පාතාලය අයත් ග්‍රීක දෙවිඳුගෙන් නම් ලද ‘ප්ලූටෝ’

අපි කුඩා කාලයේ සෞරග්‍රහමණ්ඩලය ගැන තොරතුරු ආශාවෙන් කියැවූවා ඔබට මතක ඇති. එහිදී සූර්යයාගෙන් ඈතින්ම පිහිටි ග්‍රහලෝකය ලෙස අපි හඳුනාගත්තේ ‘ප්ලූටෝ’ ග්‍රහලෝකයයි. ග්‍රහලෝකයක් ලෙස 2006 වසර වනතුරු හඳුන්වනු ලැබුවද ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් එය ‘වාමන ග්‍රහලොවක්’ ලෙස තත්ත්වයෙන් පහත හෙළනු ලැබුවා.

ප්ලූටෝ ග්‍රහලොව සෞරග්‍රහමණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක හා සසඳන කල්හි සුවිශේෂී ලක්ෂණ රාශියකින් සමන්විත වෙනවා. අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ මේ හුරුබුහුටි ග්‍රහ වස්තුව​ ගැන වැදගත් තොරතුරු කිහිපයකුයි.

ප්ලූටෝ පිළිබඳ මූලික තොරතුරු

ක්ලයිඩ් ටොම්බෝ-nasa.gov

ඇමෙරිකානු ජාතික තාරකා විද්‍යාඥ ක්ලයිඩ් ටොම්බෝ විසින් 1930 වසරේදී ප්ලූටෝ සොයාගනු ලැබුවා. පාතාලය අයිති ග්‍රීක දෙවිඳු වන ප්ලූටෝ ට අනුව මෙය නම් කරනු ලැබ තිබෙනවා. සාමාන්‍ය වශයෙන් ප්ලූටෝ පිහිටා තිබෙන්නේ සූර්යයාගේ සිට කිලෝමීටර බිලියන 5.76 තරම් දුරකිනුයි. මෙය  සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර මෙන් 40 ගුණයක් වෙනවා. ඒ කෙසේ නමුත් ප්ලූටෝගේ කක්ෂීය ගමන් මාර්ගය ඉතාම ඉලිප්සීය හැඩයක් ගන්නවා. මේ නිසා ඇතැම් අවස්ථාවල​ ප්ලූටෝ නෙප්චූන්ටත් වඩා සූර්යයාට ළඟා වෙනවා. සූර්යයාට ආසන්නම අවස්ථාවේදී ප්ලූටෝ සූර්යයාට කිලෝමීටර බිලියන 4.4 ක දුරකින් පිහිටන අතර ඈතින්ම පිහිටන විට කිලෝමීටර බිලියන 7.3 ක දුරකින් පිහිටනවා. ප්ලූටෝගේ විෂ්කම්භය කිලෝමීටර 2372 ක් පමණ වන අතර එය පෘථිවියට අයත් චන්ද්‍රයාගේ විෂ්කම්භය මෙන් 2/3ක් පමණ වෙනවා.

ප්ලූටෝ කක්ෂය-nasa.gov

ප්ලූටෝ හි කක්ෂය වැටී ඇත්තේ කුයිපර් පථය හරහායි. ප්ලූටෝ හිරු වටා සම්පූර්ණ වටයක් යාමට වසර 248 ක් ගන්නවා. සිය අක්ෂය වටා එක් වටයක් භ්‍රමණය වීමට මෙයට පෘථිවි දින 6 1/2 ක් ගන්නවා.

ප්ලූටෝගේ චන්ද්‍රයන්

වර්තමානය වන විට ප්ලූටෝ සතුව චන්ද්‍රයින් 5 දෙනෙකු ඇති බව සොයාගෙන තිබෙනවා. ඉන් විශාලම එක වන්නේ චාරොන් චන්ද්‍රයායි. චාරොන් ප්ලූටෝගේ ප්‍රමාණයෙන් අඩක් පමණ විශාල වෙනවා. ප්ලූටෝ සතුව චාරොන්ට වඩා විශාලත්වයෙන් අඩු තවත් චන්ද්‍රයින් 4ක් මේ වන විට සොයාගෙන තිබෙනවා. නික්ස්, හයිඩ්‍රා, කර්බ්‍රොස් හා ස්ටයික්ස් ඒ හතරයි. මේවා පිළිවෙලින් 2005, 2005, 2011 හා 2012 වසර වල සොයාගත් අතර ඒවා එකක්වත් පළලින් කිලෝමීටර 160 කට වඩා වැඩි වන්නේ නැහැ.

