කාන්තාවගේ සම අයිතිය වෙනුවෙන් හඬ නැගූ ආදී ග්‍රීක දාර්ශනිකයා: ප්ලේටෝ

බටහිර සමාජයේ චින්තන පෙරළියක් සඳහා දායක වූ දාර්ශනිකයන් අතරින් ප්‍රධානම චරිතයක් ලෙස ඉතිහාසය තුළ ප්ලේටෝ හඳුනාගත හැක. ප්ලේටෝගේ උපත ක්‍රි.පූ. 428 පමණ බව සැලකේ. ඔහු ශ්‍රේෂ්ට දාර්ශනික සොක්‍රටීස්ගේ ශිෂ්‍යයකු මෙන්ම, බටහිර චින්තනය හැඩගැස්වූ තවත් දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා ද වේ. දර්ශනය, ගණිතය, දේවධර්මය, විශ්වවේදය, දේශපාලනය වැනි පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි උනන්දු වූ අතර බටහිර සමාජයේ ප්‍රථම වරට උසස් අධ්‍යාපනය සඳහා විධිමත් ආයතයනයක් ඇරඹු ගෞරවයද ඔහුට හිමිවේ.

wikimedia

තරුණ ප්ලේටෝගේ ජිවිතයේ තීරණාත්මකම සිදුවීම වයස අවුරුදු 20 දී සොක්‍රටීස් හමුවීම බව සැබෑවකි.  ඉන් පසුව ජිවිතයම දර්ශනය වෙනුවෙන් කැපකිරීමට කටයුතු කරන ලදී. සොක්‍රටිස්ට මරණ දඬුවම ලබාදීම ඊට බොහෝ බලපෑ කරුණක් විය. සොක්‍රටීස්ගේ ඉගැන්වීම් ක්‍රමය තුළ ද මිනිසුන් වඩා වඩාත් සිතීමට බල කළ අතර ප්ලේටෝට අවශ්‍ය වුයේ ද මිනිසුන්ගේ චින්තනය වඩාත් පුළුල් කිරීමටය.

ප්ලේටෝගේ ජිවිතයේ අත්දුටු තවත් වැදගත් සිදුවීමක් වුයේ ඇතැන්ස් සහ ස්පාටා අතර ඇතිවූ පෙලොපොනේසියානු යුද්ධයයි. ක්‍රි.පූ. 409 සිට 404 දක්වා කාලය තුල ඔහු ද ඊට ඇතැන්ස් වෙනුවෙන් දායක වී ඇතිමුත්, ස්පාටාවන් විසින් ග්‍රීසිය යටත් කර ග්‍රීසියේ පවත්වාගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදය නැවත රාජාණ්ඩුවක් යටතට පත්කරන ලදී. (ග්‍රීසියේ ප්‍රජාතන්ත්‍රවාදය වහල් හිමියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයකි, මන්ද බහුතරයක් වූ වහලුන්ව පුරවැසියන් ලෙස සැලකුනේ නැත) මෙම රාජාණ්ඩුව නැවත බලයෙන් පහකොට යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් පසුව ප්ලේටෝ සඳහා නව රජයේ තනතුරක් හිමිවූ නමුත්, සොක්‍රටීස්ට වස පෙවීම නිසා ඔහු ඉන් ඉවත් විය. සොක්‍රටීස්ගේ මරණයෙන් පසුව ප්ලේටෝ ග්‍රීක යටත් විජිත පුරා සංචාරය කරමින් දර්ශනය, ගණිතය, ආගම, තාරකා විද්‍යාව පිලිබඳ ඉගෙන ගනිමින් වසර 12ක් සංචාරය කරන ලදී.

greekboston

ප්ලේටෝගේ දර්ශනය තුළ අපට ඔහුව හඳුනාගත හැක්කේ ඔහු විඥාණවාදියකු ලෙසය.

