Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කඳුලින් සැනහෙන දකුණු අප්‍රිකානු රන් ආකර සේවකයෝ

ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට

කන්නේ කරවලයි රට හාලේ බතට

බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට

යන්නේ කවදාද මවුපියො දකින්නට

ඉහත පතල් කවිය ඇසූ පමණින් හිරු එළිය නොවැටෙන අන්ධකාර පතලක් තුළට වී හරි හැටි කුසට අහරක්, බොන්නට පිරිසිදු දිය බිඳක් නොමැතිව අසරණ පතල් කරුවා ගෙවන දුක්ඛිත ජීවිතය පිළිබඳව අපේ සිත්වල නිතැතින්ම ඇඳෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ විට පතල් කර්මාන්තය කෙරෙන්නේ මැණික් හෝ මිනිරන් ඉල්ලම් අරභයායි. මේ පතල් කවිත් නිර්මාණය වී ඇත්තේ ඒවාට වී සිය ජීවනෝපාය සරි කරගන්නා මිනිසුන් වෙනුවෙන්.

ලෝකය පුරාම විවිධ ඛණිජ, ලෝහ හා ගල් අඟුරු වැනි දේ වෙනුවෙන් කණින ලද බහුතරයක් පතල්වලට ශ්‍රම දායකත්වය සපයන්නන්ගේ ජීවිත කතාත් මෙවැනිම දුක්ඛිත ඒවා. මේ අතරින් රත්‍රන් පතල් විශේෂ වන්නේ ඒවා ඉන්දියාව වැනි රටවල වංශවත් ප්‍රභූවරු විසින් සිය උසස් බව පෙන්වීමට බහුල ලෙස යොදා ගැනීම නිසයි. ලෝකයේ එක් කොනක තත්වය එසේ වෙද්දී ලෝකයේ තවත් කොනක ඔවුන් සඳහා රන් ආකර සොයමින් සිය ‘රන් දහඩිය’ හෙළන දුප්පත් ජනතාවට එහි අගයෙන් සියයෙන් පංගුවකවත් යසසක් හිමි නොවී තිබීම සැබවින්ම ඛේදනීයයි.

දකුණු අප්‍රිකානු රන් (festivetravelpartner.com)

මෑතක් වන තුරුම ලෝක රන් නිෂ්පාදනයේ කිරුළ හිමි කරගෙන සිටි දකුණු අප්‍රිකාවේ රන් ආකරවල වංහුං සොයා බැලීමේදී එය සක්සුදක් සේ පැහැදිලි වෙනවා.

දකුණු අප්‍රිකානු රන් කර්මාන්තය ගැන හැඳින්වීමක්

20 වන සියවසේ මුල් භාගයේ රන් පතල් සේවකයන් පිරිසක් (flickr.com)

රත්‍රන් කර්මාන්තය දකුණු අප්‍රිකාව තුළ ඇරඹුණේ 19 වන සියවසේ අග භාගයේ ජොහැන්නස්බර්ග් නුවරයි. ජොහැන්නස්බර්ග් නුවර තදාසන්නයේ පමණක් නොවෙයි ඒ අවටත් භූගත රන් ආකර ඇති බව ඉතා කෙටි කාලයක් තුළදී සොයා ගැනුණු නිසා ඉක්මණින්ම රන් ආකර කර්මාන්තය බාබටන් හා පිල්ග්‍රිම්ස් රෙස්ට් වැනි ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා.

20 වන සියවසේ මුල් භාගය වන විට දකුණු අප්‍රිකාව තුළ තවත් රන් ආකර සොයාගන්නා ලද අතර කාල්ටන්විල් හා ක්ලර්ක්ස්ඩෝර්ප් නගර ආශ්‍රිතව වඩාත් විශාල රන් ආකර තැනෙන්නේ ඒ නගර රන් ආකර කර්මාන්තයේ මධ්‍යස්ථාන බවට පත් කරමින්. මේ අවට ඇති ලෝක ප්‍රසිද්ධ ක්ලූෆ්, ඩ්‍රීෆොන්ටේන් වැනි රන් ආකරවලින් ලැබෙන්නට ගත් විශාල රන් තොගය නිසා දශක ගණනාවක් තිස්සේම දකුණු අප්‍රිකාව ලොව විශාලතම රන් නිෂ්පාදකයා බවට පත්ව සිටියා.

