Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇඩොල්ෆ් හිට්ලර් ගේ අවසානය පිළිබඳ සමාජගත ජනප්‍රිය මත

ජර්මන් ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් ගේ අවසානය පිළිබඳ නිල වශයෙන් සඳහන් වන්නේ 1945 වසරේ අප්‍රේල් මස 30 වනදා ජර්මනියේ බර්ලින් නුවරදී ඔහු සිය දිවි නසාගත් ලෙසට යි. මිත්‍ර පාක්ෂික හමුදා අභිමුඛයේ සිය නාසි හමුදාව පරාජය ලබන බැව් ප්‍රත්‍යක්ෂ කොටගෙන සිය දිවි නසා ගත් ඔහුගේ සිරුර බර්ලිනයේ ඔහු සැඟ වී සිටි බංකරයේ තිබී හමු වූ බවට ඉතිහාස පොත් රාශියක සඳහන් ව තිබෙනවා.

ලොව බොහෝ දෙනා මේ මතය පිළිගනිද්දී සමහරක් දෙනා උක්ත දින ඔහු මිය ගිය බවට පිළිගැනීමට මැලි වන අතර, හිට්ලර් පසුකාලීන ව ජීවත් ව සිටි බවට ඔවුන් සාක්ෂි ද ඉදිරිපත් කරනවා. ඔවුන් පවසන්නේ හිට්ලර් මිත්‍ර පාක්ෂික හමුදාවන්ගෙන් සාර්ථක ව බේරී පැන ගත් බවයි. තවත් සමහරකු පවසන්නේ එදින හිට්ලර් මිය ගියත් ඔහු සිය දිවි නසා ගත් බවයි. මේ ආකාරයෙන් හිට්ලර් ගේ අවසානය පිළිබඳ ව වූ මත රාශියක් සමාජගත වී තිබෙනවා. ඉන් ජනප්‍රියත ම කිහිපයක් පහත දැක්වෙනවා.

ඇඩොල්ෆ් හිට්ලර්- Roger Viollet/Getty images

යුද බිමේදී හිට්ලර් මිය යයි

1945 වසරේ අප්‍රේල් මස 30 වනදා බර්ලිනයේ බංකරයක තිබී හමු වූ සිරුර හිට්ලර්ගේ ම ද යන්න සමහරකුට කුකුසක් ගෙන දුන් කරුණක් වුණා. රුසියානු හමුදා විසින් එය ඔහුගේ ම බැව් ප්‍රකාශ කළත් මෑතක් වන තුරු එය නිසියාකාර ව ඔප්පු වී තිබුණේ නැහැ. එහිදී කියැවුණේ හිට්ලර් සයනයිඩ් කා හෝ සිය හිසට වෙඩි තබා ගෙන මිය ගොස් සිටි බව යි.

හිට්ලර් මියගිය දිනයේ දී උදෑසන 10.20 ට රේඩියෝවෙන් සිය රටවැසියන් ඇමතූ ජර්මානු අද්මිරාල්වරයෙක්, ඇඩොල්ෆ් හිට්ලර් යුද බිමේදී වීරයකු මෙන් මිය ගිය බැව් ප්‍රකාශ කළා. ෂෙල් වෙඩි කැබැල්ලක් ඔහුගේ පෙනහළු පසාරු කරගෙන ගිය බවත්, වෛද්‍යවරයකු එය ඉවත් කර ඔහු බේරා ගැනීමට උත්සාහ කළත් එම උත්සාහය ව්‍යර්ථ වී ගිය බවත් වැඩිදුරටත් ඔහු පවසා සිටියා. පසුකාලීන ව උක්ත වෛද්‍යවරයා සාක්ෂි ලබා දීමට පවා ඉදිරිපත් වුණා. කෙසේ නමුත් විද්‍යාඥයන් බොහෝ දෙනා පසුකාලීන ව පැවසුවේ මේ මතය හුදෙක් හිට්ලර් වීරයකු කිරීම උදෙසා ගෙතුණු එකක් බවයි.

හිට්ලර් මිය ගියේ නැත!

තවත් මතයකට අනුව හිට්ලර් සෝවියට හමුදා බර්ලිනය ආක්‍රමණය කිරීමට ඔන්න මෙන්න තිබියදී සිය අවසන් කැමැත්ත ලියා තිබෙනවා. ඒ අනුව ඔහු ඉල්ලා තිබුණේ සිය සිරුර විකෘති කිරීමට කිසිවකුට ඉඩ නො දෙන ලෙසයි. මේ අනුව සිය දිවි නසාගත් ඔහුගේ සිරුර බෙන්සීන්වල බහා, ගිනි තබා, ගිරි ද්වාරයක සඟවා තිබෙනවා. කෙසේ නමුත් ඔහුගේ සිරුර අවසානයේ සෝවියට් හමුදාවන්ට හමු වුණා.

