Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලක් ඉතිහාසයේ නම තැබූ පණ්ඩාරම් වංශිකයෝ

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාව ලංකාවේ බහුතර සිංහල ජනතාව සලකන්නේ සිංහල ජාතිකත්ව දේශපාලනයේ නිදහසින් පසු නැඟී සිටීම සනිටුහන් කළ නායකයා විදියට. ඔහු පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිංහල භාෂාව කතා කරන මධ්‍යම පාන්තික ජනතාව සංවිධානය කළ දේශපාලන පක්ෂය විදියට සැලකෙනවා. එහෙත් මේ කතාව ඔහුගේ පරම්පරාවේ මුල් කාලය ගැනයි. බණ්ඩාරනායකවරුන්ගේ මුල ඇත්තේ කොහේද? මේ කතාව ඒ ගැනයි.

එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ( විකිපීඩියා )

පණ්ඩාරම්

ලංකාවේ බණ්ඩාර ලෙසින් හැඳින්වෙන වාසගම් නාමයේ මුල ලෙස සැලකෙන්නේත් පණ්ඩාරම් වංශයයි. එය හින්දු භක්තිකයන්ගේ ආගමික වතාවත් වෙනුවෙන් පරම්පරාගතව පැමිණි කුලයක්. අදත් පණ්ඩාරම් වංශයට අයත් කටයුතු කරන පුද්ගලයන් කෝවිල් ආශ්‍රිතව දකින්නට ලැබෙනවා.

පණ්ඩාරම් වංශිකයන්ගේ කාර්යභාරය වුණේ කෝවිලෙහි එදිනෙදා කටයුතු ඉටු කිරීම. පූජා බිමෙහි පිරිසිදු කිරීම් ආදී කටයුතු පවා ඔවුන්ට පැවරුණා. බ්‍රාහ්මණ වංශිකයන් කෝවිලේ ස්තෝත්‍ර ගායනා ආදිය සිදු කළත් ඇතැම් තැන්වල පණ්ඩාරම් වංශිකයන්ද ඒ කටයුතු කරන බව කියනවා. දෙවියන්ට ලං වීමේ වරප්‍රසාදය, දෙවියන්ගේ කටයුතු කිරීමේ වරප්‍රසාදය ඇති කුලයක් ඉහළ කුලයක් ලෙස සැලකුවා.

ලංකාවේ පණ්ඩාරම්වරුන් ඉන්දියාවේ සිට පැමිණි අයයි. අනුරාධපුර යුගය අවසාන වෙද්දී ලංකාවේ සිංහාසනයට ගැටුම් රැසක් ඇතිවුණා. මෞර්ය සහ ලම්බකර්ණ වංශිකයන් අතර මෙන්ම ධාතුසේන සහ මුගලන් අතර ගැටුම වැනි එකම පවුලේ සහෝදරවරුන් අතරද සිංහාසනයට ගැටුම් ඇතිවුණා. ඒ බොහෝ අවස්ථාවලදී සිහසුන අපේක්ෂා කළ අය දකුණු ඉන්දියාවෙන් කුලී හමුදා රැගෙන ලංකාවට පැමිණියා. බොහෝවිට එවන් හමුදා නැවත ලංකාව අත්හැර ගියේ නැහැ. රජවරුන්ගෙන් වරප්‍රසාද ලබා ලංකාවේම සිටියා. එපමණක් නෙවෙයි, ලංකාවට පැමිණි දෙමළ ආක්‍රමණිකයන්ගේ හමුදාද ලංකාවේ රැඳුණා. ඒ නිසාම පොළොන්නරු යුගය වෙද්දී ලංකාවේ හින්දු භක්තිකයන් බොහෝ දෙනෙක් සිටියා. බෞද්ධාගමිකයන්ද හින්දු ඇදහීම්වලට යොමු වුණා. කෝවිල් තැනුනා. ඒ කෝවිල්වල කටයුතු සඳහා කුලයෙන් සුදුස්සන්ව ලංකාවට ගෙන්වීමට රජවරුන්ට සිදුවුණා. ඒ අනුව ලංකාවට ඉන්දියාවෙන් පණ්ඩාරම් වංශිකයන් පැමිණෙන්නට ඇති.

එතැන් පටන් පණ්ඩාරම් වංශිකයන් කෝවිල් ආශ්‍රිතව විවිධ කටයුතු භාරව ක්‍රියා කළා. ඔවුන්ට කරන්නට තිබුණු කටයුතු විවිධාකාරයි. කෝවිල්වල පූජාවන්ට සහාය වීම, ඒවාට පහසුකම් සකස් කිරීම ආදිය ඔවුන්ට පැවරුණු කාර්යභාරයයි.