ප්ලේටෝගේ සංකල්පවාදය

මෙම අදහස සරලව තේරුම් ගනිමු. අප වැටකොළු, පතෝල, බණ්ඩක්කා, වට්ටක්කා ආදී වූ එළවළු වර්ගයන් දැක ඇති නමුත් එළවළු දැක තිබේද? විවිධ මිනිසුන් දැක ඇත. නමුත් මිනිසා දැක තිබේද? කළු, රතු, කහ, සුදු ආදී වර්ණයන් දැක ඇති නමුත් වර්ණ දැක තිබේද? ප්ලේටෝ පවසන්නේ අප අවට ඇති සියලු දේ යනු යම්කිසි අකාලික, පරම වස්තුන්ගේ නිරුපණයන් බවයි. අපට හමුවන සියල්ල තාවකාලික දේ වන අතර පරම වූ ලෝකයක අදාළ සෑම දෙයකම මුල් ආකෘතියන් ඇත. එය තවත් පැහැදිලි කරන්නෙ නම් මෙසේයි. යම්කිසි පරම වූ ලෝකයක මිනිසා නම් අකාලික සත්ත්වයෙක් සිටියි. අප ඉදිරියේ සිටින සියලු දෙනා එම මිනිසාට ආසන්නව සමාන වන ලෙස තනන ලද නිරුපනයන්ය. මෙම පරම වූ ලෝකය මුලින්ම ඇති වී එහි නිරුපනයක් ලෙස අප ජිවත්වන අවට ලෝකය බිහිව ඇත. මෙම පරම වූ අකාලික ලෝකය ‘සංකල්ප ලෝකය’ වේ.

ප්ලේටෝට අනුව භෞතික ලෝකය සංකල්ප ලෝකයේ නිරුපණයකි

විවිධ වස්තුන්ට සමාන ලක්ෂණ ලැබී ඇත්තේ ඇයිද යන්න ඔබ සිතා බලා ඇත්ද? ඊට හේතුව මේ සියල්ල සෑදී ඇත්තේ පොදු ආකෘතියකට අනුව නිසා බවයි ප්ලේටෝ පවසන්නේ. විවිධ මිනිසුන්, ශාක, සතුන්, පාෂාණ, ද්‍රව මේ සියල්ල තුළ විවිධාකාර බෙදීම් සහිත ප්‍රභේදයන් ඇත. නමුත් ඒවාට ඉතාම පොදු වූ ලක්ෂණ ඇත. කළු, සුදු, දුඹුරු බළලුන් සිටියි. නමුත් ඒ බළලෙකු බව අපට හඳුනාගැනීමට පොදු ලක්ෂණද ඇත. උස, මිටි, කළු, සුදු, තලෙළු, හිසකෙස් බොකුටු, තුනී මිනිසුන් සිටියි. නමුත් එම වෙනස් ලක්ෂණ සියල්ල මැද මිනිසා ලෙස හඳුනාගත හැකි පොදු ලක්ෂණ කිහිපයක් ඇත. අනෙකුත් දෑ සම්බන්ධවද එසේමය.

මෙහි සියලු සතුන් බළලුන් බව ඔබ තීරණය කළේ කෙසේද? (depositphotos)

අප අවට ඇති ද්‍රව්‍යයන්හි පොදු ලක්ෂණ අනුව ඒ ඒ වස්තුවට යම්කිසි ආකෘතියක් ඇත. වස්තුන් ඇති විශාල ප්‍රමාණයක් අප අවට ඇතත් පොදු ලක්ෂණ අනුව වර්ග කළ පසුව ඒවා සීමිත සංඛාවකට ගොනු කළ හැකි බවත් එම ආකෘති සංකල්ප ලෙසත් සියලුම ආකෘතින් අඩංගු ලෝකය සංකල්ප ලෝකයත් වේ. මෙය පරිපුර්ණ ලෝකයකි. අපගේ ඉන්ද්‍රියන්ට ගෝචර වන ලොව තුළ කිසිවක් නිත්‍ය නැත, පරිපුර්ණ නැත. ප්ලේටෝගේ පැහැදිලි කිරීම එසේය. ප්ලේටෝ විඥාණවාදියකු වන්නේ ඇයිද යන්න ඔබට දැන් පැහැදිලි වී ඇතැයි සිතමු. ප්ලේටෝට අනුව වඩාත් මුලික වන්නේ ද්‍රව්‍යය නොව විඥාණය විසින් පසක් කළහැකි පරිපුර්ණ ලොවකි.