ඇඩොල්ෆ් හිට්ලර්ගේ යැයි සැලකෙන මළ සිරුර – Getty images

 

කිසියම් හෝ කාරණයකට,සෝවියට් බලධාරීන් හා කේ.ජී.බී ආයතනය හිට්ලර් ගේ යැයි සැක කරන සිරුර පිළිබඳ වැඩිදුර පර්යේෂණ කරනු වෙනුවට දශක ගණනාවක් එය සඟවා තබා ගැනීමට කටයුතු කළා. අවසානයේ ඔවුන් එම සිරුරේ හිස් කබල හා යටි හනුව ඉතිරි වන සේ අනෙකුත් කොටස් විනාශ කළා. ඒ 1970 දශකයේදී යි.

ඔවුන් මෙලෙස සිදු කළේ හුදෙක් හිට්ලර් මිය ගියා ද, එසේත් නැතිනම් ජීවත් ව සිටී ද යන්න අමෙරිකාව ඇතුළු අනෙකුත් තරඟකාරී රටවල්වලට ප්‍රහේළිකාවක් වී තිබීම ඔවුනට දේශපාලනික ව වාසි ගෙන දෙන කරුණක් වූ නිසා යි. කෙසේ නමුත් මේ කාරණාව නිසා හිට්ලර් මිය ගියේ නැතැයි විශ්වාස කරන පිරිස් ලොව දිනෙන් දින වැඩි වුණා. සමහරකු මේ සඳහා සාක්ෂි පවා ඉදිරිපත් කරන්නට පටන් ගත්තා.

එක්සත් ජනපද සොල්දාදුවන් ඇඩොල්ෆ් හිට්ලර් මියගිය බව පුවත්පතින් කියවමින් – Getty images

 

හිට්ලර් පසුකාලීනව ප්‍රංශයේ කැසිනෝ හලක සේවය කළ බැව් යමකු පවසද්දී තවත් අයෙක් පැවසුවේ ඇල්ප්ස් කඳුකරයට පලා ගිය ඔහු  එහි එඬේරකු ලෙස ඉතිරි ජීවිතය ගත කළ බවයි. තවත් සමහරකු විශ්වාස කළේ හිට්ලර් ආධ්‍යාත්මික දියුණුව ලබා, තවුසකු බවට පත් වී ගල් ගුහාවක කල් ගෙවන බවයි. මේ මත කෙතරම් ලොව කැලඹීමට ලක් කළේ ද යත්, වරෙක එවකට අමෙරිකානු ජනපති ව සිටි ඩ්වයිට් ඩී. අයිසන්හවර් පවා හිට්ලර් මිය ගොස් නැති බවට විශ්වාස කරන්නට වුණා.

හිට්ලර් ගේ සබ්මැරීන වික්‍රමය

හිට්ලර් පිළිබඳ ව වූ තවත් ජනප්‍රිය මතයක් වන්නේ ඔහු සෝවියට් හමුදාවන්ගෙන් මිදී සබ්මැරීනයක ආධාරයෙන් යුරෝපයෙන් පැන ගත් බවයි. මේ පිළිබඳ ව බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පතේ ද සඳහන් වුණා. එයට අනුව හිට්ලර් ජර්මානු හමුදාවට නියෝග කළේ මළසිරුරු දෙකක් තමන් හා බිරිය ලෙස හැඩගන්වන ලෙසට යි. අනතුරුව මධ්‍යම රාත්‍රියක, රහස් උමගක් ආධාරයෙන් සිය බංකරයෙන් පිට වූ ඔවුන්, සැහැල්ලු ගුවන් යානයක් ආධාරයෙන්  ඩෙන්මාර්කයට හා ඉන් අනතුරු ව ස්පාඤ්ඤයට පැන ගියේ සෝවියට් හමුදා බර්ලිනය ආක්‍රමණය කිරීමත් සමඟ යි. එහි සඟවා තිබූ සබ්මැරීනයක නැගි ඔවුන් දකුණු අමෙරිකාවට පලා ගොස් අනතුරු ව එහි නව ජීවිතයක් පටන්ගෙන තිබෙනවා. ඔහු වසර 73 ක් හෙවත් 1962 වසර වන තුරු ජීවත් ව සිටි බැව් සඳහන්.

හිට්ලර් යැයි සැක කෙරෙන ඇඩොල්ෆ් ෂුට්ල්මේයර් (දකුණුපස ) ගේ සේයාරුව- huffingtonpost.co.uk

 

ඇඩොල්ෆ් ෂුට්ල්මේයර්

දෙවන ලෝක යුද සමය අවසානයේදී සැබවින් ම නාසි යුද සබ්මැරීනයක් ‘අතුරුදහන්’ වුණා. මෙමගින් සැබවින් ම නාසි උසස් නිලධරයන් කිහිපදෙනකු ම දකුණු අමෙරිකාවට පලා ගිය බැව් සඳහන් වූ අතර, පසුකාලීන ව එය තෘප්ත කරමින් ඔවුන් කිහිප දෙනකු එහි සිට හසු වුණා. මේ අනුව සමහරකු පවසන්නට වූයේ මෙලෙස පැන ගිය අය අතර හිට්ලර් ද වූ බවයි. මෙයට අනුබල දෙන ප්‍රබල සාක්ෂියක් 1955 වසරේදී වෙනිසියුලාවේ පිහිටි සී.අයි.ඒ කාර්යාලයකට ලැබුණා.

