකියි. ඒ ඔස්සේ කටයුතු කර ආරක්ෂක අංශයන්ගේ ඇස් වලට වැලි ගසමින් සිදුකළ ගුවන් යානා මංකොල්ලකෑම් පිළිබඳව ඔබ අනිවාර්යෙන්ම අසා තිබෙනවා ඇති.

නමුත් අද ලිපියෙන් ගෙන එන්නේ එලෙස විධිමත් ලෙස සිදු නොවූ අසාර්ථක ගුවන් යානා පැහැරගැනීමක් පිළිබඳව විස්තරයක්. නොර්වේ රාජ්‍යයේ සිදු වූ ප්‍රථම ගුවන් යානා පැහැර ගැනීම ලෙස මෙම සිදුවීම වාර්තා වන අතර ගුවන් යානය පැහැරගත් පුද්ගලයා බියර් බෝතල් කිහිපයක් වෙනුවෙන් ගිනි අවිය ඉවත් කිරීමට සුදානම් යැයි පවසා ඇති බවත් ඒ අවසරයෙන් ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගත් බවත් සදහන් කළොත් ඔබ විශ්වාස කරනවාද? ඉතින් මේ අරුම පුදුම ගුවන් යානා පැහැර ගැනීම පිළිබඳව කතන්දරයයි මේ දිග හැරෙන්නේ.

ට්රොන්ඩ්හෙයිම්  සිට ඔස්ලෝ බලා පියාසර කළ අභ්‍යන්තර ගුවන් සේවා යානය

ට්රොන්ඩ්හෙයිම් ගුවන්තොටුපොළ (sodian.at)

ඒ 1985 වසරේ ජුනි 21 වන සිකුරාදා දිනයයි. සුපුරුදු පරිදි Braathens SAFE ගුවන් සේවාවට අයත් නොර්වේ රාජ්‍යයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා සුදානම් කර තිබෙන බෝයිං 737-205 (Boeing 737-205) යානය නොර්වේ රාජ්‍යයේ  ට්රොන්ඩ්හෙයිම් නගරයේ වෙරන්ස් ගුවන් තොටුපොළෙන් (Trondheim-Værnes Airport) ඔස්ලෝ නුවර ගුවන්තොටුපොළ (Oslo Airport) බලා ධාවනය වෙනවා. ගුවන් යානය තුළ මගින් 161 දෙනෙක්ගෙන් හා කාර්ය මණ්ඩලය 5 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. ගුවන් තොටුපොළවල් දෙක අතර දුර කිලෝමීටර් 393ක් වෙනවා.

ගුවන් යානයට ගොඩ වූ බීමත් තරුණයා

පැහැර ගැනීමට ලක් වූ බෝයිං 737-205 ගුවන් යානය (wikipedia)

මේ අතර දැඩි ලෙස මත්පැන් වලට හුරු වූ ස්ටයින් හුස්බි (Stein Arvid Huseby) නම් 24 හැවිරිදි නෝර්වීජියානු තරුණයා මෙම ගුවන් යානයට ගොඩ වන්නේ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ වලට නොපෙනෙන ලෙස වායු තුවක්කුවක් තම ගමන් මල්ලේ සඟවාගෙනයි.

ගුවන් තොටුපොළ තුළ යානයට ගොඩ වීමේදී ආරක්ෂක දොරටු නොතිබූ බැවින් ඔහුට තම වායු තුවක්කුව ගෙන ඒම පහසු වුණා. ගුවන් යානයේ පසුපස අසුනක ඔහු වාඩි වන්නේ සියළු දෙනාම තමන්ට පෙනෙන්නේ එම ස්ථානයට බැවින්. පස්වරුවේ ගමන ආරම්භ වීමෙන් මොහොතකට පසුව තම වායු තුවක්කුව ගුවන් සේවිකාවකට පෙන්වා තර්ජනය කරන හුස්බි තමන්ට ගුවන් යානයේ පාලනය අවශ්‍ය බව නියමුවන්ට දන්වන ලෙස නියෝග කරනවා. තමන් සතුව බෝම්බ ඇති බවත් අවශ්‍ය වුවහොත් ඒවා පුපුරවා හරින බවත් පවසනවා. යානයේ ගමන් මාර්ගය වෙනස් කිරීමට අවශ්‍ය නැති බව දන්වන හුස්බි තමන්ට රටේ අගමැතිවරයා හා සාමය පිළිබඳව ඇමතිවරයා හමුවීමට අවශ්‍ය බවත් ඔවුන් සමඟ තමන්ට සාකච්ජා කිරීමට අවශ්‍ය බවත් සදහන් කරනවා. තමන්ට දේශපාලනිකමය ගැටළු ඇති අතර ඒවා විසදා ගැනීමට මාධ්‍ය හමුවක් පැවැත්විය යුතු බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරනවා.

ගුවන් ගමනාගමනය පුරාවටම බියර් පානය කිරීම

එවකට අගමැතිවරයා වූ Kåre Willoch (Simple Wikipedia)

ගුවන් යානයට ඇතුළු වූ මොහොතේ පටන් බියර් පානය කරන්නට පටන් ගත් හුස්බිගේ විශේෂත්වය වන්නේ එකදු මගියෙකුට හෝ හිරිහැර නොකිරීමයි. නියමිත වේලාවට ඔස්ලෝ නුවර ගුවන්තොටුපොළට ගුවන් යානය ගොඩ බස්සවන අතර මේ වන විටත් ආරක්ෂක අංශ විසින් ගුවන්තොටුපොළ වටකර තිබෙනවා.

