Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා පොලීසිය සතු බලතල සහ මහජන අයිතිවාසිකම් : නැවත්වීම, ප්‍රශ්න කිරීම, පරීක්ෂා කිරීම සහ රඳවා ගැනීම සඳහා වන නීති

මේ අවුරුද්දේ සැප්තැම්බර් 3 වෙනිදාට ශ්‍රී ලංකා පොලීසිය ස්ථාපිත කරලා අවුරුදු 150ක් සම්පූර්ණ වෙනවා. මේ අවුරුදු 150 තුළ ලංකාවේ වෙනස් වෙන්න පුළුවන් හැම දේම වෙනස් වුණා. බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් විදිහට තිබිලා, පසුව නිදහස ලබලා, ජනරජයක් බවට පත් වුණේ මේ කාලය අතරතුරදීයි. මුලින් සිලෝන් කියලා හැඳින්වුණු මේ භුමිය 1972 ව්‍යවස්ථාවෙන් ලංකාව කියලත්, 1978 ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකාව කියලත් නමින් පවා වෙනස් වුණා. ඉතින් මේ කාලය පුරාවට රටේ පොලිස් දෙපාර්තමේන්තුවේත් විශාල වෙනස් කම් සිදු වුණා කියන්න පුළුවන්. රට පුරාම ඉතා හොඳින් ව්‍යාප්ත වෙලා පොලිස් සේවයේ නියුතු පිරිසත් වැඩි වුණා වගේම ඔවුන් සතු බලතල වල පවා වෙනස් කම් ඇති වුණා.

ලංකාවේ බහුතරයකට අපේ රටේ පොලීසියට තියෙන බලතල ගැන නිවැරදි දැනුමක් නැහැ. ඒ නිසා බොහෝ වෙලාවල් වලදී පොලීසිය අවතක්සේරු කිරීම වගේම අධිතක්සේරු කිරීමත් සිදු වෙනවා. මේවාට උදාහරණ ඕනෑ තරම්. අපි දැකලා තියෙනවා සමහරු පොලීසියට ගිහින් කියනවා දැන්ම ඇවිත් අහවල් අසල්වැසියාගේ ගෙදර වහලා දාන්න කියලා, ඒත් ඒ වගේ දේවල් අධිකරණ නියෝග නැතිව පොලීසියට තනියම කරන්න බැහැ. වෙලාවකට පොලිසිය අත් අඩංගුවට ගන්න ගියාම එහෙම කරන්නේ කොහොමද කියලා අහන අය ඉන්නවා. මේ වගේ වෙලාවල් වල ඔවුන් කරපු වරදට රාජකාරියට බාධා කිරීම කියලා අමතර වරදකුත් එකතු වෙන බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න ඇති වෙන එක අඩු කරගන්න පොලීසියේ නිල වෙබ් අඩවියේ වෙනම අංශයක් පවා වෙන් කරලාම තියෙනවා. පොලීසිය සතු බලතල නිවැරදිව හඳුනා ගන්න ඒක හොඳ උදව්වක්.

මේ විදිහට පොලීසිය සතු බලතල නිවැරදිව තේරුම් නොගන්න ප්‍රධාන හේතුව විදිහට ලංකාවේ සාමාන්‍ය මහජනතාව රටේ නීති පද්ධතියට අදාළ පනත් වගේ දේවල් පරිහරණය නොකරන එක දක්වන්න පුළුවන්. ඇත්තටම සමහර පනත් රජ කාලේ ඒවා වීමත් මේකට තවත් හේතුවක්. හොඳ උදාහරණයක් තමයි පොලිස් ආඥා පනත. “කරත්ත සහ අශ්වයන්, හරකුන් හෝ වෙනත් සතුන් අදින වෙනත් වාහන” කියලා තමයි ඒකෙ රටේ වාහන ගැන හඳුන්වලා තියෙන්නේ. මේක තමයි තමවත් ශ්‍රී ලංකා පොලීසිය සතු වගකීම සහ බලතල ගැන තියෙන ප්‍රධානතම නීතිමය ලියවිල්ල. 1866 කෙටුම් පත් කෙරුණු මේ පනතට 1947න් පස්සේ මේ වනතුරු කිසිම වෙනසක් හෝ සංශෝධනයක් කරලා නැහැ. 1949 පොලිස් පනතත් මේ විදිහටම යල් පැන ගිය එකක්. මේකේ අවසාන වරට සංශෝධනයක් කරලා තියෙන්නේ 1984දී, ඒ කිව්වේ අවුරුදු 30කටත් කලින්.