ඒ ඊට වසර දෙකකට පෙර කොලොම්බියාවේදී අත්අඩංගුවට ගත්, මිනිසුන් දෙදෙනකුගේ ඡායාරූපයක්. ඉන් එක් අයෙක් ජර්මානු උසස් හමුදා නිලධරයකු සේ දැක්වුණු අතර අනෙකා හිට්ලර් විය හැකි බැව් කියැවුණා. තව දුරටත් සඳහන් වූයේ ඔහු සිය නම ඇඩොල්ෆ් ෂුට්ල්මේයර්’ ලෙස වෙනස් කොට ගෙන ඇති බයි. කෙසේ නමුත් ඔහු සිය විශේෂිත උඩු රැවුළ නම් ඉවත් කිරීමට උත්සාහ ගෙන තිබුණේ නැහැ. කොලොම්බියාවේ නාසි ජර්මානු සහායකයන් රාශියක් සිටීම මේ මතය වඩාත් තහවුරු කර ගැනීමට හේතුවක් වුණා. කෙසේ නමුත් ඉන් අනතුරු කිසිවකුට මේ මිනිසා හමුවූයේ නැහැ.

හිට්ලර්ගේ හිස්කබල – මෙහි ඔහු සියදිවි නසාගැනීමට එල්ල කළ වෙඩි පහරින් ඇති වූ සිදුර ද පෙනෙන්නට තිබේ- Viktor Korotayev/Reuters

හිට්ලර් පැරගුවේ හි බංකරයක

තවත් මතයකට අනුව හිට්ලර් පැරගුවේ හි බංකරයක 1971 වසර වන තුරු ජීවත් ව සිට තිබෙනවා. තවත් සමහරෙක් පවසන්නේ හිට්ලර් බ්‍රසීලයේ අප්‍රසිද්ධව ජීවත් වූ අතර, 1984 වසර වන තුරු – එනම් වසර 90 ද ඉක්මවා ජීවත් වූ බවයි. මෙයට වැඩිමනත් ම හේතු වූයේ කිසිවෙක් ෆොටෝෂොප් ආධාරයෙන් එහි විසූ මහලු අයකුගේ පින්තූරයකට හිට්ලර් ගේ විශේෂිත උඩු රැවුළ බද්ධ කර ප්‍රසිද්ධ කිරීමත් සමඟ යි. මෙම සැකසූ පින්තූරයෙන් පෙනී ගියේ, එම මහලු පුද්ගලයාට හිට්ලර් ගේ විශේෂිත උඩු රැවුළ තිබුණා නම් ස්වරූපය හිට්ලර්ට බොහෝ සෙයින් සමාන බව යි.

හිට්ලර් පිළිබඳ ව තවත් මත රාශියක් ලොව පැතිරී තිබෙනවා, මින් සමහරක් ඔහු ඇන්ටාක්ටිකාවේ හා සඳෙහි පවා සැඟවී සිටියා යැයි දැක්වෙන අභව්‍ය මට්ටමේ ඒවා වෙනවා.

දුර්මත බිඳලීම

2017 වසර වනතුරු ලොව පුරා සමහරකුට හිට්ලර් ගේ අවසානය පිළිබඳ විශාල කුකුසක් තිබුණා. මේ නිසාම ප්‍රංශ ජාතික විද්‍යාඥයන් කණ්ඩායමක් රුසියානු රජය හා එක්ව හිට්ලර් ගේ යැයි පැවසෙන හිස් කබල හා යටි හනුව යොදා ගෙන, නවීන තාක්ෂණය ඔස්සේ පර්යේෂණයක් සිදු කළා. ඔවුන් ඉන් ලැබුණු ප්‍රතිඵල හිට්ලර්ගේ මරණ පරීක්ෂණය හා, ඔහු පිළිබඳ ව වූ වෙනත් දත්ත සමඟ සන්සන්දනය කළා. ඒ අනුව ඔප්පු වී ඇත්තේ එම සිරුර හිට්ලර්ගේ ම සිරුර බවයි.

කවරයේ පින්තූරය- ඇඩොල්ෆ් හිට්ලර් බැවේරියාවේ තට්ටු පුටුවක දහවල් නින්දක- Getty Images 

මූලාශ්‍ර:

Timesofisrael.com

History.com

Nationalinterest.org

Washingtonpost.com

Related Articles