දකුණු අප්‍රිකානු රන් ආකරයක් (businessinsider.com)

රන් ආකරවල දුක් විඳින ශ්‍රමිකයන්

දකුණු අප්‍රිකාව කියන්නේ වර්ණභේද වාදය ඉතාම දරුණුවට තිබුණු රටක්. රන් ආකර ආරම්භ කළ කාලයේ පටන්ම ආකරවල වැඩ කිරීම සඳහා චීනය වැනි ආසියාතික රටවලින් මිනිසුන් පැමිණි අතර දකුණු අප්‍රිකාවෙන් මෙන්ම අසල්වැසි රටවලින් කළු ජාතිකයන්වද ගෙන්වා ගැනුණා. රන්වලට ඇති ආශාවෙන් සුදු ජාතිකයින්ද මේ වැඩ බිම්වලට පැමිණියා.

සුදු ජාතික රන් ආකර හිමියන් වැඩ සඳහා පැමිණෙන සුදු ජාතිකයින්ට වැඩි වේතනයක් සහිතව දක්ෂතා ප්‍රකට කළ හැකි වෘත්තීන් ලබා දුන් අතර කළු ජාතිකයින්ට අඩු වේතනයක් සහිත, අතේ පයේ සවි ඇවැසි කාර්යයන් ලබා දුන්නා. ආසියාතිකයන්ට තිබුණේ අතරමැදි සැළකීමක්. වර්තමානය වන විට වර්ණභේද වාදය දකුණු අප්‍රිකාව තුළ සැළකිය යුතු තරම් දකින්නට නොලැබුණත් සමස්ථයක් වශයෙන් තවමත් රන් ආකර කැණීමට කායික ශ්‍රමය ලබා දෙන්නන් කෙරෙහි වූ කුඩම්මගේ සැළකිලිවල නම් ඒ තරම් අඩුවක් වී නැහැ.

Siphiwe Sibeko/Reuters

දකුණු අප්‍රිකාවේ පමණක් නොවෙයි ලෝකය පුරාම රන් ආකර කම්කරුවන් සිය රාජකාරිය කරන්නේ ඉතාම අවදානම් වාතාවරණයක. නමුත් තවමත් ඔවුනට ලැබෙන්නේ සොච්චම් පඩියක්. විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ  කුඩා රත්‍රන් පතල්වල සේවය කරන කම්කරුවන්ට ලැබෙන්නේ ඉතා අඩු පඩියක්. එය කිසිසේත්ම ඔවුන්ගේ දුප්ප්ත් කම නිවාලන්නට ප්‍රමාණවත් නැහැ. ඒ වාගේම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගත් අවම මට්ටමක තිබෙනවා. දකුණු අප්‍රිකානු රත්‍රන් රෑන්ඩ් මිලියන ගණනක් ලාභ ලබමින් ලොව පුරා විකිණුනු සමයන් හීදී පවා එහි කම්කරුවන්ට කුසට අහරක් හා හිසට සෙවණක් ලබා ගැනීමට වෙහෙසෙන්නට සිදු වීම ඇත්තෙන්ම ශෝකජනකයි.

රන් ආකර සේවකයන් බහුතරයක් ජීවත් වන්නේ මෙවැනි නිවාසවලයි (dailymail.co.uk)

විශාල හා ලොව පතල සමාගම්වලට අයත් රන් ආකර වල තත්වය මීට වඩා මදක් සතුටුදායක මට්ටමක තිබුණත් එය කිසිසේත්ම සෑහීමකට පත් විය හැකි මට්ටමක් නොවෙයි. දකුණු අප්‍රිකාවේ සමහර රන් ආකර සේවකයන්ට සමිති සමාගම් පිහිටුවීමට බොහෝ බාධා පැමිණෙන අතර සමහරක් දෙනා තවමත් ජීවත් වන්නේ පිරිසිදු ජලය හෝ විදුලි බලය නැති වටපිටාවකයි.

රන් ආකර කම්කරුවන් හට ලබාදෙන ආරක්ෂාවේ විශාල ගැටළු අදටත් පවතිනවා. විශේෂයෙන්ම කුඩා ආකරවල කාර්යයේ නිරත වෙන සේවකයන්ට අවශ්‍ය අවම ආරක්ෂාව සපයන උපකරණවත් සමහර විට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම පොළොව කණින විට රසදියට නිරාවරණය වීමෙන් ඇති වන ආබාධද, දුහුවිල්ල ආශ්වාස කිරීමෙන් ඇතිවන ශ්වසන රෝගද මේ අය අතර බහුලයි. විශාල ආකරවලද ආරක්ෂාව නිසියාකාරයෙන් තහවුරු වී නැහැ. 2014 වසරේ දකුණු අප්‍රිකානු ආකරයක ගල් පෙරළීම නිසා ඇති වූ ගින්නකින් සේවකයන් 9 දෙනෙකු මිය ගියා.