පොලීසියට තියෙන වගකීම් සහ බලතල අතරින් බොහෝ දෙනා හැම වෙලාවේම වගේ වැරදියට තේරුම් ගන්නේ ප්‍රධාන කරුණු කිහිපයක් ගැනයි. නම් වශයෙන් කිව්වොත් පොලීසියට යමෙක් නවත්වන්න, ප්‍රශ්න කරන්න, පරීක්ෂා කරන්න සහ රඳවා ගන්න තියෙන බලතල තමයි වැඩි දෙනා නිවැරදිව දන්නේ නැත්තේ. මේ ලිපිය තුලින් Roar අපි බලාපොරොත්තු වෙන්නේ අපේ පාඨකයන් තුල ඒ සම්බන්ධව පවතින දැනුම වැඩි කරන්නයි. මේ ලිපිය කියවලා මේ ගැන වැඩිදුර තොරතුරු සොයා බලා දැනගන්නත් ඔබ තුළ උනන්දුවක් ඇති වේවි කියලා අපි විශ්වාස කරනවා.

නවත්වන්න සහ ප්‍රශ්න කරන්න තියෙන බලතල

පොලිස් නිල ඇඳුමෙන් සිටින ඕනෑම නිලධාරියෙකුට ඔබව නවත්වා ප්‍රශ්න කරන්න බලතල තියෙනවා. රූපය : මිනාලි හපුතන්ත්‍රී

පොලිස් නිල ඇඳුමෙන් සිටින ඕනෑම නිලධාරියෙකුට ඔබව නවත්වා ප්‍රශ්න කරන්න බලතල තියෙනවා. රූපය : මිනාලි හපුතන්ත්‍රී

රටේ ඕනෑම තැනකදී නිල ඇඳුමෙන් සිටින පොලිස් නිලධාරියෙකුට ඔබේ අනන්‍යතාව පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ඔබව ඕනෑම අවස්ථාවක නවත්වලා ප්‍රශ්න කරන්නත් පොලිස් නිලධාරියෙක්ට පුළුවන්. විශේෂයෙන්ම ඔබ කවුද? ඔබ යම් තැනක ඉන්නා හේතුව මොකක්ද, ඔබ යන්නේ කොහේද සහ ඔබ සතුව තියෙන දේවල් (සාක්කු වල, ගමන් මලු වල, වාහනය තුළ වගේ) මොනවාද වගේ ප්‍රශ්න ඇසීමට ඔවුන්ට බලතල තිබෙනවා. මේ ප්‍රශ්න වලට පිළිතුරු නොදීම හෝ වෙනත් අවහිරයක් කිරීම ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමක් කියලා සැලකෙනවා.

  • මේ විදිහට නවත්වා ප්‍රශ්න කරන්න අයිතිය ඕනෑම පොලිස් නිලධාරියෙකුට තියෙනවා. සමහර විට මේ ගැන ඔබ එක එක දේවල් අහලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඕනෑම පොලිස් නිලධාරියෙක්ට ඔබ පාරේ ගමන් කරන විට නවත්වා ප්‍රශ්න කරන්න බලතල තියෙනවා. ඔහු/ඇය රථවාහන පොලීසියේ කෙනෙක් වෙන්නම අවශ්‍ය නැහැ. ඒ වගේම එතැන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් ඉන්න අවශ්‍යත් නැහැ. මෝටර් රථවාහන ආඥා පනතේ 162 පරිච්ඡේදය සහ පොලිස් ආඥා පනතේ 56 වන පරිච්ඡේදයට අනුව තනි පොලිස් නිලධාරියෙක්ට ඕනෑම අවස්ථාවක ඔබව නවත්වන්න පුර්ණ බලතල තියෙනවා. ඔබ වාහනයක් පදවද්දී වුණත්, පාරේ ඇවිදින අතරේ වුණත් මෙහෙම නවතා ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් ඔහු/ඇය පොලිස් නිල ඇඳුමෙන් සිටීම හෝ පොලිස් පොලිස් නිලධාරියෙක් බව තහවුරු කිරීම අවශ්‍යයි.
  • නවත්වපු වෙලාවට ඔබ යම් පිළිගත් අනන්‍යතා සහතිකයකුත්, වාහනයක් පදවමින් සිටියොත් රියදුරු බලපත්‍රයත් ඉදිරිපත් කළ යුතුයි.යම් පොලිස් නිලධාරියෙක් ඔබව පරීක්ෂා කරොත් සහ ඔබේ අනන්‍යතාව තහවුරු කරන්න කිව්වොත් ඔබ සතු පිළිගත හැකි මොකක් හරි අනන්‍යතා ලියවිල්ලක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය තමයි වඩාත්ම පිළි ගන්නේ.