මේ පවසන පරිපුර්ණ වූ ලෝකය ප්‍රත්‍යක්ෂ කරගන්නේ කෙසේද? ප්ලේටෝ ඊට දෙන පිළිතුර නම් එය බුද්ධියට අදාළ කාර්යයක් බවයි. එනම්, බුද්ධිය වෙහෙසවා ලොවේ යථාර්ථය අවබෝධ කරගෙන පරිපුර්ණ ලොව ප්‍රත්‍යක්ෂ කරගැනීමට හැකි බවයි.

ආත්මය

ප්ලේටෝ පවසන ආකාරයට මිනිසුන් ඉපදීමට පෙර සිටම ආත්මය යනුවෙන් දෙයක් පැවත ඇත. ආත්මය එසේ පැවති තිබෙන්නේ ඉහත කී පරිපූර්ණ ලෝකය තුලයි. මෙලොවදී අප යමක් දකින විට මේ තිබෙන්නේ මෙයයි යනුවෙන් අපට හඳුනාගත හැකි වන්නේ ඉපදීමට පෙර පරිපූර්ණ ලෝකයේදී අප මෙලොව දකින ද්‍රව්‍යයන්හි ආකෘතින් දැක තිබෙන නිසා එම මතකයෙන් බවත් ප්ලේටෝ පවසයි. (එය සිදුවන්නේ එසේ මතයකයකින්ද? නැතිනම් සමාජය විසින් අපට උගන්වා ඇති නිසාද?) එසේම තමන් පෙර සිටි පරිපුර්ණ ලෝකය වෙත නැවත ගමන් කිරීමට තද බල ආශාවක් මිනිසුන් තුළ ඇතිවන බවත් ඊට ඊරෝස් (ආදරය) යනුවෙන් නමක්ද ප්ලේටෝ ලබාදුනි.

linguistlist

දාර්ශනික රාජ්‍යය

ප්ලේටෝගේ දේශපාලන දර්ශනය අනුව දාර්ශනික රාජ්‍යයක කොටස් තුනක් ඇත. ඔවුන්ව හැඳින්වුයේ හිස, පපුව, සහ උදරය ලෙසයි. හිස යනු බුද්ධිමත් කොටසයි. බුද්ධිමතුන් විසින් රාජ්‍යය පාලනය කළ යුතු බව ප්ලේටෝ දැඩිව විශ්වාස කරන ලදී. එනම්, සමාජයේ බුද්ධිමත්ම පිරිස වන දාර්ශනිකයන් විසින් රාජ්‍යය පාලනය කළ යුතුයි යන්න ඔහුගේ මතය විය. පපුව ලෙස හැඳින්වුයේ අධිෂ්ටානයයි. එනම් රාජ්‍යයක සිටිය යුතු හමුදාවයි. උදරය නම් රුචිකත්වයයි. එනම් කුසට අහර පිරවීම සඳහා නිෂ්පාදනයේ යෙදෙන කම්කරුවන්ය. මේ සියලු දෙනාම තම තමන්ට පැවරුණු කාර්යයන් නිසි ලෙස ඉටු කිරීම යහපත් රාජ්‍යයක ලක්ෂණයක් බව ද ඔහුගේ මතය විය. තව ද, පරමාදර්ශී රාජ්‍යයේ පාලකයන්ට සහ හමුදාවන්ට පුද්ගලික ජීවිතයක් හෝ පුද්ගලික දේපල හිමි නොවිය යුතුබවද ප්‍රකාශ කරන ලදී.