දකුණු අප්‍රිකානු රන් කර්මාන්තයේ වර්තමානය හා අනාගතය

දකුණු අප්‍රිකාණු රත්‍රන් කර්මාන්තයට කණකොකා හඬන්නට ගත්තේ 21 වන සියවසේ ආරම්භයත් සමඟයි. තව දුරටත් රත්‍රන් සෙවීම සඳහා පතල් ගැඹුරට කණින්නට සිදු වූ අතර ඒත් සමඟම වාගේ ලෝක රත්‍රන් මිල පහළ වැටුණා. 21 වන සියවස ආරම්භයේදී සිදු වූ ලෝක ආර්ථිකය කඩා වැටීම 2008 වසර අවසන් වන විට හොඳ අතට හැරුණත් දකුණු අප්‍රිකානු රන් කර්මාන්තයට නම් තවමත් එහි අර්බුදයෙන් ගොඩ එන්නට ලැබී නැහැ.

දකුණු අප්‍රිකානු රන් නිෂ්පාදනය (1988-2013) අඩු වීමක් පෙන්නුම් කරයි (news.goldseek.com)

රන් ආකර කර්මාන්තයේ අභ්‍යන්තර අර්බුධ වන උපකරණ වියදම වැඩි වීම හා 2013/2014 වර්ෂවල චීන ආර්ථික වර්ධනයේ මන්දගාමී බව නිසා එම කර්මාන්තයේ පැවැත්මට වර්තමානයේ විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. කලක් ඉහළින්ම වැජඹුණත් 2013 වසර වන විට දකුණු අප්‍රිකාවේ රන් ලෝක රන් නිපැයුමට දායක වීම 5.3% දක්වා පහත ගොස් තිබුණා. වර්තමානයේ දකුණු අප්‍රිකාව ලෝක රන් නිෂ්පාදකයන් අතර 7 වන තැනට පසුබැස තිබෙන අතර ප්‍රමුඛයා වන්නේ චීනයයි.

මේ අනුව වර්තමානය වන විට දකුණු අප්‍රිකාව තුළ ඇති රන් ආකරවලින් අඩක්ම එක්කෝ සුළු ලාභ ලබන, නැතිනම් ලාභ නොලබන ඒවා බවට පත් වී තිබෙනවා. මේ නිසා එහි සේවයේ නියුතු ශ්‍රමිකයන්ට වැඩි වැටුපක් ගෙවීම හා නිසි ආරක්ෂාව සැපයීමත් දැන් අභියෝගයක් වෙලා. දැන් දැන් ඔවුන් සිය සේවක අයිතිවාසිකම් ඉල්ලා සිටිනවා.

අයිතිවාසිකම් ඉල්ලා පාරට බසින ලද රන් ආකර සේවකයෝ (Kim Ludbrook/EPA)

පසුගිය දශකය තුළ රන් ආකර කර්මාන්තය දකුණු අප්‍රිකානු දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සැළකිය යුතු මට්ටමින් අඩු වී තිබෙනවා. තවමත් දකුණු අප්‍රිකාවේ අපනයන භාණ්ඩ අතර ඛණිජ ද්‍රව්‍ය වෙළඳාම සැළකිය යුතු අගයක් වන 17% ක් ලෙස සටහන් වූවත් 2012 වසරේ සිට ප්‍රමාණාත්මක වශයෙන් 40% ක පමණ අඩුවක් පෙන්නුම් කරනවා.

1980 වසරෙන් පසු දකුණු අප්‍රිකානු රන් කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේත් ක්‍රමික අඩු වීමක් පෙන්නුම් කරනවා. වර්තමානය වන විට ශ්‍රමිකයන් 120,000 ක් පමණ මෙහි කාර්යවල නිරත වන අතර නිෂ්පාදනය අඩු වුවත් පඩි නඩි නම් වැඩි කරන්නට සිදු වී තිබෙනවා. කෙසේ වෙතත් රන් ආකර සම්බන්ධ රැකියා තවමත් දකුණු අප්‍රිකානු භූමිය තුළ තවත් වක්‍ර රැකියා රැසකම පැවැත්ම තීරණය කරන සාධකයක්.

කවරයේ පින්තූරය (www.ft.com)

Related Articles