සමහර අවස්ථා වලදී කාන්තාවක් රිය පදවද්දී හෝ පදික වේදිකාවක ගමන් කරන විට ප්‍රශ්න කරන්න නම් කාන්තා පොලිස් නිලධාරිනියක් ඉන්න අවශ්‍ය වුණත් ගැහැණු හෝ පිරිමි ඕනෑම පොලිස් නිලධාරියෙකුට කාන්තාවක් නවත්වා ප්‍රශ්න කරන්න බලතල තියෙනවා. ඒ වගේම නම, ලිපිනය අහන්න, අනන්‍යතාව තහවුරු කරන යමක්, රියදුරු බලපත්‍රය හෝ දුරකථන අංකය ඉල්ලන්න හෝ අවශ්‍යතාවයට අදාළ ඕනෑම ප්‍රශ්නයක් අහන්න සම්පූර්ණ බලය තියෙනවා.

මෝටර් රථවාහන ආඥා පනතේ 135 පරිච්ඡේදයේ 1 වන වගන්තියට අනුව ඕනෑම පොලිස් නිලධාරියෙක්ට ඔබේ වාහනය නවත්වා රියදුරු බලපත්‍රය ඉල්ලා සිටින්න පුළුවන්. නමුත් ඔහුට / ඇයට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගන්න පුළුවන් වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයට අදාලව ඔබ කළ වරද කුමක්ද කියලා හරියටම කියන්න හැකියාවක් තියෙනවා නම් විතරයි.

නවත්වා පරීක්ෂා කරන්න තියෙන බලතල

පොලිස් නිලධාරියෙකුට ඕනෑම කෙනෙක්ව නවත්වා පරීක්ෂා කරන්න බලතල තියෙනවා. නමුත් ඒ සඳහාත් යම් විධිමත් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්න අවශ්‍යයි. රූපය : මිනාලි හපුතන්ත්‍රී

පොලිස් නිලධාරියෙකුට ඕනෑම කෙනෙක්ව නවත්වා පරීක්ෂා කරන්න බලතල තියෙනවා. නමුත් ඒ සඳහාත් යම් විධිමත් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්න අවශ්‍යයි. රූපය : මිනාලි හපුතන්ත්‍රී

නවත්වා පරීක්ෂා කිරීම කියන එක සිද්ධ වෙන්නේ පොලිස් නිලධාරියෙක් ඔබ ගමන් කරමින් ඉන්න වෙලාවක නවතින්න කියලා ඔබව, ඔබේ ගමන් මලු හෝ ඔබේ වාහනය පරීක්ෂා කරන වෙලාවකයි.