ඇතැම් පරම්පරාවල පණ්ඩාරම් වංශිකයන් එක් කටයුත්තකට පමණක් විශේෂ වුණා. මල්මාලා ගොතන්නන් පූකුට්ටි පණ්ඩාරම්, දෙවියන්ව පිරිසිදු කිරීම ආදී කටයුතු භාරව සිටි ලිංගධාරී පණ්ඩාරම්, හොරණෑ පිඹීම සහ බෙර වැයීම ආදිය වෙනුවෙන් සංගුදි පණ්ඩාරම් එලෙස විශේෂ කටයුත්තක් වෙනුවෙන් වෙන්වුණු පණ්ඩාරම් වංශිකයන්ගේ පෙළපත් නාමයන්. මෙලෙස කාලාන්තරයක් කටයුතු කළ පණ්ඩාරම් වංශිකයන් ලංකාවේ සිටින ජනවර්ග අතර සුවිශේෂීම ජනවර්ගයක් ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත් පණ්ඩාරම් වංශිකයන්ද අනෙක් බොහෝ කුලවලට අයත් ජනතාව මෙන් සමාජයේ දිය වෙමින් සිටිනවා. වර්තමානයේ හින්දු ආගමික ස්ථානවල කටයුතු කරන්නේ පණ්ඩාරම් වංශිකයන් පමණක් නෙවෙයි. මේ වෙද්දී විවිධ කුලවලින් පැවත එන පුද්ගලයන් ඒ කටයුතු කරනවා. එහෙත් පරම්පරා උරුමයෙන් මේ කටයුතුවල යෙදෙන පණ්ඩාරම් වංශිකයන් තමන්ගේ නම සමඟ පණ්ඩාරම් යන වචනය ගැටගසා ගන්නේ තමන්ගේ පරම්පරා අභිමානය පෙන්වීමට. මුත්තු පණ්ඩාරම්, මනි පණ්ඩාරම්, බාබු පණ්ඩාරම් වැනි නම් නිර්මාණය වෙන්නේ ඒ විදියට.

මේ වෙද්දී එදිනෙදා පණ්ඩාරම් වංශිකයෙක්ව දකින්න කැමති අයෙක්ට පැහැදිලිවම සහ වැඩිපුරම දකින්නට ලැබෙන්නේ පූකට්ටි පණ්ඩාරම් වංශිකයන්. එනම් මල්මාලා ගෙතීම සම්බන්ධ පණ්ඩාරම් වංශිකයන්. වැල්ලවත්ත, කොච්චිකඩේ ආදී කෝවිල් ඉදිරිපට එවන් පණ්ඩාරම් වංශික මල්මාලා ගොතන්නන් දැකගන්න පුලුවන්.

දියුණුයැයි සැලකෙන නූතන ලෝකය කුලභේදය ප්‍රතික්ෂේප කරනවා. එහෙත් අදත් කුලභේදය සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන් තුරන් වී නැහැ. විශේෂයෙන් කුලයට ඉහළ තැනක් තිබුණු හින්දු ආගම තවමත් කුලය නඩත්තු කරන බව කියැවෙනවා. එහෙත් එකල මෙන් පණ්ඩාරම් වංශිකයන් තමන්ගේ කුලය අතරම විවාහ කටයුතු කිරීම හෝ කුලය නිසාම විශේෂ ආදායම් ලැබීම සිදු වෙන්නේ නැහැ. බොහෝවිට තමන්ට පරම්පරාවෙන් උරුම කටයුතුවලින් ඉවත්ව වෙනත් ක්ෂේත්‍රවල රැකියාවලට යොමු වූ පණ්ඩාරම් වංශිකයන් දකින්නට පුලුවන්.

බණ්ඩාරනායක

අපි ලිපිය ආරම්භ කළේ බණ්ඩාරනායකවරුන් ගැන කියමින්. බණ්ඩාරනායක පරම්පරාවේ ආදීතමයා නීල පෙරුමාල් බව කියනවා. නීල පෙරුමාල් පණ්ඩාරම් වංශිකයෙක්. පණ්ඩාරම් සහ බණ්ඩාර යන වචන දෙකද එක හා සමාන වචන දෙකක්. දෙමළ ජාතිකයන් බ සහ ප අකුරු දෙකම එකක් ලෙස පාවිච්චි කිරීමත්, බ වෙනුවට ප ශබ්දය හඬ නැඟීමත් නිසා පණ්ඩාරම් පසුව බණ්ඩාර වූ හැටි සිතාගත හැකියි.