යානය ගුවන්තොටුපොළට පැමිණීමත් සමඟ ගුවන් යානය වෙත මනෝ විද්‍යාඥයෙක් හා හුස්බිගේ මිතුරන් කිහිපදෙනෙක් යොමුකර ඔහුට අවශ්‍ය වන්නේ කුමක්දැයි යන්න අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශ විසින් උත්සාහ දරනවා. ගුවන් යානය ගොඩ බස්සවා පැයකට පමණ පසු ආරක්ෂක අංශ සමඟ සිදු වූ සාකච්ජා මත ඔහු විසින් යානයේ සිටි මගීන් 70 දෙනෙකු නිදහස් කරනු ලබනවා. තවත් විනාඩි තිහකට පමණ පසු යානයේ ඉතුරුව සිටි අනෙක් මගීන් සියලු දෙනාවමද නිදහස් කර හරින්නට හුස්බි විසින් එකඟ වෙනවා. නමුත් ඔහු විසින්  ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ පස් දෙනා නිදහස් කරන්නේ නෑ.

මුළු ගුවන් ගමන පුරාවටම ඔහු විසින් බීමත්ව සිටි අතර මේ වන විට ඔහු යානයේ තිබූ සියළුම බියර් පානය කර අවසන් කර තිබුනා.තවද  ඔහුගේ ප්‍රධාන ඉල්ලීම ඔහුට අමතක වී තිබූ අතර ඔහුට මේ වනවිට තිබූ ප්‍රධානම ගැටළුව වූයේ තවත් බියර් ලබා ගන්නේ කෙසේද යන්නයි.

බියර් වෙනුවට තුවක්කුව මාරු කිරීම

අවසානයේ ඔහු කෙතරම් බීමත්ව සිටියේද යන්න පවසනවානම් ඔහු සතුව තිබූ වායු තුවක්කුව බියර් හා හුවමාරු කරගැනීමට ආරක්ෂක අංශ සමඟ එකඟ වෙනවා. ඒ අනුව තම තුවක්කුව ගුවන් යානයෙන් ඉවතට විසිකරන ඔහුට ඒ වෙනුවට පොලීසියෙන් බියර් බෝතල් අඩංගු පෙට්ටියක් ලැබෙනවා.

බියර් බෝතල් ඔහුට ලබා දීම සඳහා එක් පොලිස් නිළධාරියෙක් ගුවන් යානය තුළට ගොඩ වෙනවා. එසේ කරනු ලබන්නේ ඔහු විසින් බෝම්බ හෝ තවත් අවි ආයුධ ළඟ තබාගෙන ඇතිදැයි නිවැරදිව තහවුරු කරගැනීමටයි. එම නිළධාරියා විසින් හුස්බි සතුව තවත් බෝම්බ නොමැති බව ගුවන් යානය වටකරගෙන සිටි නෝර්වීජියානු විශේෂ බළකා කණ්ඩායමට දන්වා සිටිනවා. ක්ෂණිකව ක්‍රියාත්මක වන එම කණ්ඩායම ගුවන් යානය තුළ සිටි හුස්බිව අත්අඩංගුවට ගනු ලබන්නේ එකදු උණ්ඩයක් හෝ වැය නොකරමින්.

හුස්බිගේ තොරතුරු හෙළිවීම

Oslo ගුවන්තොට (Oslo Lufthavn)

හුස්බි යනු වයස අවුරුදු 13 සිට මත්ද්‍රවය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙක්. එසේම අවි ආයුධ වලින් සන්නද්ධව සිදු කල සොරකම්, නොයෙකුත් අපරාධ ඇතුළු බරපතළ චෝදනා සඳහා ගැටවර වියේදීම සිරගෙට නියම වූ අයෙක් විය. වයස අවුරුදු 19දී ඔහුගේ මෙම ක්‍රියා සඳහා හේතුව වන්නේ මානසික අබාධයක් බව උසාවිය විසින් සනාථ කරනවා.

ඉන් අනතුරුව අවුරුදු තුනක් මානසික රෝහලක ප්‍රතිකාර ලබන ඔහු 1983 වසරේදී නැවතත් උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා යොමු වෙනවා. උසස් අධ්‍යාපනය නිමකර අනතුරුව තම හිත මිත්‍රාදීන්ගෙන් වෙන් වීම හේතුවෙන් ඔහුගේ මානසික පීඩනය නැවතත් ඉහළ යන අතර තමන්ට රජයෙන් ලබා දුන් ප්‍රතිකාර පිළිබඳව ඔහු සෑහීමකට පත්වන්නේ නෑ. තවද මීට වඩා ඉහළ ජීවන තත්වයක් තමන්ට රජය විසින් ලබා දිය යුතු බව තීරණය කරන ඔහු ඒ සඳහා අගමැතිවරයා හා කතා කිරීම උදෙසා තමයි ගුවන් යානයක් මංකොල්ලකෑමට පෙළඹෙන්නේ.

නොර්වේ රාජ්‍යයේ පළමු ගුවන් යානා මංකොල්ලය එසේ සිදු වූ අතර ගුවන් යානයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් අවසානයේදී හුස්බි වරදකරුවා වෙනවා. ඔහුගේ මානසික තත්වය සලකා බලන උසාවිය විසින් වසර තුනක සිර දඬුවමක් හා වසර පහක අත්සිටවූ සිර දඬුවමක්ද ලබා දීමට තීරණය කරනවා.

කවරයේ ජායාරූපය – Planespotters.net

Related Articles