ප්ලූටෝගේ චන්ද්‍රයන්-umdrightnow.umd.edu

ප්ලූටෝහි ස්වභාවය

ප්ලූටෝ ඉතාම ශීතල වටපිටාවක් සහිත වාමන ග්‍රහලොවක් වෙනවා. එහි සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක සෘණ 375 – 400 ක් අතර වෙනවා. ප්ලූටෝ පෘථිවියේ සිට ඉතාමත් දුරින් පිහිටා ඇති නිසා විද්‍යාඥයින්ට තවමත් එහි වාතාවරණය ගැන ඉතාම නිවැරදි නිර්ණයන් කරන්නට බැහැ. කෙසේ නමුත් දැනට එහි කඳු, නිම්න, ආවාට වැනි භූ ලක්ෂණ​ ඇති බවට නිර්ණය කර තිබෙනවා.

ප්ලූටෝ හි මතුපිට-Youtube.com

ප්ලූටෝට ඇත්තේ දුර්වල ගුරුත්වාකර්ෂණ බලයක්. එය පෘථිවියේ මෙන් 1/15 පමණ අගයක් වනවා. පෘථිවියේ ග්‍රෑම් 100ක් බරැති යමක් ප්ලූටෝහි පෙන්නුම් කරන්නේ ග්‍රෑම් 7ක බරක් පමණයි.

ප්ලූටෝ වාමන ග්‍රහලොවක් ලෙස නම් කළේ ඇයි?

තාරකා විද්‍යාඥයෙකු වන මයිකල් බ්‍රවුන් 2003 වසරේදී ප්ලූටෝ ග්‍රහලොවට ඔබ්බෙන් ස්ථානගත වී ඇති යම් වස්තුවක් සොයාගත්තා. එය ප්ලූටෝට වඩා තරමක් විශාල බව පෙණුනු අතර ඔහු විසින් එයට ‘ඊරිස්‘ යන නම තැබුවා. (පසු කළෙක ඊරිස් ප්ලූටෝට වඩා සුළු ප්‍රමාණයක් කුඩා බව සොයා ගැණුනා)

වාමන ග්‍රහලෝක 5 සිය චන්ද්‍රයින් සමඟ-tragicocomedia.com

ඊරිස් සොයාගැනීමත් සමඟ ග්‍රහලොවක් ‘ග්‍රහලොවක්’ ලෙස සැලකීම සඳහා සම්පූර්ණ කළ යුතු සාධක පිළිබඳව තාරකා විද්‍යාඥයින් අතර කතාබහක් ඇති වුණා. මේ අනුව අවසානයේ ප්ලූටෝගේ කුඩා ප්‍රමාණය හා දුර්වල ගුරුත්වය සළකමින් එය ‘වාමන ග්‍රහලොවක්’ බවට තත්වයෙන් පහත හෙළීමට  ඔවුන් තීරණය කළා. වර්තමානය වන විට ප්ලූටෝ වැනි තවත් වාමන ග්‍රහලෝක 4ක් හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. ඒවා ඊරිස්, සෙරෙස් (අඟහරු බ්‍රහස්පති අතර ), හවුමෙයා හා මකෙමකේ ලෙස නම් කර තිබෙනවා.

ප්ලූටෝ පිළිබඳ තවත් වැදගත් කරුණු

දැනට හඳුනාගෙන ඇති වාමන ග්‍රහලෝක අතරින් විශාලම ග්‍රහලෝකය ප්ලූටෝයි. දෙවනුවට විශාලම ඊරිස් කිලෝමීටර 2326 ක විෂ්කම්භයක් දරනවා.

ප්ලූටෝ හි සම්පූර්ණ ස්කන්ධයෙන් තුනෙන් පංගුවක්ම ඇත්තේ අයිස් බව සඳහන්.  මෙහි ඇති අයිස් ප්‍රමාණය සැළකීමේදී ප්ලූටෝ සතුව පෘථිවියේ සියළු සාගර වල ඇති ජලප්‍රමාණය මෙන් තුන් ගුණයක් ජලය (අයිස් ලෙස) මෙහි අන්තර්ගත වෙනවා. ප්ලූටෝ හි ඉතිරි තුනෙන් දෙක තද පාෂාණ වලි සෑදී තිබෙනවා. මෙහි මතුපිට අයිස් වලින් වැසී ඇති අතර කඳු, තද හා ලා පැහැති පෙදෙස් වැනි දෑ නිරීක්ෂණය කළ හැකියි.