  • සාධාරණ සැකයක් ඇති වීම පරීක්ෂා කරන්න ප්‍රමාණවත්. නවත්වා පරීක්ෂා කිරීමක්, ඒ කියන්නේ කලින් කිව්වා වගේ ඔබව නවත්වලා ඔබ සතු දෑ පරීක්ෂා කිරීමක් කරන්න ඕනෑම පොලිස් නිලධාරියෙක්ට බලතල තියෙනවා. මේකට ඔබේ ඇඳුම් ඇතුලේ යමක් සඟවා ගෙන ඉන්නවාද කියන එක දැන ගන්න අත ගා බැලීම, සාක්කු වල තියෙන දේවල් එලියට ගන්න කීම, ගමන් මල්ල විවෘත කරන්න කීම සහ වාහනයේ ඩිකිය හෝ වෙනත් බහාලුම් විවෘත කරන්න කීම වගේ දේවල් අයත්. ඔබ ළඟ නීති විරෝධී යමක් තියෙන බවට සාධාරණ සැකයක් ඇති වෙන හේතුවක් තියෙන එක මේ විදිහට පරීක්ෂා කරන්න ප්‍රමාණවත්. එම පරීක්ෂා කිරීමෙන් ඔබ ළඟ නීති විරෝධී යමක් නැති බව තහවුරු වුණත් ඒ ගැන එම පොලිස් නිලධාරීයාට එරෙහි වෙන්න බැහැ.
  • ඔබව, ඔබේ ගමන් මලු හෝ වාහනය පරීක්ෂා කිරීම ඕනෑම තැනකදී කරන්න පුළුවන්. හැබැයි ඒ සඳහා පවතින නියමිත ක්‍රමවේදය අනුගමනය කරන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් පරීක්ෂා කිරීම් කෙරෙන්නේ පොදු ස්ථාන වල තමයි. නමුත් වෙනත් ස්ථානයකදී පරීක්ෂා කරන්න බැහැ කියලා නියමයක් නැහැ. නමුත් අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. අදාළ පොලිස් නිලධාරියා තමන්ව හඳුන්වා දීම අත්‍යාවශ්‍යයි (නම, ශ්‍රේණිය සහ පොලිස් ස්ථානය) පොලිස් නිලධාරියා තම නිල ඇඳුමෙන් සිටින වෙලාවක වුණත් මේක කරන්න අවශ්‍යයි. ඒ වගේම ඔබව හෝ වාහනය නැවත්වීමට හේතු වුණේ මොකක්ද, පරීක්ෂා කරන්නේ ඇයිද කියන එකටත් හේතුවක් ලබා දිය යුතුයි.
  • ඇඳුම් ඉවත් කර පරීක්ෂා කිරීමක් කරන්න පුළුවන් සංවෘත ස්ථානයකදී විතරයි. යම් නීතිමය හේතුවක් නිසා ඔබේ ඇඳුම් ඉවත් කරන්න කියා හෝ යම් ආගමික පළඳනාවක් ඉවත් කරන්න කියලා කියනවා නම් ඒ සඳහා ඔබව සංවෘත ස්ථානයකට ගෙන යන්න අවශ්‍යයි. (පොදු තැනකදී කරන්න බැහැ) ඒ විදිහට ඇඳුම් ඉවත් කර පරීක්ෂා කරන්න සාධාරණ හේතුවක් තිබීමත්, එය ඔබට පැවසීමත් අත්‍යවශ්‍ය කාරණාවක්. නමුත් ඒ විදිහට ඇඳුම් ගලවා පරීක්ෂා කිරීමක් අවශ්‍ය වන අවස්ථාවකදී වුණත් ඔබේ යට ඇඳුම් ඉවත් කරන්න කියලා බල කරන්නට පොලිස් නිලධාරියාට බලතලයක් නැහැ.

ඒ වගේම ඔබ සඟවා ගෙන තිබෙනවා යැයි සිතන යම් දෙයක් පරීක්ෂා කිරීම සඳහා ශරීරය අත ගා බැලීමට අවසර තියෙන්නේ ඔබ කාන්තාවක් නම් කාන්තා නිලධාරිනියකට හෝ ඔබ පිරිමියෙකු නම් පිරිමි නිලධාරියෙකුට පමණයි. (මේ අවස්ථා වල අත්වැසුම් සපයා ගන්න හැකියාවක් තියෙනවා නම් ඔහු / ඇය ඒවා පැළඳ සිටීමටත් අවශ්‍යයි)

අපරාධ නීතියේ 30 වන පරිච්ඡේදය ඇතුළේ පහත වගන්තිය පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. “යම් අවස්ථාවක කාන්තාවක් පරීක්ෂා කිරීමකට භාජනය කිරීමට සිදු වේ නම් එම කාර්යය අනිවාර්යයෙන්ම තවත් කාන්තාවක් විසින් සිදු කිරීමත්, පරීක්ෂා කිරීම අතරතුරදී සදාචාරාත්මක ක්‍රියාවිධි පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු කිරීමත් අත්‍යාවශ්‍ය වේ.” මේකේ අදහස ඔබ කාන්තාවක් නම් ඔබව පරීක්ෂා කරන්න කාන්තා නිලධාරිනියක් නොසිටින අවස්ථාවක නිල ඇඳුමෙන් සිටින පොලිස් නිලධාරියෙක් විසින් සුදුසුයි කියා තීරණය කරන වෙනත් කාන්තාවකටත් මේ විදිහට ඔබව පරීක්ෂා කරන්න හැකියාව තියෙනවා කියන එකයි. (නීතිමය වශයෙන් මෙය ගැහැණු පිරිමි පාර්ශව දෙකටම අදාළ වුණත් ප්‍රායෝගිකව කාන්තා නිලධාරිනියකට පොලීසියේ නොවන පිරිමි පුද්ගලයෙකු ලවා පිරිමි කෙනෙකු පරීක්ෂා කරවන්න සිදු වෙන අවස්ථා විරලයි)

රඳවා ගැනීම : විශේෂ අවස්ථා වලදී පමණයි

ඔබ යම් වරදක් කර ඇති බවට සැක කළ හැකි අවස්ථාවකදී තනි පොලිස් නිලධාරියෙකුට වුණත් ඔබව අත්අඩංගුවට ගන්නත්, ඔබට එරෙහිව නඩු ගොනු කරන්නත් අවසර තියෙනවා.