නවගමුව දේවාලයේ ආරම්භයද නීල පෙරුමාල්ගෙන් සිදු වූ බව ලිඛිත ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙවැනි ආදීතම පණ්ඩාරම් සංක්‍රමණිකයන් ලංකාවේ ආගමික ක්ෂේත්‍රයෙන් එහා ගොස් දේශපාලනයටද බලපෑම් කරනවා. කෝට්ටේ යුගයේ ජනප්‍රියම පෙළපත් නාමයක් ලෙස බණ්ඩාර යන්න සැලකෙනවා. බිසෝ බණ්ඩාර බිසව, වීදිය බණ්ඩාර, රයිගම් බණ්ඩාර, ජයෝ බණ්ඩාර වැනි දැවැන්ත දේශපාලන චරිත මේ නාමයෙන් පැමිණෙනවා.

කෝට්ටේ යුගයේ සිටි සත්වැනි විජයබා රජුගේ හිටපු අගබිසව වන්නේ කීරවැල්ලේ බිසෝ බණ්ඩාර නම් කාන්තාව. ඇගෙන් ලද දරුවන් තිදෙනා වුණේ බුවනෙකබා, මායාදුන්නේ සහ රයිගම් බණ්ඩාර නමින් හැඳින්වූ කුමරුවන් තිදෙනා.  1513 දී සිදුවූ විජයබා කොල්ලය නමින් ප්‍රකට සිදුවීම් පෙළ මේ කුමරුවන් තිදෙනාගේ සම්බන්ධයෙන් සිදු වුණා. මේ සිදුවීම් පෙළ විජයබා කොල්ලය නම් අපූරු නවකතාවට එකතු කරන්නේ ඩබ්ලිව්. ඒ. සිල්වා නම් මහා නවකතාකරුවා විසින්.

ඒ කාලයේම ගම්පොළ රාජධානිය කරගත් ජයවීර බණ්ඩාර නම් බලවත් රජෙකු ගැනද ඓතිහාසික පොත්පත්වල සඳහන් වෙනවා. ලංකා ඉතිහාසයේ දැවැන්තම යුද පෞරුෂයක් වන වීදිය බණ්ඩාර කුමරුද කෝට්ටේ යුගයේ සඳහන් බණ්ඩාර කෙනෙක්.

පසුව විමලධර්මසූරිය නමින් රජ වෙන්නේ කොනප්පු බණ්ඩාර. ඔහුගේ පරම්පරාවද මේ නාමයෙන් යුතු දැවැන්ත පරම්පරාවක්. ඔහුගේ පියා වීරසුන්දර බණ්ඩාර උඩරට විශාල ගෞරවයක් දිනා සිටි බව කියනවා. එහෙත් එකල සිටි සීතාවක රාජසිංහ රජු විසින් වීරසුන්දර බණ්ඩාරව බොරු වළක ගිල්වා මරා දමා තියෙනවා. එතැනින් පසුව කාලයක් පෘතුගීසින් ළඟ සැඟව සිටින කොනප්පු බණ්ඩාර පෘතුගීසීන්ගේ උදව්වෙන් උඩරටට පැමිණ පෘතුගීසීන්ගේ බලපෑමෙන් උඩරට රජ වී සිටි යමසිංහ බණ්ඩාරව පලවා හැර උඩරට ස්වාධීන රාජ්‍ය නායකයා ලෙස නව රජ පරම්පරාවකින් රජ බවට පත් වෙනවා. ඒ විමලධර්මසූරිය නාමය සමඟයි. මේ රාජ පරම්පරාව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දක්වා දිවෙනවා.

විමලධර්මසූරිය රජු ( විකිපීඩියා )

බණ්ඩාර යන නාමය සමඟ විමලධර්මසූරිය රජුට පණ්ඩාරම් වංශය සමඟ ඇති සම්බන්ධය වටහාගත හැකියි. ඉතින් ලංකාවේ අවසාන සිංහල රජ පරම්පරාවද ඉන්දියාවේ සංක්‍රමණික පරම්පරාවක සංකලනයෙන් යුතු බව එයින් පැහැදිලි වෙනවා.

වර්තමානයේ බණ්ඩාර, බණ්ඩාරනායක පෙළපත් නාමයන් සිංහල ජනතාව අතර විශාල වශයෙන් දකින්නට ලැබෙනවා. මෙලෙස ඉන්දීය සම්භවයක් ඇති පෙළපත් රැසක් සිංහල ජනතාව අතර දකින්නට ලැබීමෙන් ලාංකික ජනවර්ගය ඉතිහාසය පුරා එකිනෙකා අතර මුහුවී ඇති අන්දම අවබෝධ කරගත හැකියි.

( ජන විවිධත්වය කෘතිය, විජයබා කොල්ලය නවකතාව, උසස්පෙළ ලංකා ඉතිහාසය ගුරු අත්පොත සහ බණ්ඩාරනායක පෙළපත පිළිබඳ සඳහන්වෙන පුවත්පත් ලිපි සහ පොත්පත් කිහිපයක් මූලාශ්‍ර කර ගනිමින් ලියූ ලිපියකි. )

Cover – නූතන පණ්ඩාරම් වංශිකයෙක්

Related Articles