ප්ලූටෝ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක වල සමහර චන්ද්‍රයින්ටත් වඩා කුඩායි. කොටින්ම ප්ලූටෝ පෘථියිය සතු චන්ද්‍රයාගේ විෂ්කම්භය මෙන් 66% ක විෂ්කම්භයකට උරුමකම් කියන අතර එහි ස්කන්ධය චන්ද්‍රයා මෙන් 18% ක් පමණ වෙනවා.

ප්ලූටෝ නෙප්චූන් ට වඩා කලෙකදී සූර්යයාට ළං වෙනවා-everythingselectric.com

සිය වසර 248 ක කක්ෂීය පරිභ්‍රමණ කාලය තුළ ප්ලූටෝ කෙටි කාලීනව නෙප්චූන්ට වඩා සූර්යයාට ළං වෙනවා. එය දළ වශයෙන් වසර 20 ක පමණ කාලයක් මෙලෙස සූර්යයාට වඩාත් ආසන්නව ඇදී යනවා. අවසාන වතාවට ක්‍රි.ව 1979 පෙබරවාරි මස 7 වනදා නෙප්චූන් කක්ෂයට වඩා සූර්යයාට ළඟා වූ ප්ලූටෝ ක්‍රි.ව 1999 පෙබරවාරි 11 වන දා නැවතත් නෙප්චූන් කක්ෂයට වඩා සූර්යයාගෙන් ඈත් වුණා.

‘නිව් හොරයිසන්ස්’ නම් අභ්‍යාවකාශ යානය 2006 වසරේ පෘථිවියෙන් නික්ම ප්ලූටෝ බලා ගමන් ආරම්භ කළ අතර එය 2015 වසරේ ජූලි මස 14 වනදා ප්ලූටෝ අසළින් ඇදී යමින් පෘථිවියට එහි ඡායාරූප රැසක් එවනු ලැබුවා. නිව් හොරයිසන්ස් ප්ලූටෝගෙන් නොනැවතී කුයිපර් පටියේ තවත් දුරින් පිහිටි ග්‍රහ වස්තු නිරීක්ෂණය කිරීම සඳහා යොදාගැනීමට හැකි වෙතැයි විද්‍යාඥයින් විශ්වාස කරනවා.

නිව් හොරයිසන්ස්’ අභ්‍යාවකාශ යානය- Solarviews

ක්ලයිඩ් ටොම්බෝ ප්ලූටෝ සොයාගත්තද ප්ලූටෝ පිළිබඳව මුලින්ම පුරෝකථනය කළේ ඇමෙරිකානු විද්‍යාඥයෙකු වූ පර්සිවල් ලොවෙල් විසිනුයි. යුරේනස් හා නෙප්චූන් කක්ෂ වල වෙනස්කම් ආධාරයෙන් 20 වන සියවස ආරම්භයේදීම ඔහු මේ අනුමානය කර තිබුණා.

පර්සිවල් ලොවෙල් -biography.com

ප්ලූටෝ සතුව ඇති ඉතාමත් ඉලිප්සීය කක්ෂය නිසා කාලයෙන් කාලයට එයට හිරුගෙන් ලැබෙන ශක්ති ප්‍රමාණය වෙනස් වෙනවා. සූර්යයාට වඩාත් ළං වන විට එයට ලැබෙන වැඩි සූර්යය විකිරණ ප්‍රමාණය නිසා එහි මතුපිටින් නයිට්‍රජන් වායුව මුදාහැරීම සිදු වෙනවා. මේ නිසා තාඅවකාලිකව තුනී වායුගෝලයක් ප්ලූටෝහි නිෂ්පාදනය වෙනවා. මීට අමතරව මීතේන් වායුවද නිදහස් වී එහි පෘෂ්ඨයෙන් කිලෝමීටර 161ක් තරම් දුරට පැතිරුණු වායුගෝලයක් නිර්මාණය වෙනවා. ප්ලූටෝ සූර්යයගෙන් ඈත් වත්ම නැවතත් මේවා ඝණ වී එහි මතුපිටට වැසී අයිස් ස්ථරයෙන් වැසී යනවා.

කවරයේ පින්තූරය -theregister.co.uk

Related Articles