ඔබ යම් වරදක් කර ඇති බවට සැක කළ හැකි අවස්ථාවකදී තනි පොලිස් නිලධාරියෙකුට වුණත් ඔබව අත්අඩංගුවට ගන්නත්, ඔබට එරෙහිව නඩු ගොනු කරන්නත් අවසර තියෙනවා.

මෝටර් රථවාහන ආඥා පනතේ 162 වන පරිච්ඡේදය යටතේ තනි පොලිස් නිලධාරියෙකුට වුණත් ඔබ වරදක් කරලා තියෙන බවට සැක කරන්න පුළුවන් අවස්ථාවක ඔබව අත්අඩංගුවට ගන්නත්, රඳවා ගන්නත් විතරක් නෙවෙයි ඒ වරද සඳහා ඔබට එරෙහිව නඩු පවරන්නත් සම්පූර්ණ බලතල ලබා දී තියෙනවා. කාන්තාවක් අත්අඩංගුවට ගන්න නම් කාන්තා නිලධාරිනියක් වීම අවශ්‍යයි. මේ විදිහට රඳවා ගන්න අවසර තියෙන වැරදි කිහිපයක් පහතින් දැක්වෙනවා.

බීමත් වී සිටීම

ඔබ වාහනයක් පදවන අවස්ථාවක (රියදුරු අසුනේ සිටින අවස්ථාවක) බීමත්ව සිටින බවට සැක කරන්න පුළුවන් නම් ඕනෑම පොලිස් නිලධාරියෙකුට ඔබව නවත්වලා පරීක්ෂා කරන්න පුළුවන්. මෝටර් රථවාහන ආඥා පනතේ 151 වන පරිච්ඡේදයට අනුව බීමත් බව පරීක්ෂා කරන යම් උපාංගයක් (ප්‍රාශ්වාස වායු විශ්ලේෂකයක් – Breathalyzer) භාවිතයට භාජනය කරන්න හෝ රජයේ වෛද්‍යවරයෙකු ලවා කෙරෙන රසායනාගාර පරීක්ෂාවකට භාජනය කරන්න පොලිස් නිලධාරියෙක්ට බලතල තියෙනවා.

මේකේ අර්ථය ඔබ බීමත් බවට සැක කරන්න පුළුවන් නම් ඒ බව ඔබව නැවැත්වූ තැනදීම තහවුරු කරගන්න අවශ්‍යයි කියලා නියමයක් නැති බවයි. ඔබ බීමත් නොවන බවට තහවුරු කරන තුරු රඳවා ගන්නත් පොලිස් නිලධාරියාට අවසර තියෙනවා. ඔහු / ඇය නිර්දේශ කරන පරීක්ෂණයකට භාජනය වෙලා බීමත් නොවන බවට තහවුරු වෙන තුරු ඔබට එතැනින් යන්න අවසර නැහැ. ඔබ බීමත් බවට තහවුරු වුණොත් ඔබව අත්අඩංගුවට ගන්නත්, උසාවියකට ඉදිරිපත් කරන තුරු රඳවා ගන්නත් ඉඩ තියෙනවා.

වේග සීමාව ඉක්මවීම

ඔබ ගමන් කරන මාර්ග කොටසේ නියමිත වේග සීමාවට වඩා වේගයෙන් වාහනයක් පදවන වෙලාවක පොලිස් නිලධාරියෙකුට ඔබව නවත්වා තම භාරයට ගන්න බලතල තියෙනවා. සාමාන්‍යයෙන් ඔබ වේග සීමාව ඉක්මවා රිය පැදවූ බවට තහවුරු කරන්න වේග මාපකයක් වගේ උපකරණයක් ඉදිරිපත් කරත් ඒක අනිවාර්ය නැහැ. ඔබ සීමාව ඉක්මවා වේගයෙන් හෝ වෙනත් අනතුරුදායක ආකාරයකට රිය පදවන බවට පොලිස් නිලධාරියාට ඒත්තු යනවා නම් ඔහුට ඔබව නවතා රඳවා ගන්න හැකියි.