shutterstock

ස්ත්‍රිය පිළිබඳව

ප්ලේටෝ එවකට සමාජයේ මතය වූ ස්ත්‍රිය තලා පෙලා පසුපසට දැමීම වෙනුවට ඇයට සම අයිතිය වෙනුවෙන් පෙනී සිටින ලදී. ස්ත්‍රියට ද රාජ්‍යය පාලනය පවා සිදු කළ හැකියි යන මතය ඔහු ඉදිරිපත් කරන ලදී. කාන්තාවට අධ්‍යාපනය පුහුණුව ලබා නොදෙන සමාජය යනු තමන්ගේ දකුණු අතට පමණක් පුහුණුව දෙන මිනිසෙක් වැනි යයි ප්‍රකාශ කළේ කාන්තාව ද පුරුෂයා මෙන්ම එකසේ සමාජයට වැදගත් බව කියාදෙමිනි. මෙම මතය දැඩි පුරුශාධිපති සමාජයක් තුළ මතවාදයන්හි විප්ලවීය වෙනසක් ඇතිකරවූ අදහසකි. බුද්ධකාලීන භාරතය තුළද ස්ත්‍රිය නින්දා සහගත ලෙස බැහැර කරමින් පහත හෙලා තිබූ සමාජයට සාපේක්ෂව ගත්විට බුදුන් වහන්සේ විසින් ස්ත්‍රිය වෙනුවෙන් පෙනීසිටි මතයන්ද බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව පෙර පැවති මතවාදයන් විප්ලවීය ලෙස වෙනස් කිරීමක් බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

කාන්තාවගේ සම අයිතිය ප්ලේටෝ පිළිගත්තේ සියවස් 24කටත් පෙරය(huffingtonpost)

අධ්‍යාපනය

බටහිර සමාජයේ දී උසස් අධ්‍යාපනය සඳහා විධිමත් ආයතනයක් බිහිකළ පළමුවැන්නා ප්ලේටෝ බව අරම්භයේදී ද සඳහන් කළෙමු. ආසන්න වශයෙන් ක්‍රි.පු. 385 වැනි කාලයකදී ඔහු විසින් ඇතන්ස්හි ඇරඹු මුල්ම පාසල තුල තාරකා විද්‍යාව, ගණිතය, දේශපාලන විද්‍යාව, ජීව විද්‍යාව වැනි විෂයයන් පිලිබඳ දැනුම ලබා දෙන ලදී. මෙම පාසලේ නාමය ඇකඩමි නම් වූ අතර පසුව එය Academy ලෙස භාෂාවට එක්විය. ප්ලේටෝගේ මරණයෙන් පසුවද මෙය පවත්වාගෙන යන ලද අතර ක්‍රි.ව. 529 දී පමණ ජස්ටිනියෝ  රෝම අධිරාජ්‍යයා විසින් මෙය නවතා දමන ලද්දේ මෙය මිත්‍යාව පතුරන ක්‍රිස්තියානි දහමට එරෙහි යැයි සැලකීමෙනි.

ඇතන්ස්හි පාසලේ ප්ලේටෝ ඇරිස්ටෝටල් සමග සිතුවමක් (history)

ප්ලේටෝට අනුව ළමුන් හදාවඩා ගැනීම බොහොමත් වගකීම් සහගත කටයුත්තක් වූ අතර, එම නිසා රාජ්‍යය විසින් එය කළ යුතු යැයි සලකන ලදී. මෙම අදහස් සලකා බැලීමේදී පෙනි යන්නේ ළදරු පාසල් සහ පුර්ණකාලින අධ්‍යාපනය පිලිබඳව නිශ්චිතව අදහසක් ඉදිරිපත් කරන ලද පළමුවැනියා ලෙස ප්ලේටෝ හමුවන බවයි.

ප්ලේටෝ බොහෝ ක්ෂේත්‍ර ආවරණය කරමින් අධ්‍යයනයන්ද, අධ්‍යාපනයද ලබාදීමද සිදුකර ඇතිබව අපට පසක් කරගත හැක. බොහොමත් ප්‍රගතිශීලි අදහස්ද ඒ අතර වේ. කාන්තාව පිලිබඳ සහ අධ්‍යාපනය පිලිබඳ මතයන් ඉතා වැදගත්ය. ප්ලේටෝ ක්‍රි.පු. 348දි පමණ මියගිය බව පැවසෙන අතර අවසානය තෙක් ඇතන්ස්හි පාසලේ කටයුතුවල යෙදෙමින් සිටඇත.

ප්ලේටෝගේ ප්‍රකාශයක් මෙසේ උපුටා දක්වමු.

‘දාර්ශනිකයන් රජවරු වියයුතුය, එසේ නොමැතිනම් රජවරුන් දාර්ශනිකයන් වියයුතුය.’

කවරයේ පින්තුරය: thoughtco

මුලාශ්‍ර: https://www.biography.com/people/plato-9442588

සොෆිගේ ලෝකය-යුස්ටයින් ගෝඩර්

Related Articles