පොදු උපදෙස්

හැම වෙලාවකම ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ බලතල වලට අදාළ නීති පිළිබඳවත්, ඒ වගේ බලතල ක්‍රියාත්මක වෙන අවස්ථා වලදී ඔබට පවතින අයිතිවාසිකම් ගැනත් යම් දැනුමක් තිබීම ගොඩක් ප්‍රයෝජනවත්. රූපය : AFP / ඉෂාර S. කොඩිකාර

හැම වෙලාවකම ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ බලතල වලට අදාළ නීති පිළිබඳවත්, ඒ වගේ බලතල ක්‍රියාත්මක වෙන අවස්ථා වලදී ඔබට පවතින අයිතිවාසිකම් ගැනත් යම් දැනුමක් තිබීම ගොඩක් ප්‍රයෝජනවත්. රූපය : AFP / ඉෂාර S. කොඩිකාර

  • ඔබ මාර්ග නීති කඩ කිරීමක් සිදු කර පොලිස් නිලධාරියෙකුට අසු වුණොත් බොහෝ විට ඔබ කරපු වැරැද්දේ බරපතල කම අනුව ඔබට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන්න හරි දඩ මුදල් නියම කරන්න හරි සම්පූර්ණ බලතල තියෙන්නේ ඒ පොලිස් නිලධාරියා අතේ.
  • පොදු ස්ථාන වලදී පොලිස් නිලධාරීන්ව ඡායාරූප ගත කරන්න හරි වීඩියෝ ගත කරන්න හරි බාධාවක් නැහැ. හැබැයි ඒ දේවල් කිරීමේදී ඔවුන්ගේ රාජකාරියට බාධාවක් වෙන්න බැහැ.
  • ඔබට යම් පොලිස් නිලධාරියෙක්ගෙන් අසාධාරණයක් හෝ හිරිහැරයක් වුණොත් හරි, හේතුවක් නැතිව ආත්ම ගරුත්වයට හානි වන විදිහේ සිදුවීමක් වුණොත් හරි ඒ පිළිබඳව පොලිස් මුලස්ථානයට පැමිණිලි කරන්න හැකියාව තියෙනවා.

ඉතින් ශ්‍රී ලංකා පොලීසියට තියෙන බලතල ගැනත්, ඔවුන්ගේ වගකීම් ගැනත් බොහෝ දෙනා අතර හොඳ දැනුමක් නැති වුණත් ඔවුන්ට නවත්වන්න, ප්‍රශ්න කරන්න, පරීක්ෂා කරන්න සහ රඳවා ගන්න තියෙන බලතල ගැන පොලීසිය පැත්තෙන් ඉතා හොඳ නීති රීති පද්ධතියක් තියෙන බව දකින්න ලැබෙනවා. ඒ ගැන යම් ප්‍රමාණයක දැනුමක් තියෙන එක ඔබේ ජීවිතයේ නොහිතන අවස්ථාවකදී ලොකු ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්.

විශේෂයෙන්ම සාමාන්‍ය මිනිස්සු අපරාධ කිරීමේ සම්භාවිතාව අඩු නිසා වැඩිපුරම නීතිමය ප්‍රශ්න බලපාන්න හේතු වෙන්නේ පාරේදී කරන මාර්ග නීති කඩකිරීම් තමයි. බොහෝ දෙනාට පොලිස් ස්ථානයකට හරි, උසාවියකට හරි පළමු වරට යන්න සිදු වෙන්නෙත් මේ වගේ මාර්ග නීති කඩ කිරීමේ ප්‍රශ්නයක් නිසා. ඉතින් පාරේ යනකොට, වැඩිපුරම වාහනයක් පදවනකොට (පොලිස් ආඥා පනතට අනුව අශ්වයන්, හරකුන් හෝ වෙනත් සතුන් ඇදගෙන/පැදගෙන යන වෙනත් වාහනයක් වුණත්!) පිළිපැදිය යුතු නීති ගැනත්, ඒවා කඩ කිරීමේ විපාක ගැනත් දැනගෙන ඉන්න එක හරිම වැදගත්. ඔබේ දැනුවත්භාවය ඉහළ නංවා ගන්නත්, රටේ නීතිය ගැන උනන්දුවක් ඇති කරන්නත් මේ ලිපිය හේතු වෙන්න ඇති කියලා Roar අපි විශ්වාස කරනවා.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

Related Articles